මෙතෙරින් එතෙරට
වතුරුගම කන්නිමහර ආර්ය නිකේතනයේ
මැල්සිරිපුර ධම්මකුසල හිමි
බුදුපියාණන් වහන්සේ “මෙතෙර නමැති ලෝකය” හැර දමා “එතෙර නමැති ලෝකෝත්තර
නිර්වාණය” සඳහා ගමන් කරන ආකාරය සංයුත්ත නිකායේ සළායතන වග්ගයේ වේදනා
සංයුත්තයේ ඇති “ආසිවිසෝපම සූත්‍රය” තුළින් පෙන්වා දුන් සේක.
පෙර භවයේදී අවසාන සිත හෙවත් චුති සිතට අරමුණු වුන පුඤ්ඤාභි සංඛාරයක්
හෙවත් පිනක් නිසා අප සුගති භූමියක උප්පත්තියක් ලබා ඇත. නමුත් චුති සිතට
අරමුණු වූයේ අපුඤ්ඤාභී සංඛාරයක් නම්,අප සතර අපායේ ඉපදීමට තිබිණි.
එමෙන්ම අරූපාවචර ධ්‍යාන චිත්තයක් හෙවත් ආනෙඤජාභි සංඛාරයක් අවසන් සිත
අරමුණු වූවා නම්,අප අරූපාවචර බ්‍රහ්ම ලෝකයන්හි උප්පත්තිය ලබයි. දුක
අවබෝධකරගෙන නොමැති නිසා හෙවත් අවිද්‍යාව නමැති මෝඩකම නිසාත්, තෘෂ්ණාව
නමැති ඇලීම නිසාත් අප නැවත උප්පත්තියක් ලබයි.
සංසාර ගමනේ මගේ නොවන සතර මහ භූතයන් සොරකම් කරගෙන යන සත්වයාට කර්මය
නමැති රජතුමා විසින් උපතේ සිට මරණය දක්වා විෂඝෝර සර්පයන් හතර දෙනෙක්
වැනි පඨවි,ආපෝ, තේජෝ , වායො යන ධාතු වලින් සෑදුන ශරීරයක් ලබාදී ලෝකය
තුළ සිරගත කරනු ලබයි. මෙම මෝඩ සත්ත්වයා එම විෂ සර්පයන් හතර දෙනා දෑත්
වලත්, හිසෙත්, උදරයෙත් වෙළාගෙන තමන්ට ආභරණ ලැබී ඇතැයි උදම් අනමින්
ජීවත්වේ. තමන්ට අලංකාර, ජවසම්පන්න, බලසම්පන්න ශරීරයක් ලැබී ඇතැයි,
සිතිමින් කටයුතු කරනුයේ මෙම නිසාවෙනි. අරහත් සම්මා සම්බුදු පියාණන්
වහන්සේ නමක් ලෝකයට පහළ වී “පින්වත් පුරුෂය,නුඹ කවා පොවා සතපවා නඩත්තු
කරන ඔය විෂකුරු සර්පයන්ගෙන් අත මිදෙන්න, ඔවුන් ඔබට දෂ්ඨ කිරීමෙන් මරණය
හෝ මරණය හා සමාන දුකකට පැමිණෙන්නේය”යි අවිද්‍යා අඳුර දුරලමින්
සත්‍යදේශනා කරයි. එවිට ප්‍රඥාවන්තයා, ධාතු සතරක් තමන්ගේ කරගෙන විඳින
දුක් අවබෝධ කරගෙන, විෂකුරු සර්පයන් අතහැර පලා යයි. වා , පිත්, සෙම්
කිපී අප ලෙඩකරන්නේ, මරණයට පත් කරන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායො ධාතු
කිපීමෙනි. භාග්‍යවතුන් වහන්සේ ධාතු මනසිකාර කමටහන දී ඇත්තේ මෙම විසඝෝර
සර්පයන්ගෙන් මිදීමටය.
