UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තථාගත ධර්මය

තථාගත ධර්මය

භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා දුකෙන් මිදෙන මාර්ගය වදාළා. දුකෙන් නිදහස් වීමට කැමැති බොහෝ දෙනා ඒ මාර්ගයේ ගමන් කොට සසරෙන් නිදහස් වුණා. භාග්‍යවතුන් වහන්සේ වදාළා මේ ලෝකයේ ජීවත්වන මිනිසුන් කොටස් හතරකට බෙදිය හැකි බව. පළමුව අඳුරින් අඳුරට යන තැනැත්තා, දෙවැනුව අඳුරින් ආලෝකයට යන තැනැත්තා, තෙවැනුව ආලෝකයෙන් අඳුරට යන තැනැත්තා, සිව්වෙනුව ආලෝකයෙන් ආලෝකයට යන තැනැත්තා.

ඇතැම් අය බණ අහනවා. බොහෝ පින්කම් කරනවා. පින්කම්වලට සහභාගි වෙනවා. අප යමක් කරනවා නම් ඒවා කළයුත්තේ ඒ පිළිබඳ ගෞරවණීය බව ඇතිවන ආකාරයට මනා අවබෝධයක් ඇතිවයි. වචනයෙන් පවා එය ප්‍රකාශ විය යුතුයි. නැතිනම් එයින් ප්‍රයෝජනයක් නැහැ. බෞද්ධ දර්ශනය තුළ මලක් පූජා කළත් ඒ තුළ යම් දර්ශනයක් තිබෙනවා. මේ මල ලස්නයි. සුවඳයි. ඒත් මල පිපුණු මොහොතේ සිටම ටික ටික පරවෙලා යනවා. අන්න ඒ වගේ අපේ ජීවිතයත් ඉපදුණු දවසේ සිටම ටිකෙන් ටික පරවෙනවා. මියැදෙනවා. ඒ අවබෝධය දර්ශනය ඇතිවයි අප මලක් වුවත් පූජා කරන්නේ.

අප කාටත් ජාති, ජරා, මරණ, ව්‍යාධි කියන දෙයින් ගැලවිය නො හැකියි. යාන වාහන ගෙවල් දොරවල් හදාගෙන සර්ව සම්පුර්ණ ජීවිතයක් ගත කරන්නේ කියා හිතන උදවිය ඒවායෙන් ආරක්ෂාවට සොරබිය, රක්ෂණ, ගිනිබිය, ජීවිත, වාහන රක්ෂණ ඇතුව ඉන්නේ. ඒත් මේ රක්ෂණවලට වඩා දෙලොව ආරක්ෂාවට ඇති රක්ෂණය තමයි ධර්මය රක්ෂණය.

“ධම්මෝ භවේ රක්ඛති ධර්මචාරි” ඒ අසිරිමත් දහම අප ආරක්ෂා කරනවා. ඒ නිසා තවත් වරෙක බුදුරජාණන් වහන්සේ මේ වටිනා ජීවිතය ධර්මචර්යාවේ යෙදවීමේ වටිනාකම ගැන උපමාවකින් මෙසේ වදාළා. එක්තරා දවසක තථාගතයන් වහන්සේ භික්ෂු සංඝයා සමඟ එක්තරා වනයකට වඩිනවා. ඒ අවස්ථාවේ උන්වහන්සේ නිය මත්තට පස් ටිකක් අරගෙන අසනවා,මහණෙනි මේ මගේ නිය මත තිබෙන පස්ද මේ මහ පොලොවෙහි තිබෙන පස්ද වැඩි කියා. භික්ෂූන් වදාළා ස්වාමිනි, නිය මත පස්වලට වඩා මහපොළොවෙහි තිබෙන පස් ප්‍රමාණය අධිකයි. ඒ අවස්ථාවේ උන්වහන්සේ වදාළා මහණෙනි, හරියට මේ නිය මතට ආපු පස් ටික වගේ තමා සංසාරේ අපට මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන අවස්ථාව ඉතාම ස්වල්පය යි. මහා පොළොවේ අනෙක් විශාල පස් ප්‍රමාණය වගේ අනන්නත වාර ගණනක් අප යක්ෂ, පේ‍්‍රත, තිරිසන් ආදි යෝනිවල ඉපදී තිබෙන අවස්ථාව සහ ඉපදෙන්න තිබෙන අවස්ථා අධිකයි කියා. මේ මනුෂ්‍ය ආත්මය ලැබිම දුර්ලභ යි. ඒ නිසා ඒ ලැබුණු භවයේ ආධ්‍යාත්මික ගමන නො පමා ව සිත යොදවන්න උපක්‍රමශීලි විය යුතුයි. ප්‍රඥාව වඩවා ගත යුතුයි.

