UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අරියවංස සූත්‍ර දේශනාව

අරියවංස සූත්‍ර දේශනාව

මහණෙනි, ආර්ය වංසයට අයත් ධර්ම කරුණු හතරක් ඇත. ඒවා උසස් ගුණධර්මයෝය. දීර්ඝ කාලයක් පවත්වා ගෙන ආ ආර්යයන්ගේ පැරැණි ධර්මයෝය. අතීතයේ බුදුරජාණන් වහන්සේලා විසින් බැහැර නොකරන ලද්දෝය. දැනුදු ඉවත් නොකෙරේ. අනාගතයේ බුදුරජාණන් වහන්සේලා විසින් ද මේ ධර්ම කරුණු හතර ඉවත් නොකෙරේ. භික්ෂූන්, බමුණන්, නුවණැති අය විසින් මෙම ගුණ ධර්මවලට නින්දා නොකෙරෙත්.

මහණෙනි,මේ සසුනට ඇතුළත් වූ භික්ෂුවක් තමාට ලැබුණ සිවුරකින් සතුටට පත්වෙයි. ලැබුණ සිවුරෙහි ගුණ කියයි. සිවුුරු සෙවීමට අමුතු වෙහෙසකට නොපැමිණේ. සිවුරු නොලැබුණත් තැතිගැන්මට නොපත්වෙයි. සිවුරු ලැබුණත් ඒවාට ලෝභ නොකරයි. සිවුරුවලට ලෝභ, නොකර, එහි ආදීනව දැක බුද්ධිමත්ව සිවුරු පාවිච්චි කරයි. හොඳ සිවුරු ලැබුණත් ඒවායින් තමා කැපී පෙනෙන්න උත්සාහ නොකරයි. එසේම දුර්වල සිවුරු දරන අය, පහත්කොට නොසලකයි. මෙසේ සිවුරු භාවිතයෙන් සතුටට පත්වන ඔහු දක්ෂ වුයේ සැලකිල්ලෙන්, නුවණින් හා සිහියෙන් යුක්ත වෙයි. මහණෙනි, ඒ භික්ෂුව, පැරැණි උසස් වූ ආර්ය ධර්මයෙහි පිහිටියා වූ කෙනෙක් වන්නේය.

මහණෙනි, මේ සසුනට ඇතුළත් වූ භික්ෂුවක් තමාට ලැබුණු පිණ්ඩපාතයෙන් සතුටට පත්වෙයි. ලැබුණ පිණ්ඩපාතයෙහි ගුණ කියයි. පිණ්ඩපාතය සෙවීමට යයි අමුතු වෙහෙසකට නොපැමිණේ. පිණ්ඩපාතය නොලැබුණත් තැතිගැන්මට නොපත්වෙයි. පිණ්ඩපාතය ලැබුණත් ඒවාට ලෝභ නොකරයි. රසවත් පිණ්ඩපාතයට ලෝභ නොකර, එහි ආදීනව දැක බුද්ධිමත් ව පිණ්ඩපාතය පාවිච්චි කරයි. රසවත් පිණ්ඩපාතය ලැබුණත් එයින් තමා කැපී පෙනෙන්න උත්සාහ නොකරයි. එසේම නීරස පිණ්ඩපාතය ලැබෙන අය පහත්කොට නොසලකයි.මෙසේ පිණ්ඩපාතය භාවිතයෙන් සතුටට පත්වන ඔහු දක්ෂ වූයේ සැලකිල්ලෙන්, නුවණින් හා සිහියෙන් යුක්ත වෙයි. මහණෙනි, ඒ භික්ෂුව, පැරැණි උසස් වූ ආර්ය ධර්මයෙහි පිහිටියා වූ කෙනෙක් වන්නේය.

මහණෙනි, මේ සසුනට ඇතුළත් වූ භික්ෂුවක් තමාට ලැබුණ සේනාසනයෙන් සතුටට පත්වෙයි. ලැබුණ සේනාසනයෙහි ගුණ කියයි. සේනාසන සෙවීමට අමුතු වෙහෙසකට නොපැමිණේ. සේනාසන නොලැබුණත් තැතිගැන්මට නොපත්වෙයි. සේනාසන ලැබුණත් ඒවාට ලෝභ නොකරයි. ඒවාට ලෝභ නොකර එහි ආදීනව දැක බුද්ධිමත්ව සේනාසන පාවිච්චි කරයි. පහසු සේනාසන ලැබුණත් ඒවායින්, තමා කැපී පෙනෙන්න උත්සාහ නොකරයි. එසේම දුර්වල සේනාසනවල සිටින අය ,පහත්කොට නොසලකයි. මෙසේ සේනාසන භාවිතයෙන් සතුටට පත්වන ඔහු, දක්ෂ වූයේ සැලකිල්ලෙන්, නුවණින් හා සිහියෙන් යුක්ත වෙයි. මහණෙනි, ඒ භික්ෂූව , පැරැණි, උසස් වූ ආර්ය ධර්මයෙහි පිහිටියා වූ කෙනෙක් වන්නේය.

