UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඔපම්ම වග්ගයෙහි හමුවන බුද්ධකාලීන යතිවරු

ඔපම්ම වග්ගයෙහි හමුවන බුද්ධකාලීන යතිවරු

මජ්ක්‍ධිඣිම නිකාය මූල පණ්ණාසකයේ ඔපම්ම වග්ගය සූත්‍ර දේශනා දහයෙකින් සමන්විතය. උපමානුසාරී ව විවිධ දහම් කරුණු පෙන්වා දී තිබීම එකී සෑම සුත්‍රයක ම දක්නා ලැබේ.

ඒ අතුරින් සූත්‍ර ගණනාවක් ම බුදුරදුන් ධරමාන අවදියෙහි භාරතයෙහි විසූ භික්ෂූන්ගේ විවිධ චර්යාවන් ප්‍රකට කරන්නේ ය. විටෙක හමුවන්නේ අතිශයින් ම සුපේශල ශික්ෂාකාමී ව, එසේ ම මනා ධර්මාවබෝධයකින් යුතු ව දුකින් මිදීමේ අරමුණ කරා ගමන් කරන භික්ෂූන් වහන්සේ ය. තවත් විටෙක හමුවන්නේ බුදුන් වදාළ දහම් මඟට මෙන් ම භික්ෂු චරියාවට ද පටහැනි ව ක්‍රියා කරන භික්ෂූන් වහන්සේ ය. එසේ ම ප්‍රථමාභිසම්බෝධි යුගයට අයත් භික්ෂූන් මෙන් ම පසුකාලයට අයත් භික්ෂුන් ද එම සූත්‍රවල අපට හමුවෙයි.

ඔපම්ම වග්ගයේ ප්‍රථම දේශනාව වන කකචූපම සූත්‍රයෙහි හමුවන මොලිය එග්ගුන තෙරණුවන් පිළිබඳ පුවත සමකාලීන වූ ඇතැම් භික්ෂූන් වෙත පැවැති දුබලකම් හෙළි කරයි. උන්වහන්සේ ත්‍රිවිධ වෙලා ඉක්මවා භික්ෂුණීන් හා මුසු ව විසූහ. ඒ වූ කලී ශික්ෂාකාමී භික්ෂුවකට නොගැළපෙන්නකි. එමගින් සිදුවිය හැකි ඇවැත් බොහෝ ය. ඒ ඇරත් ඉතා පහසුවෙන් කෙලෙස් මරුට හසුවිය හැකි ය. එම විෂම චර්යාව අවශ්‍යයෙන් ම ගිහියන්ගේ දෝෂාරෝපණයට ද හේතු වන්නකි. යම්කිසි භික්ෂුවක් ආයුෂ්මත් මොලිය එග්ගුන තෙරණුවන් ඉදිරියේ භික්ෂුණීන්ගේ නුගුණ කියයි නම්, එයින් ඒ තෙරණුවෝ වහා කිපෙති. නොසතුටු වෙති. නඩු ද පවරති. එම තෙරණුවන් වෙත පැවැති මෙම ශ්‍රමණ සාරූප්‍ය නොවූ පැවැත්ම ශික්ෂාකාමී භික්ෂූන්ගේ නොසතුටට හේතු විය. උන්වහන්සේ බුදුරදුනට සියල්ල දැන්වූහ. මොලිය එග්ගුන තෙරණුවන් කැඳ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් උන්වහන්සේට තදින් ම අවවාද කරන ලදී. “ගිහි ගෙන් නික්ම සැදැහැයෙන් සසුන් වන් ඔබ වේලා ඉක්මවා භික්ෂුණීන් හා මුසු ව විසීම නුසුදුසු ය. ඉදින් කිසිවෙක් ඔබ ඉදිරියෙහි භික්ෂුණීන්ගේ නුගුණ කියයි ද එග්ගුනය, එහි දී ඔබට පඤ්චකාම ගුණ නිශි‍්‍රත වූ යම් තෘෂ්ණා ද්වේශ ඡන්දයෝ වෙත් ද, ගෙහසික විතර්කයෝ වෙත් ද ඒවා දුරුකරව. එග්ගුනය, ඒ නුගුණ කීමෙහි ලා ඔබ විසින් මෙසේ හික්මිය යුතු ය. මාගේ සිත (රාගාදීන්) වෙළුණේ නොවන්නේම ය. මම ළාමක වචන ද නොකියන්නෙම්, හිතානුකම්පා ඇත්තෙම්, මෙත් සිත් ඇත්තෙම්, ද්වේෂ සිත් නැත්තෙම් ව වසන්නෙමි’ යි මෙසේ හික්මිය යුතු ය.” මෙකී විරාගී එමෙන් ම මෛත්‍රී සහගත මානසික හා වාචසික ශික්ෂණය තවදුරටත් වඩාත් අවධාරණය කරමින් විස්තර කරනු වස් කකචූපම සූත්‍රයෙහි කකචූපමාව (කියත් උපමාව) ඇතුළු උපමා රැසක් ඉදිරිපත් කොට ඇත.

