දුර ගමන් කරන චපල සිත
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම්
සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
තව දුරටත් ‘සතිය’ හෙවත් ‘සිහිය’ ගැන ධර්මානුකූලව කතා කරන්නට, ආරම්භය
වශයෙන් තබා ගත්තේ ධම්මපදයේ චිත්ත වග්ගයේ පළමු ගාථාවයි.
‘ඵන්දනං චපලං චිත්තං
දුරක්ඛං දුන්නිවාරයං
උජුං කරෝති මෙධාවී
උසුකාරොව තෙජනං’
ඵන්දනං - මේ සිත නිතර සැලෙනවා. සිහිය මනාකොට පිහිටුවා ගන්න බැරිවීම
නිසා, නැතිනම් සිහිය පිහිටුවන්න පුරුදු නැතිවීම නිසා, සිත ඒ ඒ අරමුණුවල
ඇලෙනවා. චපලං - මේ සිත චපලයි. එනම් සිතට එන අරමුණු ඉක්මණින් ම වෙනස්
කරනවා. ඇසට රූප, කනට ශබ්ද, ආදී වශයෙන් ඉන්ද්‍රියන් හයෙන් ම කැමැතියි
කියන අරමුණු ගන්න උත්සාහ ගන්නවා. දෙනකම් කරදර කරනවා. කල්පනා කරනවා.
බලාගෙන ඉන්නවා. හැබැයි දුන්නට පස්සෙ, අලුත් පෙනුමක්, හඬක්, ආග්‍රහණයක්,
රසයක්, ස්පර්ශයක්, සිතිවිලි වශයෙන් අලුත් දේවල් ඉල්ලනවා. එපමණක් නොවෙයි
තමා සතු කරගත්ත රූප, ශබ්ද වශයෙන් අරමුණු දිරාගෙන යනවා; වෙනස් වෙනවා;
දකින්න කැමැති නැහැ. එවිට හඬනවා. වැළපෙනවා. මනා කොට පුරුදු නොකරන ලද
සිත, එනම් මනාකොට සිහිය පිහිටුවා නොගැනීම නිසා වන විපත්තියයි.
සැළෙන සිත අරමුණු වෙනස් කරන හෙවත් චපල සිත ඉක්මනින් ම එහා මෙහා ගමන්
කරනවා. විවිධාකාර වූ සිතිවිලිවල ඇළෙමින්, ගැටෙමින්, ඔළුව අවුල් වූ ලෙස
හැසිරෙනවා යැයි ජීවත්වෙනවා යැයි සඳහන් කරන්නේ ද එයයි. යම් වූ ද අරමුණු
විටක ඉල්ලමින්, විටක එපා කියමින්, ආශාව, බය, සැකය ආදී විවිධ කෙලෙස් මේ
සිත තුළ පදිංචි වුණාම ඒ මනස අවුල්වීම අමුත්තකට හෝ පුදුමයකට කරුණක්
වෙන්නෙ නැහැ. මෙන්න මේ අභාවිත, චපල ඉතා ඉක්මනින් දුර ගමන් කරන සිත
මනාකොට සිහිය පිහිටුවා ගැනීමෙන්, අප විසින් දමනය කළ යුතුමයි. පාලනය
කරගත යුතුයි. ඒ කෙසේ ද? එනම් ‘හරියට හී වඩුවෙක් තමන්ට ඕනෑ ආකාරයට යකඩ
රත්කොට හීය මනා කොට සකස් කරන්නා සේ, මනා කොට සිහිය පිහිටුවාගත් මේධාවී
හෙවත් ප්‍රඥාවන්තයා විසින් මේ සිත දමනය කර ගත යුතු බවයි.’
මෙලෙසින් සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කළ ආකාරයෙන් අපට සිහිය පිහිටුවා
ගන්නට පුළුවන් නම්, අපේ ජීවිතවල හැඬීම්, වැළපීම්, දුක් දොම්නස්
හැකිතාක් දුරට සංසිදුවාගෙන එදිනෙදා ජීවිතයේ කටයුතු කරන්නට පුළුවන් බව
ඉතාම පැහැදිලියි. සිහිය මනාකොට පිහිටුවා ගන්න බැරිවීම නිසා භික්ෂුත්වය
කෙලෙස ගන්නා, මව් පදවිය, පිය පදවිය කෙලෙස ගන්නා, මනුෂ්‍යත්වය පවා විනාශ
කරගන්නා වූ පිරිස් මොනතරම් සිටින්නේ ද? මේ පිරිස් සෑම කෙනෙක් ම තමාගෙන්
සිදුවිය හැකි හෝ සිදු කරන්නට යන වැරැද්ද හෝ අකුසලය පිළිබඳව සාමාන්‍ය
වශයෙන් හෝ නොදන්නා අය නොවෙයි. නමුත් සිහිය පිහිටුවීම නම් වූ යම්
ක්‍රියාවක ඇති යහපත, අයහපත, පින, පව, කුසලය, අකුසලය පිළිබඳව ඒ ඒ මොහොතේ
නිවැරැදි ආකරයට සිහිය පවත්වන්නට පුරුදු නොවීම නිසා; සිත සංවර කර ගැනීමට
අවස්ථාවක් ඔවුන්ට ලැබෙන්නෙ නැහැ.
