UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහා යතිවරු සමරුව

මහා යතිවරු සමරුව

වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මා හිමි

සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වසර 237 දී ශ්‍රී ලංකාද්වීපයට වැඩමවූ අනුබුදු මිහිඳුමහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස මහ රජතුමන් ඇතුළු ලාංකික රාජරාජ මහාමාත්‍යාදීන් සහසම්බන්ධ වීමත් සමඟ රාජකීය අරිට්ඨ කුමාරයන් ඇතුළු රාජකීයයන් පැවිදි උපසම්පදා කිරීමෙන් ආරම්භ වූ ලංකා සම්බුද්ධ ශාසනය හා මහා විහාරාදිය ඉදිවීමත් සමඟ වැඩිදියුණු තත්වයට පත් සම්බුදු සසුන ලක්දිව ඇති වූ විදේශීය ආක්‍රමණ හා පරසතුරු උවදුරු නිසා පරිහාණියට පත් වූයේ නමුත් රටේ සාමය හා සැදැහැවත් රජවරු නිසාම නැවතත් වැඩිදියුණු තත්වයට පත්වෙමින් අවුත් අනුරාධපුර ,පොළොන්නරු ,දඹදෙණිය, යාපහුව, කුරුණෑගල,ගම්පොළ යුගවලින් පසු කෝට්ටේ යුගය වන විට සම්බුද්ධ ශාසනය දියුණු තත්වයක පැවතියේ නැවතත් රාජ්‍යය තුළ ඇති වූ විවිධ අර්බුද නිසා රාජ්‍ය වර්ෂ 1542 දී වික්‍රමබාහු රජතුමා කන්ද උඩරට සෙංකඩගල රාජ්‍යය ආරම්භ කරන ලදී. එකී රජතුමා ස්වකීය රජ ගෙදර සමීපයෙහි බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුන් වහන්සේ නිදන් කොට දාගැබක් බඳවා, දෙමහල් පෝය ගෙයක් සාදවා ගැටඹේතොට 355 නමක් සාමණේරයන් වහන්සේලා උපසම්පදා කොට විහාර 86 ක් සාදවා ගඩලාදෙණි විහාරයේ වැඩ සිටි සීලවංශ ධර්මකීර්ති හිමියන් ප්‍රධාන භික්ෂූන් වහන්සේ පොහොයමළු විහාරයේ වඩා හිඳුවමින් සම්බුද්ධ ශාසනය වැඩිදියුණු කළ ආකාරය මහාවංශයේ 92 වන පරිච්ඡේදයේ මැනවින් පැහැදිලි වේ.

ඒ වන විට පොහොය මළු විහාරය මුල් කොට ගෙන ආරම්භ වු සූරියගොඩ නරේන්ද්‍රාරාමයේදී රාජ්‍ය වර්ෂ 1698 ජුනි මස 18 දින තුන්පනේ වැලිවිට කුලතුංග පරම්පරාවේ උපත ලැබු කුලතුංග ළදරුවා වැලිවිට සරණංකර නමින් පැවිදි විය. ඒ වන විට සීතාවක රාජසිංහයන් විසින් පීතෘ ඝාතක අකුසල කර්මයෙන් බේරීම සඳහා කටයුතු කිරීමේදී භික්ෂූන් වහන්සේ ඝාතනය කරමින් ධර්ම ශාස්ත්‍රීය හා සිංහල පාලි සංස්කෘත ආදී ග්‍රන්ථ ගිනිතබා විනාශ කිරීමෙන් මුළු අධ්‍යාපනය හා සම්බුද්ධ ශාසනය සුවිශාල විනාශයට පත්විණ.

