UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනගාරික ධර්මපාලතුමා

අනගාරික ධර්මපාලතුමා

කැලණිය විශ්ව විද්‍යාලයේ
ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ
අංශාධිපති
මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

අධිරාජ්‍යවාදීන්ට ලංකාව යටත් වී වසර 300කට අධික කාලයක් ඔවුන් යටතේ දිවි ගෙවීමට ලක් වාසීන්ට සිදුවිය. විශේෂයෙන්ම අප අවසන් වරට යටත් විජිතකරණයට ලක් වූ ජාතිකයන්ගේ සිරිත් විරිත් ඇවතුම් පැවතුම් උදෙසා යටත්ව සිට ඔවුන්ට ඇවැසි පරිදි දිවි ගෙවීමට බොහෝ සිංහලයන් හුරු වූ බවක්ද පෙන්නුම් කෙරේ. අනගාරික ධර්මපාලතුමා යන චරිතය කරළියට පැමිණෙන්නේ මෙවන් වකවානුවකය. ඒ කාලය යටත් විජිතකරණයට ලක් වූ ලක්වාසීන්ට එහි බරපතළ විපාක සමාජයට දැනුණු සමයක් විය.

එකල සමාජය දෙස බැලූ විට පෙනී යන්නේ යටත්විජිතවාදයෙන් නිදහස ලබා ගැනීම පසෙක දමා එම සංස්කෘතියට ගරු කිරීම මහත් ගෞරවයක් ලෙස සලකා හෙළයා දිවි ගෙවූ බවයි. මෙවන් වකවානුවක දකුණු පළාතේ හේවාවිතාරණයන් කොළඔට පැමිණෙන්නේ මල්ලිකා විජේවර්ධන මහත්මියත් සමඟයි. මේ දෙපළගේ දරුවකු ලෙසින් මෙලොව එළිය දකින ධර්මපාල කුමාරයාටද එකල පැවැති අනුකරණයෙන් ගැලවීමට හැකියාවක් නොලැබුණි. ලී බඩු ව්‍යාපාරිකයකු වූ හේවාවිතාරණ මහතා තම පුතු කොටහේනේ දීප දුත්තාරාමයේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ට පෙන්වා එකල සමාජ සංස්කෘතිය අනුව කොටහේනේ පල්ලියට ගොස් භෞතීස්ම කරන ලදී. පුත්‍රයාට ඩේවිඩ් යන නම ලැබුණි.

එකල සමාජයේ උපත් ලියාපදිංචි කළ එකම ක්‍රමය එය විය. ඒ කාලයේ යටත්විජිතවාදයට විරුද්ධව ගිහි පැවිදි කණ්ඩායමක් දකුණෙන් අවදි විය. ඒ අතර හික්කඩුවේ සුමංගල , වස්කඩුවේ සුභූති, බුලත්ගම ධම්මාලංකාර,දොඩන්දූවේ පියරතන වැනි අති සම්භාවනීය හිමිවරුන්ද බටුවන්තුඩාවේ පඩිතුමා ඇතුළු වියත් පිරිස් ද විය.

මේ ගිහි පැවිදි ප¼ඩිවරුන්ගේ අභිප්‍රාය වූයේ බුදු දහමට නිගා දෙන විවේචනයන්ට පිළිතුරු ලබා දීමයි. විශේෂයෙන්ම මෙහිදී මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ගැන මතක් කළ යුතුයි. මෙකලම කොළඹ නගරයේ ඉපැරැණි බෝ ගස් කැපීමේ ව්‍යාපාරයක් ඇරැඹී තිබුණි. එයට විරෝධය පළ කරමින් විශාල ජනමතයක් ඇති කිරීමටද ගුණානන්ද හිමියෝ සමත් වූහ. ඒ සමගම පංච මහා වාදයන් ද ඇරඹිණි. බද්දේගම වාදය, උදම්විට වාදය, ඔරුගොඩවත්ත වාදය, ගම්පොළ වාදය සහ පානදුරා වාදය ඒ අතර වූ නමුත් එයින් මුල් තැනක් ගත්තේ පානදුරා වාදයයි. පානදුරා වාදය සිංහල බෞද්ධයන්ගේ හැරවුම් ලක්ෂ්‍යක් ලෙස හැඳීන්වීමට පුළුවන. බෞද්ධයන් අතුරින් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ද අනෙක් පසින් පල්ලියේ පූජකතුමන්ද වාදයට මුල පිරූ අතර සිංහලෙන් පැවැත්වුණු මේ වාදය ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර තම පුවත්පතේ කොටස් දෙකකින් යුක්තව පළ කිරීමට එවකට ටයිම්ස් ඔෆ් සිලෝන් පත්‍රයේ කර්තෘවරයා වූ ජෝන් කැපර් මහතා විසින් කටයුතු යෙදුවේය.

