වප්පුර පසළොස්වක 2015.10.27
කඨින පින්කම
වස්සාන සෘතුවේ උදාවන චීවර මාසය සුවිශේෂී පුණ්‍ය කාලයකි.
ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ සිට පැවැති වස්
විසීමේ චාරිත්‍රය ගිහි පැවිදි දෙපාර්ශ්වයට ම මහත් පුණ්‍ය
නිධානයක් හිමි කර දෙන්නකි. උපසම්පදා ස්වාමීන්ද්‍රයන් වහන්සේ
ඇසළ පුර පසළොස්වක පොහොයදා පොහොය විනය කර්මය සිදු කර අව
පෑළවියදා වස් විසීම පෞරාණික වූ චාරිත්‍රයකි. වස් විසීමේ අවස්ථා
දෙකකි. එනම් පෙර වස සහ පසුවස යනුවෙන් ශාසනික ව්‍යවහාරයේ එය
පවතී. එසේ පෙරවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේ එය ආරක්ෂා
කිරීමෙන් චීවර මාසයේ දී ‘කඨිනය’ නමැති වටින පින්කම සිදු කර
ගැනීමේ මහඟු අවස්ථාව උදාවේ.
ලක්වැසි බෞද්ධ ජනතාව පමණක් නොව ථේරවාදී භික්ෂූන් වහන්සේ වැඩ
සිටින ලොව සෑම විහාරස්ථානයකම පාහේ බෞද්ධ ජනතාව වෙසෙසින්ම
අපේක්ෂා කරනුයේ කඨින චීවර පූජාව සිදු කිරීමටය. ගිහි පැවිදි
සබඳතාවය වඩාත් වර්ධනය වන කාලයකි වස්සාන සමය. එම වස්සාන සමයේ දී
උපසම්පදා ස්වාමීන් වහන්සේට දැහැත් ගොටු පිළිගන්වා වස් ආරාධනය
සිදු කරනු ලැබේ. එසේ දායක පිරිසෙහි ඇරැයුම පිළිගෙන වස් වසා එම
ස්වාමීන් වහන්සේ වස්සඡේදනයෙන් වැළකී කඨින චීවර පූජාව පැවැත්වීම
සඳහා දායක පක්ෂය වෙත කාරුණිකව අනුග්‍රහය දක්වනු ලැබේ.
උපසම්පදා ස්වාමීන් වහන්සේ පෙරවස් එළඹි විහාරාරාමයක හෝ ස්ථානයක
වසරකට එක්වරක් පමණක් එක් ස්ථානයකදී සිදු කළ හැකි එකම පින්කම
වනුයේ මෙම උදාර කඨින පින්කමම පමණි. චීවර ඇතුළු විවිධ පරිස්කාර
වසරේ ඕනෑම දිනයක කවර ප්‍රමාණයක් වුවද පුජා කළ හැකි වුවද
මොනතරම් ධන සම්පත් තිබුණද එහෙත් කඨින පින්කමක් මෙසේ කළ හැකි
වන්නේ වසරකට එක්වරක් පමණි. ගිහි පැවිදි දෙපාර්ශ්වයම ඉමහත්
කැපවීමෙන් මහත් ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් සිදු කරනු ලබන කඨින
පින්කම සිදුකිරීමට ඇප කැප වී පෙරුම් පුරා සිදු කරන අටමහ කුසල්
අතර දැක්වෙන පළමු පින්කමද වේ.
චෛත්‍යයක් ඉදිකරවීමට ශිලා ප්‍රතිෂ්ඨාපනය කර එය ගොඩනැංවීමට මහත්
කාලයක් වැය කළ යුතු ය. පේසා වළලු ඉදිකරවා ධාතු ගර්භය තනා දේවතා
කොටුවද තනා කොත් කැරැල්ල ආදී චෛත්‍යයක අදාළ අංග ඉදිකළ පමණින්
එම චෛත්‍යය අංග සම්පූර්ණ නොවේ. එම චෛත්‍ය අංග සම්පූර්ණ වීම
සඳහා කොත් කැරැල්ල මත්තෙහි කොත් වහන්සේ පැළැඳවිය යුතු ය.
