UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සැදැහැ සිත් පිබිදෙන පින්බර චීවර මාසය

සැදැහැ සිත් පිබිදෙන පින්බර චීවර මාසය

බුදුරජුන් විසින් උපසපන් භික්ෂූන් වහන්සේ උදෙසා විශේෂිත විනය ප්‍රඥප්තියක් මඟින් පනවා වදාළ වස්සාවාස සමය ඇසළ අව පෑළවියෙන් ආරම්භව වප් පුර පසළොස්වක පෝ දිනෙන් අවසන් වෙයි. එදින සිට ඉල්පුන් පෝ දින දක්වා එළඹෙන්නේ චීවර මාසයයි. උපසපන් භික්ෂූන් වහන්සේ හා සම්බන්ධයෙන් සෑම වසරකම මෙම වස්සාවාස පිළිවෙත හා සම්බන්ධ මෙම සාර මස අතිශය වැදගත් කාල පරිච්ඡේදයක් වෙයි. එයට හේතුව බුදුරදුන් විසින් මෙම සාර මස හා සම්බන්ධයෙන් මහාවග්ග පාලි නම් වන විනය ග්‍රන්ථයෙහි විශේෂයෙන් ඛන්ධක නමින් හැඳින්වෙන පරිච්ඡේදයන්හි සඳහන් වන වස්සූපනායික ඛන්ධක හා කඨිනක්ඛන්දකය යන පරිච්ඡේද හෙවත් කොටස් දෙකක් මඟින් පැහැදිලිකොට පෙන්වා දී ඇත.

උපසපන් භික්ෂූන් වහන්සේ හා සම්බන්ධයෙන් මෙම වස්සාවාසය පෙරවස් හා පසුවස් යනුවෙන් කොටස් දෙකක් ලෙස විනයෙහි දක්වා ඇත. එයින් චීවර මාසය වලංගු වන්නේ හා එම මාසය තුළ කඨින චීවර නමින් හැඳින්වෙන බුදුදහමෙහි අටමහා කුසල් අතර ගැනෙණ කඨින චීවර නම් වූ චීවර මහා පූජාව සිදුකළ හැකිවන්නේ සහ එවන් කඨින චීවරයක් පිළිගත හැක්කේ එම පෙරවස් සමාදන් වූ හා එම වස විනයානුගත ක්‍රම හා විධි අනුව සත්තාහ කරණී, සති කරණී ආදි පිළිවෙත් හා අනුගත වෙමින් තමන්වහන්සේ සමාදන් වූ එම වස අඛණ්ඩව ආරක්ෂා කරගනු ලැබූ උපසපන් භික්ෂු වහන්සේනමක් වස් එළඹ සිටි විහාරස්ථානයක දායක දායිකාවන්ට සහ එවන් භික්ෂූ නමකට පමණි. පසුවස් විසීම හා සම්බන්ධයෙන් එම කාර්යය සිදු කළ නොහැකි අතර එසේ විසූ භික්ෂූවටද කඨින චීවරය හා සම්බන්ධ විය නොහැකි වීමද විශේෂයකි.

මෙම කරුණු සියල්ල සලකා බැලීමේදි මෙම කඨින චීවර පූජාව හා සම්බන්ධ දුර්ලභ වූ පුණ්‍යකර්මය විශේෂත්වයන් හා විශිෂ්ටත්වයෙන් සැලකිය යුත්තේ කවර හේතු සාධක නිසාද යන්න පැහැදිලි වේ.

මෙම චීවර මාසය තුළ සිදු කරනු ලබන එම කඨින චීවර පූජාව බුදු සසුනෙහි හා බුදුදහමෙහි විශේෂිත මාහැඟි පින්කමක් වීමෙහිලා හේතු සාධක වන තවත් කරුණු කිහිපයක්ද වේ. එනම්, එතරම් විශේෂත්වයෙන් හා විශිෂ්ටත්වයෙන් ලොව්තුරා බුදුවරයන් වහන්සේලා විසින් පවා අගයනු ලැබූ මෙම චීවර පූජාව කෙතරම් බලවතෙකුට හෝ ධනවතෙකුට හෝ කෙතරම් අවශ්‍යතාවක් තිබුණද මෙම චීවර මාසය තුළ පමණක් ඉහත කී සුදුසුකම් සපුරාගත් භික්ෂුවක් හෝ භික්ෂූන් සමූහයක් සිටින එසේම වප් පුර පසළොස්වක් පුන් පෝදා උන්වහන්සේලා මහාපවාරණය නම්වූ සංඝ පවාරණයෙන් පවාරණය කොට ඇති අවස්ථාවක වීම එහි මූලිකම අවශ්‍යතාව වේ.