මේ වාදය අහගෙන සිටි ජේ.ඒ. සිබස් පඬිවරයා පුවත්පතේ පළ වූ වාර්තාව ඇමරිකාවට රැගෙන ගොස් කුඩා පොත් පිංචක් ලෙසින් පළ කරන ලදී. එහි දී වාදයේ සියල්ල මැනවින් පෙන්නුම් කරමින් බෞද්ධයන්ට ජය අත් වූ අයුරු පැහැදිලි කර තිබුණි. ‘ෆේස් ටු ෆේස් ඩිබෙට්‘ නමින් එය නම් කරන ලදී.

එකල සත්‍ය ගවේෂණයේ යෙදී සිටි පරම විඥානාර්ථ වාදියෙක් වූ කර්නල් ඕල්කට්තුමාටත් මේ පොත් පිංචක් හමුවිය. ඕල්කට් තුමා එතුමාට සහාය දුන් බ්ලැවැට්ස්කි මැතිනියත් සමඟ ලංකාවට පැමිණෙන්නේ එහි ප්‍රථිඵලයක් ලෙසිනි. ගාලු වරායෙන් මෙරටට පැමිණි ඕල්කට් තුමා කොළඹට පැමිණ කොටහේනේ දීපදුත්තාරාමයේදී මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ද හමුවිය. වයස අවුරුදු 16 ක් වූ ඩේවිඩ් හේවාවිතාරණ (ධර්මපාල තුමා) විසින් පිළි ගැනීමේ කතාව පරිවර්තනය කරන ලදී. එයින් පසු හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා දිවයින පුරා ගමන් කළ සෑම ස්ථානයකටම ගොස් එතුමාගේ කතා පරිවර්තනය කරන ලද්දේ ඔහු විසිනි. ඕල්කට්තුමාගේ පැමිණීම නොවන්නට ධර්මපාල යන නාමය මතු නොවන්නටද ඉඩ තිබුණි.

ඕල්කට් තුමා ගේ සංකල්පත් සමඟ බද්ධ වූ ඩේවිඩ් හේවාවිතාරණ තරුණයා විශේෂයෙන් මිෂනාරි අධ්‍යාපන ක්‍රමයට විරුද්ධව පාසල් ආරම්භ කළ යුතුය යන මතයට පැමිණුනි. ඒ අනුව පරම විඥානාර්ථ සමාගම මුල් වී බෞද්ධ පාසල් අරඹන ලදී.

තම නම වන ඩේවිඩ් යන්න වෙනුවට ධර්මපාල යන සිංහල නම යොදා ගන්නා ඔහු ඉන්දියාව බලා පිටත් විය. එහිදී ධර්මපාලතුමාට දැක ගැන්මට හැකි වන්නේ බෞද්ධ උරුමයන් හින්දූන්ට යටත්ව තිබෙන බවයි. ඔහු අධිෂ්ඨාන කර ගන්නවා මේ සියල්ල බේරා ගත යුතුය යන්න. ඔහු යළිත් ලංකාවට පැමිණෙන්නේ මේ උරුමය ආරක්ෂා කර ගැන්මට නම් අන්තර්ජාතික බෞද්ධ සමිති සමාගම් සංවිධානද එක් කර ගත යුතුය යන මතයෙනි. ඒ අනුව එතුමා හික්කඩුවේ සුමංගල හිමිගේ මූලිකත්වයෙන් මහාබෝධි සමාගම පිහිටුවනු ලැබුණි. ඒ සමගම ලෝක අවධානයව යොමු කර ගැනීම පිණිස ‘ද බුඩිස්ට්‘ ඉංගිරිසි සඟරාවද එතුමා විසින් අරඹන ලදී.

