ඉල් අව අටවක 2015.12.03
සියල්ලට මුල්වන සිත
මිනිසා සිදුකරන සෑම ක්‍රියාවකටම මුල් වන්නේ සිතය. සිතින් හට
ගන්නා සිතිවිලි විටෙක යහපත්ය. තවත් වරෙක අයහපත්ය. ඒ සිතක
ස්වභාවය වේ. සිතෙහි උපදින, සිතින්ම හට ගන්නා සිතිවිලි සමුදාය
නිසා මොහොතෙන් මොහොත සිතෙහි ස්වභාවය වෙනස් වෙයි. යම් අයෙක්
අයහපත්, නපුරු සිතෙන් කරන ක්‍රියා හේතුවෙන් සිත නපුරටම ඇදී
යයි. අයහපතෙන් සිතන සිතිවිලි ක්‍රියාවට නැඟීමෙන් ගොනුගේ පය
අනුව යන කරත්තය මෙන් දුක් තමා පසු පසම ලුහුබඳියි.
ප්‍රසන්න සිතිවිලි ක්‍රියාවට නැඟීමෙන් යහපත් වැඩදායී ලෙස
එමගින් සිතට මහත් අස්වැසිල්ලක් ලැබේ. ඒ තමා පසු පස එන සෙවණැල්ල
මෙනි. මොහොතක් පාසා සිතිවිලි ගලා එන අතර බුද්ධිමත් මනුෂ්‍යයා
එම සිතිවිලිවලින් යහපත් සිතිවිලිම පමණක් ක්‍රියාවට නැංවීමට
උත්සාහ කරනු ලැබේ. එසේ කටයුතු කරන මනුෂ්‍යයා නිරන්තරයෙන්
ලබනුයේ අප්‍රමාණ සතුටකි. කැඩපත තුළින් තම රුව බලන්නාක් මෙන්
තමන් කරන කියන සියල්ල තම සිතෙහි තැන්පත්ව පවතී. විටෙක අපි එය
මතකය ලෙසද අවදි කරමු. එසේ මතකය අවදි කළ විට තමන්ට සතුටට පත්විය
හැකි දෑ සිතින් ක්‍රියාවට නැඟුවේ නම් ඉමහත් සතුටකින් පසුවේ.
එහෙත් එසේ නොවුයේ නම් තමා කළ අයහපත තම සිහියට ඒමෙන් සිතින් සිය
දහස්වර පසුතැවිල්ලට පත් වේ. මෙසේ සැනසීමට මෙන්ම පසුතැවීමට ද
හේතුවන සිතිවිලි ක්‍රියාවට නැංවූයේ වෙනත් කිසිවකු නොවේ. තම
සිතට වහල්වීමෙන් බොහෝවිට තමන්ට විඳීමට සිදුවනුයේ පාඩුවකි.
එහෙත් සිතට සිතිවිලි ගලා ආ විට බලවත් ලෙස සිත මැඩ පැවැත්වූයේ
නම් එයම ඔහුගේ සැනසීමට මඟ වේ.
තමා අපහසුතාවයට පත්වීමට පෙර සිතට ගලා එන අප්‍රමාණ සිතිවිලිවල
යහපත හෝ අයහපත විමසා බැලීමට ප්‍රඥාවන්තයකු විය යුතු ය. අඥානයා
සිතට වහල්වීමෙන්, සිත පාලනය කර නොගැනීමෙන් මහත් විපතටම ලක් වේ.