තෙමසක් පුරා බොහෝ ඇප කැපවීමෙන් වස්සාන සමයෙහි මහත් පින්කම්
සමුදායක නිරතව චෛත්‍යයක කොත් වහන්සේ පළඳවන්නාක් මෙන් චීවර
මාසයේ දී කඨින පින්කම සිදු කිරීම ගිහි පැවිදි බොහෝ දෙනාගේ
බලවත් උනන්දුව වේ.
වස්සාන සමය බෞද්ධ සංස්කෘතියද ආරක්ෂා කැරෙන සුවිශේෂ වූ කාලයකි.
ගමයි පන්සලයි අතර පවතිනුයේ අවියෝජනීය වූ සබඳතාවයකි. එම සබඳතාවය
මනා ලෙස ආරක්ෂා කරමින් පෝෂණය කිරීමද මෙකල වගකීමය. හෙළ රජ
දරුවන් විසින් සිදුකළ කඨින පින්කම් පිළිබඳ ශාසන වංශ කථාවන්හි
දැක්වේ. එබඳු උදාර පින්කම් අතීතයේ පවත්වා ආරක්ෂා කිරීමෙන් මෙකල
බොදු ජනතාවද එය මනා ලෙස පවත්වනු ලැබේ. බෞද්ධයා සතු උදාර
වගකීමක් ඉටු කරන චීවර මාසය පුරා කඨින පින්කම් පැවැත්වේ.
කඨිනයෙහි වටිනාකම දන්නා බෞද්ධ ජනතාව ඊට ශක්ති පමණින් දායකත්වය
ලබා දෙමින් අනුග්‍රහය දක්වනු ලැබේ. කඨින චීවරය ලෙස පූජා කිරීමට
අපේක්ෂා කරන චීවරය එක් නිවසක තැන්පත් කර තබා නියමිත දින අලුයම
විහාරස්ථානය වෙත වැඩම කරවනු ලැබේ. ඇතැම් විට බොහෝ විහාරස්ථානවල
ඒ සඳහාම අලංකාර පෙරහරද පවත්වනු ලැබේ. වසරකට වරක් ඇතැම්
විහාරස්ථානයක පවත්වන එකම පෙරහරද කඨින චීවර පෙරහරය. එබදු පෙරහර
සහිතව මහත් ගෞරවයෙන් පවත්වන කඨින චීවර පූජාව බෞද්ධ සංස්කෘතිය
ආරක්ෂා කිරීමටද මහඟු මෙහෙවරක් සපයනු ලැබේ.
කඨින චීවර පූජාවෙන් මෙලොව දී ලැබෙන ආනිශංස කෙබඳුදැයි මොහොතක්
කල්පනා කර බැලිය යුතුව ඇත. ගමක ලොකු කුඩා සියලු දෙනා සමගි
දාමයෙන් විහාරස්ථානයට ඒකරාශීවීම පවා අගය කළ යුතු වේ. ශක්ති
පමණින් ගම්වැසියන් ඊට දායකවීමෙන් ඔවුනතර සමගිය සහජීවනය වර්ධනය
වීමත් පැසසිය යුතු ය. ගමේ කේන්ද්‍රස්ථානය වන විහාරස්ථානයට
ඒකරාශීවීමෙන් ගම්වැසියන් තුළ විහාරස්ථානය කෙරෙහි මහත් ගෞරවයත්,
ශ්‍රද්ධාවත් ජනිත කරවනු ලැබේ.
මේ අනුව බලන විට කඨින පින්කම හේතුවෙන් බෞද්ධ සංස්කෘතියේ
ආරක්ෂාවට, වර්ධනයට ඉටුවන මෙහෙවර ද අපමණය. ඉඳ හිට හෝ සමාජයේ
ඇතිවන ගැටලු නිරාකරණයට, ආධ්‍යාත්මික සුවයට පින්කම් යොදා ගැනීම
සියලු දෙනාගේ යහපතට අභිවෘද්ධියට හේතුවනු නොඅනුමානය. |