මේ අතරම ලෝක ආගම් සම්මේලනය ඉන්දියාවේ පැවැත්වීමට නියමිත වූ අතර අනගාරික ධර්මපාලතුමාට එහි යාමට අවස්ථාව හිමි විය. එහිදී ධර්මපාලතුමා විසින් කළ කතාවට විශාල අන්තර්ජාතික ප්‍රසිද්ධියක් ලැබුණි. එතුමා තම කතාවේදී පැහැදිලිවම කියනු ලබන්නේ කිතුනු දහමට තමන් කිසිදු ආකාරයකින් නිගරු නොකරන බවත් එයින් බොහෝ දේ ඉගැනීමට ඇති නමුත් තමන් විරුද්ධ ආගමේ නාමයෙන් සිදු කරනු ලබන ආගම් මාරු කිරීමට බවයි. එය දැඩි සේ හෙළා දකින බවද එතුමා පැවසීය.

එමෙන්ම මේ සම්මේලනයේදි තවත් විශේෂ සිදුවීමක් විය. සම්මේලනයට පැමිණ සිටි වැදගත් පඬිවරයෙකු වූ ස්වාමි විවේකානන්දන් ට සම්මේලනයේ කතා කිරීමට වේලාවක් වෙන් කර තිබුණේ නැත. අනගාරික ධර්මපාලතුමා තම කතාව විනාඩි 10කට පෙර නවතා තමන්ගේ කාලයෙන් විනාඩි 10ක කාලයක් එතුමාට ලබා දුන්නේ ය. අනගාරික ධර්මපාලතුමා ජාතිවාදියෙක් ලෙස පෙන්වා දෙන අයට ධර්මපාල තුමාගේ මේ සද් ක්‍රියාව එතුමාගේ ජාතිකවාදී බව පෙන්වා දීමට එය හොඳම උදාහරණයකි.

ලෝක ආගමික සම්මේලනයෙන් පසු නැව් මඟින් ගමන් ගත් පිරිස රැගත් නැව හොනලුලු දූපතේදී නැවැත්වූ අවස්ථාවේදී ලෝක ප්‍රසිද්ධ දානපතිනියක වූ මේරි ෆෝස්ටර් මැතිනිය ධර්මපාලතුමාට හමු විය. ධර්මපාල තුමාගේ සියලු කටයුතු සඳහා සහාය දීමට එතුමිය ඉදිරිපත් වූවාය. ඇය හමු නොවන්නට අනගාරික ධර්මපාලතුමාට ලන්ඩන් විහාරය, බර්ලින් විහාරය, මූල ගන්ධකුටි විහාරය ඇරැඹීමට හෝ මහාබෝධි සමාගමේ කටයුතු ඉදිරියට ගෙන යාමට හෝ සිංහල බෞද්ධයා පුවත්පත ආරම්භ කිරීමට හෝ හැකියාවක් නොවන්නට බොහෝ දුරට ඉඩ තිබුණි.

දිවයින පුරා බෞද්ධ පාසල් ආරම්භ කිරීමේ වැඩ පිළිවෙළ දියත් කිරීමට ධර්මපාලතුමාට හැකියාව ලැබුණේද මේරි ෆෝස්ටර් මැතිනිය නිසයි. එමෙන්ම යටත්විජිතවාදයෙන් මිදීමට නම් දේශීය ආර්ථිකයකට මුලු තැනක් දිය යුතු බවද එතුමා හොඳීන් අවබෝධ කරගෙන සිටියේය. ඒ සඳහා දේශීය ශ්‍රම බලකායක් ඇරැඹිය යුතු බවද එතුමා තේරුම් ගත්තේ ය. ඒ උදෙසා එතුමාගේ මූලිකත්වයෙන් පේෂ කර්මාන්තය ආරම්භ කරන ලදී. බොහෝ දෙනෙක් නොදන්නා මුත් දේශීය පේෂ කර්මාන්තයේ මූලිකයා අනගාරික ධර්මපාලතුමායි. එමෙන්ම ගිනිපෙට්ටි කර්මාන්තයත් එතුමා විසින් ආරම්භ කරන ලදී. විශේෂයෙන් ම එකල සුප්‍රසිද්ධ වූ අලියා ගිනිපෙට්ටි කර්මාන්තශාලාව එතුමා විසින් අරඹන ලදී. ජපානයට අපේ පිරිස් යවා එහිදී දැනුම වැඩි කර ගෙන නව මාවතක් සකස් කිරීමටද අනගාරික ධර්මපාලතුමා විසින් කටයුතු කරන ලදී.

