UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වස්සානය හා වස් කාලය

වස්සානය හා වස් කාලය

වස්සාන සෘතුව එළැඹෙන්නේ ගිම්හාන සෘතුවෙන් පසුවය. ගිම්හාන සමය යනු දැඩි සූර්ය රශ්මිය පොළවට වැටෙනා ඒ නිසාම සතුන් හා ශාකවර්ග දැඩි පීඩාවට භජනය වන සමයයි. ගස්වැල් ජල හිඟය නිසා දුර්වලව වර්ධනය බාල වී මැලවී ගොස් වියළි පරඬලාපත් බවට පත්වේ. ශාකවලින් යැපෙන වනසත්හු ද ආහාර හිඟයත්, පිපාසයත් නිසා අතිශය අසරණභාවයට පත් වෙති. පොළව වියළීමෙන් දැවුණු බිමෙහි පැතිරීමට නොහැකිව මූලපද්ධතිය අක්‍රීය වේ. ඉඩෝරයට මුහුණ දීගත නොහැකිව සතුන් පමණක් නොව ඇතැම් වෘක්ෂලතාවෝ ද මරණයට පත් වෙති. ඇතැම් විට ලැව් ගිනි ඇතිවීමෙන් මුළු වනගහණයම දැවී පිළිස්සී අළු වී යයි. ගිම්හාන සෘතුවෙහි පීඩාකාරී බව පැරණි සාහිත්‍ය ග්‍රන්ථයන්හි මැනවින් විස්තර කොට තිබේ. කව්සිළුමිණෙහි දැක්වෙන්නේ මෙසේ ය.

දිය සුන් හෝ මහ
වෑ විල් මුළුලෝ කුරුර
ගිමන්හුරු පැන්සොමි බුත්
සහ ඔඩම තැටි තටු එවු

දිය සිඳුනු ගංගා ද මහ වැව්ද විල්ද ඇති මුළුමහත් ලොව රෞද්‍ර වූ ගිම්හානය නමැති සූර්යා නොහොත් ගිම්හානයේ හිරු විසින් සෝම පානය බිවූ ඔඩම් හා තැටිද සහිත වූ බන්දේසියක් වැනිය.

ගිම්හානය අවසන් වීමෙන් උදාවන්නේ වස්සාන සමයයි. වැසි දියරෙන් පොළව තෙත් වීමත් සමග එතෙක් මැලවී වියකී කනාටු වී ගිය ගස්වැල් දලු ලමින් සශ්‍රීකව වැඩෙන්නට පටන් ගනී. ශාකවල මූලපද්ධතිය දියෙන් පෙඟී බුරුල් වූ පොළව සිසාරා විහිදෙමින් ගස්වැල්වලට ශක්තිමත්ව නැගී සිටීමට උපකාර වෙයි. බලා සිටියදී මෙන් ගස්වැල් නව ජීවය ලබා සරු සාරව වැඩෙද්දී මෙතෙක් ආහාර හිඟයෙන් හා පිපාසාවෙන් පීඩා විඳි සතුන්ට පී‍්‍රතිමත් අවධියක් උදාවෙයි. නිල්වන් තණකොළ හා පලුපල්ලවයන් බුදිමින් නොවෙහෙසී දියබොමින් අහසින් වැටෙන දිය බිඳුවලින් ආස්වාදය ලබමින් වන සත්තු වස්සාන සමයෙහි ශක්තියෙන් ජවයෙන් හා පුෂ්ටිමත්භාවයෙන් වැඩෙති. මාංශ භක්ෂක වනසත්තු ද ලෙයින් මසින් පිරිපුන් ගොදුරුවලින් තෘප්තිමත් වන්නාහු කෙළි දෙලෙන් කල් ගත කරති. ගස්වැල් පමණක් නොව වනසත්තු ද සිය පරපුර අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය පාරිසරික පදනම වැසි සමයෙහි සපුරා ගනිති. සොබා දහම තුළ ඇතිවන මේ විපර්යාසය මානව සමාජය කෙරෙහි ද ආශීර්වාදාත්මකව බලපාන බව රහසක් නොවේ. මිනිසුන් ගොවිබිම් හරහා තම යැපීමට අවශ්‍ය ධාන්‍ය එළවළු පලතුරු ආදිය නිපදවා ගැනීමට අවධානය යොමු කරන්නේ වැසි සමය තුළදීය.

බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට වැසි සමයෙහි වස් සමාදන්ව කල්ගෙවීමට නියම කොට වදාළේ සත්ව හා ශාකවලට සමගාමීව භික්ෂු සමාජයේ වර්ධනයට පැවැත්මට හා ස්ථාවරත්වයට එම වකවානුව යෝග්‍යවන නිසාය.

වස්කාලය හැර වසරේ ඉතිරි කාලයෙහි පුරාණයේ භික්ෂූන් වහන්සේලා ගත කළේ සංචාරක ජීවිතයකි. එක් ගමකින් තවත් ගමකට නගරයකින් තවත් නගරයකට ආරණ්‍යයෙන් ආරණ්‍යයට ගමන් කළ මේ සංචාරක ජීවිතය නිසා භික්ෂූන් වහන්සේට වෙහෙස දැණුනා පමණක් නොව සිව්පසය පවා අඛණ්ඩව නිසි පරිදි ලැබුණේ නැත. දවස පුරා සංචාරය කරමින් යන අතර රැය උදාවුණු පසු පහසුකම්වලින් අඩු ඒ අවස්ථාවට පිළියෙල කරගත් ආවාසවල රැය ගෙවා දමන්නට සිදුවුණුබව පෙනේ.

එවැනි වටපිටාවක් තුළ ගැඹුරු සමාධියකට එළැඹ භාවනා කිරීමේ ගැටලුවට භික්ෂූන් වහන්සේ මුහුණපෑම නිසා අධිගමයන් ලැබීමට තිබුණු ඉඩ ප්‍රස්ථා විරල විය. ආචාර්ය උපාධ්‍යායයන් ඇසුරු කරමින් අඛණ්ඩව රැඳී සිටීමට නොලැබීමෙන් ධර්ම විනය හදාරන්නට ද අවහිරතා ඇතිවන්නට ඇත.

ගුරු ඇසුරින් කර්මස්ථානයක් උගෙනවුත් වස් කාලයේ දී ආවාසයක දිගටම රැඳී සිටීමට ලැබීම භාවනායෝගී භික්ෂූන්වහන්සේට මහත් ප්‍රතිලාභ ගෙනදෙන්නකි. බොහෝ විට දායකයින්ගේ ආරාධනාවක් පිළිගෙන වස් විසූ හෙයින් ප්‍රත්‍ය පහසුකම් සඳහා වෙහෙස වීමටද සිදු නොවීය. ධර්ම සාහිත්‍යයේ සඳහන් පරිදි භික්ෂූන් වහන්සේලා වැඩි පිරිසක් ධර්මාභිසමය කළේ වස්සාන කාලයේ ය. සංඝසමාජය පැත්තෙන් බලන කල පර්යාප්ති ප්‍රතිපත්ති හා ප්‍රතිෙවිධ ශාසනයේ අභිවෘද්ධිය සඳහා සැකසුණු පදනම එහි ස්ථාවරත්වයටත් වර්ධනයටත් ප්‍රබලත්වයටත් හේතුවුණු බව නිසැකය. භික්ෂු ජීවිතයක අනන්‍යතාව පිළිබිඹුකරන අධ්‍යාත්මික ගුණාංග වර්ධනය කරගනිමින් නෛය¸ානික අරමුණු සාක්ෂාත් කර ගැනීමට වස්සාන කාලය මහඟු පිටුබලයක් වූ බව සිතාගත හැකිය.

දායක පක්ෂය ද, භික්ෂු ශාසනයත් සමඟ වඩාත් සවිමත් ලෙස බද්ධ වන්නේ වස්කාලය තුළය. ආරාමයක් ඇසුරු කොට වස් සමාදන්ව වැඩවෙසෙන භික්ෂූන් වහන්සේලාට ප්‍රත්‍ය පහසුකම් දෛනිකව සලසා දෙමින් උන්වහන්සේලා සමීපව ඇසුරු කිරීමෙන් ධර්ම දේශනාවලට සවන් දීමටත් ධර්ම සාකච්ඡා පැවැත්වීමටත් අවවාද අනුශාසනා ලබා ගැනීමටත් ඉඩකඩ ලැබේ. භික්ෂු ජීවිතයක අන්‍යාකල්පය හෙවත් ගිහි ජීවිතයකට වඩා ඇති සුවිශේෂතා හඳුනාගැන්මට ලැබෙන්නේ කලින් කලට මුණගැසෙන පැවිද්දන් තුළින් නොවේ.

