පොසොන් අමාවක 2015.06.16
ජීවිතය
අනාදිමත් කාලයක් පුරා සසර ගමනේ සත්වයා සැරිසරනු ලැබේ. මෙසේ
ගමන් කරන භව ගමන පුරා සුගතිගාමී මෙන්ම දුගතිගාමී භවයන්හිද උපත
ලැබීමට සත්වයාට සිදුවෙයි.
නිරන්තරයෙන්ම සැපතට කැමැති සත්වයා දුකට අකැමැති වෙයි. එහෙත්
සුගතිගාමීව වෙසෙන කල එසේ සැප සම්පත් විඳිමින් පසුවුවද කවර
අවාසනාවකට හෝ දුගතිගාමී විය හැකියැයි කල්පනාවට නො එන තරමට
සැපතෙහි ඇලී ගැලී සිටිති.
සසර ගමනේ දී සැබැවින්ම මනුෂ්‍යයකු ලෙස උපත ලැබීමම ඉමහත්
වාසනාවකි. මිනිසුන් අතර වුවද අඟ පසඟ සම්පූර්ණව උපත තවත්
වාසනාවන්තය.විවිධ අඩුපාඩුවලින් යුක්ත මනුෂ්‍යයන් සමාජය තුළ
කොතෙකුත් දක්නට ලැබේ. එහෙත් කලාතුරකින් මනුෂ්‍යයකු හැර බොහෝ
දෙනා තම වටිනා මිනිස් ජීවිතය පිළිබඳ නැවත සිතා බලන්නේ දැයි
කල්පනාවට ගත යුත්තකි.
තිරිසන් ලොව ඇතුළු දුගතියක අවාසනාවකට හෝ උපත ලදහොත් එය කෙතරම්
පසුතැවීමට හේතුවක් වනු ඇත්ද?මිනිස් ලොව මනුෂ්‍යයකු ලෙස උපත ලබා
මනුෂ්‍යයකු ලෙස දිවිගෙවීමට උනන්දු විය යුතුය. මිනිස් ජීවිතයෙහි
ඇති දුර්ලභ බව මනුෂ්‍යයා විසින්ම වටහා ගත යුතුය. එසේ තම වටිනා
ජීවිතය ගැන වැටහීමක්, අවබෝධයක් නොමැති මනුෂ්‍යයා නැවත බොහෝ
කාලයකට සුගතියක් දැකීමටවත් නොහැකිවන තරමට පවට බර පැහැදිලි
වෙයි.
බෞද්ධයා නමට පමණක් බෞද්ධ විය යුතු ද? ඔහුගේ ක්‍රියාවත්,
සිතිවිලිත් බෞද්ධනමට ගැළපෙන අයුරින් සිදුවිය යුතු ය. එසේ
නොමැතිව නාම මාත්‍රික බෞද්ධ නාමයෙන් තමන්ට හෝ අනුන්ට යහපතක් හෝ
සෙතක් නොසැලසෙයි. බෞද්ධයා හැම විට පවට බිය විය යුතුය. පව්
කිරීමට ලජ්ජා විය යුතුය. එසේ නොවුවහොත් ගතින් පමණක් බෞද්ධකමින්
පෙනී සිටියද තම හෘද සාක්ෂියට අනුව තමාට බෞද්ධ නාමයෙන් පෙනී
සිටිය හැකිවේද?
සසර පුණ්‍ය මහිමයක හේතුවෙන් ලබාගත් මනුෂ්‍ය ජීවිතය අර්ථවත් කර
ගන්නේ කෙසේදැයි මොහොතක් සිතා බැලිය යුතුවෙයි. ජීවිතය කුඩා
කාලය, තරුණ කාලය, වියපත්වන මහලු කාලය යැයි තෙකොටසකට වෙන් කර
සිතා බලමු.
කුඩා කාලය යනු ගුරු දෙගුරුන්ගේ අවවාද අනුශාසනා ලබමින් යහපත්
ජීවිතයකට සාර්ථක අඩිතාලමක් හෙවත් පදනම යොදා ගත හැකි කාලය වේ.
එම කුඩා කාලය එදිනෙදා කළයුතු කටයුතු මග හැරීමෙන් ක්‍රියා
කළහොත් අනාගතය අඳුරට ඇද ගැනීමට කටයුතු කළ අයෙකුද වේ. සාර්ථකව
අධ්‍යාපනය ලබා එමගින් තමන් සමාජයට යහපත් මෙහෙවරක් ඉටු කිරීමේ
අපේක්ෂාවෙන් උත්සාහයෙන් කටයුතු කළ යුතු වෙයි. එසේ ම ගුණ දහමට ද
හැකිතාක් නැඹුරු විය යුතුයි.
ඊළඟට උදාවනුයේ තරුණ කාලයයි. එම තුරුණු වියේදීද අනූනට හිංසාකරදර
කිරීමාදියෙන් තොරව යහපත් ජීවිතයක් ගත කිරීමට කටයුතු යෙදිය යුතු
වෙයි. ගිහි දිවිය ගත කරන මනුෂ්‍යයා සුදුසු කල ආවාහ
විවාහවීමාදියටද යොමුව දැහැමි ධනෝපායනයෙහි යෙදී අර්ථවත් දිවියක්
ගත කළ යුතු වේ. ජීවිතයේ අවසාන කාලය හෙවත් වියපත්ව මහලුව දිවි
ගෙවන කල තමා ගත කළ ජීවිතය දෙස නැවත නැවතත් සිතා බලා සතුටු විය
හැකි ජීවිතයක්ම ගත කළ යුතුය. වියපත් වූ විට පමණක් ආගමානුකූල
දිවියක් ගත කිරීමට වඩා කුඩාකල මෙන්ම තරුණ කාලයේදීත් ආගමික
පරිසරයට නැඹුරුව සදාචාර සම්පන්න ජීවිතයක් ගත කළ යුතු ය.
එසේ නොවුවහොත් ජීවිතාවසානයේ හැඬු කඳුලින් දිවි ගෙවීමට සිදු
වුවහොත් එබඳු අවාසනාවන්ත ඉරණමකට පත්වීමට සිදු වනුයේ ද තමාගේ ම
අතපසුවීමෙන් බව කල්පනා කළ යුතු වේ.
මෙසේ බලන විට ජීවිතය සාර්ථකව පවත්වාගෙන යාමට ආගමික පරිසරය,
අධ්‍යාත්මික සුවය අත්‍යවශ්‍ය බව කල්පනා කළ යුතු වෙයි. එබඳු
යහපත් ජීවිතයක් ගත කරන්නාගේ ජීවිතය මෙලොවදී පමණක් නොව පරලොවදීද
සතුටින් හා සැනසීමෙන් ගත කළ හැකි වෙයි. |