බුදුවීම උදෙසා කළ
අප්‍රතිහත ධෛර්ය
කොබෙයිගනේ පුබ්බිලිය ශී‍්‍ර සාරානන්ද පිරිවෙනෙහි ආචාර්ය
මාස්පොත ශ්‍රී ගංගාරාම විහාරවාසී
ගලගෙදර රතනවංශ හිමි
මෙයට වර්ෂ 2559 කට ඉහත දී භාරතයේ සොළොස් මහ ජනපද අතරින් ප්‍රබල
රාජ්‍යයක් වූ හිමාලය කඳු වැටියෙන් දකුණු පස පිහිටි කපිලවත්ථු හෙවත්
කිඹුල්වත් නුවර "සිද්ධාර්ථ" නමින් ලෝකයට අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ
සිද්ධාර්ථ කුමාරයාගේ පහළ වීම සිදු විය. සුද්ධෝදන රජු පියා වශයෙන්ද
මහාමායාදේවිය මව වශයෙන්ද යශෝධරා දේවිය බිරිඳ වශයෙන්ද වපසරිය සැකසුන
සිද්ධාර්ථ කුමාරයාගේ පුතණුවන් වූයේ රාහුල කුමරයාය. රම්‍ය, සුරම්‍ය, සුබ
ආදි මාලිගා තුළ ඒ ඒ ඍතුවලට අනුව කම් සැප වින්ඳ සිද්ධාර්ථ කුමාරයාට එම
ගිහිදිවියේ නිසරු බව දැනුනේ සතර පෙර නිමිති දැකීමත් සමඟය. කන්ථක අසු
පිටින් ඡන්න ඇමැතියත් සමඟ ගිහි දිවියෙන් සමුගත් එම ගමන
මහාභිනිෂ්ක්‍රමණය නමින් මුළු මහත් ලෝක සත්වයා වෙනුවෙන්ම කළ
පරිත්‍යාගයකි.
උන්වහන්සේට බුදුවීමට සෙවණ ලබා දුන්නේ ඇසතු වෘක්ෂයයි. එය බුදුවීමත් සමඟ
බෝධි යන නාමයෙන් ව්‍යවහාර විය. එසේනම් එම බුදු වීම උදෙසා උන්වහන්සේ
ජීවිතයක කෙනෙකුට කළ නොහැකි තරම් පරිත්‍යාගයක්, කැප කිරීමක් කළ ආකාරය
ඉතා ප්‍රකටය. ඒ පිළිබඳ විමසා බැලීමෙන් බුදු හිමි ලෝක සත්වයා වෙනුවෙන්ම
කළ එම අප්‍රතිහත ධෛර්ය මනාව පිලිබිඹු වේ.
බුදුවීම උදෙසා උන්වහන්සේ අන්ත දෙකක් පළමුව අනුගමනය
කළහ.අත්ථකිලමතානුයෝගය හා කාමසුඛල්ලිඛානුයෝගය එම අන්ත දෙකයි. ඉන්
අත්ථකිලමතානුයෝගය නොහොත් ශරීරයට දැඩිව දුක් දුන් එම සය වසර ඉතා කර්කෂය.
උන්වහන්සේ එම දුෂ්කර ක්‍රියාව පිළිබඳ සැවැත්නුවර ජානුස්සෝනි නම්
බ්‍රාහ්මණයාටත්, සැරියුත් හාමුදුරුන් වහන්සේටත් විස්තර කර දෙන්නේ මේ
අයුරිනි.