සිත දමනය කිරීමට, කර ගැනීමට තරම් හැකියාවක් ඔවුන්ට නැහැ. ඒ නිසයි,
මොනතරම් දන්නවායි කියා දැනුම තිබුණත් සිහියේ ඇති නුපුරුදු බව නිසා සිතට
සිතෙන දේ, ඕනෑ දේ කරන්නට ඉඩ දී සිත අයාලේ ගමන්කොට මහත්විපතකට පත්වෙනවා.
අත්හැර දමන ලද ගෙමිදුලක, භූමියක ස්වභාවයෙන් ම වල් පැළෑටි බිහිවන්නා සේ
සිහිය හෙවත් සතිය පුරුදු කර නොගත් අයකුගේ සිතෙත් වල් පැළෑටි හෙවත්,
රාග, ද්වේෂ, මෝහ, මදමාන, දිට්ඨි ආදී අපමණ වූ කෙලෙස්වලින් වල්
බිහිවෙනවා. වල් බිහි වූ භූමියක් ගොහොර සතුන්ට ක්ෂේම භූමියක් විය
හැකියි. අභාවිත සිතක් ඇති පුද්ගලයකුගේ මනසත් එවැනි ම බලවත් වූ කෙලෙස්
පහළ වීමට, දෙව්දත් කෙනෙක් හැදීමට තරම්, චිංචිමානවිකාවක් බිහිකිරීමට
තරම්, බුදුරජාණන් වහන්සේ නමකට පවා දොස් කියූ සුප්‍රබුද්ධ රජතුමා වැනි
අයෙක් බවට පත් කිරීමට තරම් මේ මනස පත්විය හැකියි.
මනා වූ සිහිය හෙවත් සතිය පුරුදු වන විට යෝනිසෝමනසිකාර නම් වූ අවස්ථාව
මනාව සකස් වෙනවා. සාම්ප්‍රදායිකව යෝනිසෝමනසිකාරය යනුවෙන් සඳහන් කරන්නෙ
එළඹ සිටි සිහියෙන් යුක්තවීම යනුවෙනි. එනම් ඒ මොහොතෙහි ජීවත්වීම
යනුවෙනුයි. තවදුරටත් පැහැදිලි කළොත් සිතට ඇස ඔස්සේ රූපයක් අරමුණුවන විට
එම රූපය සීලයේ පිහිටා සම්මුතියෙන් පරිහරණය කරන්නට අවස්ථාව සලසා ගන්නට
පුළුවනි. එසේ නැතිව එම රූපය කෙරේ සීලයෙන් තොරව, පරිහරණයකට යන්නට
අවස්ථාව සැලසුණොත් එය මහ වැරැද්දක් විය හැකියි. අකුසලයකට පත්විය
හැකියි. මෙය තවත් මෙසේ පැහැදිලි කළ හැකියි. කායික, වාචසික සංවරයේ
පිහිටා අප ලෝකය දකින විට බලන විට, ස්වාමීන් වහන්සේ නමක්, අම්මා,
තාත්තා, ස්වාමියා, බිරිඳ ආදී වශයෙන් අරමුණු ගත හැකිය. ආදරය, කරුණාව,
ලෙන්ගතුකම හා සමගින් ජීවිත පවත්වාගත හැකියි. එහෙත් ඇසට ගන්නා අරමුණ
රාගයකට හෝ ද්වේෂයකට මුසුකරගෙන අරමුණ ගතහොත් මහා විපතක් විය හැකි නොවේද?
