දන් ගෙයක් වූ සිටු මැදුර
ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා
මාධ්‍ය ජාලයේ සභාපති
ගෞරව ශාස්ත්‍රවේදී
දරණාගම කුසලධම්ම නාහිමි
සුපුරුදු ලෙස බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරමින් සිටිති. තමාගේ
ශ්‍රාවකයන් වහන්සේලාට ජාතක ධර්ම දේශනාවක් ඇසුරෙන් දහම් දේශනා කිරීම උන්වහන්සේගේ
දෛනික දින චර්යාවේ අනිවාර්ය අංගයක්ව පවතියි. එක් අතකට සැලසුම් සහගතව බුදුවරයෙකු ලෙස
ගත කළ ජීවිතයේ උන්වහන්සේට අනිවාර්ය නොවු අංග කිසිවක් නොතිබිණි.
සුපුරුදු ලෙස සිය ශාස්තෘවරයාණන් වහන්සේගෙන් දහම් ඇසීමට රැස්ව සිටින භික්ෂූන්
වහන්සේලා වෙනුවෙන් උන්වහන්සේ ධර්මය දේශනා කිරීම ඇරඹූහ. එදින දහම් දෙසුමට මුල වූයේ
අනේපිඬු සිටාණන්ය. පුරුද්දක් ලෙස අනේපිඬු සිටුතුමා බුදුරජාණන් වහන්සේ ඇතුළු
පන්සියයක් භික්ෂූන් වහන්සේලාට දන් දෙමින් සිටියේය. බුදුරජාණන් වහන්සේද භික්ෂූන්
වහන්සේලා පිරිවරාගෙන සිටුතුමාගේ මාළිගයට වැඩම කරති. ඇතැම් දිනවලදී වැඩම නොකරති.
එවැනි දිනවල භික්ෂූන් වහන්සේලා සමඟ රහතන් වහන්සේලා වැඩම කරති. සිටු මැදුරම දාන
ශාලාවක් මෙනි. පිරිසුදුකමත්, වටපිටාවේ පිළිවෙළත් ඒ තරමටම නොදෙවෙනිය. බුදුරජාණන්
වහන්සේ සමගින් සංඝයා වහන්සේලා වැඩම කරන දිනට දෙව් විමන්වල හිඳින දෙවි දේවතාවන්ට
තවදුරටත් තම තමන්ගේ විමානවලට වී හිඳින්නට නොහැකිය. ඇතැම් විට ඒ දෙවි දේවාතාවුන් යනු
ඒ ඒ පවුල් වලට අතීතයේ දී සම්බන්ධ වී සිට මියගිය පිරිස්ද වීමටද පිළිවන. ඔවුහුද
බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා දනට වඩින විට පහළට බසිති. සිටුතුමාගේ මාළිගය
දොරටුවෙහි අරක්ගෙන සිට දෙව්දුවට මෙය සැබෑම කරදරයක් විනි. මුලදී ඇය මේ කටයුතු
පිළිබඳව බොහෝ ප්‍රසාදයෙන් සිටියද දිනපතාම මේ කටයුතු සිදු වන විට ඇයට මැදුරු දොරටුවේ
සිටීම අපහසුය. නිතර එතැනින් බසින්නට සිදුවෙයි.ඇයට මෙය කෙතරම් අවහිරයක්විනීද යත් මේ
දන් වැට වැළැක්වීමට ඈ ක්‍රියාත්මක වූවාය.