මම තුදුස්වක, පසළොස්වක හා අටවක ආදි රාත්‍රින් උද්‍යාන වනගහන මහා
වෘක්ෂයන්ගෙන් සැදුම්ලත් සෙනසුන්හී තැති ගැනුම් හා බිහිසුණුූ අරමුණු
දකිමින් ලොමු දැහැ ගැන්වෙන තැන්හි කල් ගෙවීමි. බිය උපදවන අරමුණු ගැන
මෙනෙහි කරන්නට වීමි. එහිදී ඇතැම් විට මුවෙක් දිව යයි. නැතිනම් මොනරෙක්
ගසක සිට කෝටු කැබැල්ලක් හෙලයි. සුළඟින් වියලී කොළ විසිර සෙළවෙයි. එවිට
මහත් බියක් ඇතිවේ.
“ඒ බිහිසුණු අරමුණෙහිලා කුමක් නිසා බියවිය යුතුදැයි සිතා, සිටි
ඉරියව්වෙන්ම සිටිමින් බිය දුරුකර ගතිමි. මා සක්මන් කරන විට සිතට බියක්
දැනුනහොත් හිඳීමට හෝ නිදා ගැනීමට නොගොස් සක්මන් කරමින්ම ඒ බිය දුරු
කළෙමි” යි මෙසේ අන්‍යයන් බියට පත්වන අරමුණු කිසිවක බෝසතුන් තුළ බිය
තහවුරු කරන්නට සමත් නොවීයැයි වදාළහ. “එසේම පිඬු සිඟා යාමෙන් ලත් අහරින්
කලක් යැපුනෙමි. ඉන්ද පලක් නැතැයි සලකා අනතුරුව වැටුණු ඵල පමණක් (පවත්ත
ඵල භෝජීව) ආහාර පිණිස ගතිමි. පසුව එයද සීමාකොට වාඩි වී හුන් රුක් මුල
අත දිගු කළ හැකි වූ ප්‍රමාණයේ වැටුණු ඵල පමණක් ආහාර වශයෙන් ගනිමින්
අනුක්‍රමයෙන් ආහාර ගැනීම අඩු කරමින් කෙලෙස් තාපනයෙහි යෙදුනෙමි”.
මම එක් තාපය වෘතයක් අනුගමනය කරමින් යටි දතෙහි උඩු දත තබා දිවින් තලු
මැඩ ගෙන කුසල් සිතින් අකුසල් සිත තලා පෙළා තවන්නට වීමි. එසේ කරන විට
ශක්තිමත් අයකු විසින් පෙළනු ලබන දුබලයකුගේ මෙන් කිහිල්ලෙන් දහදිය
වැගිරෙන්නට විය. මෙසේ කරන විටද මගේ සිත නොසෙල්වී පැවතිණි. මාගේ ශරීරය
නම් වෙහෙසට හා පීඩාවට පත් විය.
අනතුරුව ‘මම ආශ්වාසය මැඩගෙන ධ්‍යානයට සම වදිමින් මුඛයෙන්ද නැහැයෙන්ද
ආශ්වාස ප්‍රශ්වාස යටපත් කළෙමි. එවිට දෙකන් සිදුරෙන් වාතය පිටවන්නට විය.
එවිට කම්මල්කරුවකුගේ පිඹින හමකින් නැගෙන ශබ්දය මෙන් මහත් ශබ්ද නගන්නට
විය. තියුණු මුවහත් බුරුමයකින් හිස විදින්නාක්සේ හිස පෙළන්නට විය.
එහෙත් ඒ කිසිවකින් අධෛර්යවත් නොවී අප්‍රාණික ධ්‍යානය වඩන්නට වීමි.
අනතුරුව මම දෙකනිනුත් හුස්ම පිටවීම වැළැක්වීමි. එවිට හිස වැරයේ
වරපටකින් බැඳි කලකින් මෙන් දැඩිසේ හිස වේදනා දෙන්නට විය. බලවත් වාතයෝ
තියුණු සැතකින් කුස සිඳින්නාසේ වේදනා ඇති කරවීය. එහෙත් මම උත්සාහය
අත්නොහළෙමි”
යලිත් එසේ ධ්‍යානයට සමවැදී මුවෙන්, නැහැයෙන් හා දෙකන් සිදුරින් ආශ්වාස
ප්‍රශ්වාස නැවැත් වූ විට මගේ සිරුරෙහි මහත් දාහයක් ඇතිවිය. ශක්තිමත්
මිනිසුන් දෙදෙනෙකු විසින් දුර්වලයකු ගෙන ගිනි අඟුරු වලක බහා කරකවා දමන
විටක මෙන් සිරුරෙහි මහත් ඩාහ නැගෙන්නට විය. එයින් මුර්ජිතව සක්මන්
මළුවෙහි ඇද වැටුණෙමි.