ඔපම්ම වග්ගයේ දෙවැනි දේශනාව වන අලගද්දූපම සූත්‍රයෙහි එන ගද්ධබාබිපුබ්බ (ගිජුලිහිණි ඝාතක කුලයෙහි උපන්) අරිට්ඨ නම් භික්ෂුව පිළිබඳ පුවතින් සමකාලීන ව විසූ ධර්මය විකෘති කොට ගත් ශ්‍රාවකයෙකු හමුවෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ අන්තරා-යකර ධර්ම කෙනෙක් (ස්වර්ග මෝක්ෂ දෙකට) අන්තරායකර යැයි යම් සේ වදාරන ලද්දාහු ද ඒ ධර්මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස නොවේ යැයි. මෙසේ මම තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධර්මය දනිමි යනුවෙන් සාවද්‍ය ලෙසින් උඩුකුරු කොට බුද්ධ වචනය වටහා ගැනීම එම භික්ෂුව තුළ පෙනුණි. මෙය පාප දෘෂ්ටියක් (එවරූපං පාපකං දිට්ඨිගතං) ලෙස ද සූත්‍රය හඳුන්වයි. භික්ෂුහු අරිට්ඨ භික්ෂුව විමසූහ. එවන් පාපක දෘෂ්ටියක් දරන්නේ දැයි ප්‍රශ්න කළහ. හෙතෙම තම මතයෙහි ම පිහිටියේ ය.

ඇවැත්නි, එසේ නොකියව. භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ලෙසින් අන්තරායකාර ධර්මයෝ අන්තරායකර යැයි වදාරන ලද ද ඒ ධර්මයෝ සේවනය කරන්නාට අන්තරාය පිණිස ම වේ” යැයි නැවත නැවතත් භික්ෂූන් විසින් පෙන්වා දුන් නමුදු අරිට්ඨ භික්ෂුවගේ එම මතය දුරු කරනු නොහැකි විය. භික්ෂුහු සියලු තතු බුදුරදුන්ට දැන්වූහ. අරිට්ඨ භික්ෂුව කැඳ වූ බුදුරජාණන් වහන්සේ විසින් ඔහුට තදින් ම දොස් නගන ලද්දේ ය. කාමාදි අන්තරායකර ධර්මයන්ගේ අන්තරායකර බවත්, එම ධර්මයන් සේවනය කරන්නාට සිදුවන අවැඩත් අනේකාකාරයෙන් උපමානුසාරීව දක්වන ලදී. එසේ ම ධර්මය වරදවා ග්‍රහණය කිරීම සර්පයන් අල්ලන්නෙකු වරදවා එම සතුන් වල්ගයෙන් අල්ලාගැනීම වැනි යැයි ද, සර්පයන් අල්ලන්නාට එයින් වන විපාක සේ ම ධර්මය වරදවා ගන්නාට ද විපත් පැමිණේ යැයි ද පෙන්වා දෙන ලදී.