උන්වහන්සේ වදාළා අප සතෙකුට වුවත් බත් කටක් දෙනවානම් දිය යුත්තේ කන්න බැරි විසි කරන කොටස නොවේ. ඒක දුන්නට කමක් නැහැ. ඒත් එයින් දානය පුරුදු කරන්න දාන අධ්‍යාසය ඉටුකරගන්න බැහැ. අප දෙන්න ඕන අපට ප්‍රයෝජනයට තිබෙන වටිනා කොටසින් යමක්. එවිට තමා ආශාව, අල්ලා ගැනීම, ටික ටික හරි මඬින්න පුරුදු වෙන්නේ. ආරම්භයේ දී එවැනි යහපත් දේට සිත පුහුණු කරන කොට අපි ප්‍රයෝජනයට ගන්න දේවලින් හැකි පමණක් දීම ප්‍රමාණවත්. තව කොටසක් නොදී බැරිකමට දෙනවා. ඒකත් දානය නොවේ. සමහර අය දෙනවා. දීලා සිතින් දුන් දේ දැඩිව අල්ලාගෙන ඉන්නවා. හිත හදාගන්න බැරිව ඉන්නවා.

තථාගතයන් වහන්සේ අපට වදාලා මේ සංසාරය තරණය කරන්න මූලිකවම අප පුරුදු කළ යුතු කරුණු හතරක්. මේ කරුණු කෙටි කර දැක්වුවහොත් 1. ක්‍රෝධය නැති කිරීමට මෛත්‍රි චින්තාව පුහුණු කළ යුතුයි, 2. අසද්පුරුෂ බව නැති කිරීමට සද්පුරුෂ චින්තාව පුහුණු කළ යුතුයි, 3. මසුරුකම නැති කිරීමට දානය පුහුණු කළ යුතුයි, 4.අසත්‍යය සත්‍යයෙන් ජයගත හැකි බව පුහුණු කළ යුතුයි . මේ කාරණ සතර වුවත් යමෙක් පුරුදු පුහුණු කරනවානම් ජීවිතය ආධ්‍යත්මික ගමනකින් සුවපත් කර ගන්න අවස්ථාව එළඹෙනවා.