මාස කීපයක් එකම චරිතයක් අධ්‍යයනය කිරීමෙනි. වස්කාලයේ ගිහි පින්වතුන්ට ලැබෙන ඉඩ ප්‍රස්ථාව තුළින් ඔවුහු සංඝ සමාජයේ ආකල්ප කෙරෙහි වඩාත් ප්‍රසාදයට පත්වෙති. ධර්මශ්‍රවණය තුළින් ඔවුන්ගේ ශ්‍රද්ධාව ආකාරවතී ශ්‍රද්ධාවක් බවට ද පත්වේ. ශාසනික පැවැත්ම අනිවාර්යයෙන්ම ගිහි පැවිදි සබඳතාවේ ඵලයකි.

එබැවින් ශාසනය නමැති වනස්පතිය ගිහි දායක පක්ෂය නමැති භූමිය මත මූලපද්ධතියෙන් තහවුරුව ශක්තිමත් වන්නේ වස්කාලයේ දී බව පිළිගත යුතු වේ. පැවිද්දාගේ බ්‍රහ්මචාරී අභිසමාචාරයත් ගිහි සමාජයේ ගෞරවය හා ප්‍රසාදයත් නිසා සසුන සුරක්ෂිතවන බව රහසක් නොවේ.

බුදුරජාණන් වහන්සේ ශාසනික සංරක්ෂණය හා වස්සාන සමය අතර ඇති සම්බන්ධය ගැන සිතා වදාරා වස්විසීමේ ශික්ෂාපදය පැන වූ බව තහවුරු කෙරෙන සාක්ෂ්‍යයකි කඨින චීවරයක් අනු දැනීම, චීවරය යනු ශාසනයේ සංකේතයයි.

එයින් ගම්‍ය වන්නේ භික්ෂු සමාජයයි. එබැවින් චීවරය මුල්කොට ගිහි පැවිදි උභය පක්ෂයේම සහයෝගයෙන් මහා මංගල්‍යයක් පැවැත්වීම සුදුසු බව උන්වහන්සේගේ අභිලාෂය වූ බව සිතිය හැක. චීවරයේ නොහොත් භික්ෂු සමාජයේ රැකවරණය සඳහා පැවිදි පක්ෂයෙන් දායක විය හැකි වන්නේ ත්‍රිවිධ ශාසනයේ අභිමතාර්ථයන්ට අනුරූප ශික්ෂාකාමී ජීවිතයක් ගත කිරීමෙනි.

එය වස්කාලය තුළ සාධනය වන බව කලින් සඳහන් කරන ලදී. භික්ෂු ශාසනයේ පෝෂණය හා ආරක්ෂාව ගිහි දායකපක්ෂයේ වගකීමයි.

ඒ සඳහා පදනම වැටෙන්නේද වස්කාලය තුළය. එබැවින් මේ උභයපක්ෂයේම කැපවීමත්, උනන්දුවත් මත සුරැකුණු චීවරය මුල්කොට ‘චීවර මහා මංගල්‍යයක්’ පැවැත්වීම වස්සාන සෘතුවේ අවසන් මාසයේ දී සිදුවේ. චීවරයේ නොහොත් චීවර දරන මහා සංඝරත්නයේ ශ්‍රේෂ්ඨත්වය වස්කාලය අවසානයේ එළැඹෙන කඨින මාසය වන විට ගිහි පැවිදි උභය පක්ෂයේම ප්‍රබල වැටහීමක් වන බැවිනි.

 

    ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය අගෝස්තු මස 13 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 6.49 ට ලබයි. 14 වැනිදා සිකුරාදා අපරභාග 8.23 පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 14 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 22 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 14

First Quarterපුර අටවක

අගෝස්තු 22

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]