දිනක් රාත්‍රියෙහි දෙව් දුව අනේපිඬු සිටුතුමාගේ සිරි යහන ඉදිරිපිට දීප්තිමත්
ආලෝකයක් සිය සිරුරෙන් විහිදුවමින් පෙනී සිටියාය. පෙනී සිට ඇය මෙලෙස කීවාය. මේ මුළු
“දඹදිවටම සිටින ධනවත්ම පුද්ගලයා ඔබතුමායි. ඔබතුමාගේ ධනය දැන් ටිකෙන් ටික ක්ෂය
වෙමින් යනවා. ඔබතුමා කෝටි ගණනින් ධනය බුදුසසුන වෙත පූජා කර තිබෙනවා. ජේතවනාරාමය
ඉදිකරන්නට ඔබතුමා ඒ බිමෙහි’ එකදු හිස් තැනක් නොවන්නට රන් කාසි ඇතිරුවා. පසුව කහවනු
කෝටි අසූ හතක් වියදම් කොට ජේතවනාරාමය ඉදිකළා. දැන් ඔබතුමා දිනපතා තථාගතයන් වහන්සේ
ප්‍රමුඛ මහා සංඝයා වහනසේලා පන්සිය නමකට එක දිනයකුදු නොකඩවා දන්වැට දෙනවා. ඔබතුමා මේ
විදියට දන් දුන හොත් ඔබතුමා දිළින්දෙකු වී අවසානයේ ඔබතුමාට කැඳ බොන්නට සිදු වනු ඇත.
එසේත් නැති නම් ගෙන් ගෙට කබලක් ගෙන සිගමන් යදින්නට සිදු වනු ඇත. ඒ විතරක් නොවෙයි.
ඔබතුමා වියදම් කරන්නේ ඉපයූ ධනයයි. ඒ හැර ඔබතුමා ධනය ඉපයීමක් කරන්නේ නැත. උපයා ගත්
ධනය වියදම් කරනවා පමණයි. ඒ නිසා මේ දන් දීම නවත්වන්න”.
දෙව් දුවගේ මේ වදන්වලින් සිටුතුමාගේ හිතට කේන්ති සහගත ස්වභාවයක් පැමිණුනි.
බුදුරජාණන් වහන්සේ කෙරෙහිත්, උන්වහන්සේ දේශනා කරන ධර්මය කෙරෙහිත් අපමණ ශ්‍රද්ධාවෙන්
කටයුතු කරන සැදැහැවතෙකුගේ සිත මෙබඳු දෑ වලින් වෙනස් කිරීම එතරම් පහසු කාර්යයක්
නොවේ. එසේම ධර්මය කෙරෙහි උපන් ලැදියාව වෙනස් කිරීමට නොහැක. කිසියම් පුද්ගලයෙකු
සෝවාන් තත්ත්වයේ හිඳින්නේද යන්න වටහා ගැනීමටත් ඇති හොඳම සාධකය මෙයයි. එබඳු
පුද්ගලයෙකු තුනුරුවන් කෙරෙහි නොබිඳෙන සුළු විශ්වාසයකින් යුක්තව කටයුතු කරයි.
සිටුතුමාද බුදුරජාණන් වහන්සේත්, ශී‍්‍ර සද්ධර්මයත් කෙරෙහි නොනැසෙන පැහැදීමෙන් යුතුව
සෝවාන්ව සිටියේය. එය අචලය, නොනැසෙන සුළුය. සිටුතුමා දෙවඟනට දෝෂාරෝපණය කළේය. “ඔබ
වැනි මිථ්‍යාදෘෂ්ටික දෙවඟනක් මගේ මැදුර අහලකවත් සිටිය යුතු නැත. කරුණාකර මෙතැනින්
පිටවන්න.” සිටුතුමා අණ කෙළේය. දෙව්දුවට තවදුරටත් සිටු මැදුරෙහි රැඳී සිටින්නට
නොහැකිවිණි.ඈ දෙව් විමන අතහරින්නට තීරණය කළාය.
සක් දෙව් රජු මේ සම්බන්ධයෙන් දෙවඟනට මෙලෙස කීවේය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි
අප්‍රමාණ සැදැහැ සිතින් කටයුතු කරන, මමත් වඳින මේ සිටුවරයාටද එසේ නම් ඔබ දන් දෙන්නට
එපා යැයි කීවේ.
