පින් පල නෙළාගත හැකි
උතුම් පින් කෙත
ශාස්ත්‍රපති - රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි
පිළිවෙත් සරු මහ සඟ රුවනෙහි ගුණ ගැයෙන සඟ ගුණ පාඨයෙහි සඳහන් වන අවසන්
ගුණය අනුත්තරං “පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස” ගුණය පිළිබඳව මෙසේ දැනගනිමු.
ලොව වෙසෙන ගොවියෝ කෙත්වල බීජ වපුරනවා. බීජ වපුරන්නේ සරුඵල ලබන්නයි.
වැපුරු බිජුවේ සරුඵල ලබන්නනම් කෙත ද සරු විය යුතු වෙනවා. කෙත ද සුදුසු
විය යුතු වෙනවා. මනාකොට ජලය යොදා පොහොර යොදා සී සා සකසා ගත් කෙතක් විය
යුතු වෙනවා. සරු කෙතක තිබිය යුතු අංගයන් පිළිබඳව අංගුත්තර නිකායේ අට්ඨක
නිපාතයේ ඛෙත්තූපම සූත්‍රයේ දක්වා තිබෙනවා.
වළගොඩැලි නැති කෙතක් වීම 2) ගල් බොරළු නැති කෙතක් වීම 3) කරමැටි නැති
බිමක් වීම, 4) ගැඹුරට සාන ලද බිමක් වීම, 5) ගලා යන එන දිය පහරවල් වලින්
යුක්ත වීම, 6) කුඹුරින් ගලා යන දිය පහරවල් ඇත්තක් වීම, 7) දිය ගලා යන
ඇළ මාර්ග ඇති තැන් වීම, 8) කෙතේ නියරවල් සීමාවල් තිබීම.
මේ අංගයන්ගෙන් යුක්ත කෙතෙහි වැපුරූ බීජ මහත්ඵල වෙනවා. මධුර වෙනවා.
හොඳින් වැඩෙනවා. මෙසේ වැපුරූ බීජ සරුඵල දෙන්නා සේ සැදැහැති පින්වතාට
පුණ්‍ය බීජයන් වැපිරිය යුතු කෙත් වන්නේ ආර්ය මහා සංඝ රත්නය නමැති කෙත
බව බුදුරජාණන් වහන්සේ වදළා. එසේ හඳුන්වන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන්
යුක්ත යන ආර්ය මාර්ගයෙහි ගමන් කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන් පමණයි.
ලොව ඇති කෙත් අතර ගොවියා බොහෝ වෙහෙසී ගොවිකමෙහි නියැලුණ ද අල්ප වූ ඵල
ගෙන දෙන කෙත් තිබෙනවා. ඒ වගේම මධ්‍යම ප්‍රමාණ ඵල ගෙන දෙන කෙත්ද,
වෙහෙසෙන තරමට ඵල ලැබෙන කෙත් ද තිබෙනවා. බොහෝ ඵල ගෙන දෙන කෙත්ද තිබෙනවා.
එසේම දානයක් පූජා කරන විට එය අල්ප වූ ආනිසංස ඇති වීමටද, මධ්‍යම ප්‍රමාණ
වූ ආනිසංස ඇති වීමට ද බොහෝ ආනිසංස ඇති වීමටද, ප්‍රතිග්‍රාහකයාගේ
පාර්ශවයෙන් ප්‍රබල දායකත්වයක් ලැබෙනවා. ආර්ය මහා සංඝ රත්නය ලොව වෙසෙන
පිරිස් වශයෙන් ගත් කළ උත්තම පිරිස නියෝජනය කරන උතුමන් ය.
සිල්වත්කම,උගත්කම,ගුණවත්කම හා නිකෙලෙස් මනසින් යුතුවීම ආදි ගුණයන්ගෙන්
අනූන ආර්ය මහා සංඝරත්නය ලොව උත්තම පිරිස නියෝජනයට ඇවැසි සියලු
ගුණයන්ගෙන් ශෝභමාන වූ බැවින්, අනුත්තර තත්ත්වයෙන් ම හඳුන්වනවා.
සංඝරත්නය කෙදිනකවත් දුස්සීල තත්ත්වයේ නො සැළකේ. “සංඝ” යන පදයෙන්
හඳුන්වන්නේ ම සිල්වත් පිරිසකි. යමෙක් දුස්සීල වේද ඔහු සංඝයා යැයි
පැවැසිය නොහැක. සංඝ රත්නය ස්වභාවයෙන් ම වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම
සිල්වත් වූ පිරිසකි .