මේ කාරණා දේශනා කරන්නට තථාගතයන් වහන්සේට සිදුවීමක් හේතු වුණා. එදා පොහොය දිනයක්. මිනිසුන් සිල් සමාදන් වෙනවා. නොයෙක් නොයෙක් ආගමික වතාවත්වල යෙදෙනවා. ජේතවනාරාමය අසළ ම හිටියා දිළිදු පවුලක්. ඒ පළාතෙම හිටිය දුප්පත්ම පවුල.ඒ නිවසේ ගෘහපතියා පුණ්ණ . පුණ්ණගේ බිරිඳ එදා පැලේ කවුළුවෙන් ජේතවනාරාමය දෙස බැලුවා. හරිම ලස්සන සැදැහැවතුන් පින්කම්වල යෙදෙනවා. ඒ බොදු අසිරිය දුටු පුණ්ණට හිතෙනවා අනේ මටත් ජේතවනාරාමයේ දවසක් ගත කරන්න ඇත්නම් හොඳයි නේද කියලා. ඒ්ත් ඒ සමඟම නැවත හිතනවා එහෙම කළොත් මගේ දරුවන් කුසගින්නේ. දවසක් හෝ වැඩ නොකර සිටීම අපහසුයි. එහෙම හිතලා හරකබාන අරගෙන සී සාන්නට "සුමන" කියන සිටුවරයාගේ කුඹුරට යනවා. බිරිඳ හිතනවා මේ උතුම් පොහොය දිනයේ මගේ ස්වාමියා කය වෙහෙසන්නේ අප වෙනුවෙන්. අපේ බඩගින්න වෙනුවෙන්. දවල් කෑම ටික ඉක්මනින් පිළියෙල කොට රැගෙන යා යුතුයි කියා කෑම සූදානම් කර අරගෙන ගියා. යන අතරමඟදී ඈතින් සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඉදිරියට වඩිනවා. හරිම ශාන්තයි. ගමනින් ඉඳුරන් නිවෙන සුළුයි. ඒ වෙලාවේ ඇයට සිතෙනවා මේ කෑම ටික මේ ඉන්ද්‍රිය ශාන්ත වූ මහ රහතන් වහන්සේට පූජා කරන්න ඇත්නම් කොයි තරම් හොඳ ද කියලා. ඒත් ඒ මොහොතේ ම නැවත හිතනවා මගේ ස්වාමියා අද වැනි උතුම් දවසකත් වැඩ කරන්නේ කය වෙහෙසන්නේ අප නිසයි. මේ බත් ටිකත් පූජා කළොත් දවසේම ඔහු කුසගින්නේ කියා පහළවුනු කුසල් සිත නැවත යටපත් කර ගෙන ඉදිරියට ගියා.

සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇයගේ ඉදිරියට වඩිනවා. දැන් මේ කාන්තාව දකිනවා උන්වහන්සේ සමීප වෙනවා. නැවත හිතනවා මේ කෑම ටික පූජා කළොත් හොඳයි. ඒක අද වගේ දවසක යහපත් පින්කමක්. ඒත් තම ස්වාමියා කුසගින්නේ කියා සිහිපත් වුණා. ඉදිරියටම යත්ම ඇයට සියල්ලම අමතක වෙනවා. කුසල සිත දානාධ්‍යාශය නැවත මතු වෙනවා. රහතන් වහන්සේ ඇයගේ දානය පිළිගන්නවා. චිත්ත පි‍්‍රතියට පත්වෙනවා. ගත වුණේ එක් මොහොතයි. එම කාන්තාවට තම ස්වාමියා සිහිපත් වෙනවා. වහා නිවසට ගොස් සුළුවෙන් කෑම ටිකක් හදාගෙන එනවා. බිරිඳගේ පැමිණිම පරක්කු නිසා පුණ්ණට කේන්ති යනවා. කෝප සිතින්ම කුඹුරට ගොඩවෙලා ගසක් යට ඇලවෙලා ඉන්න විට බිරිඳ පැමිණ සිදු වූ සියල්ල සැලකරනවා. එය ඇසූ සැණින් පුණ්ණගේ කෝපය පහවෙලා යනවා. ඔහු ඒ කටයුත්ත සතුටින් අනුමෝදන් වෙනවා. ඔහු කියනවා අප දිළිඳු වුනාට ඒ කටයුත්ත දිළිඳු නැහැ. ඒ මහා ප්‍රඥාධාරි මහරහතන් වහන්සේ නමකට අප වෙනුවෙන් පිළියල කළ කෑම පූජාකිරීම ඉතා යහපත්. කියා සාධු නාද දුන්නා.

ඔහු නැවතත් කුඹුරට බැස්සා. සී සාන ලද කුඹුරෙහි පෙරළුණු පස් රන් පැහැයෙන් බබලනවා. පුණ්ණ හොඳට සමීප වෙලා බැලුවා. පුදුමයි පස රන් බවට පත්වෙලා. මෙයින් තේරුම් ගත යුතුයි භෞතිකව දිළිඳු වුවත් සිතිවිලිවලින් පොහොසත්වීම කෙතරම් හොඳ ක්‍රියාවක්ද කියලා. ඒක අප තීරණය කළයුත්තේ අපේ සිත සහ සිතිවිලි ක්‍රියාත්මක වන ආකාරය දෙස බලලා.