එසේම බොදු දහම මුල් කරගත් ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කළ එතුමා පිඟන් කර්මාන්තය වැනි දේශීය කර්මාන්තයන්ද ඇරැඹීමට මුල් විය. කිසිදු විටක බුදු දහමට පටහැනි වන කර්මාන්ත ඇරැඹීමට එතුමා විසින් කටයුතු නොකළ බව මෙහිදී විශේෂයෙන් පෙන්වා දිය යුතුය.

මේ අතර මෙරට 1 වන රාජ්‍ය මන්ත්‍රණ සභාව පටන් ඇරැඹුණු අතර සිංහල පාර්ශ්වයෙන් ඒ සඳහා ඉදිරිපත් වූයේ මාකස් ප්‍රනාන්දු මහතාය. දෙමළ පාර්ශ්වයෙන් පොන්නම්බලම් රාමනාදන් මහතා ඉදිරිපත් විය. නියම ජාතිකත්වයක් තම සිතෙහි තිබූ අනගාරික ධර්මපාලතුමා බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම අනුවම කටයුතු කෙළේය. ධර්මපාල තුමා එහිදී ජාතියට මුල්තැනක් දුන්නේ නැත. ඔහු පෙනී සිටියේ රාමනාදන් මහතා වෙනුවෙනි. පෙනී සිටියා පමණක් නොව සිංහල බෞද්ධයා පුවත් පතේ ලිපි පළ කර ඔහුට ඡන්දය දෙන ලෙසද ඉල්ලා සිටියේය. මෙරට ජාතික නිදහස ඉල්ලා ජාතික නිදහස වෙනුවෙන් ජාති මාමකත්වය වෙනුවෙන් සටන් කළ රාමනාදන් මහතා මිස සිංහල වූ පමණින් මාකස් මහතාට ඡන්දය දීම ගැන පමණක් ධර්මපාලතුමා කල්පනා කෙළේ නැත. ඔහුට වැදගත් වූයේ ජාතික සටනට නායකත්වය මුලිකත්වය ගෙන දුන් පුද්ගලයා රැක ගැනීමයි. ධර්මපාලතුමාගේ ජාතිවාදී නොවන ජාතිකවාදී බව එයින්ද පැහැදිලි වේ.

ඔහු පෙනි සිටියේ දේශීය අනන්‍යතාව රැක ගැන්මට මිස සිංහල හෝ දෙමළ හෝ පක්ෂග්‍රාහී වශයෙන් නොවේ. මේ අතර එංගලන්තයට යවන ජාතිකත්ව මණ්ඩලයේ නායකත්වය ගත යුත්තේ කවුද යන කරුණ ගැන මත ගැටුමක් ඇති විය. සැමගේ මතය වූයේ සිංහල බෞද්ධයෙක් මේ සඳහා යොමු කළ යුතු බවයි. එහෙත් ධර්මපාල තුමා කියා සිටියේ සිංහල කතෝලිකයකු මේ සඳහා යැවිය යුතු බවයි. පසුව කෝට්ටේ වීරයා යන විරුදාවලිය ලත් ඊ. ඩබ්ලිව් පෙරේරා ඒ සඳහා යා යුතු බවට නිර්දේශ වුණි. සමානාත්මතාවය, අන්‍යයන් දෙස දිගු දැක්මකින් බැලීමට හුරු වීම එතුමාගේ පිළිවෙත විය. සෑම පිරිසකටම සමානව අයිතීන් හිමි විය යුතුය යන්න එතුමාගේ දර්ශනය වූ බව පෙනේ. මාතරටත් බොහෝ දුරින් පිහිටි මාවරල වැනි ප්‍රදේශවල පවා බෞද්ධ පාසල් ඇරැඹීමට එතුමා විසින් කටයුතු කෙළේ ඒ අනුවයි.