එසේම මෙම පින්කමෙහි ලා සැලකෙන තවත් විශේෂත්වයක් නම් භික්ෂූන් වහන්සේ හා සම්බන්ධයෙන් සිදු කෙරෙන සිව්පස පූජාවන් සැදැහැති දායක දායිකාවනට දොළොස් මස තුළ කවර දිනෙක වුවත් සිදු කළ හැකි වුවද කඨින නමින් හැඳින්වෙන චීවර පූජාව සිදු කළ හැක්කේ සැම වසරකම වප් – ඉල් දෙමස තුළ එළඹෙන චීවර මාසය තුළදී පමණක් වීමයි.

එසේම මෙම කඨින චීවර පූජාව හා සම්බන්ධයෙන් සැලකිය යුතු තවත් සුවිශේෂී ලක්ෂණයක් නම්, බුදුදහමෙහි දැක්වෙන දානාදි බොහෝ පින්දහම් සැදැහැති කවරෙකුට වුවද කවර අවස්ථාවකදි වුවද සිදුකරගතහැකි වුවද මෙම කඨින චීවර පූජාව සිදුකිරීම සඳහා ගිහි පැවිදි දෙපක්ෂයේ ම අනිවාර්ය සබඳතාවය තිබිය යුතු වීමයි. මෙම එක පක්ෂයකට හෝ තනිව මෙම පින්කම සිදු කළ නොහැකිවීම එම විශේෂ ලක්ෂණයයි.

මෙම පූජාව සැදැහැති උපාසක උපාසිකාවන් හෙවත් ගිහි ජනතාව විසින් භික්ෂූන් වහන්සේ උදෙසා සිදු කරන්නක් වන අතර එවැනි පූජාවක් සිදු කිරීම සඳහා නියමිත විනයානුගත පසුබිම ඉහත සඳහන් කළ පරිදි භික්ෂූන් වහන්සේ විසින් ඔවුන් වෙත සලසා දිය යුතුය.

දායක දායිකාවන් විසින් ආරාධිත වූ භික්ෂුව හෝ භික්ෂූන් විසින් එම ආරාධනය පිළිගැනීමත් සමඟම එම දායක දායිකාවන් වස් තෙමස තුළ උන්වහන්සේට හෝ උන්වහන්සේලාට සිව්පස දානයෙන් සිදුකරගෙන ආ පුණ්‍යමය ක්‍රියාදාමය කුළුගැන්වීම් සංඛ්‍යාත මෙම කඨින චීවර පූජා මහෝත්සවය මඟින් බුදුදහමේ දැක්වෙන අසදෘෂ වූ මහා පින්කම සිදුකර ගැනීම සඳහා එම තෙමස මුළුල්ලේ ඉමහත් ඇප කැපවීමේ වගකීමද උන්වහන්සේ සතු වෙයි.

මෙසේ දායක ප්‍රතිග්‍රාහක දෙපක්ෂය විසින් තෙමසක් මුළුල්ලේ ඉමහත් ඇප කැප වීමකින් හා එම තෙමස මුළුල්ලේ සිදු කරනු ලබන ශ්‍රද්ධා, ශීල, ශ්‍රැත ,ත්‍යාග ආදී ගුණදම් පුරණයේ කුළුගැන්වීමක ප්‍රතිමූර්තියක් ලෙසින් සංකේතවත් කළ හැකි මෙම කඨින චීවර පූජාව පිළිබඳව සඳහන් කළ හැකි තවත් සුවිශේෂි ලක්ෂණයක් නම් එය පිදීමකින් නිමාවන්නක් පමණක් නොව ඒ හා සම්බන්ධ පැවරීමක් සමඟ ද එම පූජාව සබෑදී පැවැතීමයි.

මෙයින් කියැවෙන්නේ දායක දායිකාවන් විසින් යම්කිසි චීවරයක් කඨිනයක් ලෙස සඟසතුකොට පූජා කරනු ලබන්නේ වුවද සෙසු පූජාවන් මෙන් එම පූජා කිරීමෙන් එම පූජා පින්කම නිමා නොවන අතර කඨින නාමයෙන් සංඝයා වෙත සඟසතුකොට පිදු එම චීවරය සංඝ සන්තක වූවක් වන අතර එය පිළිගත් මහා සංඝයා විනයෙහි දැක්වෙන ආකාරයෙන් සම්මත වූ නියමිත පෝය සීමාවක් තුළම එම චීවරය ද රැගෙන ගොස් එක් රැස්වී සංඝ සම්මුතියෙන් මුලින් සඳහන් කළ වස්සාන සමය පිළිබඳ විනය ප්‍රඥප්තීන් අනුව කටයුතු කළ භික්ෂුනමකට කඨිනය ඇතිරීම සඳහා එම චීවරය කර්ම වාක්‍යයකින් පවරනු ලැබේ.