ශ්‍රද්ධාවෙන් පැවිදි වූ වැලිවිට සරණංකර සාමණේරයන් එවකට පරිහානියට පත්ව තිබූ සිංහල භාෂාව හා සාහිත්‍යයත් ධර්ම ශාස්ත්‍ර හා සම්බුද්ධ ශාසනය දැක ඉමහත් සංවේගයට පත් වූයේ අධ්‍යාපනය පළමුවෙන් වැඩිදියුණු කළ යුතු යයි අධිෂ්ඨාන කරගෙන පාලි භාෂාව ඉගෙන ගැනීම අලගල්ලේ ගුහාවක සිරකර සිටි ලෙවුකේ රාල වෙතින් හා පොහොයමළු විහාරයේ වටපුළුවේ හිමියන්ගෙන් හා පල්කුඹුරේ අත්ථදස්සි හිමියන්ගෙන් මූලික අධ්‍යාපනය ලබා ස්වකීය උත්සාහයෙන් පාලි, සංස්කෘත , සිංහල ආදි භාෂා හා ධර්ම ශාස්ත්‍ර පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් ලබා ගත්තේය. පළමුවෙන් අධ්‍යාපනය වැඩිදියුණු කළ යුතු යැයි කල්පනා කළ උන්වහන්සෙ ඒ වන විට පොහොයමළු විහාරය හා අස්ගිරි මහා විහාරයෙහි වැඩ විසු භික්ෂූන් වහන්සේද ඇසුරු කරමින් සිල්වත් සමාගම නමින් ශිෂ්‍ය පිරිසක්ද ඇති කරගෙන උඩරට ,පහතරට, දෙදිගම ශිෂ්‍යයන්ට ඉගැන්වීම් කටයුතු සිදු කරමින් දැනුමක් ලබා දුන්හ. ඒ අතර 1726 වර්ෂයේ දී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමන්ගේ ආරාධනයෙන් 1. සාරාර්ථ සංග්‍රහය ග්‍රන්ථය 2. මුණිගුණාලංකාරය 3. අභිසම්බෝධි අලංකාරය 4.රත්නත්‍රය ගාථා 5.භේසජ්ජ මඤ්ජුසා සන්නය 6. සතර බණවර සන්නය 7. මහාබෝධිවංශ සන්නය 8. රූප මාලාව 9. පාලි සන්දේශය යන ග්‍රන්ථයන් ද ලියන ලදී. ම් අයුරෙන් පිරිහී ගිය අධ්‍යාපනය වැඩිදියුණු තත්වයට පත් කිරීමට ඉමහත් වෙහෙසක් ගත් සරණංකර සාමණේරයන් වහන්සේ උඩුනුවර නියමකන්දේ පිරිවෙනක් ආරම්භ කොට ගිහි පැවිදි ශිෂ්‍යයන්ට අධ්‍යාපනය ලබා දෙමින් අධ්‍යාපන ක්ෂේත්‍රය නගාසිටුවීමට ඉමහත් වෙහෙසක් ගත්හ. ඒ වන විට එකම උපසම්පදා භික්ෂුවක්වත් නැතිව සම්බුද්ධ ශාසනය අන්ත පරිහානියට පත්ව තිබීමෙන් ඉමහත් කනගාටුවට පත්විය. ඒවන විට පොහොයමළු විහාරයේ හා අස්ගිරි විහාරයෙහි දැන උගත් භික්ෂූන් වහන්සේලා වැඩ සිටි ආකාරය එකී සරණංකර සාමණේරයන් වහන්සේ ලියන ලද සාරාර්ථ සංග්‍රහයේ මෙසේ සඳහන් වේ. “ශීලව්‍රත ධූතගුණෛකභාජන සංඝගණ නිසෙවිත උපොසථාරාමය” “ප්‍රඥප්තාසනාරූඪව ධර්ම කථනය කොට සභාරඤ්ජනය කිරීමෙහි සමර්ථ නොයෙක් භික්ෂූන් ඇති නිඛීලජන රම්‍ය වූ ප්‍රවරගුණාරාම වු උපෝෂථාරාමවාසී” මෙම විශේෂණ රාශිය ලියා ඇත්තේ උපෝෂථාරාමය ගැනය. “සුඛාවබෝධ කරන ලද බෞද්ධාගම ඇති ශීලාචාරාදී ගුණසම්පන්න සංඝගණ නිසෙවිත මනෝරම්‍ය වූ අස්ගිරි විහාරය යන පූර්වනාම ප්‍රකාශිත මහා විහාරය” මෙසේ සඳහන් කොට ඇත්තේ අස්ගිරි මහාවිහාරය ගැනය. මේ අයුරින් පොහොයමළු අස්ගිරි යන විහාර දෙකෙහි වැඩවිසූ භික්ෂූන් වහන්සේ වැඩසිටියත් උපසම්පදා වූ එකම භික්ෂූන් වහන්සේ නමක් වත් ලක්දිව වැඩ සිටියේ නැත

සම්බුද්ධ ශාසනය පවත්වා ගෙන යාමට නම් උපසම්පදා භික්ෂූන් වහන්සේ වැඩසිටිය යුතුය. එම නිසා උපසම්පදා භික්ෂූන් සොයා ගැනීමේ ඉමහත් දුෂ්කරත්වයට පත් වූයේ කෙසේ හෝ උපසම්පදා භික්ෂුන් නොමැති ව උපසම්පදාවක් ඇති කළ නොහැකි යයි ධර්ම විනයානුකූලව වටහා ගත් සරණංකර සාමණේරයන් වහන්සේ පොහොයමළු හා අස්ගිරි විහාර දෙකෙහි වැඩවිසූ භික්ෂූන් වහන්සේ සමඟ සාකච්ඡා කොට විදේශයකින් හෝ උපසම්පදා භික්ෂූන් ගෙන්වා ගත යුතු යයි ස්ථීර අධිෂ්ඨානයට පත් වූයේ ඒ වන විට කෝට්ටේ යුගයේදී ලංකාවෙන් රැගෙන ගිය උපසම්පදාව, බුද්ධ ප්‍රතිමා වහන්සේ, බෝධින් වහන්සේ, ත්‍රිපිටකය සියම් රටේ පවතින බව දැන ගෙන ඉමහත් සතුටට පත් වූයේ විජය රාජසිංහ රජතුමා මගින් දූතයන් පිටත් කර හැරිය නමුත් නැව අතරමගදී අනතුරකට පත්වීම නිසා දොරනෑගම මුහන්දිරම්රාළ පමණක් ඉතිරි විය. දෙවන වර ද දූතයන් යැවු නමුත් විජය රාජසිංහ රජතුමා මරණයට පත්වීම නිසා එකී දූත පිරිස ආපසු පැමිණීමෙන් එම ගමනද අසාර්ථක විය. තුන්වනුව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ අනුග්‍රහය ලබාගෙන යවන ලද දූත පිරිස සියම් රටට (තායිලන්තය) ගොස් පරම ධාර්මික රජතුමන්ට සියලු කරුණු සැලකොට උපාලි හිමි ප්‍රධාන භික්ෂූන් වහන්සේලා 29 නමක් හා සියම් ඇමතිවරු 3 දෙනෙක් රාජ්‍ය වර්ෂ 1752 දී ලංකාවට පැමිණියහ.

