UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහා නා හිමි 118 වන ජන්ම සමරුව නිමිත්තෙන් දාස්පෙති මල් පූජාවක් 19 වන දා

 මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහා නා හිමි

118 වන ජන්ම සමරුව නිමිත්තෙන් දාස්පෙති මල් පූජාවක් 19 වන දා

වන්දනා සංචාරයක් සඳහා 1901 දී ලක්දිවට වැඩම කළ විනයාලංකාර බුරුම හිමිපාණන්ගේ හැසිරීම ලක් බොදුනුවන්ගේ සිත් ගත්තේය. උන්වහන්සේගෙන් ප්‍රකට වූ වෙනස උන්වහන්සේ නවතාගෙන සත්කාර කිරීමට තරම් පොකුණුවිට ප්‍රදේශවාසීන්ගේ ශ්‍රද්ධාව මුවහත් කළේ ය.

බුරුමයේ පැවති සංඝ සමාජය ක්‍රමවත් කළේ එරට ශ්වේජින් නිකායයි. එම නිකායේ හිමිනමක් වූ විනයාලංකාර හිමිපාණන් වහන්සේ ශ්‍රී ලංකාව තුළ දරුවන් 27 දෙනෙකු පැවිදි කිරීමෙන් එම නිකාය මෙහි පැලපදියම් කළහ. එසේ පැවිදි වූ අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානාහිමි ඉන් එක් හිමි නමකි. ඉතිහාසයේ අවශ්‍යතාවක්ව තිබූ නිවැරදි බුදුදහම භාවනා ක්‍රම හඳුන්වා වටහා දීම උන්වහන්සේ අතින් මනාව ඉටු විය. වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජයන් වහන්සේ අතින් සිදු වූ ශාසනික පුනරුදයෙන් පසු පාලි, සංස්කෘත ආදී භාෂා අධ්‍යාපනයත්, ජන්දස් අලංකාරාදී ශාස්ත්‍රීය අධ්‍යාපනයත් ප්‍රචලිත වූහ.