එම කඨින චීවරය හා සම්බන්ධයෙන් මහා සංඝයා වෙනුවෙන් එය භාරගත් භික්ෂුව විසින් ඉටුකළ යුතු විනයානුගත බොහෝ චාරිත්‍රවාරිත්‍ර ඇති අතර එය මහා සංඝයා සතු වූවක් බැවින් හා එය තමන් වහන්සේගේ අතට පැමිණෙන තෙක් එය සැකසීම සඳහා ගිහි, පැවිදි දෙපක්ෂයේම කාලය, ධනය, ශ්‍රමය ආදි ඇප කැප වීම් ගැබ් වී ඇති හෙයින් එයට නූල්පටක හෝ හානියක් නොවන පරිදි සුරක්ෂිත, තබා ගනිමින් එය පූජාකරනු ලැබු දායක දායිකාවනට හා තමා වෙත එය පවරනු ලැබු මහා සංඝයාටද පිංපෙත් වැඩෙන ලෙස එය පරිහරණය කිරීම, එම භික්ෂුව සතු පරම යුතුකමක් හා වගකීමක් බවද විනය පෙන්වා දෙයි.

වස්සාන සමයානුගත චීවර මාසය තුළ සිදු කරනු ලබන කඨින චීවර පූජාව මහත් පුණ්‍යඵලදායි පින්කමක් ලෙස සැලකීමෙහිලා හේතු සාධක වීමෙහි බලපානු ලබන තවත් මූලිකතම කරුණු කිහිපයක් වේ. චිවරය සඳහා අවශ්‍ය වස්ත්‍රය සකසා ගනු ලැබුවේ එක් දිනෙකදි පුළුන් ගෙන, නූල් සකසා ,රෙදි වියා එම වස්ත්‍රය නිසිපරිදි කඩ කපා බුදුරජුන් විනයෙහි අනුදත් පරිදි තුන් (අඳනය, තනිපට, සිවුර, දෙපට සිවුර) සිවුර අතරින් සුදුසු සිවුරක් ලෙස සකසාගෙන එදිනම කොළ, පොතු මුල් ආදියෙන් සකසාගත් කසටින් පඬුපොවා ගැනීමෙනි. මෙසේ ඒ සඳහා බොහෝ දෙනෙකුගේ ශ්‍රමය කැපකොට තිබීමද මෙම සිවුරෙහි අගය වැඩිවීමේ තවත් හේතු සාධකයක් වේ.

චීවර මාසය තුළ සිදු කරනු ලබන මෙම කඨින චීවරය හා සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ විසින් අනුගමනය කළ යුතු බොහෝ ප්‍රඥප්තීන් හා අනුප්‍රඥප්තීන් සමූහයක්ම මහාවග්ග නම් විනය ග්‍රන්ථයෙහි එන කඨිනක්ඛන්ධකයෙහි සඳහන්ව ඇත. ඒවා අතර කඨින චීවරලාභි භික්ෂුවට යම් යම් විනය නීතිරීති හා සම්බන්ධ ලිහිල් කොට දැක්වෙන විශේෂ වරප්‍රසාද පහක් ආදිය පිළිබඳවද සඳහන්ව ඇත.

මෙම චීවර මාසය තුළ සිදු කෙරෙන ඒ මහා කඨින චීවර පූජාව පසුබිම්කොටගෙන තවත් බොහෝ දාන මාන ආදී පින්කම් සැදැහැති දායක දායිකාවන් තම වෙහෙර විහාරයන්හි සංවිධානය කරමින් අති උත්කර්ෂවත් අන්දමින් පිනට දහමට ඇප කැපවෙමින් එදා මෙන්ම අද ද මෙම මාසය පින්බර කාලයක් ලෙස සලකා කටයුතු කරනු අයුරු අප රටෙහි පමණක් නොව තායිලන්තය ආදි බෞද්ධ දේශයන්හි රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ සිට සකල ජනතාවම ඒකරාශිව එකමුතුව කටයුතු කරන අයුරු දැකගත හැකිය.

විශේෂයෙන් කඨින චීවරය සඳහා ගනු ලබන වස්ත්‍රය හා එය සැකසීම සඳහා අවශ්‍ය සෙසු උපකරණ හා එම මහා පූජා පින්කම සඳහා පිදීමට සකසාගත් සෙසු සිවුර පිරිකර ආදිය රැගත් උවසු උවැසියන් මහා කලා මංගල්‍යයක් ලෙස අලි, ඇතුන් හා විවිධ නෘත්‍යාංග රැගත් මහා පෙරහර ආදිය ද පවත්වමින් මෙම කඨින චීවර මහා පූජාව සඳහා පෙළ ගැසෙමින් සැකසෙන අයුරු අගනුවර හා තදාසන්න වෙහෙර විහාරස්ථානයන්හි පමණක් නොව ඈත පිටිසර ගම්මානයන්හි වෙහෙර විහාරස්ථානයන් කේන්ද්‍රකොට ගෙන ද මෙම පුණ්‍ය මහෝත්සවය සඳහා සංවිධානය වන අයුරු අපට දැකගත හැකිය.