එකී පිරිස පළමුව ගොඩපොළට පැමිණ පොහොයමළු හා අස්ගිරි විහාර දෙකේ භික්ෂූන් වහන්සේට උපසම්පදාව පිළිබඳ සියලු චාරිත්‍ර කියා දීමෙන් අනතුරුව අළුත්ගම්තොට හෙවත් කටුගස්තොටට පැමිණි මොහොතේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා තමන්ට සක්විති රජකම ලැබුණාක් මෙන් අතිශය සතුටට පත් වූයේ පා ගමනින්ම එකී අළුත්ගම්තොටට ගොස් උපාලි හිමියන් ඇතුළු එම දූත පිරිස රාජ්‍ය ගෞරව සහිතව පිළිගෙන කීර්ති ශී‍්‍ර රාජසිංහ රතුමාගේ රාජකීය මල් වත්තට වැඩමවා එකී භික්ෂූන් වහන්සේ සඳහා සංඝාවාස කරවා රජතුමාගේ රාජස්තාන ශාලාව සීමා බන්ධනය කරමින් විසුංගාම සීමා මාලකය බවට පත් කොට 1753 ජූලි 15 වන දින වර්තමාන සම්බුද්ධ ශාසනයේ පළමු වන උපසම්පදාව ඇති කරලමින් පොහොයමළු විහාරයේ නායක පදවිය දැරූ කොබ්බෑකඩුවේ සාමණේර, වැලිවිට සරණංකර සාමණේර, හුලංගමුවේ සාමණේර, බඹරදෙණියේ සාමණේර, තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත සාමණේර යන පස් නම පොහොයමළු විහාරයෙන්ද අස්ගිරි විහාරයේ නාවින්නේ සාමණේරයන්ද යන සය නම පිළිවෙළින් උපසම්පදා කරවා වර්තමාන සම්බුද්ධ ශාසනය පිහිටුවීය.

උපසම්පදාව ගෙන ඒම සඳහා වැලිවිට සරණංකර සාමණේරයන් මුල් වී ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරමින් පිරිහී ගිය අධ්‍යාපනය වැඩි දියුණු තත්වයට පත් කළ නිසාම කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමා සියම් රටේ පරම ධාර්මික රජතුමන්ගේද අදහස් අනුව රාජ්‍ය වර්ෂ 1760 දී වැලිවිට සරණංකර ස්වාමින්ද්‍රයන් වහන්සේට පොහොයමළුව සහිත මල්වතු විහාරයේ හා අස්ගිරි විහාරය ඇතුළු ශී‍්‍ර ලංකාවේම සංඝරාජ පදවිය පත් කොට 1762 දී තිබ්බටුවාවේ ශ්‍රී බුද්ධරක්ඛිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ද පොහොයමළුව සහිත මල්වතු විහාරයේ මහානායක පදවිය ද උරුලෑවත්තේ ධම්මසිද්ධි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට අස්ගිරි මහා විහාරයේද මහානායක පදවිය පත් කොට අස්ගිරි මහා විහාරයේද උපසම්පදාව පිහිටුවා මල්වතු අස්ගිරි උභය මහා විහාරයේම වාර්ෂික ලක්දිව සාමණේරයන් වහන්සේලා උපසම්පදා කිරීමට සලස්වමින් වර්තමාන සම්බුද්ධ ශාසනය චිරස්ථායී බවට පත් කරන ලදී.

