UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය – ගෘහ ජීවිතය අතිශයින් වගකීම් සහිත වූවකි පවුල. සමාජ සංයුතියේ කුඩාම ඒකකය පවුලයි. සමාජයට නව සාමාජිකයන් එක්කරන ආයතනයයි. එම නව සාමාජිකයන් නිරෝගී මානසික තත්වයකින් සමාජයට එවීමෙහි මූලිකම වගකීම මව්පියන් වෙත පැවරෙයි. එම නිසාම අං.නි. සබ්බ්‍රහ්ම සූත්‍රයට අනුව බුදුදහමට ‘පෙර පාසල’ ගෘහයයි. සූත්‍රාගත බුද්ධ දේශනා ඇසුරු කරමින් පවුල් ඒකකයෙහි පවතින වගකීම පැහැදිලි කරන්න.

පිළිතුර
අ.නි. සුප්පතිකාර සූත්‍රාගත තොරතුරු අනුව,ආපාදකා , පොසකා, ඉමස්ස ලොකස්ස දස්සෙතාරා’ යන පදනම මත දරුවා ඇති දැඩි කළ යුතුය. ළමයාගේ පාසල් ඉගෙනුම ආරම්භ වනුයේ මෙයින් අනතුරුවය. සූත්‍රාගත බුද්ධ දේශනාවට අනුව ‘ආපාදකා යන්නෙන් දරුවාගේ කායික මානසික කුසලතා වර්ධනය කිරීමයි. දරුවාගේ මිනිස්කම පිබිදෙන ආකාරයට දරුවා පිළිබඳව සංරක්ෂණශීලි සම්බන්ධතාවක් ඇතිකර ගැනීම මෙයින් අදහස් කෙරේ.

අටුවාචාරින් ආපාදකා යන්න දිවි පැවැත්ම සඳහා අවශ්‍ය (පරිඥානය) වැටහීම් ලබාදීම නිසා සිඟාලෝවාද සූත්‍රාගත පරිදි ‘පුබ්බාචරි’ පුබ්බදේව පූර්ව ගුරුවරුන් වශයෙන් හඳුන්වන්නේ ඒ නිසයි. පොසකා යන්නෙන් කායික හා මානසික පෝෂණයත් ඉමස්ස ලෝකස්ස දස්සේතාරා ලෝකය පෙන්වා දෙන අය වශයෙන් මව්පියන් හඳුන්වා දී ඇත.

අං.නි. සබ්‍රහ්ම සූත්‍රයෙහිදී දරුවන් විසින් මැනවින් සංග්‍රහශීලී මව්පියන් සිටින ගෘහයක සබ්බ්‍රහ්ම කුල සබ්‍රබ්බචරිය කුල සපුබ්බදෙවතා කුල සාහුනෙය්‍ය කුල යන වචන හතරකින් හඳුන්වා ඇත. සබ්බ්‍රහ්ම කුලය යන්නන් බ්‍රහ්මයන් සහිත පවුලක් බවයි. බුදුවදනට අනුව මව්පියන් බ්‍රහ්මයෝය. බ්‍රහ්මයා තුළ පවතින මෛත්‍රිය, කරුණාව, මුදිතාව හා උපේක්ෂා ගුණ මව්පියන් කෙරෙහි දක්නට ලැබෙයි. සපුබ්බාචරිය කුල යනු පූර්වාචරිය සහිත පවුලයි.ආහාර පාන ගැනීම, ඉරියව් පැවැත්වීම, නෑදෑ හිත මිතුරන් හා සබඳතා ගොඩනගා ගැනීම කළ යුතු නොකළ යුතු දේ මේ ආදී කරුණු පළමු වරට දරුවාට කියා දෙන්නේ පුරුදු පුහුණු කරවන්නේ මව්පිය වරුන්ය. එනිසා ඔවුහු මුල්ම ගුරුවරු වෙති. දෙවියන්ගේ රැකවරණයත් සාහු නෙය්‍යක කුල යන්නන් දරුවන්ගෙන් ගෞරවනීයත්වයට පූජනීයත්වයට යොමුගත පවුලයි.