යමෙක් සංඝයා උදෙසා යමක් පූජා කරන විට එය දුස්සීල ශ්‍රමණ පිරිසක්
පිළිගත්තත් දායකයාගේ ආනිසංසවලට ඉන් හානියක් නො වන්නේ දායකයා එය පූජා
කළේ ආර්ය මහා සංඝරත්නය උදෙසා උන්වහන්සේගේ ගුණ මෙනෙහි කර ගෙන පූජා කළ
බැවිනි. අනාගත කාලයෙහි ශ්‍රාවක සංඝ නාමයෙන් පෙනී සිටින්නා වූ ගෙලෙහි හෝ
අතෙහි කහ රෙදි කඩක් දරන්නා වූ දුස්සීල පාපි පුද්ගලයන් ඇති වන බව ද, ඒ
අයට ද මිනිසුන් දන් දෙන බවද එසේ දෙන්නා වූ දානයෙන්ද අසංඛෙය්‍ය වූ
අප්‍රමාණ වූ ආනිසංස ලැබෙන බව බුදුරජාණන් වහන්සේ දක්ඛණාවිභංග සූත්‍රයේදී
වදාළා.
බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍ය රාජයාණන්ට ධර්මය දේශනා කරන්න දෙව්ලොව
වැඩි අවස්ථාවේ ධර්ම ශ්‍රවණය සඳහා එකම මොහොතෙහිම පැමිණි අංකුර සහ ඉන්දික
නම් වූ දිව්‍ය පුත්‍රයෝ දෙදෙනෙක් බුදුන් වහන්සේ දෙපස හිඳගෙන සිටියා.
කල්ගත වෙත්ම මහානුභාව දෙවි දේවතාවුන් පැමිණියා. ඔහුනට ඉඩ දී අංකුර දෙව්
පුතුට පසුපසට යන්න සිදුවුණා. එසේ පසුපසට තල්ලු වී ගොස් අවසන බුදුරජාණන්
වහන්සේ වැඩ හුන් තැන සිට යොදුන් දොළහක් දුර යනතෙක් ගොස් නතරවුණා. එයට
හේතු වශයෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළේ අංකුර කලින් ආත්මයකදී රජ කුලයක
ඉපදී මහ දන් දුන් නමුත්, ඒ සියලු දානයන් දී ඇත්තේ මහත් ආනිසංසදායි කළ
නොහැකි දුගී මගී යාචකාදීන්ට බවයි. දෙව්ලොව උපනත් අල්පේශාක්‍ය ජීවිතයක්
ගත කරන්නට සිදු වී ඇති බව එයින් පැහැදිලියි. ඉන්දික දෙවියාට එසේ තමා
හුන් තැනින් ඉවත් වන්නට සිදුවුණේ නැහැ. ඔහු පෙර ආත්මයෙහි අනුරුද්ධ මහ
රහතන් වහන්සේ දානයක් ලැබෙන්නට සලස්වාලීම දෙව්ලොව ඉපිද මහේශාක්‍ය
තත්ත්වයෙන් සිටින්නට තරම් හේතු වුණා.
ඒ වගේම වේලාම සූත්‍රයෙහි සඳහන් වන පරිදි වේලාම බ්‍රහ්මණයා දුන් ඒ
අසිරිමත් දානයද මහත්ඵල මහානිසංස කිරීමට කිසිවෙක් නොවූ බව සඳහන් වෙන්නේ
මහා සංඝ රත්නයෙහි වන අනුත්තර පුඤ්ඤක්ඛෙත්ත ලෝකස්ස ගුණයෙහි ඇති අගය වඩ
වඩාත් තහවුරු කරමින්.
අනුත්තර වූ මහසඟරුවන සතුවිය යුතු ගුණ දහයක් පිළිබඳව අංගුත්තර නිකායේ
දසක නිපාතයේ ආහුනෙය්‍ය සූත්‍රයෙහි මෙසේ සඳහන් වෙනවා.
සිල්වත්වීම, ශ්‍රැතධර වීම, කල්‍යාණ මිත්‍රයෙක් වී අනුනටද කල්‍යාන
මිත්‍රයෙක්ව කටයුතු කිරීම, සම්මාදිට්ඨියේ යුක්ත වීම,
සෘද්ධිප්‍රාතිහාර්ය දැක්වීමට හැකිවීම, දිව, කන් ඇත්තෙකු වීම, අනුනගේ
සිත් පිරිසිඳ දැකීමේ හැකියාව, පෙර විසු කඳ පිළිවෙල සිහිකිරීමේ හැකියාව,
දිවැසින් ලොව වෙසෙන සත්ත්වයන් කර්මානුරූපීව මැරෙන ඉපදෙන අයුරු දැකීමේ
හැකියාව, ක්ෂීණාශ්‍රවවීම ආදී ගුණයන්ගෙන් යුක්ත වන ආර්ය ශ්‍රාවකයා
ජනතාවගේ පින් බිජ වපුරන්නට සුදුසු කෙතක් වෙනවා.
