UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

නවදගල සෝභිත නා හිමි

ඇල්පිටිය ඉගල ශ්‍රී බෝධිරාජාරාමාධිපති බෙන්තර වලල්ලාවිට කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක නවදගල සෝභිත හිමිපාණන් වහන්සේගේ 70 වන ජන්ම දිනය ඔක්තෝබර් මස 18 වන දිනට යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ඇල්පිටිය, නවදගල පදිංචිව සිටි ආර්.පී. සෙනේරිස් සහ ඇල්.කේ. සොපිනෝනා යන දම්පතීන්ට දාව ආර්.පී. සිරිසේන නමින් පුත්‍ර රත්නයක් 1945.10.18 වන දින උපත ලැබීය. වයස අවුරුදු 15 දී නවදගල ඇටෝරාව ශ්‍රී ශිලාලේඛනාරාමාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ බෙන්තර වලල්ලාවිට කෝරළයේ සම්මානනායක බටුවන්හේනේ සුමනතිස්ස නාහිමියන්ගේ සහ අපවත් වී වදාළ ගොළුවාමුල්ලේ රතනාලංකාර නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් නවදගල සෝභිත නමින් 1960 නොවැම්බර් 25 දින සසුන්ගත විය.

එතැන් පටන් අම්බලන්ගොඩ රංදොඹේ ශික්ෂ්‍යාලංකාර මහා පිරිවෙනේ ප්‍රාචීණ ප්‍රාරම්භය දක්වා එහි දහම් අධ්‍යාපනය ලබා ගත්තේ ය. මෙසේ දහම් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ 1967 ජූලි 29 වන දින බලපිටිය මාදු නදියේ පිහිටි උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදාව ලැබූහ.

පසුව 1972 වර්ෂයේ දී ඇල්පිටිය ඉගළ ශ්‍රී බෝධිරාජාරාමයට වැඩමකළ උන්වහන්සේ දායක පින්වතුන්ගේ සහාය ලබාගනිමින් ඉතා කෙටිකලකින් එම ස්ථානය අංග සම්පූර්ණ දැකුම්කළු විහාරස්ථානයක් බවට පත්කරනු ලැබීය. 1975 වර්ෂයේ දී සිරි අභයතිස්ස නමින් දහම් පාසලක්ද ආරම්භ කරන ලදී. මෙම දහම් පාසලේ දරු දැරියන් 300 ක් පමණ දහම් අධ්‍යාපනය ලබති. මෙවන් උදාර ශාසනික මෙහෙවරක් කරනු ලබන මෙම ස්වාමීන් වහන්සේගේ ශාසනික සේවයට උපහාර පිණිස 1979 වර්ෂයේ දී අමරපුර සිරිසද්ධම්මවංශ මහා නිකායේ මහා නායකව වැඩ සිටි තලල්ලේ ධම්මානන්ද මහා නාහිමි ප්‍රමුඛ කාරක සංඝ සභාව මගින් ඇල්පිටිය ප්‍රධාන බෙන්තර වලල්ලාවිට කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරය “සිරි සුගත ශාසන ශෝභන විචිත්‍ර භාණක සිරිසුමනතිස්ස වංශද්වජ” ගෞරව නාම සහිතව ප්‍රදානයද, නිකායේ ‘සුධර්මා’ නම් කාරක සංඝ සභාවේ කාරක සභික ධූරයද පිරිනමන ලදී. ශාසනික වශයෙන් විශාල ආගමික මෙහෙවරක් සිදුකරන උන්වහන්සේට 2009 වසරේ දී “සද්ධර්ම කීර්ති ශ්‍රී ශාසනධජ සරභඤ්ඤ විශාරද” යන ගෞරව උපාධි නාමයද පිරිනැමූහ.

නවදගල සෝභිත නාහිමියන්ට හැත්තෑවසරක් පිරීම නිමිත්තෙන් මේ මස 18 වන දින පස්වරු 4 ට සත් බුදුරජාණන් වහන්සේලා ප්‍රමුඛ ගිලන්පස පුද පූජාවන් පෙරහැරෙන් වැඩමවා පූජාවන් පවත්වා අනතුරුව භික්ෂූන් වහන්සේලා විසින් සෙත් පිරිත් දේශනා කොට උන්වහන්සේට ආශිර්වාද කරනු ලබයි. විහාරස්ථ පින්කම් කමිටුව සහ සිරි අභයතිස්ස දහම් පාසල් ගුරු මණ්ඩලය එම පින්කම සංවිධානය කර ඇත.