මෙසේ ආචාර ශීලයෙන් මෙන්ම ධර්මාවබෝධයෙන් ද නොමග ගිය තවත් බොහෝ භික්ෂුන් පිළිබඳ පුවත් ධර්ම විනයෙහි ද, ඇතැම් අටුවාවන්හි ද දක්නා ලැබේ. ජබ්බග්ගිය භික්ෂූන්, ධර්මධර විනයධර භික්ෂූන් ලාලුදායි භික්ෂුව, කෝකාලික භික්ෂුව වැනි අය මේ අතර වඩාත් ප්‍රකටය. විනය මූලාශ්‍රය අනුව බොහෝ විනය ශික්ෂාවන් පනවන ලද්දේ ඔවුන්ගේ විෂම චර්යාවන් හේතුවෙනි. සාති භික්ෂුව,මාලුංක්‍ය පුත්ත භික්ෂුව වැන්නවුන් ධර්මය හා එහි අරමුණ ද වරදවා ගත්තවුන්ය. මේ හැරුණු විට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාදිය මහත් කොටගත් එය ම පැවිද්දෙහි හරය සේ සිතූ භික්ෂූන් එකල විසූ බව සිතිය හැකිය. මහා සරොපම සූත්‍රය ඔපම්ම වග්ගයෙහි නවවැන්න වන අතර එවන් ශ්‍රමණ සාරූප්‍ය නොවන ආකල්පවල හානිකර බව එම සූත්‍රය උපමානුසාරයෙන් පෙන්වා දෙයි. “මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ඉපදීමෙන්, ජරා මරණයෙන්, ශෝකයෙන් වැළපීමෙන් කායික දුකින් දොම්නසින් උපායාසයෙන් මඩනා ලද්දෙම් වෙමි. දුකට බැස ගත්තෙමි. දුකින් පීඩිත වෙමි. මේ සියලු දුක් රැස කෙළවර කිරීමක් පෙනෙන්නේ නම් යෙහෙකැයි” ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම සසුනට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන් උපදවයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් සතුටු වූයේ පිරිපුන් සංකල්පනා ඇත්තේ වෙයි. (තෘප්තිමත් වෙයි) ඒ හේතුවෙන් මම ලාභී වෙමි. කීර්තිමත් වෙමි. මේ සෙසු භික්ෂූහු අප්‍රකටයෝ ය. අල්ප ශාක්‍යයෝ යැයි තමන් හුවා දක්වයි. අනුන් හෙළා දකියි. හෙතෙම එයින් මත්වෙයි. පමාවෙයි. පමා වූයේ දුක සේ වසයි.” මෙය රුක් අරටු සොයන්නෙකු අරටු යැයි වරදවා සිතාගෙන ගසෙක අතු හා කොළ සිඳ ගෙනයාම, පොත්ත සිඳ ගෙනයාම, සිවිය සිඳ ගෙනයාම බඳුය. එබඳු බාහිර දෑ සියල්ල හැර නිවැරදි ව ගසෙක හරය හරය සේ දකින තැනැත්තකු බඳු භික්ෂුව එහිලා පැවිද්දේ හරය දකින්නෙකු සේ මෙහි දී සලකා ඇත.

