දුරුතු පුර පසළොස්වක පොහොය 2016.01.23
ඓතිහාසික ආගමික දිනයක්
පොහොය ආගමික දිනය වශයෙන් කෙතරම් දුරට තහවුරු වූවා දැයි විමසා බලන විට සක් දෙවිඳුන්
පවා මනුෂ්‍යයන් පින් දහම්හි නිරතවන අයුරු බැලීමට පොහොය දිනයන්හි මිනිස් ලොවට
පැමිණෙන අයුරු ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ දේශනා කර වදාළහ. දෛනික කාල සටහනකට
හෙවත් සැලැස්මකට අනුව කටයුතු කිරීමට ලොවට පළමු ආදර්ශය ලබා දුන්නේ ලොව්තුරා
බුදුපියාණන් වහන්සේ ය. පොහොය දිනය පවතිනුයේ සැදැහැවත් උපාසක උපාසිකාවන්ට එක් නියමිත
දිනයෙක එක් වේලාවක විහාරස්ථානයට පැමිණ තෙරුවන් වැඳ පුදා ගනිමින් ආගමානුකූලව වත්
පිළිවෙත්හි යෙදීමේ පහසුව සඳහා ය. එහෙත් පොහොය නොවන දිනයන්හිද පන්සල වෙත යෑමට හෝ
ආගමික වතාවත්හි නිරතවීමට කිසිදු බාධාවක් නොමැති බවද සිහිපත් කළ යුතුව ඇත.
ඇතැම්විට බොදුනුවන් අතර ඇතැම් අයෙක් දැනුම්වත්ව සිටිනුයේ බොහෝවිට පුර පසළොස්වක
පොහොය දිනය පිළිබඳ පමණි. එහෙත් පුර පසළොස්වක පොහොය දිනයට අමතරව අව අටවක, අමාවක සහ
පුර අටවක යනුවෙන් මසකට තවත් පොහොය දින තුනක් පවතී. ඒ අනුව බලන විට මාසයක් තුළ පොහොය
දින හතරක් පවතී. ඊට බොහෝ දෙනා හතර පොහොය ලෙස දැනුම්වත්ව සිටින බවද සිහිපත් කළ යුතුව
ඇත. කෙසේ හෝ නොදන්නා අයගේ දැනුම පහසු කිරීම සඳහා හතර පොහොය යෙදී ඇති එම පොහොය දින
පිළිබඳව බුදුසරණ සෑම පුවත්පතකම සටහන් කරනු ලැබේ. මෙසේ වරින් වර පොහොය දිනය පිළිබඳව
දැනුම්වත් කරනුයේ හතර පොහොය හෙවත් සතර පොහොය පිළිබඳ බොහෝ දෙනා ‘බුදුසරණ’ වෙතින්
විමසන හෙයිනි.
දිනක් විශාඛා මහා උපාසිකාව බුදුපියාණන් වහන්සේ හමුවට පැමිණියා ය. එසේ ඇය පැමිණි
කාරණය විමසන විට විශාඛාව විසින් ප්‍රකාශ කරන ලද්දේ තමා අද දින පෙහෙවස් රකින බවය. ඒ
මොහොතේදී බුදුරජාණන් වහන්සේ විසින් පොහෝ දිනයන්හි පෙහෙවස් ආරක්ෂා කිරීම පිළිබඳ
දීර්ඝ විස්තරයක් දේශනා කර වදාළහ. රහතන් වහන්සේ අනුගමනය කරමින් පෙහෙවස් රැකීම
මැනැවයි බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ හෙයින් පොහෝ දිනයන්හිදී ශ්‍රාවක,
ශ්‍රාවිකාවෝ පෙහෙවස් රැකීම ආරම්භ කළහ.
අතීතයේදී පමණක් නොව අදටත් සතර පොහො දිනයන්හිම පන්සලට ගොස් පොහොය අටසිල් සමාදන් වන
සැදැහැති දායක දායිකාවෝ විවිධ විහාරස්ථාන තුළ දී දක්නට ලැබෙන බවද කිව යුතු ය.
