අටමස්ථානය
වහුමුවේ විජයවංස නා හිමි
ලෝවාමහාපාය
ලෝවාමහාපාය නොහොත් ලෝහ මහා ප්‍රාසාදය කරවන ලද්දේ දුටුගැමුණූ මහා
නරේන්ද්‍රයාණන් (ක්‍රි.පූ. 161-137) රාජ්‍ය සමයේදීය.
ලෝහයෙන් කළ උළු සහිත පියස්ස නිසා මෙයට ලෝවාමහාපාය වශයෙන් නම් විය.
දෙවනපෑතිස් රජතුමා මිහිඳු මහරහතන් වහන්සේ වෙත පූජා කළ මහා විහාර
සංකීර්ණයේ පොහොය ගෙය (උපෝසථාගාරය)( මෙය යැයි සඳහන් වෙයි. මහල් නවයකින්
යුත් මන්දිරයේ උස අඩි 1500 ක් පමණ වෙයි.
මෙහි පළමු මහල පෘතග්ජන භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ද තෙවැනි සිව්වැනි සහ
පස්වැනි මහල් සෝවාන් ඵල සකෘදාගාමී අනාගාමි ලද භික්ෂුන් වහන්සේ
වෙනුවෙන්ද වෙන් කරන ලද බවත් 6 වැනි මහලේ සිට 9 වැනි මහල දක්වා රහතන්
වහන්සේලා වෙනුවෙන් වෙන් කරන ලද බවත් දැක්වේ. දැනට මෙහි ගල්කණු 1600 ක්
පමණ ඉතිරිව තිබේ.
සද්ධාතිස්ස රාජ්‍ය සමයෙහි (ක්‍රි.පූ. 137-119) මහාපාය ආලෝකවත් කළ පහනක්
පෙරලී ලෝවාමහාපාය ගිනිගත් බවක් කියැවේ. දෙවන සිරිනාග රාජ්‍ය සමයේදීද
නැවතත් මෙය ගිනිගත් බැවින් එය පස්මහල්කොට බැඳවීය. අවසන් වරට
ප්‍රතිසංස්කරණය කරන ලද්දේ 12 වන සිය වසෙහි මහා පැරකුම්බා රජතුමා
විසිනි. අද දක්නට ඇති නටබුන් සහිත භූමියේ දිග පළල අඩි 200 ක් පමණ වෙයි.
රුවන්වැලි මහා සෑය
මෙය ලාංකේය බෞද්ධ වංශකතාව වර්ණවත් කළ මහා සෑය වශයෙන් අදත් විරාජ මානව
පවතී.
මෙම මහා ස්ථූපය කරවන ලද්දේ රාජ්‍ය වංශයේ සුවිශේෂී රජවරයෙකු වූ
දුටුගැමුණු රජතුමා විසින් (ක්‍රි.පූ. 161-137)
මෙය ලංකාවේ විශාලම චෛත්‍ය නොවෙතත් එය මහා සෑය වශයෙන් ස්ථාපිත වීම සඳහා
සුවිශේෂී වූ කරුණු සමුදායක් පසුබිම් වී තිබේ.
මහාවංශයට අනුව ද්‍රෝණයක් නොහොත් නැලි දහසක් පමණ බුදුන් වහන්සේගේ සර්වඥ
ධාතුන් මෙහි තැන්පත් කර ඇත. බුදුන් වහන්සේගේ ධාතුන් වැඩිම ප්‍රමාණයක්
නිධන් කර ඇත්තේද මෙම මහා සෑ ගර්භයේය.
ලෝක විනාශයකදී සම්බුද්ධ ධාතු සියල්ල රුවන්වැලි මහා සෑයට එක්වී පෙළහරපා
පිරිනිවන් පාන බව අට්ඨ කථාවන්හි සඳහන්ව තිබේ. ඉතා සවිමත් අත්තිවාරමක්
මත ගොඩනංවන ලද මෙම මහා ස්ථූපයේ අධීක්ෂණ කටයුතු සිදු කරන ලද්දේ ඉන්ද්‍ර
ගුප්ත රහතන් වහන්සේ විසින් බව දීප වංශය පවසයි. දුටුගැමුණූ රජතුමාට මහා
සෑයේ වැඩ අවසන් කිරීමට නොහැකි වූ බැවින් එය අවසන් අදියර නිම කරන ලද්දේ
සද්ධාතිස්ස රාජ්‍ය සමයේය.
සෑය වටා ඇති ඇත් පවුර සාදවන ලද්දේ සද්ධාතිස්ස රජතුමා විසිනි. මෙහි දිග
අඩි 457 කි. පළල අඩි 477 කි.පවුරේ උස අඩි 9 ක් පමණ වෙයි.