එතැන් පටන් අද දක්වාම වසර 262 ක් මුළුල්ලේ මල්වතු මහා විහාරයේ උපසම්පදාව අඛණ්ඩව පවත්වාගෙන එමින් කටයුතු සිදු කළේ වසර 317 කට පෙර හෙවත් රාජ්‍ය වර්ෂ 1698 ජුනි මස 18 වන දින උපත ලබා 1714 දී පැවිදි වී 1753 ජූලි 15 දින උපසම්පදාව ලබා 1778 ඇසළ පොහෝදින අපවත් වී වදාළ බෝධී සත්ත්ව ගුණෝපේත වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ මා හිමියන් වහන්සේගේ උදාරතම ශාසනික හා ධර්ම ශාස්ත්‍රීය සේවය අගය කිරීම සකල ලාංකික බෞද්ධ ජනතාවගේ පරම යුතුකමක් වන්නේය. අපමණ ශ්‍රද්ධාවෙන් උන්වහන්සේ අනුස්මරණය කරනුයේ පානදුර අළුබෝමුල්ල බෙස්ට් ලයිෆ් ඉන්ටර්නැෂනල් පුද්. සමාගමේ සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂ හා දේශමාන්‍ය ආචාර්ය දමින්ද උපාලි මහතා ඇතුළු එම ආයතනයේ කාර්යය මණ්ඩලය මෙම ජූලි 18 වන දින එකී ආයතනයෙහි සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා පසු දින මල්වතු අස්ගිරි උභය මහා විහාරීය අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රධාන ලක්දිව නොයෙක් දෙසින් භික්ෂූන් වහන්සේ වැඩමවා සාංඝික මහා දානමය පුණ්‍යකර්මයක් පවත්වා අනුස්මරණ උත්සවයක් පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත්තේ වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේගෙන් සිදු වු උදාරතම ලෝක ශාසනික සේවය අනුස්මරණය කිරීම සඳහාය. සංඝරාජ මා හිමියන් වහන්සේට උතුම් වූ නිවන් සැප ලැබේවා.


මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක ධුරන්දරව වැඩ විසූ

උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නා හිමි

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයෙහි විසිවැනි මහා නායක පදවිය හෙබවූ අග්ගමහා පණ්ඩිත උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අස්ගිරි මහා විහාරීය මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ නාමාවලියෙහි ඉතා කීර්තිමත් නාමයක් තැබූ පොදු මහජනතාව වෙතද ඉතා සමීප වූ දුර්ලභ ගණයේ මහා යතිවරයන් වහන්සේ නමකි. කුරුණෑගල දඹදෙණිය හත්පත්තුවේ උඩුගම ග්‍රාමයෙහි ජේ.එච්. පුංචිබණ්ඩාර නිලමේතුමා හා ජේ.එම්. මුතුමැණිකේ මාතාවගේ පුත්‍රයෙකු ලෙස 1930 මාර්තු 17 දින මහා නාහිමියෝ ජන්මලාභය ලැබූහ. 1944 ජූනි මාසයේ දී අතිපූජ්‍ය උඩුගම ශ්‍රී රතනපාල නාහිමියන්ගේ ශිෂ්‍යයෙකු වශයෙන් පැවිදි බිමට පත් වූහ. එතැන් පටන් ත්‍රිපිටක ධර්මය, සහිතව සිංහල පාලි හා සංස්කෘත භාෂාවන් හදාරා ස්වකීය දැනුම මනාව වර්ධනය කරගත් උන්වහන්සේ අනුපිළිවෙළින් ස්වනිකායෙහි විවිධ තානාන්තරවලටද පත් වූහ. කලින් කල ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ තේවාව සඳහා ද උන්වහන්සේ ක්‍රියා කළේ අප්‍රමාණ වූ සැදැහැවත්භාවයකින් යුක්තවයි. එය උන්වහන්සේ තුළ පැවැති අගනා ආදර්ශයකි. 1999 දෙසැම්බර් 13 වැනි දින අස්ගිරි මහා විහාරීය රාජුපස්ථානීය පරමධම්ම සභා නම් වූ විංශත් වර්ගික කාරක මහා සංඝ සභාවේ ශ්‍රීමත් මහා නායක පදවියට උන්වහන්සේ පත්වූයේ අතිපූජ්‍ය පලීපාන ශ්‍රී චන්දානන්දාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පසුවයි. එවකට උන්වහන්සේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පදවිය දැරූහ. පැරැණි පොත පතේ දැක්වෙන අන්දමේ ලක්දිව ථෙරවාදී භික්ෂු පරපුරේ උදාර ගුණයන් මේ යැයි, ජීවමානව ප්‍රකට කරමින් වැඩ සිටි අප ශ්‍රීමත් මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෑත භාගයේ ලංකා සම්බුද්ධ ශාසනය ඒකාලෝක කළ කීර්තිධර මහා යතිවරයන් වහන්සේ නමකි. උන්වහන්සේගේ අපවත්වීම අස්ගිරි විහාර පාර්ශ්වයට පමණක් නොව සමස්ත සම්බුද්ධ ශාසනටයම සිදු වූ බලවත් පාඩුවකි. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ උදෙසා දේශනා කළ දස ධම්ම සූත්‍රයේ එන සියලුම කරුණු එලෙසින් ම පිළිපැදි ශික්ෂාකාමී මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් ලෙස උන්වහන්සේ ගිහි පැවිදි සැමගේ ඉමහත් ගෞරවයට ලක් වූහ. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු රාජ්‍ය නායකයින් හට නිසි අවවාද අනුශාසනා දෙමින් සමගි සම්පන්න ධාර්මික පාලනයක් මෙරට ස්ථාපිත කරවීමෙහිලා උන්වහන්සේ දැක් වූ කැපකිරීම ලංකාවාසීන්ගේ නොමද ප්‍රශංසාවට ලක් වුණි.අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිතාභිධාන මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙලොව ජීවිතය අපමණ පිනින් පුරවාගෙන නිසලව අපවත් වී වදාළහ.