මෙසේ සර්පයන් හතර දෙනාගෙන් මිදී පලා යන පුරුෂයා නැවත සිරකිරීමට කර්මය
නමැති රජතුමා විසින් වධකයන් පස්දෙනෙක් පිටත් කර යවයි. මේ වධකයන්
පස්දෙනා නම් පංච උපාදානස්කන්ධයයි. නමුත් එම පුරුෂයා රූපය පෙණ ගොඩක්
වැනි හර ශූන්‍ය දෙයක් බවත්, වේදනාව දියබුබුලක් වැනි ඇතිවන තැනම නැතිවන
දෙයක් බවත්, සංඥාව මිරිගුවක් වැනි ඈතට තිබෙන බව පෙනුනත් කොතරම් ලඟට
ගියත් අල්ලා ගත නොහැකි මුසාවක් බවත්, සංඛාර කෙසෙල් කඳක් මෙන් එකිනෙකට
එතී පවතින අරටුවක් නොමැති දෙයක් බවත්, විඤ්ඤාණය මායාවක් මෙන් සත්‍ය
වශයෙන්ම නොපවතින දෙයක් පවතින බව අඟවමින් මුලාකරන්නක් බව අවබෝධයෙන් එම
වධකයන් පස්දෙනාටත් හසුනොවී පලායයි.
කර්මය නමැති රජතුමා විසින් වධකයන් පස්දෙනා ගෙනුත් මිදී පලායන පුරුෂයා
අල්ලා ගැනීමට වැලිකෙලියේ පටන් එකට සිටි එම පුරුෂයාගේ හොඳම මිතුරෙක්
හයවෙනි (සවන) වධකයා ලෙස පිටත්කර යවයි. මෙම මිතුරු වේශයෙන් එන සවන වධකයා
වනුයේ නන්දි රාගයයි. කුඩා කල සිට එකටම මිත්‍රව කටයුතු කරන නන්දි රාගය
පලායන පුරුෂයාගේ මනාප අමනාපකම්, ඇලීම් ස්වභාවයන් සියල්ල දනී. යමකට
කැමතිනම්, එයට ඇලෙන්නේ නන්දි රාගය නිසාය. මෙම වධකයාගෙන් මිදීම
අපහසුය.නමුත් යමකට ඇලීමෙන් තමන් දුකට පත්වන බව අවබෝධ කරගෙන, මෙම
පුරුෂයා සවන වධකයාටත් හසු නොවී පලායයි.
මෙසේ පලායන පුරුෂයාට හිස් ගමක් මුණ ගැසෙයි. මෙහි ඇති ගෙවල් හිස්ය. කෑමට
බීමට යමක් සෙව්වත්, එහි ඒවා ඇත්තේ නැත. මෙම හිස් ගෙවල් යනු ආධ්‍යාත්මික
ආයතන හෙවත් ඇස, කන, නාසය, දිව, කය, මන වේ. මේවා හිස් ගෙවල් වන්නේ එහි
ආහාර නොමැති නිසාය. ඇසට ආහාර ලෙස වර්ණ රූප ලැබේ. කනට ආහාර ලෙස ශබ්ද රූප
ලැබේ. නාසයට ආහාර ලෙස ගන්ධ රූප ලැබේ. දිවට ආහාර ලෙස රස රූප ලැබේ. කයට
ආහාර ලෙස ඵොට්ඨබ්බ රූප ලැබේ. මනසට ආහාර ලෙස ධම්ම රූප ලැබේ. මෙසේ
ආධ්‍යාත්මික රූප නැවත නැවත සාදන්නේ ඒවාට අරමුණු ලැබෙනවා නම් පමණි. එසේ
අරමුණු නොමැති වුවහොත් ඒවා හිස් ගෙවල් බඳුය.අන්ධයාගේ ඇස හිස් ගෙයකි.
මන්ද? ඊට අරමුණු ගැනීමට නොහැකි නිසාවෙනි.