විවිිධ රජවරුන් යටතේ ප්‍රතිසංස්කරණයට බඳුන් වූ රුවන්වැලි සෑය වල්
බිහිවී තිබී 1837 වසරේදී නාරන්විට සුමනසාර ස්වාමින් වහන්සේ විසින්
චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු අරඹන ලදී.
වලිසිංහ හරිස්චන්ද්‍රයන්ගේ සිතියම් සහිත පුරාවිද්‍යා ග්‍රන්ථයට අනුව
චෛත්‍යයේ දැනට පවතින උස අඩි 155 ක් පමණ වෙයි.
මිරිසවැටිය
ලංකා රාජ්‍ය එක්සේසත් කළ දුටුගැමුණු රජතුමා විසින් සාදන ලද තවත්
විශේෂිත ස්ථූපයක් වශයෙන් මිරිසවැටිය චෛත්‍ය හඳුන්වා දිය හැකිය.
අනුරාධපුර ශුද්ධභූමියේ තිසා වැවටත් අභය වැවටත් අතර ශ්‍රී මහා බෝධින්
වහන්සේට නුදුරින් මෙය ගොඩ නංවා තිබේ.
පෙරදිනකදී අමතක වීමක් නිසා භික්ෂූන් වහන්සේට මිරිසවැටියක් (මිරිස්
ව්‍යාංජනයක් විය හැක) නොදී අනුභව කළ වරදට සමාවක් වශයෙන් රජතුමා
මිරිසවැටි චෛත්‍ය කළ බව ඉතිහාස ග්‍රන්ථ අනුව සනාථ කර ගත හැකිය.
දුටුගැමුණූ රජතුමා රාජ්‍යත්වයට පත්වී සත් දිනක් ඇවෑමෙන් සර්වඥ ධාතුන්
සහිත තම කුන්තායුධය නොහොත් ජය කොන්තය රැගෙන මහ පෙරහරින් ජල ක්‍රීඩාව
පිණිස තිසා වැව වෙත ගියේය. ඒ අසල කුන්තායුධය ඍජුව තැබූ බවත් පසුව
පැමිණෙන විට එය සෙලවීමටවත් නොහැකි වූ බවත් කියැවෙයි.
එම කුන්තායුධය වටකර මෙසේ මිරිසවැටිය සාදන ලද්දේ පෙර කළ වරදට වන්දි
ගෙවීමක් වශයෙනි.
වර්තමාන ස්ථූපයේ උස අඩි 192 ක් පමණ වෙයි. විශ්කම්භය අඩි 141 ක් පමණ
වෙයි.
ජේතවනාරාමය
ලෝකයේ පවතින විශාලතම ස්ථූපය වශයෙන් ජේතවනාරාමය නම් වී තිබේ.
මෙය සාදවන ලද්දේ මහසෙන් රජතුමා ( ක්‍රි.ව. 276- 303) විසිනි. එහි උස
අඩි 400 ක් පමණ වූ බව සඳහන් වෙයි.
එහෙත් 1832 වසරේ මේජර් ස්කිනර් විසින් අඳින ලද සැලැස්මට අනුව සෑයේ උස
අඩි 244 කි. මෙම සුවිසල් ස්ථූපය අක්කර 8 ක පමණ භූමි ප්‍රදේශයක් වසා
පවතී. මෙය පිහිටා ඇත්තේ අනුරාධපුරයේ ජෝති නම් උද්‍යානයේය.
මහා විහාර සම්ප්‍රදායට එරෙහි වන මහසෙන් රජතුමා මහායාන සම්ප්‍රදායට
අනුගත වන්නේ සංඝමිත්ත නම් භික්ෂූන් වහන්සේ නමක් නිසාය. පසුව විරසකය
සමාදාන වුවද මහසෙන් රජතුමාට අවශ්‍ය වන්නේ මහා විහාර භූමිය තුළ තවත්
සුවිසල් ස්ථූපයක් ගොඩනැගීමටය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉදිවන මෙම මහා
සෑයේ අයිතිය පවරාදෙන්නේ මහා විහාර ථෙරවාදී සම්ප්‍රදායට එරෙහි වූ තිස්ස
නම් භික්ෂූන් වහන්සේ නමක් වෙත බව පැවසෙයි.
මෙසේ ථෙරිය හෙවත් මහා විහාරයට එරෙහිව ධම්මරුචි නමින් අභය ගිරි නිකාය
බිහි වූ අතර ජේතවන විහාරය ආශ්‍රයෙන් සාගලික හෙවත් ජේතවන නිකාය ඇති විය.
සෑයේ නිධන් කර ඇති වස්තුන් පිළිබඳව මහා වංශයේ සඳහන්ව නැකැත් පූජාවලියට
අනුව ෙමි නිධන් කර ඇත්තේ බුදුන් වහන්සේගේ පටි ධාතුව බව කියැවෙයි.