මහණෙනි, මේ සසුනට ඇතුළත් වූ භික්ෂුවක් භාවනාවට කැමැතිව එහි ඇලී සිටියේ වෙයි. කෙලෙස් දුරුකිරීමට කැමැතිව කෙලෙස් දුරු කරමින් සිටියේ වෙයි. කෙලෙස් දුරුකිරීමට ඇති කැමැත්ත නිසා හෝ කෙලෙස් දුරුවීම නිසා හෝ තමා හුවා දක්වන්නෙක් නොවේ. අනික් අය පහත්කොට නොදක්වයි. මෙසේ භාවනාවට ඇලී එහි යෙදීමෙහි දක්ෂ වූයේ සැලකිල්ලෙන්, නුවණින් හා සිහියෙන් යුක්ත වෙයි. මහණෙනි, ඒ භික්ෂුව, පැරැණි, උසස් වූ ආර්ය ධර්මයෙහි පිහිටියා වූ කෙනෙක් වන්නේය.

මහණෙනි ,මේ ආර්ය ධර්ම හතර, උසස් යයිද දීර්ඝ කාලයක් පැවතුණේ යැයිද ආර්ය වංසයට අයත් යයි ද පැරැණි ධර්ම යයිද අසංකීර්ණ යයිද දැනගත යුතුය. අතීත බුදුරජාණන් වහන්සේලා විසින් ද මෙකල බුදුරජාණන් වහන්සේ විසින්ද අනාගතයේ බුදුරජාණන් වහන්සේලා විසින්ද මේ ධර්ම බැහැර නොකෙරෙති. එසේම ශ්‍රමණයන්, බ්‍රාහ්මණයන් නුවණැති අය විසින් මෙම ධර්මවලට නින්දා නොකෙරේ.

ආර්ය වංශයට අයත් මේ ධර්ම හතර ආරක්ෂා කරන්නා වූ භික්ෂුවක් නැගෙනහිර පැත්තේ සිටින්නේ නම් ඒ භික්ෂූව විසින් අතෘප්තිය (අසීමිත වූ ආසාව) යටපත් කරගෙන සිටින්නේය. අතෘප්තියට, ඔහු යටපත් කළ නොහැකිය. එවැනි භික්ෂුවක් බටහිර , උතුර, දකුණ යන කොතැන සිටියත්,ආසාවන්ගෙන් ඔහු යටපත් කළ නොහැකිය. ඔහු ආසාවන් යටපත් කරගෙන සිටින්නේය.

අතෘප්තියට , වීරයෙක් මැඩ පැවැත්විය නොහැකිය. වීරයා විසින් අරතිය (අතෘප්තිය ) මැඩ පවත්නේය.

සියලුම කෙලෙස් දුරු කළ රහතන් වහන්සේලා , රාගාදී වූ කෙලෙසුන්ට මැඩලිය නොහැකිය. දඹ රන් කාසියක් වැනි වූ උන්වහන්සේලාට ගැරහීමට මෙලොව කිසිවකුට නොහැකිය. එතුමන්ට දෙවියෝත් බ්‍රහ්මයෝත් ප්‍රසංසා කරති. අරියවංස දේශනාවේ ඇතුළත් ප්‍රධාන කරණු හතරකි.

1. භික්ෂුවකට වටිනා වූ හෝ නොවටිනා සිවුරක් ලැබුණොත් එයින් සතුටට පත්විය යුතුය. එසේ ලද දෙයින් සතුටට පත්වීම පැසසිය යුතු වූ ගුණධර්මයකි. භික්ෂුවක් විසින් සිවුරු ලබාගැනීමට කවර හෝ නොසරුප් ක්‍රියාවක් නොකළ යුතුය. වැරැදි ලෙසින් සිවුර ලබාගැනීම මිච්ඡා ආජීවයට අයත් වෙයි. වටිනා සිවුරු ලැබුණත් උඩඟු නොවිය යුතුය. අනුන් පහත් කොට නොසැලකිය යුතුය.

2. එසේම කවර ආකාරයේ පිණ්ඩපාතයෙන්ද

3. කවර ආකාරයේ සේනාසනයකින්ද භික්ෂුවක් සතුටු විය යුතුය.

4. භික්ෂුවක් භාවනාවෙහි යෙදිය යුතුය. තණ්හාව දුරුකිරීමට උත්සාහවත් විය යුතුය.අත්තුක්කන්සනයත් පරවම්භනයත්,නොකළ යුතුය.