මනුෂ්‍ය ජීවිතයට යම් පුරුදු තාවයක් ඇති කිරීමට සුදුසුම හෙවත් වඩාත් යහපත්ම කාලය නම්
කුඩා කාලයයි. එබැවින් මව්පිය, වැඩිහිටි ආදීන්ගේ උදාර යුතුකම වනුයේ පොහොය දිනයේදී
පෙහෙවස් සමාදන්ව ආගමානුකූල ජීවිතයක් ගත කිරීමට තම දූ දරුවන්ට ආදර්ශයෙන්ම කියා දීමය.
පොහොය දිනය වැනි වටිනා ආගමික දිනයක වෙනත් බාහිර කටයුතුවල නොයෙදී එකී දිනය ආගමික
කටයුතු සඳහාම වෙන් කිරීම යුතුකම වේ. පන්සලට පොහොය දිනයට පෙහෙවස් සමාදන්වීමට පැමිණෙන
සැදැහැති දායක දායිකාවන්ගේ ශ්‍රද්ධාව, ගෞරවය තෙරුවන් කෙරෙහි වඩ වඩාත් වර්ධනයවීම
සඳහා පොහොය දිනය තුළ කාල සටහනකට අනුව විධිමත් ආගමික වැඩසටහනක් පැවැත්වීමට
මාර්ගෝපදේශකත්වය සැලසීම පන්සලේ වැඩ සිටින ගෞරවනීය මහ සඟරුවනෙහි ද වගකීම වනු ඇත.
උදෑසන පෙහෙවස් සමාදන්වීමෙන් අනතුරුව තෙරුවන් වන්දනාව, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා,
දහම් පොත පත කියවීම, සූත්‍ර දේශනා සජ්ඣායනාව ආදිය ඊට ඇතුළත් කරමින් විධිමත් පොහොය
වැඩසටහනක් සකස් කර ගැනීම මඟින් දකින බලන බොහෝ දෙනාගේ චිත්ත ප්‍රසාදය වර්ධනය වනු ඇත.
වෙසෙසින් පෙරටත් වඩා වත්මත් තරුණ පරපුර සම්බුදුදහම කෙරෙහි දක්වනුයේ බලවත්
උනන්දුවකි. එම යෞවන යෞවනියන් ආගමානුකූලව දිවි පෙවෙතකට යොමුකරවීම වැඩිහිටියන්ගේ
වගකීම වන බැවින් ඔවුන් කෙරෙහි විශේෂ අවධානය යොමු කොට ඔවුනට ද සරිලන අයුරින් ආගමික
කටයුතු මෙහෙයවීම වඩාත් කාලෝචිත වෙයි. අද යොවුන් පරපුර අනාගතයේ දී වැඩිහිටි පරපුර වන
හෙයින් ධර්මානුකූල සිතුම් පැතුම් ඔවුන් තුළ වර්ධනය කිරීමට මඟ පෙන්විය යුතු ය. ආගමික
හැඟීම් වර්ධනයෙන් මෙලොව ජීවිතය පමණක් නොව දෙලොව ජීවිතයම සාර්ථක වීමට නම් ආගමික
කටයුතුවල නිරතවිය යුතු බව කාරුණිකව පෙන්වාදිය යුතුව ඇත. බෞද්ධයා යනු මෙලොව යහපත,
අභිවෘද්ධිය පමණක් නොව පරලොව යහපත ද සලසා ගන්නා අයෙක් වේ.
පින්බර දුරුතු මහේ පුන් සඳ උදාවන විට ඓතිහාසික ආගමික පුරාවෘත්තයන් රැසක් අපගේ මනසට
නැඟී එයි. ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයෙන් නව මසකින්
බුදුරදුන්ගේ ප්‍රථම ලංකා ගමනය සිදු වූ ඓතිහාසික අනුස්මරණීය දිනය සිහිපත් කැරෙන
දුරුතු පුර පසළොස්වක පොහෝදා තම තමන්ගේ ජීවිත අනුස්මරණීය දිනයක් කර ගනිමින් ආගමික
වතාවත්හි නිරතවීමට අදිටනක් ඇති කර ගනිමු. |