හොරණ පඤ්ඤාශේඛර නා හිමි

හොරණ රජමහා විහාරාධිපතිව වැඩ විසූ හොරණ විද්‍යාරත්න පිරිවෙන් විශ්වවිද්‍යාපීඨ කෘත්‍යාධිකාරී ලන්ඩන් තේම්ස් බෞද්ධ විහාරයේ ආධ්‍යාත්මික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂව සිටි හොරණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති මුළු දිවයිනටම සාම විනිසුරු ත්‍රිපිටක විශාරද ශ්‍රී මේධංකර රයිගම් සල්පිටි හේවාගම් කෝරළත්‍රයේ ප්‍රධාන සංඝනායක ශාසන කීර්ති ශ්‍රී ධර්ම විභූෂණ ගෞරව ශාස්ත්‍රවේදී හොරණ පඤ්ඤාශේඛර නාහිමියන් සංඝපීතෘවරයකු ලෙස සඳහන් කළ හැකිය.

උන්වහන්සේ වැඩ විසූ මෑත අතීතයේ ආරම්භ කරන ලද හොරණ පඤ්ඤාශේඛර නාහිමි පදනම මගින් උන්වහන්සේ වැඩ සිටි හොරණ ප්‍රදේශයට පමණක් සීමා නොවී සමස්ත දිවයිනටම ඉතා පුළුල් මාහැඟි සේවාවක් ඉටුවූ බව නොරහසකි. හොරණ පඤ්ඤාශේඛර නාහිමි පදනමේ ලේඛන කටයුතු බොහොමයක්ම ඉටුකරන ලද්දේ බැංකු කළමනාකරුවකුව සිටි ආචාර්ය ජයනාත් හීන්කෙන්ද මහතා මෙන්ම මේ ලිපිය ලියන ලේඛකයාගේද සහභාගිත්වයෙනි.

හොරණ රජමහා විහාරයේ ස්වේත වර්ණ වෙහෙර වහන්සේ අභිමුඛව ඇති කුටියෙහි ජන්මාන්තර ගතවන තුරුම උන්වහන්සේ වැඩ වාසය කළ සේක. නාහිමිගේ පෞද්ගලික පුස්තකාලය දිනෙන් දිනම වර්ධනය වෙමින් උන්වහන්සේ වැඩ හිඳින කුටියේ ඉඩකඩ ඇහිරෙත්ම ආසන්න කාමරයද ලොව වටිනා දුලබ පුස්තකවලින් පිරී පැවතිණි. තරාතිරම නොබලා ඕනෑම කෙනෙකුට එම පොත් පරිශීලනය කිරීමටත් බැහැර ගෙන ගොස් කියවීමට පවා අවකාශ ලැබුණි. තමන් වහන්සේට ලැබෙන පිරිකරවලින් උන්වහන්සේ ප්‍රයෝජන ලබන්නේ අත්‍යවශ්‍ය ඉතාම සුළු ප්‍රමාණයකි. බොහෝ පරිෂ්කාර මහ සඟරුවන පමණක් නොව ගෘහස්ථ පුද්ගලයන්ගේද අවශ්‍යතා අනුව ප්‍රදානය කර ඉන් නිරාමිස පී‍්‍රතියක් ලබන ලද බව කවුරුත් දන්නා කරුණකි. උන්වහන්සේගේ පෞද්ගලික විහරණ සඳහා විදේශ රටවල හිතවතුන් විසින් පූජා කරන මුදල් තමන් භාවිතා නොකොට උතුරේ කෲරතර යුද්ධයෙන් පීඩා විඳි ජනතාවට හා ඒ ආශි‍්‍රත විහාරස්ථානවල දියුණුවට වෙන් කරන ලද බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. වව්නියා විහාරස්ථානයක් දියුණූ කර ඒ ආශි‍්‍රතව ජනතාවගේ සුබ සාධනය සඳහා උන්වහන්සේ දායකත්වය දිගු කළ සේක. 1918 නොවැම්බර් මස 3 වන දින හීන්කෙන්ද මුදියන්සේලාගේ හෙන්ද්‍රික් අප්පුහාමි හා මානගේ දෝන ඇඹිලින් නෝනා යන දෙමාපියනට දාව ජන්ම ලාභය ලැබුවේ හෙක්ටර් ජයවර්ධන නමිනි. බාල වියේදීම එනම් දශවනවියේ දී පැවිදි බිමට පත් උන්වහන්සේ වසර 10 කට පසු උපසම්පදා ශීලයට පැමිණි සේක. වසර 75 කට ආසන්න කාලයක් උපසපන් පැවිදි ජීවිතයකට හිමිකම් කියූ පඤ්ඤාසේකර නාහිමි ගුරුවරයකු වශයෙන් විද්‍යාරත්න විද්‍යා පීඨයේ කටයුතු කරන වකවානුව තුළ කරන ලද මහා මගපෙන්වීම් මත ප්‍රසිද්ධ විවිධ සම්පත් දායකයන් හා නිර්මාණකරුවන් ජාතියට දායාද කිරීමට සමත් වූ සේක. උන්වහන්සේගේ මඟ පෙන්වීම මත විහාරාරාම වැඩිදියුණු කිරීමට ආගමික පුනර්ජීවනයක් ඇති කිරීමටත් දිවයින පුරා ශික්ෂණයෙන් යුතු විනීත ජන සමාජයක් ගොඩ නැංවීමටත් ව්‍යාපාරික ප්‍රජාව යොමු කරන ලද සේක.

