දොළොස් නෙතින් පිදුම් ලබන කදිරපුර වරුණ
ජූලි මස 17 වන දින සිට 31 වන දින දක්වා පැවැත්වෙන
කතරගම ඇසළ
මහ පෙරහර මංගල්‍යය
රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක
කතරගම අභිනවාරාමාධිපති
ශාස්ත්‍රපති
කපුගම සරණතිස්ස නා හිමි
ලක්දිව ජනවාස වූයේ විජයාවතරණයත් සමඟය. විජය රජුගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට
පත් වු පණ්ඩුවාසදේව රජ සමයේ දඹදිවින් පැමිණි භද්දකච්චායනා කුමරියගේ
සොහොයුරෙක් වූ රෝහණ විසින් රෝහණ ජනපදය පිහිටුවේය. රෝහණ ජනපදය සමීපයේ
පිහිටි මාගම සහ කතරගම යන ඊට සමගාමීව ජනාවාස වු රාජධානි දෙකකි. වර්තමාන
කතරගම යන පොදු ව්‍යවහාරයේ පවතින මෙකී නාමය පූර්වයේ ‘කාචරගාම' ලෙසත්
ව්‍යවහාර වන්නට විය. හෙළයේ මහා අතීත කථාව වන මහාවංශයේ යථෝක්ත නාමය යෙදී
ඇත.
කතරගම කිරි වෙහෙර |
කතරගම ඓතිහාසික පසුබිම විමසීමේදි දස බෑ රජ පරපුර පිළිබඳ අවධානය යොමු
වීම නිතැතින්ම සිදුවේ. ක්ෂත්‍රිය රජ පරම්පරාවක් ලෙස සැළකෙන දස බෑ රාජ
පරපුර පරම්පරා ගණනාවක් මෙහි පාලනය ගෙන ගිය බවට සාධක පවතී. ක්ෂත්‍රීය
හෙවත් මෙම දස බෑ රජ පරපුර පිළිබඳ තතු විවරණය කරන ශිලාලේඛන කිහිපයකි.
බෝවත්තේගල,කොටාදැමුහෙළ,මොට්ටියාකල්ලු ආදි ශිලාලේඛන වැදගත් වේ
.බෝවත්තේගල ශිලාලේඛනය පහත ආකාර වේ. “ගාමණි පුත දශ ඛකිකන මඣරට ශව ඣ ටුහ
පුත දමරක්ඛදමරක්ඛ පුතෙ මහතිශා අය කරිතෙ ඉමලෙණෙ මහශු දශනෙ ශගශ දිනෙ”
යථෝක්ත ශිලාලේඛනගත කරුණින් විශද වන්නේ දසභාතික රජ පරපුරේ ආදීතමයා ගාමණී
වන බවය. ඔහුගේ දරුවන් දස දෙනා දසභාතික නමින් හැඳින්වේ. ඉන් වැඩිමලා
ශවජෙටය, දමරක්ඛ, මහාතිශ, රක්ඛ, උති , අක අභය එකී පරපුරට අයත් වූවේය.
තවද කොටාදැමුහෙළ,මොට්ටියාකල්ලු ශිලා ලිපි විමර්ශනයට ලක් කිරීමෙන් මෙම
රාජ පරම්පරාව විසිරී පැතිරී පැවතුන රාජ පරම්පරාවක් බැව් ප්‍රකට කරයි.
කතරගම ප්‍රදේශය ස්වකීය බල මධ්‍යස්ථානය බවට පත් කරගත් මොවුන් විශිෂ්ට
රාජ්‍ය පාලනයක් ගෙන ගියේය. තත් කාල සීමාවේ ලක්දිවට අණසක පතුරුවමින්
දේවානම්පියතිස්ස මහරජ අනුරාධපුර රාජධානියේ පාලනය ගෙන ගියේය. මෙකල
සිදුවූ තවත් වැදගත් කරුණක් වන්නේ ශී‍්‍ර මහ බෝධින් වහන්සේ ලක්දිවට වැඩම
වීමය. රාජ්‍ය අනුගහයන් යටතේ පැවැත්වු මෙම උත්සවයට රාජ ඇරයුමෙන් කතරගම
ක්ෂත්‍රියන් සහභාගි වූ බවට මහාවංශය දෙස් දෙයි. යථෝක්ත කරුණින් සනාථ
වන්නේ රාජකීය ඇරයුම් ලබන්නට තරම් උසස් සමාජීය මට්ටමක ඔවුන් සිටින්නට
ඇති බවයි. ක්ෂත්‍රීයන් යනු මෙම දස බෑ රාජ පරම්පරාවය. උසස් රාජ්‍ය
පාලනයක නිරත වූ දස බෑ රාජ පරම්පරාව සමූල ඝාතනයකට ලක් වූයේ ගෝඨාභය රජු
අතිනි. තමන් කළ පාපයට පව් කමා කරගනු පිණිස ගෝඨාභය රජු මහැවැලි ගඟ දෙපස
වෙහෙර විහාර පන්සියයක් කළ බවට ධාතුවංශය දෙස් දෙයි.