ඊතණවත්තේ අත්ථදස්සි හිමි

මොණරාගල, බිබිල, ඊතණවත්ත ගම් පියසෙහි 1953 ඔක්තෝබර් මස 13 වැනි දින උපත ලද උන්වහන්සේට දෙමාපියෝ සෙනෙවිරත්න බංඩාර යනුවෙන් නම් තැබූහ. මූලික අධ්‍යාපනය සඳහා අත්පොත තබන ලද්දේ තම ග්‍රාමයේම පිහිටි ධම්මපාල මහා විද්‍යාලයෙනි. දෙමාපිය ආශිර්වාදය නොමඳව ලබාගත් ඔහු තම ප්‍රදේශයේම පිහිටි ටැම්ගොඩ රජ මහා විහාරස්ථානයේ දී 1969 සැප්තැම්බර් මස 27 වැනි දින පැවිදි භූමියට ඇතුළු විය. එදින පටන් උන්වහන්සේ ඊතණවත්තේ අත්ථදස්සි නම් වූහ.

පැවිදි දිවියට අවැසි වත්පිළිවෙත් ඉතා හොඳින් ඉගෙනගත් උන්වහන්සේ පිරිවෙන් අධ්‍යාපනය සඳහා තම ගුරු හිමියන් විසින් යොමු කරවන ලද්දේ පාලි සංස්කෘත ඇතුළු විෂයයන් පිළිබඳ දැනුම භික්ෂු ජීවිතයක් සාර්ථක කර ගැනීමට මහඟු අත්වැලක් වන හේතුවෙනි. මේ අනුව 1971 දී මුද්දරගම හිරිකුළුව ශ්‍රී විද්‍යාදර්ශි පිරිවෙනට ඇතුළු වූ උන්වහන්සේ එහි පිරිවෙන්පති කළුතර ගුණානන්ද ස්වාමීන් වහන්සේගේ සෙවණෙහි වැඩ හිඳිමින් මූලික පිරිවෙන් අවසාන විභාගය තෙක් අධ්‍යාපනය ලැබූහ. ඒ කඩඉම ඉතා හොඳින් තරණය කළ උන්වහන්සේ උසස් අධ්‍යාපනය සඳහා නුගේගොඩ, ගංගොඩවිල ශ්‍රී සුභද්‍රාරාම විද්‍යායතනයට 1976 වසරේ ඇතුළු වී එහි පිරිවෙන්පති තිඹිරිවැව සුමනසාර හිමියන්ගේ අවවාද අනුශාසනා මධ්‍යයේ උසස් පෙළ විෂය ධාරාවන් පමණක් නොව ප්‍රාචීන විෂයයන් ද ඉගෙනගෙන ඉහළින්ම සමත්වූහ. මේ වන විට උන්වහන්සේ 20 වයස් සපුරා සිටි බැවින් සසුන්කෙතේ ස්ථීර හිමිකාරීත්වය ලබාගැනුමට 1975 ජූනි මස 18 වැනි දින සියම් මහානිකායේ මල්වතු පාර්ශ්වයේ මහනුවර උපෝසථ පුෂ්පාරාම විහාරස්ථ සීමා මාලකයේ දී උපසම්පදා භූමියට ඇතුළු වූහ. ඒ ටැම්ගොඩ හා උදයගිරි රජමහා විහාරද්වයාධිපති සේනාපතියේ ධර්මකීර්ති ශ්‍රී ධම්මපාල සුදස්ස්‍යාභිධාන අම්පාර මඩකලපු දෙපළාතේ ප්‍රධාන සංඝනායක හිමිපාණන් වහන්සේගේ හා ලුණුගල සුනන්ද හිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙනි. උසස් අධ්‍යාපනය නිමාකළ උන්වහන්සේ නැවත ටැම්ගොඩ විහාරස්ථානයට වැඩම කර එහි වැඩහිඳිමින් සාසනික කටයුතු සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළහ. 1983 දී ටැම්ගොඩ විහාරස්ථානයේ පිරිවෙණක් ආරම්භ කරන්නට යෙදුණෙන් උන්වහන්සේ ද ඒ සඳහා නොමඳ දායකත්වයක් ලබාදුන්හ.