ප්‍රශ්නය
බෞද්ධ පවුල් ඒකකයක් තුළ බිරිඳ ගේ (භූමිකාව) පැවැත්ම පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ අවධානය යොමුවූ ආකාරය පැහැදිලි කරන්න.

පිළිතුර
බුදුරජාණන් වහන්සේ සමාජගත සෑම ක්‍රියාවක්ම සජීවී බවක් පැවතිය යුතුය යන සිද්ධාන්තය මත පිහිටා දේශනා නියමයන් අනුදැන වදාළ බවට නිදර්ශනයක් අං.නි. සත්ත භරියා සූත්‍රයෙහි දැක්වෙයි. එහි පළමුව දැක්වෙන්නේ වධක භාර්යාව ගැනයි. නිතර ද්වේශ සහගත සිතින් ක්‍රියා කරන (පදුට්ඨචිත්තා) සිය සැමියා පහත්කොට සිතන (අතිමඤ්ඤෙත පතිං) අනුකම්පාවෙන් තොරවූ (අහිතානුකම්පිනී) අන් පුරුෂයන් කෙරෙහි ඇලුණු (අඤෙඤසුරත්තා) ස්වාමියා වධයට පත්කිරීමට නිරන්තරයෙන් උත්සාහවත් වන (වධාය උස්සුකා) තැනැත්තිය වධක භාර්යාවයි.

මේ පිළිවෙත තුළ ගෘහ සමාදානයක් සිදුවිය නොහැකිය. එවන් පවුලක හැදෙන දරුවා මව්පිය ගෞරවය ඇති අයෙකු නොවේ. එවන් නිවෙස්වල මව්පියන් දරුවන්ගේ අතින් අතවරයටත්, ඇතැම්විට මරණයටත් පත්වන අවස්ථා සමාජයේ කොතෙකුත් දැකිය හැකිය.

ප්‍රශ්නය – බුදුදහමට අනුව කල්‍යාණ මිත්‍රයා සම්පතකි. මෙලොව අභිවෘද්ධියට හේතුවන එක් සම්පතක් ලෙස හඳුන්වා දෙන ව්‍යග්ගපජ්ජ සූත්‍රය එමගින් තමන් තුළ පුද්ගලයා ඇතිකර ගන්නා සද්ධාදී ගුණ සතර පරලොව හිත සුව සඳහා පවතින සම්පත් සතර ලෙස වෙන වෙනම දක්වා තිබේ. ඒ අනුව බලනවිට කල්‍යාණ මිත්‍රතාව මිනිසාගේ මෙලොව දියුණුවට පමණක් නොව පරලොව දියුණුවට හේතු වීමෙන් දෙලොව දියුණුවම සලසන සාධකයක් වෙයි. සූත්‍රාගත දේශනා ඇසුරෙන් පැහැදිලි කරන්න.

පිළිතුර
දෙලොවට හිත සුව පිණිස දහමක් දේශනා කරන්නැයි ආයාචනයකට පිළිතුරු වශයෙන් කරන ලද ව්‍යග්ඝපජ්ජ සූත්‍ර දේශනයෙහිදී මෙලොව හිත සුව සඳහා ලබාගත යුතු සම්පත් සතරකින් එකක් ලෙසද කල්‍යාණ මිත්‍රත්වය හඳුන්වා ඇත. සොතාපත්ති අංග සතරින් කල්‍යාණ මිත්‍රතාව එකකි. සිඟාල තරුණයාට දෙසූ සිඟාල සූත්‍රයෙහිදී මිත්‍රයන් සහ මිත්‍ර ප්‍රතිරූපකයන් ගැන දේශනා කොට ඇත. දියුණුවේ දොරටු වශයෙන් මංගල සූත්‍රයෙහි ඇතුළත් කරුණු 38 න් පළමුවැන්න බාලයන් ඇසුරු නොකිරීම වන අතර දෙවැන්න නුවණැත්තන් ඇසුරු කිරීමය. මේ අයුරින් ආශ්‍රය – නිශ්‍රය ගැන බුදුදහම සුවිශේෂ අවධානයක් යොමුකරමින් දියුණුව කැමැතිවන්නා කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කළ යුතුය යන්න බුදුදහම අවධාරණය කරයි. මෙලොව පරලොව දියුණුව යනු ලෞකික අරමුණු ය. ‘සොතාපත්ති’ අංග සතර එකක් ලෙස කල්‍යාණ මිත්‍ර සම්පතක් ලෙස දක්වා තිබීමෙන් එය ලෝකෝත්තර දියුණුවටද හේතුවන බව පැහැදිලිය.