බුරුමයේ ත්‍රිපිටක අධ්‍යාපනය නිමකර, උපසම්පදාව ලබා වෘද්ධත්වයට පැමිණ ලක්දිව සැපත්ව සිටි රේරුකානේ චන්දවිමල නාහිමියන් සමාජයේ පැවති ආගමික දුර්වලතා අවම කර අවබෝධයක් ලබා දීම සඳහා ධර්ම පත්‍රිකා ව්‍යාපාරයක් ආරම්භ කර තිබිණ. ඒවා සමාජය වැළ ඳ ගත් ආකාරය අනුව චතුරාර්ය සත්‍යය, බෞද්ධයාගේ අත්පොත ආදී ග්‍රන්ථ බවට පත් විය. ඒ 1947 පමණ කාලයයි. තවත් අවුරුදු 10 කින් පමණ එළඹෙන 2500 බුද්ධ ජයන්තිය අරමුණු කර උන්වහන්සේ තවත් පොත් කීපයක් ද මුද්‍රණයට සැලසුම් කළහ. එම පොත් පෙළෙහි අටවන පොත වන පටිච්චසමුප්පාද විවරණයට සංඥාපනය සපයමින් “කිසි ඝෝෂාවක් නොකොට, කිසිවකුගෙන් ආධාරයක් නොගෙන, අමාරුවෙන් ආරම්භ කරන ලද මේ ධර්ම පුස්තක ප්‍රචාරය අප බලාපොරොත්තු වූවාට වඩා බොහෝ සාර්ථක වූ බව පී‍්‍රතියෙන් සඳහන් කරමු” යි නාහිමියෝ සටහන් කරති. එයම ප්‍රතිරාවය කළ චන්ද්‍රරත්න මානවසිංහයන් “වැඩි ඝෝෂාවක් නැතිව බුද්ධ ජයන්තිය වෙනුවෙන් මේ කරගෙන ගිය ව්‍යාපාරය අනෙකුදු හැම බුද්ධජයන්ති ව්‍යාපාරයකට වඩා වැදගත් යයි “දිනපතා පුවත්පතකින් 1957 දී පළ කළේ ය. රේරුකානේ නාහිමියන්ගේ පොත් සැපයීම අරමුණු කීපයක් ඔස්සේ සිදුවිය. පළමුවැන්න වනුයේ තමන්ගේ ම සම්මෝහය දුරු කර ගැනීමයි. දෙවැන්න ත්‍රිපිටකයේ බොහෝ තැන්වල ඇති විෂයානුබද්ධ කරුණු එක්තැන් කර අන්‍යන්ගේ දැනුම වර්ධනය කිරීම මගින් ශාසනයේ පැවැත්ම තහවුරු කිරීමයි. රේරුකානේ නාහිමියන්ට පෙරත් දහම්පොත් සම්පාදනය කළ බොහෝ ස්වාමීන්වහන්සේලා වැඩ සිටියේ ය. උන්වහන්සේ සිල්වත් ගුණවත් ප්‍රතිපත්තිගරුක හිමිනමක් වූවා සේම අද දක්වා විශාල පාඨක සංඛ්‍යාවක් එක්තැන් කිරීමට උන්වහන්සේගේ පොත් සමත් විය. සමකාලීන පඬිරුවනක් වූ අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන්ගේ අවබෝධය අනුව ‘රේරුකානේ මහනාහිමියන්ගේ පොත් ටික කියවීමෙන් පමණක්, ත්‍රිපිටකය ගැන ප්‍රමාණවත් දැනුමක් ලබාගත හැකිය. (1993 සම්මන්ත්‍රණයකදී) අභිධර්මය පිළිබඳ උන්වහන්සේගේ දැනුම “ආභිධම්මික” නාමයෙන් හඳුන්වන්නට සමාජය යොමු කළේ ය. විනය පිටකයේ තැනින් තැන ඇති කරුණු ගොනු කර සම්පාදනය කර ඇති ශාසනාවතරණය, උපසම්පදා ශීලය, උභය ප්‍රාතිමෝක්ෂය හා විනය කර්ම පොත පසුව එවැනි පොත් පළ කළ රචකයන්ට මූලාශ්‍ර පොත් බවට පත් විය. ඒවා සංඝ සමාජය ගරු කරන අත් පොත් බවට පත්විය. සූත්‍ර පිටකය ගැන ඇති අවබෝධය විෂයානුබද්ධව රචිත අනික් සියලු පොත්වලින් ප්‍රකට වේ. අභිධර්මය පිළිබඳව, පුනර්භවය පිළිබඳව හා ආජීව අෂ්ටමක ශීලය පිළිබඳව උන්වහන්සේ ත්‍රිපිටකය ඇසුරින්ම ගොනු කළ මත අදටත් ඛණ්ඩනය වී නැත. රේරුකානේ නා හිමියන් නියම ථෙරවාදී හිමිනමකි. ථෙරවාදී භික්ෂු පරම්පරාවෙන් රැකගෙන ආ ත්‍රිපිටකය හා අටුවා, ටීකා බුද්ධ දේශනාවට අනුවම පැවති බව උන්වහන්සේගේ පිළිගැනීමයි. එබැවින් උන්වහන්සේගේ නිගමනයක් හා ප්‍රතිපත්තිය ඒ අනුවම පැවතිණ. ඒ ගුණධර්ම අකුරට පිළිපැදි උන්වහන්සේ නිහතමානී වූහ. විවිධ මත්වීම් නිසා අගතියට යන්නන් ගැන ‘වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේෂ ධර්ම’ පොතේ දී පහදා දෙන නාහිමියෝ කිසිවිටකත් මොනම කරුණකින්වත් මත් නොවූහ. ඒ නිසා මැති ඇමැතිවරු මෙන්ම අන්ත දුගියාත් එකසේ උන්වහන්සේගෙන් සැලකුම් ලදහ. අප බොහෝ දෙනා උන්වහන්සේගේ පැවතුම් අනුව මාර්ග ඵලලාභීයයි සලකමු. එහෙත් උන්වහන්සේ කිසිවිටෙකත් පින් කිරීම අත්හළේ නැත. උපන් දිනය පින් කිරීමේ එක් අරමුණක් ලෙස තබාගත් උන්වහන්සේ තුලාහාර දාන, අසරණයන්ට පිහිටවීමේ දාන, ධර්මචක්‍ර පූජා වැනි බොහෝ පින්කම් කළහ. ත්‍රිහේතුක කුශලයක් ලෙස පින් කිරීමේ වටිනාකම නාහිමියන්ගේ සියලු පොත්වලින් ප්‍රකට වන කරුණකි. වෙනත් වැඩක නොයෙදෙන හැම විටකම මහා නාහිමියෝ භාවනාවක යෙදුනහ. භාවනාවට එළඹීම උන්වහන්සේට එතරම් අසීරු කටයුත්තක් නොවුණු බව පෙණුනි. මේ ජීවිතයෙන්ම සසර කෙළවර කිරීම අරමුණු කර කථා කළ වාර අපමණය. එබැවින් උන්වහන්සේ “මෙකල නිවුණු ඇත්තෝ” ලෙස හඳුනා ගැනීමට බොහෝ දෙනා කැමතිය. නාහිමියන් ලියූ පොත් ගණන ගැන කථා කිරීම අනවශ්‍යය. එය නැවත වෙනස් නොවන සංඛ්‍යාවක් නිසාය. එහෙත් පසුකාලයේ දී කළ ප්‍රකාශ අනුව චතුරාර්ය සත්‍යය පසුව ලීවේ නම් දුක්ඛ සත්‍ය ගැන උන්වහන්සේ ලත් අවබෝධය අනුව ලොකු පොතක් ලිවීමට තිබුණි. නොලියවුණු මාතෘකා අනුව කර්මය ගැන පොතක් ලිවීමට උන්වහන්සේට අවස්ථාවක් උදා නොවීය. ඒ ගැන කතා කළ උන්වහන්සේ ප්‍රකාශ කළ පරිදි ධර්මයේ නිරතවන්නන්ට ලියා ඇති පොත් ටික ප්‍රගුණ කිරීම සෑහේ.