විශේෂයෙන් සඳහන් කළහොත් මාලඹේ පිහිටි මයික්‍රෝ පැක්ජින් ආයතනයේ අධිපති දේශමාන්‍ය ආචාර්ය කේ.ඒ. චාර්ලිස් පෙරේරා මහතාගේ පූර්ණ දායකත්වයෙන් මහියංගණ හා සෝමාවතී පුදබිමෙහි විශාල ධන පරිත්‍යාගයෙන් භාවනා කුටි භික්ෂු හා ගිහි නේවාසිකාගාරයක්ද ඉදිකර ශාසනය සතු කිරීමට කටයුතු කළ බව බොහෝ දෙනා දන්නා කරුණකි. ගුණසිරි පලලගේ මහතාගේ ධන පරිත්‍යාගයෙන් විවිධ විහාරස්ථානවල හා රජයේ රෝහලේ භෞතික ඉදි කිරීම් කොට ශාසනයේ චිරස්තිථිය සඳහා ජනතා සුවසෙත සඳහා ද පරිත්‍යාග කරන ලදී. හොරණ සුගත රසානාගාරය හිමි එන් සුගතදාස මහතා හොරණ පික්චර් පැලස් අධිපති ජී. වික්‍රමසිංහ, සේනානායක හේමර්ස් අධිපති අරුණ කීර්ති සේනානායක වැනි දානපතියන් ඇසුරු කරමින් විවිධ ශාසනික කටයුතු සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා ගන්නා ලද සේක. උන්වහන්සේ කිසිවකු බලාපොරොත්තු නොවූ මොහොතක රෝගාතුර වූ සේක. සයනය වටා රැස්ව සිටි හෙදහා අනිකුත් දායක කාරකාදීන්ට ජීවිතයෙන් සමුගන්නා බව සඳහන් කරමින් භාවනායෝගීව පූර්ණ සිහි බුද්ධියෙන් දෙනෙත් පියාගත්තේ සියලු සංස්කාරයන්ගේ අනිත්‍යභාවය ලොවට පසක් කර දෙමිනි. ශ්‍රී දේහය ගෞරව බහුමානයෙන් අවසන් කටයුතු සිදු කරන්නැයි අපේක්ෂාවෙන් සිටි ජනතාවට අසන්නට ලැබුණේ උන්වහන්සේගේ ශ්‍රී දේහය වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යයන කටයුතු සඳහා උන්වහන්සේගේ ඉල්ලිම පරිදි භාරදෙන බවය.


අත්තුඩාවේ සිරි රාහුල මහා නා හිමි

මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහා නායක හා රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපතිව වැඩ සිටි රාජකීය පණ්ඩිත, සාහිත්‍යසූරී, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය, මහෝපාධ්‍යාය අතිපූජ්‍ය අත්තුඩාවේ සිරි රාහුල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලක්දිව මෑත භාගය ආලෝකමත් කළ අග්‍රගණ්‍ය මහා විද්වත් යතිවරයන් වහන්සේ නමකි. උන්වහන්සේ දකුණු පළාතේ මාතර අසබඩ අත්තුඩාව නම් සුන්දර ගම්පියසෙහි විසූ ඩී.ජේ. හේවානාදුගල මහෝපාසක මහතා හා ඩී.ජේ.එම්. අබේසේකර මහෝපාසිකා මාතාවගේ පුත්‍රයෙකු ලෙස 1919 දෙසැම්බර් 19 දින ජන්මලාභ ලැබූහ.