සිටුතුමාගේ වස්තුවත් ධනයත් ඒ වන විටත් ගංවතුරට ගසාගෙන ගොස් නේරංජනා ගඟෙහි තැන්පත්ව
තිබිණි. සක් දෙව් රජු ඒ වස්තුව රජුට ගෙනැවිත් දෙන ලෙස ඇයට නියම කළේය.අනතුරුව දෙව්
දුව ඒ සියලු වස්තුව සිටුතුමාට ගෙනැවිත් දී තමා කළ ඒ වරදට සමාව ඉල්ලා සිටියාය.
එමෙන්ම තමන්ට සිටු මැදුරෙහි හිඳින්නට නැවත අවසර ලබා දෙන ලෙස ද ඉල්ලා සිටියාය. ඇයට
සිටු මාළිගයෙහි හිඳින්නට අවසර ලැබිණි.
බුදුරජාණන් වහන්සේ සියල්ල සක් සුදක් දේ දැන හිඳිති. අනේපිඬු සිටුතුමා බුදුරජාණන්
වහන්සේ බැහැ දැකීමට ගොස් සියලු තතු උන්වහන්සේට දැනුම් දුන්හ.දෙව්දුව කරන්නට ගිය
පාපි ක්‍රියාව පිළිබඳව සඳහන් කළේය. එහෙත් තමා අතින් කිසි දිනෙක එවැන්නක් සිදුනොවන
බැව් සිටුතුමා බුදුහිමියන්ට කියා සිටියේය. එවිට බුදුරජාණන් වහන්සේ සිය ස්වරය
අවදිකොට ශ්‍රද්ධාවත් , ශීලයත් ඇති,කර්මයත් කර්ම ඵලයත් විශ්වාස කරන, පින් පව් අදහන,
උතුමෝ බුදුවරයෙකු ජීවමානව වැඩ නොසිටින කාලවල පවා අපමණ සැදැහැ සිතින් දන් දෙති.
පින්කම් කරති. ඒවා පවා වැළැක්වීමට ඕනෑතරම් අකුසල සිත් සහිත මිනිසුන් සිටිති. එහෙත්
උතුම් සිතැත්තෝ ඒවායින් පසුගාමී නොවී දන් පින් කරගෙන කුසල් රැස් කරගන්නේ යැයි
කියමින් උන්වහන්සේ මේ විසයීහ ජාතකය භික්ෂූන් වහන්සේලාට දේශනා කළහ.
ඒ මෙසේය. දීර්ඝ සංසාරයේ එක් ආත්ම භවයක බෝධිසත්වයන් වහන්සේ සිටුවරයෙකුව උපන්හ.
ඉන්දියාව පාලනය කරමින් සිටියේ බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකි. බෝසත් සිටුවරයා නමින්
විසයීහ නම් විය. එම කාලය අබුද්ධෝත්පාද කාලයක් විය. බුදුවරයෙක් නොමැත. මහරහතන්
වහන්සේලාද නොමැත. සිල්වත් ගුණවත් උතුමන්ලාද නොමැත. මේ කාලයේදී විසයීහ සිටුතුමන්
දිනකට සය ලක්ෂයක් ධනය වියදම් කොට දුගී මගී යාචකාදීන්ට දිනපතා දන්සැල් දුන්හ. ඒ
කිසිදු කීර්තියක් හෝ ප්‍රශංසාවක් බලාපොරොත්තුවෙන් නොවේ. එහෙත් එතුමා මෙලෙස දානය
දීමෙන් බුදු බව ප්‍රාර්ථනා කළහ. සිය මාලිගයෙහි සිව් කොන ඇති දොරටු සතරෙහි මහා
