UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙලොවටම හානිදායක පවිටු ඇසුර‍

ධර්ම දේශනාව:

දෙලොවටම හානිදායක පවිටු ඇසුර‍

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

පූතිමච්ඡං කුසග්ගේන

යො නරො උපනයීහතී

කුසාපි පූති වායන්ති

එවං බාලුපසේවනා

 

වාසනාවන්ත පින්වත්නි,

 

අද ධර්ම දේශනාව සඳහා යොදාගත් ගාථාවයි ඉහත දැක්වුයේ. ජාතක පාලියේ සත්ති ගුම්බ ජාතකයේ සඳහන් වෙයි. ගාථාවේ සරල අදහස මෙසේ දැක්විය හැකිය. “යමෙකු කුස තණවල දවටා කුණු වී දුගඳ හමන මාළු ගෙනෙන්නේ ද මාළු දවටා ගෙන ආ එම කුස තණ පත්‍ර ද දුගඳ හමන්නේය. එසේම බාලයන් හෙවත් පවිටු මිතුරන් ඇසුරු කරන පුද්ගලයා ද නරක ගති පැවතුම්වලින් දුගඳ හමන ජීවිතයක් ගත කරන්නේය. “පවිටු අදහස් ඇතිව බුදුරදුන්ට හා ශාසනයට අගෞරව කරමින් ජීවත් වූ දේවදත්ත හිමියන් හා උන්වහන්සේ ඇසුරු කරන ලද පිරිස නිමිති කරගෙන මෙම සත්ති ගුම්බ ජාතකය දේශනා කර ඇත.

 

පෙර කාලයක අප මහ බෝසතාණන් වහන්සේ ගිරවෙකු වී උපන්නේය. එම ගිරවාට තව සහෝදරයෙක් ද සිටියේය. මොවුන් කුඩා කාලයේ දීම සැඬ සුළඟකට හසු වී ගසා ගෙන ගොස් එක් පැටවෙකු තාපසාරාමයක් අසලට ද, අනෙක් පැටවා සොරු කණ්ඩායමක් සමීපයට ද වැටුණේය. තාපස ආරාමය අසලට වැටුණ බෝසත් ගිරා පැටවා "පුෂ්පක" නමින් තාපසයන් අතර වැඩුණේය. ඔවුන්ගේ යහපත් ගති පැවතුම් හා කතා ව්‍යවහාරය ද ඉගෙන ගත්තේය. සොරු අසලට වැටුණ ගිරා පැටවා” සත්තිගුම්භ” නමින් සොරුන්ගේ නරක කතා ව්‍යවහාරය හා ගති පැවතුම් ඉගෙන ගත්තේය. කාලයක් ගත විය. දිනක් දඩ කෙළියට වන ගත වූ රජතුමාට මෙම ගිරවුන් දෙදෙනා සිටින තැනට යන්නට සිදු විය. එහිදී සොරු සමීපයේ සිටි ගිරවා කතා කළ දරුණු වචන පැවති දරුණු ගති පැවතුම් හා තාපස පිරිස අතර සිටි ගිරවාගේ යහපත් වචන හා ගති පැවතම් දැක රජතුමා පුදුමයට පත් විය. එයට හේතු සාධක පෙන්වාදුන් බෝසත් ගිරවා යහපත් අය ඇසුරු කිරීම නිසා පුද්ගලයකු යහපත් වන බවත් අයහපත් පුද්ගලයන් ඇසුරු කරන අනුවණ පුද්ගලයා නොමඟට යොමු වන බවත් නිදසුන් සහිතව පෙන්වා දුන්නේය.

 

පුද්ගලයෙකුගේ ජීවිතය යහපත් හෝ අයහපත් වීම සඳහා ආශ්‍රය තීරණාත්මක සාධකයකි. එමගින් මිනිසාගේ දිවි ගමනට ඇති කරන බලපෑම ඉතාම ප්‍රබල වෙයි. එය මෙලොව පමණක් නොව පරලොව ද සුගතිගාමී හෝ දුගතිගාමී වීමට බලපායි. වැරැදි ලෙස සිතන වැරැදි වචන කියන වැරැදි ක්‍රියාවන් කරන්නා පාපී පුද්ගලයෙකි. ඔහු නිරතුරුව පස් පවට හා දුරාචාරයට යොමු වී සිටියි. එවැනි කෙනෙකු ඇසුරු කිරීම පාප මිත්‍ර සේවනයකි.

සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් අන්දමට පවිටු මිතුරන් සිවු දෙනෙකු ඇත.

 

අඤ්ඤදත්ථුහර – කිසිවක් ලබා ගැනීමට ඇසුරු කරන

වචීපරම – වචනයෙන් පමණක් ක්‍රියා කරන

අනුප්පියභානී – හොඳ නරක දෙකම අනුමත කරන යන සිවිදෙනාය.

අපාය සහාය – අපාගත වීමට මග සලසන

 

මෙවැනි පුද්ගලයන් ඇසුර කිරීම නිසා තම වටිනා ජීවිත අභාග්‍යසම්පන්න කරගත් පිරිස අපමණය. සමාජයේ වැඩි පිරිසක් සූදුව, සුරාව, දුරාචාරය , සොරකම, ආදි නරක ක්‍රියාවන්ට යොමුව ඇත්තේ පවිටු මිතුරන්ගේ බලපෑම නිසාය. එපමණක් නොව පාපී මිතුරන් ඇසුරු කිරීම නිසා සසර පුරා පසු තැවීමට, ශෝක වීමට සිදු වන බව ධම්ම පද ගාථාවක මෙසේ සඳහන් වෙයි. “බාල සංගත චාරිහී දීසමද්ධාන සෝචතී” එනිසා බාලයන් හෙවත් පාප මිතුරන්ගෙන් දුරස්ව කල්‍යාණ මිතුරන් හා උතුම් පුද්ගලයන් පමණක් ඇසුරු කරන ලෙස ද බුදුදහම අවධාරණය කර ඇත.

 

න භජෙ පාපකේ මිත්තේ

න භජෙ පුරිසාධමේ

භ ජෙථ මිත්තේ කල්‍යාණෙ

භ ජෙථ පුරිසුත්තමේ

 

පින්වත් ඔබ ද මේ උතුම් බණ පද අවධානයට යොමු කර පවිටු මිතුරන්ගෙන් ඉවත් වී යහපත් උතුම් මිතුරන් ඇසුරු කර දෙලොව ජය ගෙන උතුම් නිවනින් සැනසීමට උනන්දු වන්න. ඔබ සැමට තෙරුවන් සරණයි!!!.

 

     ‍ බිනර පුර අටවක පෝය 

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 21 වැනිදා සඳුදා පූර්වභාග 02.23 ට ලබයි. 22 වැනිදා අඟහරුවාදා පූර්වභාග 2.23 දක්වා පෝය පවතී. සිල්සමාදන්වීම සැප්තැම්බර් 21 වැනිදා සඳුදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 27 වැනිදා ඉරිදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04

Full Moonඅමාවක

ඔක්තෝබර් 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]