පාලටුව ගුණරතන විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා 1932 මැයි මස පූජ්‍ය බැදිගම පියරතන, දෙබොක්කාවේ පියදස්සි යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත් වූහ. ගෝනගල සුධර්මාකර පරිවේණාධිපතිව වැඩ සිටි පහතරට ප්‍රධාන සංඝනායක, යගිරල ශ්‍රී පඤ්ඤානන්ද නාහිමියන් ප්‍රධාන විද්වත් ආචාර්ය මණ්ඩලයක් වෙතින් ධර්මවිනය භාෂා ශාස්ත්‍රය හදාළ සිරි රාහුල මහා නාහිමියෝ කුඩා අවධියෙහි සිට ම සිය ශාස්ත්‍රීය නිපුණත්වය මැනවින් ප්‍රකට කළහ. රත්මලාන පරිවේණාචාර්ය අභ්‍යාස විද්‍යාලයෙහි මුල්ම ශිෂ්‍ය කණ්ඩායමට අයත් වූ සිරි රාහුල මහා නා හිමි එහි පුහුණුව අවසන් කොට ඉන් අනතුරුව විද්‍යෝදය විශ්වවිද්‍යායට ඇතුලුව ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය ද, ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ රාජකීය පණ්ඩිත උපාධිය ද ලබා ගත්තේ ය. අත්තුඩාවේ සිරි රාහුල මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රථම ශාස්ත්‍රීය කෘතිය වන “බෞද්ධ දර්ශනය” මුලින්ම ප්‍රකාශයට පත් වූයේ 1956 වසරේදීය. එයට අමතරව සරසවි විචාර, බුද්ධ ධර්මය හා සමාජය, බුද්ධ ධර්මය සමාජය හා සංස්කෘතිය, තිස්සමහාරාමය, මහායානය, විචිත්‍රධර්ම දේශනා, පොහෝදා ධර්මදේශනා, බෞද්ධ ශිෂ්ටාචාරය, උසස් පෙළ බුද්ධ ධර්මය, මුනිගුණ මිහිර, බුදුහාමුදුරුවෝ, ගිරිහිස වනපෙත සහ මේ කුළ, මානාවුලු සංදේශය යනාදී පනහකටත් අධික වූ ග්‍රන්ථ සංඛ්‍යාවක් උන්වහන්සේ රචනා කළහ. 1987 වසරේදී ශ්‍රී රෝහණ පාර්ශ්වයෙහි අනුනායක ධුරයෙන් පිදුම් ලැබූ උන්වහන්සේ 1998 වසරෙහි ශ්‍රී වනරතන මහානා හිමි අපවත්වීමෙන් පසු හිස් වූ මහා නායක ධුරයට තත් සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් පත් වූහ. 2011 දෙසැම්බර් මස 01 දින අපවත්වී වදාළ අතිපූජ්‍ය අත්තුඩාවේ සිරි රාහුල මහා නාහිමියෝ ලක්දිව ථෙරවාදී භික්ෂු පරපුරට මනා ආලෝකයක් ගෙන දුන්හ.


කණුමුල්දෙණියේ ධර්මාශෝක නා හිමි

දෙහිවල නව පොළොන්නරු ගල් විහාරාධිපතිව වැඩ සිටි ආචාර්ය කණුමුල්දෙණියේ ශ්‍රී ධර්මාශෝක නාහිමි ලක්දිව ථෙරවාදී භික්ෂු පරපුරේ උදාර ගුණයන් මැනවින් ප්‍රකට කරමින් වැඩ සිටි කීර්තිමත් මහා යතිවරයන් වහන්සේ නමකි.හම්බන්තොට දිස්ත්‍රික්කයේ කණුමුල්දෙණිය නමැති සුන්දර ගම්පියසේ දී උන්වහන්සේ ජන්මලාභය ලැබුවේ 1952 අප්‍රේල් 16 වැනිදා ය. එවකට ගම්පතිධුරය දැරූ ඩී.ජේ. ලියනආරච්චි රාළහාමි හා දෝන ගිමාරා රුවන් පතිරණ මහෝපාසිකා මාතාව උන්වහන්සේගේ දෙමාපියෝ වූහ. දකුණු කණුමුල්දෙණිය රජයේ විද්‍යාලයෙන් ගිහි කල ප්‍රාථමික අධ්‍යාපනය ලත් අතර 1965 අගෝස්තු 15 දින උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත් වූහ. ආචාර්යවරයන් වහන්සේ වූයේ මාතර මහා මන්තින්ද පරිවේණාධ්‍යක්ෂ, ගාලු මාතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක කඹුරුපිටියේ ශ්‍රී බෝධිගුත්ත නාහිමියන් ය. 1973 දී මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී උපසම්පදා ප්‍රතිලාභය ලැබූහ. ධර්මාශෝක හිමියන් අධිසිල් ලැබීමේ දී පූර්වෝක්ත කඹුරුපිටියේ බෝධිගුත්ත නාහිමි හා දෙහිවල නැදිමාල සිරි දුමින්දාරාමාධිපති ශාස්ත්‍රාචාර්ය පණ්ඩිත සංයුක්ත භාණක මාරාගොඩ ශ්‍රී සද්ධානන්ද නාහිමි ද ආචාර්යවරුන් වූහ. 1973 දීම අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයට ඇතුළත්ව ත්‍රිපිටකවේදී උපාධිය ලබා ගත්හ. 1977 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලැබූහ. පසුව කැලණිය විශ්වවිද්‍යාලයීය පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති, දර්ශනපති යන උපාධි ලබාගත් ධර්මාශෝක නාහිමි කලක් කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස ද සේවය කළහ. “සංඝ සමාජයේ ප්‍රතිපත්ති හා පරමාර්ථ” අධිකරණ සමථ, බොදු අත්පොත, බෝධි පූජා සහිත තෙරුවන් වන්දනාව යන ග්‍රන්ථ කිහිපයක් ද මුද්‍රණද්වාරයෙන් පළ කළහ. 2012 නොවැ. 24 දින අපවත් වී වදාළ කණුමුල්දෙණියේ ශ්‍රී ධර්මාශෝක නාහිමියන්ට නිවන් සැප ලැබේවා.