කතරගම ඓතිහාසික පසුබිම පෝෂණය කරන කරුණු අතර දුටුගැමුණු රාජ සමයද
සුවිශේෂත්වයක් උසුලන්නකි. දුටුගැමුණු රජු හා සද්ධාතිස්ස කුමරු අතර සටන්
ඇති වූ සමයේ දුටුගැමුණු කුමරු, තිස්ස ඇමති හා වෙළඹ , මැණික් ඟග අසල
ආහාර ගැනීමට සූදානම් වු බව මහාවංශයේ මෙසේ දැක්වේ.
‘කප්පකන්දරා රජ්ජා කො
ජීවමාලිත්ථමාගතො”
දුටුගැමුණු රජුගේ දස මහ යෝධයන් අතර හරණ යෝධයාගේ ජාත භූමියත් කතරගම
මැණික් ඟග අසල යැයි මහාවංශයේ දැක්වේ. තෙවන වරට ලක්දිවට වැඩම කළ බුදුන්
වහන්සේ කතරගමටත් වැඩම කළේය. එම සුවිශේෂි ස්ථානයේ අද කිරිවෙහෙර මහ
සෑරදුන් ජීවමාන බුදුන් වහන්සේගේ ආශිර්වාදය සලසමින් වැඩ හිදී. බෞද්ධ
ආගමිකයන්ගේ මහත් පුද පූජා වැඳුම්වලට ලක්වන කිරිවෙහෙර සෑරදුන් මුළු මහත්
රටටම මහත් ආශිර්වාදයකි. දෙස් විදෙස් විශාල පිරිසකගේ වන්දනාමානයන්ට
ලක්වෙමින් නිරතුරු පුද පූජාවන්ගෙන් පිදුම් ලබන අයුරු දැකගත හැකිය.
එමෙන්ම කතරගම දේවාල බිමේ රෝපණය කර ඇති අෂ්ඨඵල බෝධින් වහන්සේ ලක්වාසි
දනන්ගේ මහත් පුද පුජාවන්ට ලක්වන තවත් එක් ස්ථානයකි. දේවාල බිමට එකම
සිසිලක් වන අෂ්ඨපල බෝධින් වහන්සේ සැමට මහත් අස්වැසිල්ලකි. කතරගම අතීත
ප්‍රෞඩත්වයේ තරම ලොවට හඬ ගා කියන රුහුණු මහා කතරගම දෙවොල ද නිරතුරු
වන්දනීය පූජනීය ස්ථානයකි. ස්කන්ධ හෙවත් කතරගම දෙවි සකල ලෝ වැසි දනන්ට
නිරතුරු පිහිටක් සරණක් වෙමින් මේ බිමෙහි වැජඹේ. බෞද්ධ මෙන්ම හින්දු
බැතිමතුන්ගේ එක සේ වැඳුම් පිදුම් ලබන කතරගම දෙව් රද මේ භූමියේ ජීවමානව
වැඩ සිටී. මුහුණු සයකින් හා අත් දොළසකින් මයුරාසනාරූඪව වැඩ සිටින
කතරගම දෙව් රජ දොළොස් නෙතින් ලෝකයාට සෙතක් සැනසුමක් උදාකර දේ.
බෞද්ධ මතය අනුව කතරගම දෙවියන් යනු එදා බුදුරජුන්ගෙන් දහම් අසා සෝවාන්
බලයට පත් වු මහසෙන් නොහොත් මහාඝෝෂ බව ජනප්‍රවාදයේ පවසයි. කතරගම
දෙවියන්ට මහාසේන නමින් සඳහන් කිරිමෙන්ද මෙය පැහැදිලිවේ. එපමණක් නොව
දුටුගැමුණූ මහ රජතුමා මෙතෙක් භූමියේ කෙතෙක් ඉඩ තිබුණද අෂ්ඨඵල බෝධිය
අසලම මෙම දෙවොල තැනීමට කටයුතු කර ඇත්තේ බෞද්ධ දෙවියකු වු නිසා විය
හැකිය. කතරගම මහ දෙවොලේ පැවැත්වෙන සියලු පුද පූජාවන් අතර ප්‍රධානත්වය
ගන්නේ බෞද්ධ සිරිත් විරිත්ය.
හින්දු දහමට අනුව ශිව සහ පාර්වතිගේ පුතණුවන් කෙනෙකු යැයි සැලකෙන ස්කනධ
හෙවත් කගරගම දෙවියන්ගේ සම්භවය පිළිබඳ ජනප්‍රවාද රැසක් පවතී. ශිව
දෙවියන්ගේ නලලේ පිහිටි ඇසින් විලකට වැටුණූ ගිනිපුපුරු සයකින් දරුවන්
සයදෙනෙකු උපන් බවත් කාර්තිකේ නමැති කාන්තාවක් මෙම දරුවන් රැක බලාගත් බව
සදහන් වේ. එක් දිනක් ශිව දෙවියන්ගේ දේවිය වනු උමා දේවිය එම දරුවන් ඉතා
ආදරයෙන් එකට වැළඳගත් අවස්ථාවක මුහුණූ සයකින් හා අත් දොළසකින් සමන්විත
එක දරුවෙක් බවට පත්විය.එම කුමරු අද දහස් ගණන් බැතිමතුන් පිරිසකගෙන්
වැඳුම් පිදුම් ලබන ස්කන්ධ දෙවියන්ය.