අද භාවනා කරන බොහෝ දෙනා ලෝකයේ සිදුවන අනිත් දේ වැඩක් නැති දේ ලෙස සලකා කතා කරති. එහෙත් නාහිමියෝ සාමාන්‍ය ජීවිතයේ දී පුවත්පත් කියවූහ. ලෝක තත්ත්වය ගැන කතා කළහ. සමාජයට වැඩදායී වන දේශපාලන වෙනස්කම් ගැන අවධානය යොමු කළහ. ඇස් නොපෙනෙන කාලයේ පවා එදිනෙදා පුවත්පත කවුරුන් ලවා හෝ කියවා ගත්හ. අන්‍යයන් සිනහ ගන්වන හරවත් විහිළුවක් කළහ. ඒ සමඟ කාගෙන්වත් අසන්නට නොලැබෙන පරිදි වැටහෙන සේ දහම් පද විග්‍රහ කළහ. උන්වහන්සේ ධර්මය සමඟ කොතරම් බැඳී පැවතියේදැයි සමාජය තේරුම් ගෙන සිටි හැටි අවබෝධ වන සිදුවීම් කීපයක් ද මතක් වෙයි. 1960 පමණ කාලයේත් උන්වහන්සේ ගමන්කරන දියෙස් අයියාගේ ෆෝඩ් රථයේ දූවිලි මත කොල්ලන් ලීවේ ‘ධර්ම රථය’ කියායි. 1990 වකවානුවේ උන්වහන්සේගේ සේවය සමරනු වස් ඉදි කළ විනයාලංකාර ධර්ම ශාලාවට සැලසුම් සකස් කළ උපසේන ඉංජිනේරු මහතා එය නම් කර තිබුණේම ‘ශ්‍රී චන්දවිමල සද්ධර්ම සාගර ශාලාව‘ ලෙසිනි. නාහිමියන් විවේචනය කළ ඇත්තන් පවා මේ ධර්ම ශාලාවට ආධාර ලබා දුන් බව අසා ඇත.