ගුණානුස්මරණ පූජෝත්සවය

බෙස්ට් ලයිෆ් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමේ 08 වන සංවත්සරයට සමගාමීව වර්තමාන ශාසන හා ධර්ම ශාස්ත්‍රෝන්නතියේ පුරෝගාමීව වැඩ විසූ වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ මහා නාහිමි ගුණ සමරුව සහ ඉහත සඳහන් ආයතනයේ අභිවෘද්ධියට අනුශාසනා කළ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම බුද්ධරක්ඛිත මහානායක මාහිමිපාණන් වහන්සේ, ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායකව වැඩ විසූ රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපතිව වැඩ විසූ අත්තුඩාවේ සිරි රාහුල මහා නාහිමි, හොරණ විද්‍යාරත්න රජ මහා විහාරාධිපති රයිගම් සල්පිටි හේවාගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත හොරණ පඤ්ඤාසේකර නාහිමි දෙහිවල නව පොළොන්නරුව ගල් විහාරාධිපති අන්තර්ජාතික විහාරාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති කණුමුල්දෙනියේ ධර්මාශෝක නාහිමි ඇතුළු ඉහත ආයතනයේ සේවය කරන සැමගේ මියගිය ඤාතීන්ට පින් අනුමෝදන් කිරීමත්, ලක්වැසි සැමට ආශීර්වාද පිණිසත් මෙම 18 වනදා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ 19 වනදා දවල් මහානාහිමිපාණන් වහන්සේලා වර ප්‍රමුඛ ශතාධික සංඝගත දක්ෂිණාවක් පානදුර අලුබෝමුල්ල හොරණ පාරේ බෙස්ට් ලයිෆ් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වේ.


කළ ගුණ සලකමු

නූතන ධර්මශාස්ත්‍රෝන්නතියට පුරෝගාමී වූ වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජයන් වහන්සේ හා උන්වහන්සේගේ ජාතික ශාසනික අපේක්ෂා මුදුන්පමුණුවාලමින් බුදුමග යමින් අප ආයතනයේ දියුණුවට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් සිට අපවත් වී වදාළ සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නාහිමි, සියම් මහා නිකායේ රෝහණ පාර්ශ්වයේ මහානායක අත්තුඩාවේ ශ්‍රී රාහුල මහා නාහිමි, ත්‍රිපිටක විශාරද, ශ්‍රී මේධංකර රයිගම් සල්පිටි හේවාගම් කෝරළත්‍රයේ ප්‍රධාන සංඝනායක , සාසන කීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ , මුළු දිවයිනටම සාම විනිසුරු ,ලන්ඩන් තේම්ස් බෞද්ධ විහාරයේ ආගමික අධ්‍යක්ෂක, හොරණ රාජමහා විහාරාධිපති, ගෞරව ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත හොරණ පඤ්ඤාසේඛර නාහිමි, දෙහිවල නව පොළොන්නරු ගල් විහාරයේ විහාරාධිපති අන්තර්ජාතික විහාරාධිපති පදනමේ සභාපති ආචාර්ය කණුමුල්දෙනියේ ධර්මාශෝක නාහිමිපාණන් ඇතුළු අප ආයතනයේ උන්නතිය වෙනුවෙන් කැපවී කටයුතු කරන අයගේ මිය ගිය ඥාතීන්ට ද පින් පෙත් අනුමෝදන් කිරීම, රටවාසි ලෝකවාසි ජනතාවට සෙත් ප්‍රාර්ථනා කිරීම යන උත්තරීතර අරමුණ පෙරදැරිව බෙස්ට් ලයිෆ් ඉන්ටර්නැෂනල් ආයතනය අට වැනි සංවත්සර උත්සවය සිදු කිරීමට ලැබීම හා ඒ සඳහා ශුභාසිංසන පිරිනැමීමට හැකිවීම භාග්‍යයක් කොට සලකමි.

 

 අධි ඇසළ අමාවක පෝය   

අධි ඇසළ අමාවක පෝය ජූලි මස 15 වැනිදා බදාදා පූර්ව භාග 06.39 ට ලබයි.
16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 15 වැනිදා බදාදාය.

මීළඟ පෝය
ජූලි 24 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]