“මුං මෑ කොල්ලු ආදියෙහි යුෂ පමණක් පානය කොට ආහාර සීමා කළ හෙයින් සිරුර
අතිශයින් දුර්වල විය. අඟ පසඟ කලුවැල් පුරුක් මෙන් විය. කොඳු ඇට පෙළ
පබලු වැලක්මෙන් මතුවී යැයිද දිරාපත් වහලක ලී පටි මෙන් ඉළ ඇට උස් පහත්ව
පෙනේනනට වූ අතර, ගැඹුරු ළිඳෙක යටට සිඳී ගිය දිය යට පෙනෙන තරු සේ ඇස
යටටම ගිලී ගියේය. හිස සම ඇකිළී ගියේය. බඩ සම පිට කටුවෙහි ඇලුණේය. යම්
විටක පිට කොන්ද අත ගෑවිට පිටෙහි ඇළුණ බඩ සිවිය අතගෑවේ.සිරුර අතින්
පිරිමැදි කල කුණුවූ මුල් ඇති ලෝමයෝ ගැල වී ආහ. මල මුත්‍ර පහ කරන්නට ගිය
කල්හි මුලු සිරුර වියලී හැකිලී ගොස් තිබු බැවින් දැඩි දුක් උපදවා
මුර්ඡාවී වැටිණැ” යි ආදි වශයෙන් උන්වහන්සේ එම දුෂ්කර පිළිවෙත පිළිබද
විස්තර කර ඇත.
බුද්ධත්වය උදෙසා ගෞතම බුදුන් වහන්සේ කළ කැප කිරීමක් වශයෙන් චතුරංග
සමන්නාගත වීර්යය හැඳින්වීමට පුළුවන. උන්වහන්සේ බුදුවීම උදෙසා ඇසතු
වෘක්ෂය මුල සොත්ථිය බමුණා විසින් පිලිගන්වනු ලැබූ කුසතණ අටමිට අතුරා
එහි පැන නැගී විදුරසුනෙහි අපරාජිත පර්යංකයෙන් වැඩ හිඳ චතුරංග සමන්තාගත
වීර්යය ඉපදවූහ. එනම්,
1.ශරීරයෙහි සම වියළී ගියත් බුදු වී මිස නොනැගිටිමි
2. ශරීරයෙහි නහර වියළී ගියත් බුදුවී මිස නොනැගිටිමි
3. ශරීරයෙහි ඇට කටු ගැළවී ගියත් බුදුවී මිස නොනැගිටිමි
4.ශරීරයෙහි මස් ලේ වියළී ගියත් බුදුවී මිස නොනැගිටිමි
මේ ආදි වශයෙන් චතුරංග සමන්නාගත වීර්යය වැඩී සිදුහත් බෝසතාණන් වහන්සේට
බුද්ධත්වය පෙනි පෙනී තිබෙන කල තවත් වික්‍රමයක් කිරීමට සිදුවිය. එනම්
,දසමරුන් හැර පැරදවීමට. සිදුහත් බෝසතාණන්ගේ චතුරංග සමන්නාගත වීර්යය
තමාගේ විෂය ඉක්මවීමට කරන වීර්යක් බව දුටුව වසවර්ති මාරයා එම උත්සාහය
බිඳ දැමීම වස් තම මාර සෙනඟ පිරිවරාගෙන මහත් ඝෝෂාවන් කරමින් එතනට
පැමිණියහ. මාරයා ගිරිමේඛලා ඇතුපිටින් පැමිණ, මහා සුළඟක් , මහා