බුදුරජාණන් වහන්සේ දෙසු දහම බොහෝ සෙයින් ජනතාව අතර ගෙනගියේ ආර්ය මහා
සංඝරත්නය යි. ලොවෙහි මහා සංඝරත්නය නොමැති නම් සසුනද පවතින්නේ නැහැ. ලොව
බුදු සසුන නො පවතින්නේ නම් කිසිම කෙනෙකුට මේ ධර්ම මාර්ගයෙහි ගමන්
කිරීමට අවස්ථාවක් ලැබෙන්නේත් නැහැ. උතුම් මහා සංඝරත්නය තම ශීලාදි
ප්‍රතිපත්තීන් ද රැකගෙන ජනතාවට ම පෙන්වන බැවින් ඔවුහු ද ධර්මානුකුලව
ජීවත්වෙනවා. සිත් සේ තම පින් බිජු වපුරනවා. ලොව වෙසෙන සැමට පින් කිරීමට
අවස්ථාව සැලසී ඇත්තේ උතුම් මහා සංඝ රත්නයෙහි සුවිශේෂ සහාය ඔවුුනට ලැබෙන
බැවිනුයි.
මහා සංඝරත්නය පොදු වූ පිරිසක් වශයෙන් ගෙන දන් දෙන විට පුද්ගලිකව
බුදුරජාණන් වහන්සේට දෙන දානයට ද වඩා උසස් ආනිසංස ලැබෙන බව උන්වහන්සේ
දක්වා ඇත්තේ මහා සංඝ රත්නයෙහි ඇති පූජනීයත්වය වඩ වඩාත් තහවුරු කරමිනි.
දිනක් මහා ප්‍රජාපති ගෝතමි තෙරණිය සිවුරක් සකස් කොට ගෙන බුදුරජාණන්
වහන්සේට පූජා කළා. උන්වහන්සේ එය සංඝයාට පූජා කරන ලෙස වදාළා. එසේ කළ විට
එය තමන්ට කරන පූජාවක් වන බවද වදාළා.
මෙසේ හෙයින් ආර්ය මහා සංඝ රත්නය සැදැහැවතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වෙනවා.
සැරියුත් මුගලන් ආදි මහා ක්ෂීණාශ්‍රව උතුමන් වහන්සේ මිනිසුන්ගේ අනේකවිධ
පුද පූජාවනට යෝග්‍ය වූයේ උන්වහන්සේ සතු ඒ මහරු ගණ කඳ නිසායි. උන්වහන්සේ
ගේ ශ්‍රාවක දරුවන් වූ උතුම් සංඝ රත්නය අද ද පුදනු ලබන්නේ ඒ ගුණ කඳ සිහි
කරගෙනයි.
වත්මන් සමාජයේ වැඩ වසන ස්වාමින් වහන්සේ නමකගෙන් කුඩා වූ වරදක් දුටු විට
බොහෝ දෙනා සමස්ත සංඝ සමුහයා වෙතම දෝෂාරෝපණය කරනවා. එය නිසි ලෙස තෙරුවන්
සරණ නොගිය අය විසින් කරනු ලබන්නක්. කෙසෙල් ඇවරියක ගෙඩියක් නරක් වූ
සැනින් ඇවරියම විසිකළ යුතු වන්නේ නැහැ. තෙරුවන් සරණ ගිය මේ ධර්ම
මාර්ගයෙහි ගමන් කරන්නට උත්සාහ කරන තැනැත්තා සඟරුවන තමන්ට දකින්නට ලැබීම
පවා තමන්ගේ භාග්‍යයක් ලෙස සලකනවා. උන්වහන්සේ තුළින් තමන්ගේ පින් සිත්
දියුණු කර ගන්නවා.
එනිසා ආර්ය මහා සංඝ රත්නය අනුත්තර පින්කෙත වන්නේ සැදැහැවතුනගේ දන්
පිළිගැනීමෙන් ම පමණක් නොවෙයි. සංඝ රත්නය සැදැහවතුන්ගේ ශීල භාවනාදි ගුණ
ධර්මයද දියුණු කරන්නට බෙහෙවින් උපකාර වන නිසායි. එසේ ගුණ ධර්ම දියුණු
කර ගැනීමට පසුබිම වනුයේ මහ සඟරුවන යි. කෙත කෙතරම් සරු වුවත් බිජු
වපුරන්නා ඒ ක්‍රියාව නිසි ලෙස නොකරන්නේ නම් සරුඵල නො ලැබේ.
එබැවින් සැදැහැති බෞද්ධයෝ තමා ධර්මයෙහි පිහිටා සඟරුවන තුළින් පින් ඵල
සරුකර ගන්නට අධිෂ්ඨානයක් ඇතිකර ගතයුතු වෙනවා.
නයනා නිල්මිණි |