දන්සැල් සතරක් දෙන්නට විය. විසයීහ සිටුතුමා මෙය සංසාර පුුරුද්දක් ලෙස වසරින් වසරට
සිදු කරගෙන ආවේය. එක් ආත්මයකදී සිදු කරනු ලැබු දන් දීමට වඩා වැඩියෙන් ඊළඟ ආත්මයේදි
දන් දෙයි. තම ජීවිතයේ කෙතරම් ප්‍රබල පුුරුද්දක් බවට එය පත්වීද යත් මොහු තිරිසන්
ආත්මයක ඉපදුනද දන් දීමේ පුරුද්ද අත් නොහළේය. විසයීහ සිටුතුමා උපන්කාලය අබුද්ධෝත්පාද
වූත්, රහතන් වහන්සේලා ඉතා අඩුවෙන් සිටියා වූත් කාලයක් විය. බුදුවරයෙක් රහතන්වහන්සේ
නමක් තියා සිල්වත් උපාසකයෙක් හෝ උපාසිකාවක්වත් සොයා ගැනීම අසීරු විය. මෙබඳු කලෙකත්
තමන්ට මෙලෙස ධනයෙන් අඩුවක් නොවන්නේ තමන් විසින් පෙර ආත්මයන්හිදී සිදු කළ දානාදී
පින්කම් නිසා යැයි විසයීහ සිටුතුමා කල්පනා කරන්නට විණි. කෙසේ වුවද සිටුතුමාගේ මේ
දන්දීමේ කටයුතු සක් දෙවිඳුන්ටද පෙනෙන්නට විය. මොහු මෙලෙස දන් දී පින් රැස් කරගතහොත්
මොහුගේ මරණයෙන් පසු නොවැරදීම දෙව්ලොව උපත ලබන්නේය. එවිට මාගේ සක් දෙව් තනතුර මොහුට
දීමට මට සිදු වනු ඇතැයි යනුවෙන් සිතන්නට විය. මන්ද යත් දිනෙක සක් දෙව් රජු වන්නේ
විශාල වශයෙන් මනුලොව පින්කම් සිදු කරන මිනිසුන්ය යන වග සක් දෙව් රජු දැන සිටියේය.
සිටුවරයාගේ මෙම දන් දීමේ කටයුත්ත වැළැක්වීම සඳහා ඔහුගේ වස්තුව විනාශ කර දැමීමට සක්
දෙව් රජ තීරණය කළේය. දන් දෙන විට ඒ දානය පිණිස තබා ඇති ආහාර පානාදිය අතුරුදන් කළ
යුතු යැයි තීරණය කළේය. තීරණය කරගත් දෙය එලෙසින්ම සිදු කරන ලදී.ආහාර අතුරුදන් වූ පසු
ඒ බැව් සේවකයෙක් සිටුවරයාට දැනුම් දෙන ලදී. සිටුතුමා සිය බිරිඳ සමඟ කතා බස් කරන්නට
විණි. ධනය අතුරුදන් වුවද දන් දීම වැළැක්විය නොහැකි බව ඔහු සිය බිරිඳ සමඟ කියා
සිටියේය. සිටු මැදුරෙහි තිබු රන්, රිදී,කහවනු ආදිය ඇති ගබඩාව විවෘත කර දී දානය
අඛණ්ඩව පැවැත්වීම සඳහා ප්‍රයෝජනයට ගන්නා ලෙස අවසර දෙන ලදී.
දෙවැනි දවසේදී සක් දෙව් රජු සිටුවරයාගේ සියලු ධනය අතුරුදහන් කිරීමට තීරණය කළේය. එය
හරියට දුර්භික්ෂ තත්ත්වයක් මෙනි.