වර්ෂාවක්, ගිනිගෙන දිලිසෙන පර්වත වර්ෂාවක්,ආයුධ වර්ෂාවක්, වැලි
වර්ෂාවක්, උණු අළු වර්ෂාවක්,අන්ධකාර පටලයක් ආදී වශයෙන් නවවිධ වර්ෂාවක්
මවාපෑ නමුත් ඒවාගෙන් බෝසතාණන් වහන්සේට සුළු හෝ අනතුරුක් නොවීය. පසුව
මාරයා කලේ චක්‍රායුධයෙන් දමා ගැසීමය. එය වියනක් සේ බෝසතුන් අභියස
නිරූපණය විය. එම දසමාර සේනාව වශයෙන් පෙනී සිටියේ කාමය, අරතිය,
සාපිපාසාව, තෘෂ්ණාව, ථින මිද්ධය,භය, විචිකිච්ඡාව, ගුණමකු බව හා දැඩි
බව, ලාභ සත්කාර හා වැරැදි මඟින් ලබන යසස, තමන් උසස් කොට අනුන් පහත් කොට
තැකීම යනාදී කෙලෙස් සමූහයන්ය.
මෙම සියලු බාධකයන් ජයගත් බෝසතාණන් වහන්සේ එදින මධ්‍යම යාමය වන විට
ආනාපානසති භාවනාව තුළින් ප්‍රථම ධ්‍යානය,ද්විතිය ධ්‍යානය , තෘතීය
ධ්‍යානය , චතුර්ථ ධ්‍යානය යන ධ්‍යාන පිළිවෙළින් සමවැදි එම ඒකග්‍රතා
සිතින් පෙර විසු කද පිළිවෙළ සිහිකිරීම තුළින් පෙර ආත්ම පිළිබඳ වූ
පුබ්බේනිවාසානුස්සති ඤාණය ද චුති උත්පත්ති දෙකට සම්බන්ධ සුගත දුගති
දෙකෙහි මැරෙණ උපදින ආකාර දැකගත හැකි චුතූපපාත ඥානයද, කෙලෙස් නැති කිරීම
පිළිබද නුවණ වූ ආශ්‍රවක්ෂයකර ඥානය ද, යන ත්‍රිවිද්‍යාව ලැබීමත් සමඟ
චතුරාර්ය සත්‍ය අවබෝධ විය.
පිළිවෙළින් අරහත් මාර්ග ඥානය සමඟම සිව්පිලිසිඹියා, සඩ් ආසාධාරණ ඤාණ,
තුදුසු බුද්ධ ඥාණ,අටලොස් ආවේනික ධර්ම දසබල හා චතුර්වෛශාරද්‍යාදි
බුදුගුණ. සම්පූර්ණ කොට වෙසක් දින උදා වෙනවාත් සමඟම උතුම් වූ බුද්ධත්වයට
පත් වූහ. මේ ආදී වශයෙන් බුදු හිමි එම උතුම් බුද්ධත්වය උදෙසා අප්‍රතිහත
ධෛර්යයෙන් ක්‍රියා කල ආකාරයත්, අටලෝ දහමින් අකම්පිතව බුද්ධත්වය දක්වා ආ
ගමන් මඟත් ඉතා විශිෂ්ටය. ලොව පහලවු කිසිදු ශාස්තෘවරයෙක් නොකළ එම
අප්‍රතිහත ධෛර්ය හා ජීවිත කැප කිරීම ඕනෑම කෙනෙකුගේ ජීවිතයක් ජය ගැනීමට
උතුම් ආදර්ශ පණිවිඩයක් වනවාට කිසිදු සැකයක් නැත. |