බුදුරජාණන් වහන්සේ කුසිනාරා පුරයට වැඩම කිරීම
- නාරංවත්තේ
ධම්මසිරි හිමි භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ කුසිනාරාවට වැඩම කළ ගමනේදී පාවා නුවර
දක්වා වැඩම කළ අයුරු ඉල් පුර අටවක පෝදා (නොවැම්බර් 19) පත්‍රයේ සඳහන්
කළෙමි. අද එතැන් සිට ගමනාරම්භය
පුක්කුස නම් මල්ල රාජ පුත්‍රයා පැහැදීම
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂු පිරිස සමඟ කුසිනාරා පුරයට වැඩම කළ
සේක. බුදුරජාණන් වහන්සේ ආනන්ද, මට ක්ලාන්ත යැයි දන්වා මහරුකක් මුල
හිඳගත් සේක. එසේ හිඳ පිපාසා ඇති බව වදාරා ආනන්ද තෙරුන් ලවා පැන් ගෙන්වා
වැළඳූ සේක. ඒ කල්හි ආළාර කාළාම තවුසාගේ ශ්‍රාවකයෙකු වූ “පුක්කුස” නම්
මල්ල රාජ පුත්‍රයෙක් කුසිනාරාවේ සිට පාවා නුවරට යන්නේය. රුක මුල වැඩ
සිටින බුදුරජාණන් වහන්සේ දැක වැඳ පසෙක හිඳ ගත්තේය. එසේ හුන් ඔහුට
භාග්‍යවතුන් වහන්සේ බණ වදාරා ඔහු සරණ ශීලයෙහි පිහිටුවා ඔහු පිදු රන්වන්
මට සිලුටු වස්ත්‍ර දෙකින් එකක් තමන් වහන්සේ පිළිගෙන අනෙක ආනන්ද තෙරුනට
පිළිගන්නවා ඔහුට බණ වදාළ සේක.
ඔහු ගිය පසු ආනන්ද තෙරණුවෝ තමා ලත් වස්ත්‍රයත් භාග්‍යවතුන් වහන්සේට
එළැවූහ. බුදුරජාණන් වහන්සේ එකක් හැඳ, අනෙක පෙරැවූ සේක. ඒ කලැ
උන්වහන්සේගේ ශරීරය එදා වැළඳූ විශිෂ්ට ආහාර හේතුවෙනුත් පෙර බුදුවරයන්
වැඩි අමා මහ නිවන්පුරට අද ප්‍රවිෂ්ඨ වන්නෙම් යැයි හටගත් බලවත්
සොම්නසිනුත් බුදුවූ දිනයෙහි මෙන් ම ගිනි දැල් නැතිව දිලිසෙන ගිනි අඟුරු
රැසක් මෙන් අතිශයයෙන් දීප්තිමත්ව බැබැළුණේය.
කුකුත්ථා නදිය කරා වැඩමවීම
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත්වූ භික්ෂු පිරිස හා කුකුත්ථා නම් නදිය
වෙත වැඩි සේක. වැඩ නදියට බැස ජලස්නානය කොට පැන් වළඳා ඉන් නැගී, නදී
තීරයෙහි වූ අඹ වනයට එළැඹි සේක. ඒ වෙලාවෙහි ආනන්ද තෙරණුවන් භාග්‍යවතුන්
වහන්සේගේ ජලශාටිකාව (නානකඩ) මිරිකමින් ගඟෙහි පරක්කු වූ බැවින් සමීපයෙහි
සිටි චුන්දක ස්ථවිරයන් අමතා සඟල සිවුර සතර පටක් කොට පණවා සිංහ
ශෙය්‍යාවෙන් සැතැපුණු සේක.
ඉක්බිති එහි වැඩි ආනන්ද තෙරුන් අමතා බුදු වනදාට පෙර දා සුජාතාව දුන්
භෝජනය ද ඒ පිරිනිවන් පානා දිනට පෙරදා චුන්ද කර්මාර පුත්‍රයා දුන්
භෝජනයද සමඵල බව වදාළ සේක.
බුදුරජාණන් වහන්සේ රෝගාතුර වී පැන් වැළඳූ ස්ථානය
බුදුරජාණන් වහන්සේ පැන් වැළඳූ ස්ථානය මාතා කුහර විහාරය නමින් හඳුන්වනු
ලබයි. මෙහි දැනට බුරුම බෞද්ධයන් විසින් මීටර් 3.05 ක් පමණ උසැති බුද්ධ
ප්‍රතිමා වහන්සේ නිල්පැහැති ගලකින් නෙලා ඇති බව දැක්වේ. මෙය භූමිස්පර්ශ
මුද්‍රාවෙන් යුක්තය. මෙම මූර්තියේ පාදකයේ එක ශිලා ලේඛනයක් ඇත.