සිංහලයන් වෙනුවෙන් පමණක් නොව සැම දෙනා වෙනුවෙන් පෙනී සිටි එතුමා බුද්ධගයාව බේරා ගත්තා පමණක් නොව ගව මස් කෑමේ ආදීනව සම්බන්ධයෙන් දිවයින පුරා ගොස් දැනුවත් කෙළේ ය. අදත් කොළඹ මහාබෝධි සමාගමේ දක්නට ඇත්තේ එතුමා ප්‍රචාරක කටයුතු සඳහා භාවිත කළ රථයයි. ධර්මය හෝ ආගමට වඩා ජීවන ප්‍රතිපත්තියකට ජනතාව සකස් කිරීමට එතුමා මුල් තැනක් දී ඇති බව පැහැදිලිය.

බෞද්ධයන්ට ඉතාම වැදගත් සාරානාත් බොදු උරුමය රැක ගන්නට සාරානාත් වලට ගිය එතුමා නැවතීමට තැනක් නොමැතිව දින හතක් නුග ගහක් උඩ සිටි බව ද පැවසේ. සාරානාත් හි අදත් ඒ නුග ගහ දක්නට ඇත. අනගාරික ධර්මපාල තුමා කියන කරන රැස්වීම් යටත්විජිතවාදී රජයට විරුද්ධ බව එකල සිටි පොලිස්පතිවරයා විසින් පවසා එම රැස්වීම් පැවැත්වීම තහනම් කරන ලදී. එසේම සිංහල බෞද්ධයා පුවත්පත තහනම් කරන ලදි. එවකට ඉන්දියාවේ සිටි ධර්මපාලතුමා නිවාස අඩස්සියේ තැබීමට නියම කරන ලදී. ධර්මපාලතුමාගේ සොහොයුරා සිංහල බෞද්ධයා පත්‍රය වෙනුවෙන් අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරන ලදී. එතුමා යාපනයේ සිර ගෙදරදී මිය ගියේය. මේ සියලු තාඩන පීඩන මැද තම යුතුකම් සියල්ල කළ අනගාරික ධර්මපාලතුමා අවසානයේ සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදි වී ඉන්දියාවට වැඩම කර සිටියදී අපවත් විය.

අනගාරික ධර්මපාලතුමාගේ 150 වන ඡන්ද සංවත්සරය යෙදී තිබුණේ සැප්තැම්බර් 17 වැනිදාටය. ඒ නිමිත්තෙන් ජාතික උත්සවයක් මේ මස 21 සහ 22 දෙදින කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශය හා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සිදු කෙරේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන මේ වැඩ සටහන සඳහා දෙස් විදෙස් පඬිවරුන් රැසක් සහභාගි වෙති. ධර්මපාලතුමාගේ පණිවුඩය අනාගතයට ගෙන යාම අරමුණු කර ගනිමින් මේ අයුරින් ඉදිරියේදීත් කටයුතු කිරීමේ වැදගත්කම අප විසින් අවබෝධ ගර ගත යුතුයි. කිසිදු කරුණකදී නොසැලී අප්‍රතිහත ධෛර්යයන් යුතුව කටයුතු කිරීම එතුමාගේ චරිතයෙන් ලබාගත හැකි ප්‍රධානතම ආදර්ශයයි.

- තාරක වික්‍රමසේකර

 

     ‍ බිනර පුර අටවක පෝය 

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 21 වැනිදා සඳුදා පූර්වභාග 02.23 ට ලබයි. 22 වැනිදා අඟහරුවාදා පූර්වභාග 2.23 දක්වා පෝය පවතී. සිල්සමාදන්වීම සැප්තැම්බර් 21 වැනිදා සඳුදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 27 වැනිදා ඉරිදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04

Full Moonඅමාවක

ඔක්තෝබර් 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]