පඤ්චකාම සම්පත්තීන්ගේ ආදීනව නිසා සත්වයන්ට ඇතිවන්නා වු දුක් දැක එයින් මිදීමේ අපේක්ෂාවෙන් ගෘහජීවිතය අත්හැර පැවිදි වෙන්නා වූ භික්ෂුවක් සිවුපසයට ගිජු නොවී අල්පේච්ඡ ජීවිතයක් ගත කළ යුතුය. කුරුල්ලෙක් පියාපත් බර පමණක් ඇතිව තැනින් තැනට පියාඹා යන්නාක් මෙන් භික්ෂුවක් සිවුපසයට ගිජු නොවී නිරාමිසයට හුරුවිය යුතුය. ශරීරය වසා ගැනීමට ප්‍රමාණවත් වන්නා වු සිවුරක්ද (කායපරිහාරිතේන චීවරේන) කුස පිරීමට තරම් ප්‍රමාණවත් වන්නා වූ ආහාරද (කුච්ඡිපරිහාරිතේන ආහාරේන) භික්ෂුවකට ලැබෙන්නේ නම් සතුටින් මහණදම් පිරීමට ප්‍රමාණවත් නිසා එම කාය, චිත්ත, උපධි විවේකය ලබාගැනීමට හේතුවෙයි.

චීවර , පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිවුපසය පරිහරණය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂාවේ පැහැදිලි කර ඇත. එයින් ඉදිරිපත් කෙරෙන අප්පිච්ඡතා, සන්තුට්ඨිතා , සුභරතා ආදි ගුණධර්ම ගිහිපැවිදි සියලුම මිනිසුන්ට ප්‍රයෝජනවත් , සරල දිවිපැවැත්මකට පුරුදු කෙරෙන උපදෙස් මාලාවකි.

චීවර මෙන්ම ඇඳුම් පාවිච්චි කිරීමෙන් අපට ලැබිය හැකි ප්‍රයෝජන මෙසේ දැක්වේ.

අ. සීතල සහ උෂ්ණය වළක්වා ගැනීමට (සීතස්ස පටිඝාතාය උණ්හස්ස පටිඝාතාය)

ආ. මැසි මදුරු හා අව්වැසි සුළං ආදියෙන් ආරක්ෂා වීමට (ඩංසමකස වාතාතප සිරිංසප සංඵස්සානං පටිඝාතාය )

ඇ. විළිවසා ගැනීමට (හිරිකෝපීන පටිච්ඡාදනත්ථං) ආහාරගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන

අ. ශරීරයේ ජවය, මදය ඇති කරගැනීමටවත් , සැරසීමටවත් අලංකාර කර ගැනීමටවත් නොවේ. (නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය)

ආ. ශරීරය යහපත්ව පවත්වා ගැනීමට හා පෝෂණයට (ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය)

ඇ. කුසගින්න නැතිකර ගැනීමට (විහිංසූපරතියාය)

ඈ. උසස් දිවිපැවැත්මකට උපකාරයක් වශයෙන් (බ්‍රහ්මචරියා අනුග්ගහයා)

ඉ.ආහාර නැතිකම නිසා ශරීරයට ඇතිවිය හැකි වේදනා ඇති නොවීමට (පුරාණඤ්ච වේදනං න උප්පාදෙස්සාමි)

ඊ. වැඩිපුර ආහාර ගැනීමෙන් අළුත්වේදනා ඇති නොකර ගැනීම (නවඤ්ච වේදනං න උප්පාදෙස්සාමි)

උ. නිවැරදිවත් පහසුවෙනුත් ජීවත්වීම සඳහා ( අනවජ්ජතා ච ඵාසුවිහාරෝච )

සෙනසුන් ( නිවාස) ඇඳ, පුටු. ආදි උපකරණ පාවිච්චි කිරීමෙන් ඇති ප්‍රයෝජන

අ. සීතල සහ උෂ්ණය වළක්වා ගැනීමට

(සීතස්ස පටිඝාතාය, උණ්හස්ස පටිඝාතාය)

ආ. මැසි , මදුරු, හා අව්වැසි සුළං ආදියෙන් ආරක්ෂා වීමට (ඩංසමකස වාතාතප සිරිංසප සංඵස්සානං පටිඝාතාය)

මෙම ලිපියෙහි ඉතිරි කොටස නොවැම්බර් 03 වනදා වප් අව අටවක පෝදා පත්‍රයේ පළවේ

 

    වප් පුර පසළොස්වක පෝය ‍

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 26 වැනිදා සඳුදා අපරභාග 9.10 ට ලබයි. 27 වැනිදා අඟහරුවාදා අපරභාග 5.35 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 27 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 03 වැනිදා අඟහරුවාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27

Second Quarterඅව අටවක

නොවැම්බර් 03

Full Moonඅමාවක

නොවැම්බර් 11

First Quarterපුර අටවක

නොවැම්බර් 19


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]