බුද්ධකාලීන ව විසූ ශික්ෂාකාමී භික්ෂූන් රැසක් ද, ඔපම්ම වග්ගය තුළින් හඳුනාගත හැකිය. එලෙසින් ම ධර්මය නිසි පරිදි වටහාගත් ඇතැම් භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශංසාවට ද බඳුන් වූහ. ප්‍රථමාභිසම්බෝධි සමයෙහි විසූ එබඳු භික්ෂූන් ගැන කකචූපම සූත්‍රයේ දී බුදුරදුන් විසින් ම සඳහන් කර තිබේ. “මහණෙනි, එක් කලෙක භික්ෂූහු ඒකාන්තයෙන් ම සිත් ගත්හ. මා සිත් ගත්හ. මම භික්ෂූන් ඇමතුවෙමි. මහණෙනි, මම පෙරවරු එක් වේලේ බොජුන් වළඳමි. එයින් නිරෝගී බව ද, නිදුක් බව ද, සැහැල්ලු බවද, ශරීර ශක්තියද, පහසු විහරණය ද (අත්දැකීමෙන්) දනිමි. මහණෙනි, එව තෙපි ද ඒකාසන භෝජනය වළඳව්. එයින් නිරෝගී බවත්, නිදුක් බවත්, සැහැල්ලු බවත්, ශරීර ශක්තියත් අනුදනිව්. එකල භික්ෂූන් කෙරෙහි මා විසින් අනුශාසනා කළයුතු නොවීය. ඒ භික්ෂූන්ට මා විසින් කළ යුතු වූයේ සිහි ඉපදවීම පමණක් ම විය.” ප්‍රථමාභිසම්බෝධි සමය වූ කලී ප්‍රඥප්ති ස්වරූපයෙන් යුක්ත විනය ශික්ෂා නොපැවති අවදියකි. විනය ප්‍රඥප්ති බිහි වූයේ බුද්ධත්වයෙන් මුල් විසි වස ඉක්ම යාමෙන් පසුව යැයි සූත්‍රාන්තය තුළින් මෙන් ම විනයෙන් ද පෙනේ. ධර්මයට ම සත්කාර කරමින් ගරුකාර කරමින් මානන පූජන කරමින් සුවච බවට පත් උන්වහන්සේලා අපිස් පැවතුම් ඇති ව දුකින් මිදීමේ ඒකායන අරමුණින් ක්‍රියා කළ බව ද පැහැදිලි ය.

ඔපම්ම වග්ගයේ සිව්වැනි ව හමුවන රථ විනීත සූත්‍රයේ දී ශ්‍රමණ සාරූප්‍ය වූ මනා පැවැත්මෙන්, චරණයෙන් මෙන් ම, නිරවුල් නිවැරදි හා පැහැදිලි ධර්මාවබෝධය පාදක කොටගත් පිළිවෙතින් ද සරු වූ මන්තානි පුත්ත (මන්තානි බැමිණියගේ පුත්) පුණ්න හිමියන් හමුවිය හැකි ය. ජාතිමාමක භික්ෂූහු ජාති භූමියෙහි වස් වසා වස් නිමවා බුදුරදුන් බැහැ දැක්කෝ ය. බැහැදැක අවවාදයෙන් මෙන් ම ආදර්ශයෙන් ද පිරිපුන් සිය මාර්ගෝපදේශක වූ මන්තානි පුත්ත පුණ්ණ හිමියන් පිළිබඳ ව මෙසේ සැල කළහ. “ස්වාමීනි, මන්තානි බැමිණියගේ පුත්‍ර වූ පූර්ණ නම් ආයුෂ්මත් තෙමේ ජාතිභූමියෙහි ජාතිභූමක සබ්‍රහ්මචාරී භික්ෂූන් විසින් තෙමේත් අල්පේච්ඡ වූයේ, භික්ෂූන්ට අල්පේච්ඡ කථාව කරන සුළු වූයේ ය. තෙමේත් (ලද පමණින්) සතුටු වන්නේ සන්තුට්ඨි කතාව කරන සුළු වූයේ ය. තෙමේ අසංසට්ඨ (හුදකලා) වූයේ අසංසර්ග කතාව කරන සුළු වූයේ ය. තෙමේ පටන් ගත් වීර්යය ඇත්තේ වීර්යාරම්භ කතාව කරන සුළු වූයේ ය. තෙමේ ශීල සම්පන්නව ශීල සම්පදා කතාව කරන සුළු වූයේ ය. තෙමේ සමාධි සම්පන්න වූයේ සමාධි සම්පදා කතාව කරන සුළු වූයේ ය. තෙමේ ප්‍රඥා සම්පන්න වූයේ ප්‍රඥා සම්පදා කතාව කරන සුළු වූයේ ය. තෙමේ විමුක්ති සම්පන්න වූයේ විමුක්ති සම්පදා කතාව කරන සුළු වූයේ ය. සබ්‍රම්සරුන්ට දසකතාවෙන් අවවාද කරන්නේ ය. අවබෝධ කරවන්නේ ය. ඒ පිළිබඳ කරුණු දක්වන්නේ ය. එය පිළිගන්වන්නේ ය. තියුණු කරවන්නේ ය. එහි සතුටු කරවන්නේ ය.”

