UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඇසළ අව අටවක 2015.08.07

සිතෙහි පවිත්‍රතාවය

ගතෙහි හෙවත් ශරීරයෙහි පිරිසුදු බව රැක ගැනීම සඳහා දිනකට දෙතුන් වතාවක් හෝ නහවා පිරිසුදු බව ආරක්ෂා කර ගැනීමට සෑම මනුෂ්‍යයෙකුම පාහේ දක්වනුයේ මහත් උනන්දුවකි. කිළිටට පත් ඇඳුම් පැළඳුම් පවා දිනකට වරක් දෙවරක් හෝ සෝදා පවිත්‍ර කර ගනු ලැබේ. ඇතැම් විට ඇතැමෙක් දහදිය ආදියෙන් පවා වන අපවිත්‍රතාවය දුරුකරගැනීමට විවිධ වර්ගයේ සුවඳවිලවුන් පවා ගල්වනු ලැබේ. මේ ආදී වශයෙන් පමණක් නොව තමා වෙසෙන නිවසෙහි අලංකාරය පවා අපේක්ෂා කරනු ලැබේ. ඒ නිසාම තම ශක්ති පමණින් තමා වෙසෙන නිවස පිරිසුදුව හා අලංකාරව තබා ගැනීමට ඒ සඳහා මහත් වෙහෙසක් දරනු ලැබේ.

බාහිර පවිත්‍රතාවය අලංකාරය අත්‍යවශ්‍යය. එහෙත් බාහිර පවිත්‍රතාවය තිබූ පමණින්ම මනුෂ්‍යයාගේ සිතෙහි පවිත්‍රතාවය ආරක්ෂා වන්නේදැයි මොහොතක් සිතා බැලිය යුතුය. මනුෂ්‍යයාගේ නෙත් දෙක ලස්සන රූප නැරඹීමට නිරායසයෙන් යොමුවේ. කන මිහිරි ශබ්ද කෙරෙහි නිරායාසයෙන් යොමුවේ. ලොව පවතින එම තත්ත්වය අවබෝධ කර ගනිමින් කෙතරම් ලස්සන රූප නැරඹුවද, කෙතරම් මිහිරි ශබ්ද ශ්‍රවණය කළද ඒවා සිතින් අල්ලා ගත යුතු දැයි මොහොතක් විමසා බැලිය යුතු වේ. බාහිර වශයෙන් පැමිණෙන බොහෝ උවදුරු ගතින් පමණක් නොව සිතෙන් ද අල්ලා ගැනීම නිසා ගත පමණක් නොව සිතද බොහෝවිට අපවිත්‍ර කර ගනු ලැබේ.

ලස්සනයැයි ඇතැමෙක් සිතන ඇඳුම් පැළඳුම් නිවාස ආදී බාහිර බොහෝ දේ කෙරෙහි ඇලී ඊට ඇදීයාමෙන් තමාගේ නිරෝගීමත් සිත පවා බොහෝවිට අපවිත්‍ර කරගනු ලැබේ. බාහිර වශයෙන් භෞතික වශයෙන් බොහෝ දේ කෙරෙහි ඇදි යන සිත සුවපත්ව තබා ගත යුත්තේ කෙසේදැයි කල්පනා කළ යුතුව ඇත.

ගතෙහි හෙවත් ශරීරයෙහි පවිත්‍රතාව බාහිර සමාජය දුටුවද මනුෂ්‍යයාගේ සිතෙහි පවිත්‍රතාවය හෝ අපවිත්‍රතාවය බාහිර සමාජයට බොහෝ විට දැක ගැනීමට නොලැබේ. මනුෂ්‍යයාගේ සිතෙහි පවිත්‍රතාවය හෝ අපවිත්‍රතාවය දැක ගැනීමට, දැන ගැනීමට අවස්ථාව එළඹෙනුයේ තමාටම පමණි. බාහිර පවිත්‍රතාවයට, බාහිර අලංකාරයට සියලු දෙනාම පි‍්‍රයමනාප වේ. එබඳු පාරිශුද්ධත්වයක් සෑම දෙනාම අපේක්ෂා කරනු ලැබේ. එහෙත් මනුෂ්‍යයාට අත්‍යවශ්‍යවනුයේ බාහිර පාරිශුද්ධත්වය පමණක්ද? සිතෙහි පාරිශුද්ධත්වය අවශ්‍ය නොවන්නේද?