ඕනෑම යමක් කියන්නට, කරන්නට පෙර ඒ පිළිබඳ මූලික අදහස ඉදිරිපත්
වනුයේ සිත තුළය. සිතෙහි පාලනය පහසු නොවේ. ඒ හැම විට විවිධ
අරමුණු සිත තුළ පහළ වන හෙයිනි.උදාහරණයක් දෙස බලමු. ඉතා නිරෝගී
මනුෂ්‍යයකු තම සිතෙහි පාලනයක් ඇති කර නොගැනීමෙන් කවර නම් තරමක
අපහසුවකට පත්වේද? රස ආහාරයක් යැයි සිතූ විට කවර අපත්‍ය ආහාරයක්
වුවද එය අනුභව කිරීමට පෙලඹෙයි. එසේ ආහාරයෙහි පාලනයක් ඇති කර
නොගැනීමෙන් නිරෝගී මනුෂ්‍යයකු වුවද රෝගියකු බවට පත්වීමට
හේතුවනුයේ පාලනයක් සීමාවක් කර ගත නොහැකිවූ සිත මුල්වීම
හේතුවෙනි. සිතෙහි හටගෙන සිතින්ම ක්‍රියාවට නංවන සිතිවිලි
පිළිබඳ අවබෝධයක් ලැබිය යුත්තේ සිතෙහි ඇති ප්‍රබලත්වය නිසාය.
කුඩා දරුවකු ලෙස මෙලොව උපත ලබන මිනිසා වයස මුහුකුරා යනවිට සිතද
වර්ධනය වීම ස්වභාවය වේ. අධ්‍යාපනය ලබන කුඩා දරුවකු තමා
අධ්‍යාපනය ලබන කාලය තුළ දී වෙහෙස මහන්සි වී අධ්‍යාපනය
නොලැබුවහොත් අධ්‍යාපනය කෙරෙහි උදාසීන වුවහොත් ඔහුගේ
අධ්‍යාපනයෙන් ප්‍රතිඵල ළඟා කරගත හැකි නොවේ. යම් ව්‍යාපාරයක්
රැකියාවක් කරන අයෙක් වුවද මනා සිහියෙන් එය සිදු කිරීමට උනන්දු
නොවන්නේ නම් ඔහුගේ ව්‍යාපාරය වේවා, රැකියාව වේවා සාර්ථකත්වයට
පත් නොවනු ඇත.
සිතෙහි ඇති ශ්‍රේෂ්ඨත්වය, අවබෝධ කරගත් ගෞතම බෝධි සත්වයන්
වහන්සේ සිත හදන මග සකසා ගැනීමට ගත් උත්සාහය නිසාම ලොව්තුරා
බුද්ධත්වයට පත් වූ සේක. සිතෙහි ඇති කර ගන්නා පැහැසර බව නිසාම
ජීවිතය විනිවිද දැකිය හැකි තරමට සිතිවිලි දියුණුකර ගත හැකිවේ.
සිතෙහි උපදින සිතිවිලි දමනය කර නොගැනීමෙන් ඉතා සුළු මොහොතකින්
පවා මහත් විපතකට පත් විය හැකිය. නොයෙක් වර විවිධ සිතිවිලි ගලා
ඒමෙන් සිත සංවර නොවේ. සිතෙහි හටගන්නා සිතිවිලි වචනයෙන් මෙන්ම
ගතින් ද ක්‍රියාවට නංවනුයේ මනුෂ්‍යයාය.
සිත, කය, වචනයෙහි සංවරය උදෙසා ක්‍රියා කළ හැකි අයෙක් බවට
පත්වීමට මනුෂ්‍යයා හැම විට උනන්දුවෙන් හා දැඩි අදිටනින් කටයුතු
කළ යුතු වේ. සිතෙහි සංවරය ඇති කර ගැනීමෙන් වචනයෙන්, කයෙන්
සංවරය උදාකර ගැනීමට එය මහත් පහසුවක් වෙයි. ප්‍රසන්න සිත හැම
විට තිදොර සංවරයට හේතුවන බැවින් එසේ කටයුතු කිරීමෙන්
මනුෂ්‍යයාගේ මෙලොව ජීවිතය නිරන්තරයෙන් සාර්ථකවනු ඇත. ජීවිතයේ
යහපත පතන තැනැත්තා හැම විට සිත රැක ගැනීමට පෙලඹෙන්නේ නම් බොහෝ
විපත්, කරදර වලින් අත මිදිය හැකිය. |