අභයගිරිය
ලාංකේය රාජ්‍ය වශයෙන් තවත් එක් සුවිශේෂී නාමයක් රැන්දු වළගම්බා රජතුමා
(ක්‍රි.පූ. 89-71) මෙම චෛත්‍ය සාදවා තිබේ. ප්‍රථම නිකාය භේදයට තුඩුදුන්
සිද්ධි දාමය සමග අභයගිරි විහාරයේ නාමය ඇඳී පවතියි.
වට්ටගාමිණී අභය නොහොත් වළගම්බා රජතුමා සද්ධාතිස්ස රජතුමාගේ බාල
පුත්‍රයාය.
වළගම්බා රජතුමා ප්‍රථමවරට අභිෂේක ලබන්නේ ක්‍රි.පූ. 103 වසරේදී ය. එහෙත්
සය මසක ඇවෑමෙන් ඇතිවන සොලී ආක්‍රමණයන් නිසා පලා යන රජතුමා දැක ගිරිනම්
නිගන්ඨයා සරදමට මෙන් පවසන්නේ මහ කළු සිංහලයා පලා යන බවය. පලායන රජතුමා
පසුව රුහුණේ සිට සේනා සංවිධානය කර අනුරාධපුරයට පැමිණ ද්‍රවිඩ
ආක්‍රමණිකයා පලවා හරියි.
එදා ගිරි නිගන්ඨයා විසූ ස්ථානයේ මෙම සෑය කරවා අභයගිරි නමින් නම් තබන්නේ
සරදම් කළ ගිරි නිගන්ඨයාවත් සිහිවීම පිණිසය.
එහෙත් වෙනත් මතද නම සඳහා පැවසෙයි. උස්වූ ස්ථානයන්හි සාදන ස්ථූප
වෙනුවෙන් අගට ගිරි වශයෙන් සඳහන් කර ඇති බැවින් මෙයද අභය ගිරි වූවා විය
හැකි බව එම මතයයි.
වසර 13 ක් අපමණ දුෂ්කර ව්‍යායාමයක නියැළීමේදී රජතුමාට මහත්සේ උපකාර කළ
කුපික්කල මහා තිස්ස නම්’ තෙරුන් වහන්සේ වෙත මෙම අභයගිිරි විහාරය පූජා
කරනු ලබන්නේ කෘතගුණ සැලකීමක් වශයෙනි.
නමුත් කුල සංඝට්ඨම (ගිහි කුලය හා ගැලී) යේ ගැලී සිටිතැයි කුපික්කල
තිස්ස හිමියන් චෝදනා ලැබ මහා විහාර භික්ෂූන් විසින් උන්වහන්සේ නෙරපා
හරිනු ලබයි.
එහෙත් එයට විරුද්ධවන මහා තිස්ස තෙරුන්ගේ ගෝලයෙකු වූ මහා දැලිය තිස්ස
තෙරණුවෝ 500 ක් භික්ෂූන් සමඟ අභයගිරියට පැමිණෙති.
මෙතැන් සිට මහා විහාරයට එරෙහි අභය ගිරි විහාරය සම්බන්ධ වී තවත් නිකායක්
ඇරඹෙයි.
ජේතවනාරාමයට පමණක් දෙවන වූ අභයට ගිරි චෛත්‍යයේ දැනට උස අඩි 250 ක් පමණ
බව කියැවෙයි.
ලංකාරාමය
ලංකාරාමය සාදවා ඇත්තේ ද වළගම්බා රජතුමා විසින්ය.
තම ආදරණීය බිරිඳ වූ සෝමාදේවිය සිහිවීම පිණිස කරවූ ස්ථූපය සෝමාරාමය
වශයෙන් නම් වුන බවට මතයක් පවතී.
එස් පරණවිතාණයන් පවසන්නේ වළගම්බා රජතුමා විසින් කරවන ලද සීලාසොබ්භ
කණ්ඩක චෛත්‍ය මෙය විය හැකි බවය.
බෝධිවංශ ගැටපදය මහා වංශය ආදියෙන් සඳහන් වන්නේ මණි ථූපාරාමය මණි
සෝමාරාමය වශයෙනි. පුරාණයේ මෙය අභයගිරියට අයත් ආරාමයක් වශයෙන් පැවති
බවත් ඊට අයත් භික්ෂුණි ආරාමයක් වශයෙන් පැවති බවත් තවත් විද්වතුන්ගේ
මතයක් බවට පත්ව තිබේ.
මෙම චෛත්‍යයද වටදාගෙයකින් ආවරණය වී තිබුණි.
ථූපාරාමය මෙන්ම ලංකාරාමයේ වටදාගෙය වටා ඇති කුලුනු හිස් ලංකාවටම ආවේණික
කලාත්මක ලක්ෂණ මතු කරලන බව සඳහන් වෙයි.
චෛත්‍යයේ වටදාගෙය ඉදිකරන ලද්දේ කණිට්ඨතිස්ස රජතුමා ක්‍රි.ව. 164-192)
විසිනි. |