උන්වහන්සේගේ සමහර වදන් සමාජයට මඟ පෙන්වන ආදර්ශ වාක්‍යයන් විය.

“ඉල්ලීම පමණක් දීමට සුදුසුකමක්” සේ සලකා තමන් වෙත ඇත්නම් දීම සුදුසු බව එක් වැකියකි. ලෝකයේ ලොකුම දුප්පතාත් ඉහළම පොහොසතාත් තමන් වහන්සේ බව පැවසීම එවැනි තවත් ආප්තයකි. රේරුකානේ නාහිමියන් රසයට ගිජු නොවීය.

ඒ නිසා උපස්ථායකයන්ට උන්වහන්සේගේ යැපීම සැලසීම දුෂ්කර නොවීය. නිතිපතා එකම වර්ගයේ හොද්දක් බතක් දුන්නද ඒ ගැන ඇසුවේ නැත. කටුක රස පිළිකෙව් නොකළ නිසා සමහරු ජාඩි කරවලවලින් පවා උන්වහන්සේ පිදූහ. තායිලන්තයේ ලුණු මාලු වළඳා රහත් වූවන්ගේ කතා කියවන විට රේරුකානේ නාහිමියන්ගේ චර්යාව ගැන පුදුමයක් නැත. නිකායේත්, විහාරයේත් නායක හිමියන් වශයෙන් උන්වහන්සේ වෙත ගෙන ආ ගැටලු බොහෝ සැහැල්ලුවෙන් විසඳූ බව අසා ඇත්තෙමි. ඒ විසඳුමට අභියෝග කළ කෙනෙක් නොවීය. ඒ විසඳුම තුළ දෙපැත්තටම සාධාරණයත්, ඒ සම්බන්ධයෙන් නැවත ගැටලු ඇති නොවීමත් තුළ කවුරුත් සතුටට පත් වූ බව කියවේ. නාහිමියන්ගේ සත්ව කරුණාව, සැහැල්ලුවෙන් සතුටින් සිටීම, නිරෝගි බව ආදී ගුණාංග බොහෝ සෙයින් සිහි කළ හැකි ය. උන්වහන්සේ වෙනුවෙන් පොකුණුවිට වැඩම කළ අප ගුරුදේවෝත්තම කිරිඔරුවේ ධම්මානන්ද නාහිමියන් විසින් සසුනේ පැවැත්ම උදෙසා සඳවිමල සෙනසුන ආරම්භ කිරීමත්, පැවිදි සිසුන් ගුණදහමින් පෝෂණය කිරීමත් ගිහි බොදුනුවන්ට ගුණධර්ම කියාදීමත් උදෙසා ගන්නා වෙහෙස නාහිමියන්ගේ ගුණය නිසාම සිදුවන්නකි. මේ ගුණ සමරා නාහිමියන් පෙන්වා දුන් මග ඔස්සේ යමින් උන්වහන්සේගේ දහම් පොත් පවත්වාගෙන යාමත්, ගුණධර්ම පුහුණුවත්, ශාසනාරක්ෂක කටයුතුත් නොපිරිහෙලා ඉටු කරන අතර විහාරස්ථ ස්වාමීන්වහන්සේලා හා දායක කාරකාදීන්ගේ සහභාගිත්වයෙන් 2015 ජූලි 19 වන දිනට යෙදෙන උන්වහන්සේගේ 118 වන ජන්ම දිනය සමරා දහස් ගණනින් රැස්ව දාස්පෙති මල් පූජාවක් පැවැත්වීමටත් කටයුතු සංවිධානය කර ඇත.

මහ නා හිමි දුටු නිවන් මඟ අපටත් දැකගන්නට ලැබේවා!!!

 

 අධි ඇසළ අමාවක පෝය   

අධි ඇසළ අමාවක පෝය ජූලි මස 15 වැනිදා බදාදා පූර්ව භාග 06.39 ට ලබයි.
16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 15 වැනිදා බදාදාය.

මීළඟ පෝය
ජූලි 24 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]