1996 වර්ෂයේ දී ටැම්ගොඩ රජමහා විහාරාධිපතිව වැඩසිටි ලුණුගල සුනන්ද හිමිපාණන් වහන්සේ අපවත් වූ බැවින් උන්වහන්සේ වෙත පැවරුණු වගකීම් සමුදාය අතිවිශාලය. විහාරස්ථානයේ විහාරාධිපති ධුරය පමණක් නොව පිරිවෙනේ කෘත්‍යාධිකාරීත්වය ද උන්වහන්සේට දරන්නට සිදුවිය. පිරිවෙන් විහාරස්ථානයේ අඩුවක්ව පැවති ගොඩනැගිලි අලුතින් ඉදිකළ අතරම ගරාවැටී තිබුණු දෑ ප්‍රතිසංස්කරණය ද කළහ. විශේෂයෙන්ම සියලු විහාරාංගයන්වලින් සමන්විත ඌව පළාතේ පැරණිතම විහාරස්ථානයක් වශයෙන් නම් දරා සිටින්නේ මේ විහාරස්ථානයයි. ඒ ගමන් මඟේ දී සුවිශාල සේවාවක් හා අත්වැලක් සපයන ලද්දේ අත්ථදස්සි හිමිපාණන් වහන්සේ විසිනි.

භික්ෂු ජීවිතයේ චිරාගත සම්ප්‍රදායයන් එලෙසින්ම ආරක්ෂා කරගැනීමට වෙහෙසෙන උන්වහන්සේ පරිත්‍රාණ ධර්ම දේශනා හා අනෙකුත් ආගමික කටයුතු සම්බන්ධයෙන් ද නෛපුණ්‍ය කථිකයෙකි. විහාරස්ථානය හා සම්බන්ධව පවත්වාගෙන යන සමිති සමාගම් රැසක ගරු අනුශාසක වශයෙන් උන්වහන්සේ ඒවායේ ඉදිරි පැවැත්ම උදෙසා මහඟු සේවාවක් සපයති. උන්වහන්සේ කිසිදින බැබළීමට උත්සාහ නොගත් අතර තමා දරන තනතුරු බැබළවීමට නිරන්තරව මහන්සි ගත්තේය. ජනයාගේ වුවමනාවන් ඉටු කරමින් බුදුසසුනේ චිරස්ථිතිය උදෙසා උන්වහන්සේ කරන මෙහෙය අතිමහත්ය. 62 වැනි ජන්ම දිනය සමරන ඊතණවත්තේ අත්ථදස්සි හිමිපාණන් වහන්සේට තුණුරුවන්ගේ සූවිසි ගුණ මහිමයෙන් ඉදිරියටත් සසුන් කෙත අස්වද්දන්නට සියලු ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.


තඹුත්තේගම ධම්මාරාම හිමි

තඹුත්තේගම ධම්මාරාම හිමියන් වර්ෂ 1978 මැයි මස පස් වැනිදා මෙලොව එළිය ලැබීය. මොහොටට් මුදියන්සේලාගේ විජේරත්න බණ්ඩාර ගිහි නම විය. එච්.එම්. පොඩිහාමිනේ සහ එම්. එම්. රන්බණ්ඩා යන දෙමාපියන්ගේ කුටුම්බයෙහි සහෝදර සහෝදරියන් පස් දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමල් දරුවා වූයේ විජේරත්න බණ්ඩාර කුමරුවන්ය. පාසල් අධ්‍යාපනය කුඩා අවධියේදීම නිමා කළ මෙම කුමරුවෝ තම පියාගේ අඩිපාරේ යමින් ගිහි පිරිතට බෝධි පූජාවට සීල සමාදානයට බොහෝ රුචිකත්වයක් දැක්වූ නිසාම 1989 වප් මස හය වැනි දින ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අපවත් වී වදාළ ආචාර්ය යටගම ධම්මපාල නාහිමියන්ගේ හා තඹුත්තේගම කලාඔය බෞද්ධ මධ්‍යස්ථානාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ පණ්ඩිත හුලව ධම්මානන්ද නා හිමියන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් දිවුලපිටිය බලගල්ල සරස්වතී මහා පිරිවෙනේදී තඹුත්තේගම ධම්මාරාම නමින් උතුම් පැවිදි බිමට පත්වූහ. වසර කීපයක් සරස්වතී පිරිවෙනින් අධ්‍යාපනය ලද උන්වහන්සේ 1993 දී දුරුතු මස විසි වන දින කුලියාපිටිය කනදුල්ල ශ්‍රී ධර්මරාජ මහා පිරිවෙනට ඇතුළත්ව ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය කරන ලදුව වර්ෂ 2000 ක් වූ ඇසළ මස 07 වන දින යටගම ධම්මපාල අනුනාහිමියන්ගේ හා කුලියාපිටිය කනදුල්ල ශ්‍රී ධර්මරාජ පිරිවෙන් මහා විහාරාධිපති රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය ශාස්ත්‍රවේදි පණ්ඩිත ඉලිප්පදෙනියේ සීවලී නාහිමියන්ගේ ශිෂ්‍යවරයෙකු ලෙස නිට්ටඹුවේ අත්තනගලු නදී උදකුක්ඛේප සීමා මාලකයේදී උපසම්පදා සීලය ලදහ.