මේ යථාර්ථය දැකගත් පුරුෂයා හිස් ගෙවල් වලින් ඉවත්ව ගසක් මුල වැතිරෙයි.
එවිට සද්ධර්මය නමැති කල්‍යාණ මිත්‍රයා “පින්වත් පුරුෂය, මෙම ගමට ගම්
පහරණ සොරු හයදෙනෙක් පැමිණෙන්නේය. වස්තුවක් නැති තොප සොරකමෙහි යොදවා හෝ
වහල් හිමියෙකු විකුණා හෝ ඔවුන්ගේ අරමුණු ඉටුකර ගනීවි. වහාම මෙතනින්
පිටව යන්න” යි ප්‍රකාශ කරයි. ඔහු එබස් අසා සොරු හය දෙනාගෙන් මිදී
පලායන්නේය. මෙම සොරු හයදෙනා යනු බාහිර රූපයි. එනම් වර්ණ රූප,ශබ්ද
රූප,ගන්ධ, රස රූප, ඵොට්ඨබ්බප රූප සහ ධම්ම රූපයි. වර්ණරූපය ඇස පැහැරගනී.
ඇස විවිධ රූප වලට යොමුකරමින් ඇස සොරකමේ යොදවයි. එමෙන්ම ශබ්ද රූප කන
පැහැර ගනී. ඒ තුළින් කන විවිධ ශබ්ලවල යොමුකරමින් කන සොරකමේ යොදවයි.
මෙලෙස මගේ නොවන දෙයක් මගේ කරගැනීමට මෙම බාහිර රූප පොලඹවන නිසා ඒවා
සොරුන් ලෙස හැඳින්වේ.
ගම් පහරණ සොරුන්ගෙන් මිදී පලායන පුරුෂයාට ගව් සතරක් පළල ගව් සතරක්
ගැඹුරු ගංගාවක් මුණගැසෙයි. මෙම ගංගාවෙන් කෙසේ හෝ එගොඩ වන ලෙස සද්ධර්මය
නමැති කළණ මිතුරා උපදෙස් දෙයි. මෙම ගංගාව නම් සතර ඕඝයෝය. එනම් කාමය,
ඕඝය නමැති සැඩපහරින්ද , භව ඕඝ නමැති සැඩ පහරින්ද, දිට්ඨි ඕඝ නමැති සැඩ
පහරින්ද, අවිජ්ජා ඕඝ නමැති සැඩ පහරින්ද මිදී මෙතෙරින් එතෙරට යා යුතුය.
මෙම පුරුෂයාට ගංගාව තරණය කිරීමට කිසිදු ඒදණ්ඩක්, පාලමක් හෝ ඔරුවක්
නොමැත. තමන්ගේ මහන්සියෙන්ම නොකැඩෙන පවුරක් සාදාගත යුතුය. මෙම පවුර
වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප,
සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති සහ
සම්මා සමාධි යන අංග අටෙන් යුත් මාර්ගයයි.
දැන් එම පුරුෂයා සාදාගත් පවුරෙන් එගොඩවීමට අතපය වෙහෙසා ගංගාව තරණය
කරයි. මෙසේ අතපය වෙහෙසීම වීර්ය ලෙස හැඳින්වේ. එනම් සතර සම්‍යක් ප්‍රධාන
විර්ය වඩා අකුසලයන් මර්දනය කරමින්, කුසලයන් වර්ධනය කරමින් ඉදිරියට යයි.
එම පුරුෂයා මෙසේ ගංගාවේ ගව්වක් තරණය කළ තැන සෝතාපන්න වේ. ගව් දෙකක්
තරණය කළ තැන සකදාගාමී වේ. ගව් තුනක් ගිය තැන අනාගාමී වේ. ගව් හතරම තරණය
කර ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති පවුරද අතහැර දමා එතෙර ඇති අභයභූමියට
පැමිණ බ්‍රාහ්මණයෙක් වශයෙන් සිට ගනිමින් ඒ උතුම් පුරුෂයා අරහත්වයට
පත්වේ.