බුදුරදුන් පිරිනිවන් පෑමට පෙර රෝගාතුරව වැඩ සිටි අයුරු එම ප්‍රතිමාවෙන්
පිළිඹුවන බව ඇතැම් අයගේ මතයයි.
කුසිනාරා පුර වැඩීම
ඉක්බිති බුදුරජාණන් වහන්සේ ඉන් පිටත්ව “හිරණ්‍යවතී” ගඟින් එතෙර වී
කුසිනාරා පුරයට වැඩි සේක. එහි වූ මල්ල රජුන් ගේ උපවර්තන නම් සල් උයනට
වැඩම වූ සේක. එසේ වැඩමවා එහි රජුන්ගේ සැතැපීමට සාදා තිබුණ ඇඳ යමක ශාල
වෘක්ෂයන් අතුරෙහි තබා පිළියෙල කරන්නට ආනන්ද තෙරුනට නියම කළ සේක.ආනන්ද
තෙරණුවෝ ද එසේම ශයනය පැණැවූහ. භාග්‍යවතුන් වහන්සේ එහි සිංහශෙය්‍යායෙන්
සැතැපුණු සේක.
පිරිනිවන් මංචකයෙහි වැඩ සිටින විට දිව්‍ය බ්‍රහ්ම සේනාවෝ අහසේ සිට සුවඳ
සුණු මල් ආදිය වගුරුවා ලීමෙන්ද දිව්‍ය ගීත වාදිත පැවැත්වීමෙන් ද පුද
පෙළහර කළහ. එය දුටු භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් අමතා “ආමිස
පූජා මාත්‍රයෙකින් පිදීම තථාගතයන් වහන්සේට කරන නිසි ගරු බුහුමන් නොවන
බවත් යම් භික්ෂුවක් හෝ මෙහෙණියක හෝ උපාසකයකු හෝ උපාසිකාවක නවලෝකෝත්තර
ධර්මයට අනුධර්ම වූ පූර්වභාග ප්‍රතිපත්තියට පිළිපන්නකුව වසතොත් ඒ
පුද්ගලයා නිසි උතුම් පූජායෙන් තථාගතයන් පුදන්නකු බවත් වදාරා අවවාද කළ
සේක.
ඒ වේලෙහි ආයුෂ්මත් උපවාන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පවන්
සලමින් සිටියාහ. මහානුභාව සම්පන්න රහතන් වහන්සේ නමක් වූ උන්වහන්සේගේ
ශරීරය විනිවිද දැකීමට දෙවියෝ පවා අසමර්ථයහ. ඒ බැවින් එහි භාග්‍යවතුන්
වහන්සේ තමන් දැකීමට රැස්වන දේවතාවන් ගේ සිත් රිදෙනුවට අවකාස නොතබන සේක්
එතැනින් ඉවත්වන්නැයි ඒ තෙරුනට වදාළ සේක. දෙවියනට ඉඩ දී තෙරණුවෝ ඉන්
ඉවත් වූහ. අනාගාමී ද රහත් ද දේවතාවන් හැර සෙසු දෙවියෝ නොයෙක් අයුරින්
හඬමින් වැළැපෙමින් බිම ඇද වැටෙමින් පෙරැළෙමින් භාග්‍යවතුන් වහන්සේ
පිරිවරා සිටියහ. ඉක්බිති ආනන්ද තෙරුන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙන
භාග්‍යවතුන් වහන්සේ ජීවත්ව සිට අප ඔබවහන්සේ දැක වන්දනා කරගතිමි. නමුත්
ඔබවහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසුව කුමක් උදෙසා වන්දනා මාන කරන්නද? ඇසූ
විට බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරන ලදී.
ශ්‍රද්ධාවත් කුල පුත්‍රයා විසින් දැකිය යුතු වූ දෑ දැකීමෙන් සංවේගවීමට
හේතුවූ ස්ථාන සතර බුදුරදුන් උපන් භූමිය, බුදුවු ස්ථානය, දම්සක්
පැවැත්වූ තැන, පිරිනිවන් පෑ තැන යයි ස්ථාන හතරක් ගැන බුදුරදුන්
පිරිනිවන් පෑමට පෙර අපට කියා දුන්හ.
මේ එදා අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට මොහොතකට
පෙර තම ශ්‍රී මුඛයෙන් ආනන්ද හිමියන් මගින් සැදැහැවතුන්ට පහදා දුන් ධර්ම
සංවේගය උපදවා සියැසින් දැක බලාගත යුතු ස්ථාන හතරයි. දැන් එම ස්ථාන සතර
මහත් ශ්‍රද්ධා සිතින් වන්දනා මාන කරගන්න.
බුදුරජාණන් වහන්සේපිරිනිවන් මංචකයෙහි සැතපීම
ඉල් අව අටවක පොහෝදා
දෙසැම්බර් 3 වනදා පත්‍රයේ
|