ප්‍රශ්නය
හොඳ හා නරක හඳුනා ගැනීමේ බෞද්ධ නියමය කුමක්ද?

පිළිතුර
හොඳ හා නරක හැඳින්වීම සඳහා බුදු දහමෙහි යුගල පද කිහිපයක් භාවිත වේ. කුසල අකුසල, පින්පව්, සාවජ්ජ ,අනවජ්ජ , අරිය ,අනරිය, සම්මා මිච්ඡා , හීන පණීත කළු, සුදු යන වදන් භාවිතයෙහි පවතී.

මෙයින් හොඳ ක්‍රියා හැඳින්වෙන්නේ කුසල පින්, අනවජ්ජ ,සම්මා , අරිය, සූදු දහම් වශයෙනි. ඒවා කළ යුතුය. අකුසල, පව් සාවජ්ජ, මිච්ඡා, අනරිය කළු යන දහම් නරකය. ඒවා නොකළ යුතුය.

මනො පුබ්බංගමා ධම්මා මනො සෙට්ඨා මනොමයා
මනසා චෙ පදුට්ඨෙන
භාසතිවා කරොතිවා
තතො නං දුක්ඛ මන්වෙති
චක්කංච වහතො පදං
මනසා චෙ පසන්නේන
භාසතිවා කරොතිවා
තතො නං සුඛ මන් වෙති
ඡායාව අන පායිනී

මේ අනුව – ලොභ, ද්වේශ, මොහ යන මූලික චේතනා නරකයි.

”පදුට්ඨෙන චෙතසා භාසති වා
කරොතිවා තතො නං දුක්ඛ මන්වෙති.
දුක පිණිසම ඒ නරක සිතිවිලි

හේතු වන්නේ මය.

අලෝභ අදොස අමෝහ චේතනා සියල්ල “පසන්නේන, චෙතසා” යහපත් සිතුවිලිය. ඒවා සැප පිණිසම වෙයි. ම:නි: අම්බලටඨික රාහුලෝවාද සූත්‍රය හොඳ හා නරක සදාචාරාත්මක විග්‍රහයකට අනුව දේසනා කොට ඇත. ඉදං මේ කම්මං අත්තවපා බාධායපි සංවත්තෙ යචි, පරව්‍යා බාධාපි සං වත්තෙය්‍ය උභයව්‍යා බාධායපි සංවත්තෙය්‍ය අකුසලං ඉදං ඉදං කම්මං දුක්ඛදයං දුක්ඛ විපාකං”

යම් ක්‍රියාවක් තමන්ට අහිතකර වේද අන්‍යයන්ට අහිතකර වේද තමන් හා අනුන් යන දෙපාර්ශ්වයටම අයහපත පිණිස වේ නම් එය අකුසලයකි. එය දුක පිණිසම වන්නේය දුක පිණිස විපාකයට සිදුවන ක්‍රියාව නරක ක්‍රියාවකි. මේ අනුවම යමින් යහපත් ක්‍රියා තමන්ටද අනුනටද යන දෙපාර්ශ්වයටම යහපත පිණිසම වන්නාවූ ක්‍රියා පින්ය. හොඳ ක්‍රියාවෙයි. ඒවා සියල්ල සැප විපාක ලබා දෙන්නේය.

 

    ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය අගෝස්තු මස 13 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 6.49 ට ලබයි. 14 වැනිදා සිකුරාදා අපරභාග 8.23 පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 14 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 22 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 14

First Quarterපුර අටවක

අගෝස්තු 22

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]