මෙතෙර ලෙස හඳුන්වනු ලබන ලෝකය තුළ ඇත්තේ දුකකි. ලෝකය ලෙස හඳුන්වන්නේ
බඹයක් පමණ උසට ඇති මනස සහිත කය නමැති අපගේ ජීවන පැවැත්මයි. පුද්ගලයාගේ
ජීවන පැවැත්ම තුළ ජාති, ජරා, ව්‍යාධි, මරණ යනාදි දුක් ඇත. නැවත නැවත
ඉපදීමේ මෙම දුකින් මිදිය නොහැක. දුකින් මිදිය හැක්කේ ජාතිය ක්ෂය
කිරීමෙනි. ජාති, ජරා, ව්‍යාධි, මරණ යනාදි දුක් සියල්ලම සැකවින්ම පංච
උපාදානස්කන්ධය ලෙස හඳුන්වයි. සක්කාය දිට්ඨිය ලෙස හඳුන්වන්නේ පංච
උපාදානස්කන්ධය නිත්‍ය, සුඛ,ආත්ම ලෙස ගැනීමයි. බුදුපියාණන් වහන්සේ
පුරුෂයා ලෝකය හෙවත් මෙතෙර තුළ බැඳ තබන බන්ධනයන් මෙසේ උපමා උපමේය
ඇසුරින් දේශනා කරයි.
රජතුමා – පුරුෂයා සසරේ ගෙනියන කර්මයයි
විෂ ඝෝර නාගයන් සතර දෙනා – සතර මහා භූතයන්ය (එනම් පඨවි, ආපෝ, තේජෝ,
වායෝ)
වධකයන් පස්දෙනා – පංච උපාදානස්කන්ධයයි
සවන වධකයා – නන්දිරාගයයි
හිස් ගෙවල් සහිත ගම – ආධ්‍යාත්මික රූප හයයි. එනම් ඇස, කන, නාසය, දිව,
කය, මන)
ගම්පහරණ සොරුන් හය දෙනා –බාහිර රූපයි, (එනම් වර්ණ රූප, ශබ්ද රූප,
ගන්ධරූප ,රස රූප, ඵොට්ඨබ්බ රූප සහ ධම්ම රූප)
තරණය කළ යුතු ගංගාව – සතර ඕඝයෝය. (කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕඝ, අවිජ්ජා
ඕඝ)
පවුර –ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි.
අතින් පයින් වෑයම් කිරීම, උට්ඨාන වීර්යයයි
ලෝකයෙන් එගොඩ වීමට උපකාර කළ යුත්තේ ලෝකය තුළම ඇති දෙයකි. එනම් ආර්ය
අෂ්ටාංගික මාර්ගයයි. නමුත් එතෙර වූවාට පසු මෙතෙර ඇති දේ වලින් ඵලක්
නැත. එබැවින් ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති පවුරත් අතහැරිය යුතුය. දැන්
එම පුරුෂයා කිසිදු බැඳීමක් නැති, බියක් සැකක් නැති එතෙර නමැති අභයපුරයට
ගොඩබැස, එහි උතුම් අරහත්වයට පත්වන්නේය.
අපත් අධිෂ්ඨානයෙන් සහ උත්සාහයෙන් වීර්යයෙන් යුතුව ලෝකයෙන් අතමිදී
ලෝකෝත්තර නිර්වාණයට ගමන් කිරීමට සද්ධර්මය පවතින මෙම කාලය තුළම කටයුතු
කළ යුතුය. අති දුර්ලභව ලැබෙන සද්ධර්මයෙන් ප්‍රයෝජන ගෙන දුක් ඇති
මෙතෙරින් දුක නැති එතෙරට ගමන් කරමු. |