ස්වභාවයෙන් මේ සිතේ පවත්නා රාගාදි කෙලෙස් යටපත්ව පැවතීම හඳුන්වන්නේ
අනුසය වශයෙනුයි. අභාවිත සිතකට සිහිය නොපැවැත්වීම නිසා ඒවා දැනෙන්නට
පටන් ගැනීම හෙවත් සිතේ මතුවෙන්නට පටන් ගැනීම ‘පරියුට්ඨාන’ වශයෙන්
දක්වනවා. මනා කොට සිහිය පිහිටුවා නොගැනීම නිසා ඒවා වචනයෙන්,
ක්‍රියාවෙන් එළියට පැමිණීම හා ක්‍රියාත්මක වීම ‘වීතික්කම’ යනුවෙන්
සඳහන් කරනවා. මේ නිසා මනා කොට සිහිය පිහිටුවන්නට ඒ ඒ මොහොතේ ම සෑම
අරමුණක් කෙරෙහි ම අවධියෙන් සිටීම අවශ්‍යයයි. යෝනිසෝමනසිකාරය යනුවෙන්
පවසන්නේ මොනතරම් කාර්ය බහුල ජීවිතයක වුවත් මුලින් සඳහන් කලා සේ
ආශ්වාසයට, ප්‍රශ්වාසයට අනුව සිහිය පිහිටුවන්ට පුරුදු කරන ලද සිතක් ඇති
පුද්ගලයාට ඕනෑම අවස්ථාවක සිතට එන ආරම්මණයන් කෙරෙහි රාග, ද්වේෂ ආදී
වැරැද්දක් නොවෙන්නට සිහිය පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා.
කෙසේ වෙතත් සාමාන්‍ය ජීවිතයේ මොනතරම් ඉක්මනින් අපි ආරම්මණයන් ගන්නවා ද?
ඒවා හා සමගින් ජීවත් වෙනවා ද? යෝනිසෝමනසිකාරය නම් වූ මේ මොහොතේ
ජීවත්වන්නට සිහිය පිහිටුවා ගැනීමෙන් ගලන ගඟක් සේ අතොරක් නැතිව මොනතරම්
ඉක්මනින් ඇස ආදී ඉන්ද්‍රියන් හයෙන් ම රූප ආදී ආරම්මණ ගලාගෙන ආවත් තද
ඇලීමකට හෝ දෝමනස්සයකට එනම් ගැටීමකට හසුනොවීමට තරම් සිත පවත්වාගත
හැකියි. ඒ පුරුදු කරන ලද සිහිය නිසයි.
යම් විටක අශ්‍රැතවත් පෘතග්ජන ස්වභාවය නිසා ඇලීමක් හෝ ගැටීමක් පාපයකට හෝ
අකුසලයකට යොමුවෙන ආකාරයෙන් හෙවත් තමාගේ ස්වභාවයට නොගැළපෙන ආකාරයෙන් පැන
නැගෙන්නට උත්සාහ කළොත්, එවැනි අවස්ථාවක සිහිය මතු වී මේ වැරැද්දක් මෙය
නුඹට ගැළපෙන්නෙ නැහැ. නුඹ ස්වාමීන් වහන්සේ නමක්, නුඹ අම්මා, තාත්තා
කෙනෙක්, විවාහක කෙනෙක්, අඩුම තරමෙ දුර්ලබ වූ මනුෂ්‍ය ජීවිතයක් ලැබූ
මනුෂ්‍යයෙක් යනුවෙන් හෝ අපට මතක් කර දෙනවා. මතක් කොට දී පාපයෙන් හෙවත්
වරදින් වළක්වා තරමකින් හෝ පාලනයක් අපට ලබා දෙනවා. අකුසලයෙන් හෙවත්
පාපයෙන් වළක්වනවා. අප සෑම කෙනෙකුට ම යෝනිසෝමනසිකාරය අවශ්‍යයයි.
මේ ආකාරයෙන් අපේ මේ සිත් හා සිතිවිලි හටගෙන ඒවා බැහැර වී යන ආකාරයත්
තේරුම් ගැනීමටත්, ඒවා කෙරෙහි නොඇලී නොගැටී සිටින්නටත් ඒ ඔස්සේ ගොස්
කර්ම රැස්වීමටත් අවස්ථාවක් නැහැ. අපේ සිත අපට ඕනෑ කරන ආකාරයෙන් සීල,
සමාධි, ප්‍රඥා ගුණ ඔස්සේ යොමු කර ගන්නට අවස්ථාව සැලසෙනවා. නිදසුනක් ලෙස
මේ ශරීරයේම පාදාන්තයේ පටන් කේශාන්තය දක්වා අනිත්‍ය ආදී ලක්ෂණ වශයෙන්
දැක ධර්ම මාර්ගයේ යෙදෙන්නට ඉතා ම පහසු අවස්ථාවක් අපට ඇතිකර ගන්නට
පුළුවනි.
දීපා පෙරේරා |