මත්තානි පුත්ත පුණ්ණ හිමියන් පිළිබද මෙම ගුණ ඝෝෂාව ඇසූ සැරියුත් මාහිමියන් පසුකලෙක උන්වහන්සේ හමුවූ සැටි ද, සප්ත විශුද්ධි අරබයා ප්‍රශ්න නැගූ සැටි ද රථවිනීත සූත්‍රය හෙළි කරයි. තමන් වහන්සේ එකිනෙක අපේක්ෂා කොට සප්ත විශුද්ධීන් පුරන බව ද තම අරමුණ අවසානයේ දී අනුපාදා පරිනිර්වාණයට එළඹීම බව ද පුණ්ණ හිමියෝ වදාළහ. එය පැහැදිලි කරන ලද්දේ රථවිනීත (හික්මවන ලද අසුන් යෙදූ රථය පිළිබඳ) උපමාවෙනි.

පුණ්ණ හිමියන් වෙත පැවති උසස් ආදර්ශවත් ගති පැවතුම් හා පිළිවෙත් ද, උන්වහන්සේගේ ගැඹුරු ධර්මාවබෝධය ද, එය ම පාදක කොටගත් ශීලා දී සප්ත විශුද්ධි පූරණය ද මින් පැහැදිලි වෙයි. පෙළ දහමෙහි නොයෙක් තැන මෙබඳු භික්ෂූන් හමුවෙයි. විටෙක උන්වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ නොමඳ ප්‍රශංසාවට ද ලක්ව ඇත. පස්වග භික්ෂූන්ගෙන් ඇරඹෙන බෞද්ධ භික්ෂූන්ගේ ඉතිහාසය තුළ මෙසේ සසුන් මග හඳුනා නොගත් අනවබෝධයෙන් ක්‍රියා කළ බැවින් ම පිළිවෙතින් පිරිහී ගිය භික්ෂූන් මෙන් ම, සසුන් මග මනා දැන දැක මනා අවබෝධයෙන් බඹසර විසූ ගුණ නුවණින් පිරිපුන් භික්ෂූන් ද දක්නා ලැබේ. ඒ අනුව ඔපම්ම වග්ගය වූ කලී භික්ෂු සමාජය පිළිබඳ සමකාලීන තත්ත්වය තේරුම් ගැන්මට උපකාරී වන්නකැයි කිව හැකිය. මහා සරොපම සූත්‍රයෙහි කී පරිදි භික්ෂු ජීවිතයේ සැබෑ අරුත නොදැක එහි සාරය සේ අසාර-ධර්මයන් ග්‍රහණය කළ භික්ෂූන් මෙන්ම එම දිවියෙහි සැබෑ අරුත දැක සත්‍ය ම සාරය සේ ගත් භික්ෂුහු ද හැම යුගයෙක ම විසූහ. ඔපම්ම වග්ගයේ පස්වැනි දේශනාව වූ නිවාප සූත්‍රය ද මෙහිදී සිහිපත් කළ හැකි ය. පඤ්ච කාම ගුණ සංඛ්‍යාත ලෝකාමිසය අරබයා මහණ බමුණන් සිව් අයුරෙකින් ක්‍රියා කරන බව එම සුත්‍රය සිත්ගන්නා සුළු උපමාවෙකින් දක්වයි.

 

    ඉල් මස පුර පසළොස්වක පෝය

ඉල් මස පුර පසළොස්වක පෝය නොවැම්බර් මස 25 වැනිදා බදාදා පූර්වභාග 07.09 ට ලබයි. 26 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 04.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 25 වැනි දා බදාදා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා  
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25

Second Quarterඅව අටවක

දෙසැම්බර් 03

Full Moonඅමාවක

දෙසැම්බර් 10

First Quarterපුර අටවක

දෙසැම්බර් 18


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]