ඉතින් මේ කුඹුර රන් බවට පත්වුණාම පුණ්ණ සිතනවා මේ වස්තුව අප රැස්කර ගන්න හොඳ නැහැ. මේ කුඹුර සුමන සිටුවරයාටයි අයිති. ඒ නිසා මේ කාරණය ඔහුට දැන්විය යුතුයි කියා දන්වා සිටියා. සුමන සිටාණෝ මොකද කළේ? සේවකයන් සමඟ රන් තමාට එකතු කරගන්න සිතා එතැනට ආවා. ඒත් සිදුවුණේ නොසිතු දෙයක්. රන් ලබාගන්න හදනවිටම භයානක ශබ්දයක් නඟමින් රන් අල්ලා ගැනීමට සමීප වෙන අය විසි වෙන්න ගත්තා. මේ නිසා කාටත් රන් ලබාගත නොහැකි වුණා.

සුමන සිටාණෝ රහසේ රන් ලබා ගන්න බැරි වූ නිසා මේ පුවත රජුන්ට සැළකළා. රජතුමාත් සේවකයන් සමඟ රාජ භාණ්ඩාගාරයට වස්තුව ගෙනියන්න උත්සාහ කළා. රජුටත් රත්රන් ලබාගන්න බැරිවුණා. මෙය විශ්මයට කාරණයක් වුණා. ඒ වෙලාවේ මහරහතන් වහන්සේ නමක් මේ ස්ථානයට වැඩියා. උන්වහන්සේ රැස් වූ පිරිස අමතා සිහිපත් කළා අද දවසේ කවුරුන් හෝ අයෙක් වටිනා පින්කමක් කර තිබෙනවා. මෙහි සැබෑ අයිතිකරු ඔහු පමණයි කියා. එවිට අර කාන්තාව කියනවා මම දැනුවත්ව මහ පිනක් කළේ නැහැ. නමුත් අද ස්වාමියා වෙනුවෙන් පිළියෙල කළ දවල් කෑම වේල සාරිපුත්ත මහ රහතන් වහන්සේට පූජා කළා කියා. රහතන් වහන්සේ මේ කාරණය දැන සිටියා. උන්වහන්සේ වදාළා රජතුමනි, සිටාණනි මේ ධනය ඔබලාට අයිති නැහැ. මේවායෙහි අයිතිය හිමිව ඇත්තේ මේ අසරණ පින්වත් දෙපළට යි. පුංචි වුවත් ශ්‍රද්ධාව ඇතිව කළ විට ලැබෙන අසිරිය මෙබඳුයි කියා මතක් කළා. අනතුරුව මේ සියලු ධනයෙහි හිමිකරුවන් වූ දිළිඳු ස්වාමියා ‘බහුධන සිටාණන්’ යැයි ප්‍රසිද්ධියට පත්වුණා.

අපට යම් පිනක් කිරීමට සිතිවිල්ලක් පහළ වුණාට, එයට මුල පිරුවට අප හිතපු ආකාරයට එම පින්කම ඉෂ්ඨ කර ගන්න එහෙම නැත්නම් ක්‍රියාත්මක කර ගන්න බැරි වෙනවා. මේ සම්පූර්ණ නොවුණු සිතිවිල්ල කර්මය යි. එසේ නිමා කර ගැනීමට නොහැකි වූ කර්මය ‘කම්ම’ නැතිනම් ‘කර්මය’ කියා කියන්න පුළුවන්.

 

     ‍ නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 05 වැනිදා සෙනසුරාදා පූර්වභාග 03.56 ට ලබයි. 06 වැනිදා ඉරිදා පූර්වභාග 03.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 05 බදාදා සෙනසුරාදාය.

 මීළඟ පෝය සැප්තැම්බර් 12 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]