කෙසේ හෝ සිටු යුවළ කතිකාවකට එළැඹුණහ. ඒ අනුව සිටුතුමා ජීවත්ව සිටින තාක් කල් දන්
දීම නැවැත්වීමට නොහැකි බැව් එතුමාගේ අදහස විය. සිටුදේවියගෙන් සිටුතුමා ඇහුවා. දන්
පිණිස දෙන්නට මොනයම් හෝ දෙයක් නැතිද කියලා. කිසිවක් නොමැත. දීමට ඇත්තේ තමන් දෙදෙනා
හැඳ සිටින වස්ත්‍ර පමණක්ය යන වග දේවිය සිටුතුමාට ප්‍රකාශ කර සිටින ලදී. මෙතරම්
පින්කම් සිදු කරපු තමාට මෙවැනි දෙයක් සිදු වූයේ ඇයිද යන්න පිළිබඳව සිටුතුමා සොයා
බලන්නට විය.මේ වන විට සිටු මාළිගයෙහි ඉතිරි වී ඇත්තේ මොනවාද ? යන්න පිළිබඳව සොයා
බලන්නට විය. සිටු දේවිය පැමිණ කදකුත් දෑකැත්තකුත් පමණක් ඇති බව කීවාය. දෙදෙනා කදත්
දෑ කැත්තත් රැගෙන වනාන්තරයට ගොස් තණකොළ කපන්නට විය.මේ තණකොළ නගරයට රැගෙන ගොස්
ගවයින්ට විකුණා ඉන් අඩක් දන් දෙති. අඩක් තම ප්‍රයෝජනය පිණිස තබා ගනිති. පසුව තමන්
වෙනුවෙන් තබා ගත් කොටසද දන් පිණිස දුගි මගී යාචකාදීන්ට දීමට මේ සිටු යුවළ පුරුදු
විණි. සතියක් පුරා නිරාහාරව මෙම කටයුතු සිදුකරගෙනයෑම නිසා සත්වෙනි දවසෙහි ඔහු මහ මග
ඇද වැටුණි. මේ නම් කිසිඳු හේතුවක් නිසා අධෛර්යයට පත් වන කෙනෙකුන් නොවේ යැයි සක්දෙව්
රජු සිතූහ.මේ පුද්ගලයා නවත්වන්නේ කෙසේද? යන්න පිළිබඳව ඔහු කල්පනා කළේය. සක් දෙවිඳු
රජු මිනිස් වෙසක් මවාගෙන ඔවුන් දෙදෙනා ඉදිරියට පැමිණ මෙලෙස ඇසූහ. ඇයි මෙහෙම දුක්
විඳින්නේ? ඇයි මෙහෙම දුක් විඳ විඳ දන් දෙන්නේ? එහෙම දන් දෙන්නේ මෝඩයින්. ඒ නිසා මේ
විදියට දන් දෙන්න එපා. බෝධි සත්වයෝ උත්තර දෙමින් කියා සිටියේ. මගේ දන් දීම නවතින්න
නම්, මා මිය යා යුතුයි.අනෙක ඔබ කව්ද මට මේ විදියට උපදෙස් දෙන්න. සක්දෙවිඳු එවිට
තමන් කව්ද යන්න හෙළිදරව් කළේය. බෝසතාණන් වහන්සේ සක්දෙව් රජුට කියා සිටින්නේ, ඔබ
මෙවැනි දෙයක් කියන්නට හේතුව කුමක්ද? මා මෙලෙස දන් දීමෙන් ප්‍රාර්ථනා කරන්නේ සක්විති
රාජ සම්පත් නොවෙයි. මට අවශ්‍ය ඔබ ඇතුළු දෙව් මිනිසුන් සංසාරය නමැති සාගරයෙන් එතෙර
කරවන සම්මා සම්බුද්ධත්වය ලබා ගැනීමට යයි.මගේ ප්‍රාර්ථනය බුදු බවයි.”
සක්දෙව් රජු සාධුකාර දුන්නේය. මා වළක්වන්නට කටයුතු කළේ මතු බුදු වන්නට පෙරුම් පුරන
බෝසත්වරයෙකුගේ බෝසත් පරමිතාවක්නේදැයි තමන් පිළිබඳවම කළකිරීමට පත්විණි. පැන්
ගෙනැවිත් පොවා දේවතා බෙලෙන් බෝසත් සිටුවරයා ශක්තිමත් කර යලි නැගී සිටින්නට අවැසි
බලය ලබා දෙන ලදී. එපමණක් නොව සිටුතුමාගේ අහිමි වී ගිය වස්තුව සියල්ලමද යළි ලබා දෙන
ලදී.අනතුරුව සක් දෙව් රජු අතුරුදන්ව ගියේය.
බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුතුමාට මෙම ජාතකය දේශනා කොට එකල විසයීහ සිටාණන් වූයේ
බුදුරජාණන් වහන්සේ බවත් දේශනා කළහ. |