ගතට හෙවත් සිරුරට බාහිර ලෙස ඇතිවන රෝගාබාධ ඉතා පහසුවෙන් සුවපත් කර ගත හැකිවේ. එහෙත් සිතට ඇතුළුවන රෝගාබාධ ගතේ රෝගාබාධ මෙන් පහසුවෙන් දුරුකර ගත හැකි නොවේ. නෙතින්, කනින්, ගතින් හැම විට සියල්ල සුබ වශයෙන් නොව අනිත්‍යාදී වශයෙන් මෙනෙහි කළ යුතුව ඇත.

ගත පිරිසුදුව තබා ගත් තරමට ඒ තැනැත්තා පිරිසුදුව වෙසෙන බව දුටු පමණින් අවබෝධ කරගත හැකිවේ. එහෙත් සිතේ පිරිසුදුව හෝ අපිරිසුදුව බාහිර සමාජයට බොහෝදුරට වටහා ගත හැකි නොවේ. ගතෙහි පිරිසුදුවට වඩා සිතෙහි පිරිසුදුව බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි. ගත නහවා ඇඳුම් පැළඳුම් පිරිසුදුව තබා ගන්නා අයුරින් සිතේ පිරිසුදුව ඇතිකරගත හැකි නොවේ. හිතේ පිරිසුදුව ඇති කර ගැනීම එතරම්ම පහසු ද නොවේ. සිත කිලිටට පත් කරන අරමුණු නිරායාසයෙන් සිතට ගලා එයි. ඒවා සිත අපිරිසුදු කරන අයුරු සිත විසින් ම අවබෝධ කරගත යුතුය.

මනුෂ්‍යයාගේ බාහිර පාරිශුද්ධත්වය තවත් කෙනෙකුට ද ඇති කළ හැකිය. එහෙත් තම සිතෙහි පාරිශුද්ධත්වය වෙනත් කෙනෙකුට උදාකළ නොහැකිය. සිතෙහි පාරිශුද්ධත්වය ඇති කර ගත යුත්තේ බාහිර වශයෙන් සිතට එන පවිටු සිතිවිලි සිත තුළට ඇතුළත් කර ගැනීමෙන් වැළකීමෙන්ම පමණි.

මොහොතක් පාසා සිය දහස් ගණනින් සිතකට ගලා එන සිතිවිලි පිරිසුදු හා අපිරිසුදු වශයෙන් තෝරා බේරා වෙන්කර ගත යුත්තේ තමාගේම සිත මගිනි. එබැවින් ගතේ පාරිශුද්ධත්වය වෙනුවෙන් වෙහෙස මහන්සි ගන්නාක් මෙන්ම සිතේ පාරිශුද්ධත්වය වෙනුවෙන්ද වෙහෙස මහන්සි නොබලා සිත ආරක්ෂා කරගත යුතුවෙයි. ගතෙහි නිරෝගීභාවය මෙන්ම සිතෙහි නිරෝගී භාවයද වර්ධනය කර ගැනීමෙන් මනුෂ්‍යයාගේ උභයාර්ථ සිද්ධියම සලසා ගත හැකි බව වටහා ගත යුතු වේ.

 

   ඇසළ අව අටවක පෝය

ඇසළ, අව අටවක පෝය අගෝස්තු මස 06 වැනිදා අපරභාග 08.24 ට ලබයි. 07 වැනිදා සිකුරාදා අපරභාග 06.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වැනිදා සිකුරාදා

මීළඟ පෝය
අගෝස්තු 14 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14

First Quarterපුර අටවක

අගෝස්තු 22

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]