මේ චීවර මාසය නමින් විශේෂිත පින්බර මාසයක් ඇති වූයේ දඹදිව සාකේත නුවර වස් විසු භික්ෂූන් බුදුරජුන් හමුවට පැමිණෙන අතර මගදි උන්වහන්සේලාගේ සිවුරු තෙමී මඩගෑවී අපවිත්‍රවී තිබීම නිසා වස් විසු භික්ෂූන්ට යනුවෙන් කඨින චීවරයක් අනුදැන වදාළායින් අනතුරුවය. ඒ අනුව විනයානුගතව වස් එළඹී උපසපන් භික්ෂුවකට එම කඨින චීවර සකසා ගැනීම වස්සාවසානයේ එන මෙම වප් ඉල් පුන් පෝ දෙක අතර එන මාසය ම අනුදැන වදාරා ඇති හෙයින් එම කාලය චීවර මාසය නමින් බෞද්ධ චාරිත්‍ර අතර සැලකේ. එසේම එම චීවරය සකසා ගැනීම සඳහා මසක් පමණ කලක් ඇති හෙයින් දායක ප්‍රතිග්‍රාහක දෙපක්ෂයටම ප්‍රමාණවත් කාලපරිච්ඡේදයක් ඇති හෙයින් එය මහත්ඵල මහානිසංස ලැබෙන ලෙස අති උත්කර්ෂවත් ආකාරයෙන් සංවිධානය කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව ද ලැබී ඇත.

මෙම චීවර මාසය හා සම්බන්ධ කඨින චීවර මහා පින්කම පිළිබඳව සලකා බැලීමේදි දක්නට ලැබෙන තවත් විශේෂ ලක්ෂණයක් නම් වස්සාවාසික මහා පූජාවයි. භික්ෂූන් වහන්සේ කිහිප නමක් වස් එළඹිය ද කඨින චීවර නමින් සම්මතකොට පිදිය හැක්කේ එක් චීවරයක් පමණක් බැවින් දායක දායිකාවන්ගේ ආරාධනයෙන් වස් එලැඹි සෙසු භික්ෂූන් වහන්සේ සඳහා හෝ එම දායකදායිකාවන් විසින් කඨින නාම සෙසු භික්ෂුන් වහන්සේ සඳහා හෝ එම දායක දායිකාවන් විසින් කඨින නාම සම්මුතියෙන් පිදු චීවරයට හෝ වස්ත්‍රය මහා සංඝයාගේ සම්මතයෙන් වෙනත් අරමක වස් වැස නිමා කළ තම සිවුරු ජරාජීර්ණ වූ වෙනත් කවර භික්ෂුවකට හෝ පැවරීමේ වගකීම ඒ සඳහා රැස්වන මහා සංඝයා සතු කාර්යයක් හෙයින් තමන් වස් ආරාධනා කරනු ලැබු දායක දායිකාවනට එම තම ආරාධිත සියලු භික්ෂූන් සඳහා විශේෂ චීවර පූජාවක් සිදු කරනු ලැබේ. එය හෝ ඒවා හැඳින්වෙන්නේ වස්සාවාසික චීවර යන නාමයෙනි. තෙමසක් මුළුල්ලේ තම ආරාධිත භික්ෂූන් වහන්සේ සඳහා පිණ්ඩපාත, සේනාසන හා ගිලාන ප්‍රත්‍ය ආදියෙන් ඇප උපස්ථාන කරනු ලැබු භික්ෂූන් වහන්සේ සඳහා මෙම වස්සාවාසික පූජාව සැදැහැති දායක දායිකාවන් විසින් සිදුකරනු ලබන්නේ ඉමහත් ශ්‍රද්ධා භක්තියෙන් යුතුව බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මෙසේ වස්සාන සමය අවසන එළඹෙන මෙම චීවර මාසය බොදු ජනතාවගේ සැදැහැ සිත් පුබුදන පින්බර කාලවකවානුවක් ලෙස සඳහන් කළ යුතුවේ.

 

    වප් පුර පසළොස්වක පෝය ‍

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 26 වැනිදා සඳුදා අපරභාග 9.10 ට ලබයි. 27 වැනිදා අඟහරුවාදා අපරභාග 5.35 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 27 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 03 වැනිදා අඟහරුවාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27

Second Quarterඅව අටවක

නොවැම්බර් 03

Full Moonඅමාවක

නොවැම්බර් 11

First Quarterපුර අටවක

නොවැම්බර් 19


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]