වර්ෂ 2001 දී පරිවේණාචාර්යවරයෙකු ලෙස සේවයට බැඳුනු උන්වහන්සේ 2008 දී බලපිටිය ගුරු විද්‍යාලයට ඇතුළත්ව දෑවුරුදු ගුරු පුහුණු පාඨමාලාව සම්පූර්ණ කළහ. 2010 දී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හිමිකරගත් උන්වහන්සේ 2013 දී ශාස්ත්‍රපති උපාධියද සම්පූර්ණ කර ගත්හ. ස්වනිකායික විභාග සඳහා පෙනී සිට සද්ධර්මාචාර්ය ත්‍රිපිටකාචාර්ය යන විභාගවලින්ද සමත් වූහ.

කාව්‍යමය ධර්ම දේශනයට කුඩා අවධියේ සිටම හපන්කම් දැක්වූ තඹුත්තේගම ධම්මාරාම හාමුදුරුවෝ සෙනෙහෙබර දෙමාපියෝ ඉවසීම වැනි මාතෘකා යටතේ සංයුක්ත කවිබණ දේශනා දැයට දායාද කොට තිබීම අතිශය ප්‍රශංසනීය වේ. තමන් වහන්සේගේම ශක්තියෙන් මුල් කාලයේ කාව්‍යමය ධර්ම දේශනා පැවැත්වූ අතර පසුකාලීනව යුගාසන තුන් ආසන මෙන්ම සිව් ආසන කාව්‍යමය ධර්මදේශනා සඳහා යොමුවී තිබීම බලවත් සතුටකි. පිරිත් පිරීමට, බෝධිපූජා පැවැත්වීමට මෙන්ම කථනයටත් උන්වහන්සේ අතිශය දස්කම් දක්වති. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන්හි ඉරිදා කවිබණ මෙන්ම සෑම පුර පසළොස්වක පෝදිනකදීම සජීවි යුගාසන කාව්‍ය ධර්ම දේශනයෙන්ද අන්තර්ජාලය ඔස්සේද තඹුත්තේගම හාමුදුරුවන්ගේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීමට අවස්ථාව ලැබීම සතුටට කරුණකි. උන්වහන්සේගේ සහජ දක්ෂතාවයන් නිසාම “සද්ධර්ම කීර්ති ශ්‍රී කාව්‍ය විශාරද පණ්ඩිත” යන ගෞරව සම්මානෝපාධියෙන් නොබෝදා පිදුම් ලැබූහ.

කුඩා අවධියේ සිටම බුදු සසුනට ගරු සරු බවින් යුතු උන්වහන්සේ මෙම වසරේ වප් මස සය වන දිනට පැවිදි වී වසර විසි හයක් හා උපසම්පදාවෙන් වසර පසළොසක් සම්පූර්ණ කරති. දැනට ගම්පහ වික්‍රමශීලා පිරිවෙනේ පරිවේණාචාර්යවරයෙකු ලෙස වැඩකටයුතු කරන අතර විශාල ආගමික ශාස්ත්‍රීය සේවයක් සිදු කරති. ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රපති සද්ධර්ම කීර්ති ශ්‍රී කාව්‍ය විශාරද පණ්ඩිත තඹුත්තේගම ධම්මාරාම ස්වාමින් වහන්සේට තුණුරුවන්ගේ ආශිර්වාදයත් ලැබ ලෝ සසුන්හි සෙත සදන්නට තව තවත් දිරිය ශක්තිය ලැබේවායි මෙත් සිතින් පතමු.

 

     ‍වප් පුර අටවක පෝය 

වප් පුර අටවක පෝය මේ මස 20 වැනිදා අඟහරුවාදා අපරභාග 2.23 ට ලබයි. 21 වැනිදා බදාදා අපරභාග 1.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් මස 20 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ඔක්තෝබර් 27 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27

Second Quarterඅව අටවක

නොවැම්බර් 03

Full Moonඅමාවක

නොවැම්බර් 11


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]