ස්කන්ධ කුමරු කතරගම ප්‍රදේශයේ ජීවත් වූ වැදි පරම්පරාවකින් පැවත ආ වල්ලි
අම්මා නමැති රූමත් දෙවඟන හා සරණ ගියේය. වර්තමාන සෙල්ලකතරගම නම්
ප්‍රදේශය කතරගම දෙවි හා වල්ලිඅම්මා එකට මුණ ගැසුණු ස්ථානය සේ සැලකේ.
කතරගම දෙවියන්ට වල්ලිමාතාව සරණපාවා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට
සිදුවිය. එකී කතන්දරය හා බැඳුණු පුරාවෘත්ත රාශියක්ම ගොඩ නැගී ඇත. කතරගම
දෙවියන් වල්ලිමාතාවත් අතර පැවති මෙකී සබඳතාවය සිහිපත් කරමින් අද ද ඇසළ
පෙරහර මංගල්‍යයට සමගාමීව වල්ලිමාතාවගේ දෙවොල ආශි‍්‍රතව පුද පූජා රැසක්ම
සිදු කෙරේ. කතරගම දෙවොල හා බැඳුණූ සැම සියලු පුද පුජාවකටම පෙරාතුව
සමීපයේ පිහිටා ඇති කිරි විහාරයට පූජාවන් සිදු කිරීම පුරාණ චාරිත්‍රයකි.
සෙනසුරාද හැර අනෙක් සතියේ සෑම දිනකම උදෑසන 4.30 ටත් උදෑසන 10.30 ටත්
හවස 6.30 ටත් කතරගම දෙවියන් උදෙසා මුරුතැන් පූජාවන් සිදු කෙරේ. දෙවියන්
කෙරේ පවතින අචල ශ්‍රද්ධාව භක්තිය මුල් කරගත් දහස් ගණන් බැතිමතුන් මේ
පුදබිමට දෛනිකව පැමිණේ. දෙවියන් ඉදිරියේ පේ වීම, බාරවීම, කන්නලව්
කිරිම. ගිනි පෑගීම. සිරුරේ උල්කටු අමුණාගෙන සිටීම ආදිය දේව භක්තිය
මැනවින් පිළිබිඹු කරන පුද පූජාවන්ය. දුටුගැමුණූ රාජ සමයේ සිට වර්තමානය
දක්වාම සිදු කෙරෙන පෙරහර මංගල්‍යය ඔස්සේත් දෙවියන් කෙරේ පවතින ගෞරවය
ප්‍රකට කරයි.
ඇසළ පෙරහර මංගල්‍යයට කප් සිට වූ දින සිට පේ වී කතරගමට පැමිණීමට බෞද්ධ,
හින්දු, ආදි බැතිමතුන් පාද යාත්‍රාවේ ගමන් අරඹයි. මෙය පුරාණ
චාරිත්‍රයකි. ත්‍රිකුණාමලය. මඩකලපුව, යාපනය අදි දුෂ්කර ප්‍රදේශවල සිට
මෙසේ පැමිණෙන බැතිමතුන් ඇසළ පෙරහර පැවැත්වෙන මුළු කාලය තුළම මේ බිමෙහි
දැකිය හැකිය. විශාල ගස් සෙවන්හි රැඳී සිටිමින් මේ භූමියට වෙන් වු පුද
පුජාවන් හි නිරත වේ. අතීතයේ සිට ඉතා දුෂ්කර ගමක් නොව කතරගම පුද බිමට
පැමිණෙන මොවුන් උදෙසා අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇත. එය තුටින් සිහිපත්
කළ යුතුමය. පෙරහර මංගල්‍යය සමයේ සුවිශේෂි උත්සවශ්‍රීයක් ප්‍රකට කරන මේ
බිම ආශ්‍රීතව දහස් ගණන් බැතිමතුන් නිරන්තරයෙන්ම දැක ගැනීමට පිළිවන.
ආගමික සහනශිලිත්වයේ තරම ලොවට හඬ ගා කියමින් ඇසළ පෙරහර මංගල්‍යයට ලහි
ලහියේ සූදානම් වන කතරගම පුරවරය නව ජීවයකින් පිබිදී හමාරය. රටේ
සංස්කෘතිය විදහා දක්වන ඇසළ මහ පෙරහර ශී‍්‍ර ලංකාවාසී ජනතාවගේ අතීත
ශ්‍රීවිභූතිය දෙස් විදෙස් ජනතාවට ඉතා උසස් අන්දමින් ඉදිරිපත් කිරීමට
කටයුතු කරන රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ජයතිස්ස
කුමාරගේ මැතිතුමාට මේ වෙනුවෙන් ජාතියේ ගෞරවය හිමිවිය යුතුය.කෝටි
සංඛ්‍යාත මුදලක් වැය කර සිදුකරන මෙම උදාර කාර්යය සාර්ථක වේවායි
ප්‍රාර්ථනා කරන්නෙමි. |