ඉවසීමේ ගුණය
කොළඹ මහානාම විද්‍යාලයේ
ආචාර්ය කොලොන්නාව පුරාණ විහාරවාසී
ශාස්ත්‍රපති
සියඹලාගොඩ
ධම්මින්ද හිමි
වපුරන දෙයට අනුව අස්වැන්න බලාපොරොත්තු විය යුතු අතර හොඳ ක්‍රියාවන්ට
හොද ප්‍රතිඵලද නරක ක්‍රියාවන්ට නරක ප්‍රතිඵලද හිමිවේ
ඉවසීම බෝසත් ගුණයකි. සමස්ත බුද්ධ චරිතය පුරාවටම එම ගුණය දැකිය හැකිය.
තරහව ,ක්‍රෝධය, පහළවීම පෘථග්ජන සිතෙහි ස්වභාවයයි. ධර්මය ඇසුරුකර
ගනිමින් එයින් මිදිය හැක. මේ සඳහා දේශිත සූත්‍ර අතර අංගුත්තර නිකාය
පඤ්චක නිපාතය ආඝාතපටිවිනය සූත්‍රය ප්‍රධානය. ආඝාත යනු තරහවය. පටි යනු
හාත්පසින් විනය යනු නැතිකිරීමයි. පුද්ගලයා තුළ සියලු ආකාරයෙන්. ඇතිවන
තරහව නැතිකරන ස්වභාවය ආඝාත පටිවිනය සූත්‍රයේදී උපක්‍රම පහකින් නැතිකරන
අයුරු පැහැදිලි කරයි.
එම උපක්‍රම පහ මෙසේය.
1.මෛත්‍රිය පැතිරවීම
2. කරුණාව ඇතිකරගැනීම
3.නොවිමසා නොමෙනෙහි කිරීම
4. උපේක්ෂාවෙන් යුක්තවීම
5.කර්මයේ ස්වකීයත්වය පිළිබඳ මෙනෙහි කිරීම
යම් කරුණක් නිසා යමෙකු තුළ ඇතිවන නොසතුට අපි‍්‍රය බව රුචි නොවන බව
නොරිස්සුම් සහගත බව තරහව හෙවත් ක්‍රෝධය ලෙස සඳහන් කළ හැකිය. තරහව,
ක්‍රෝධය, වෛරය, පටිඝය,ආඝාතය, ව්‍යාපාදය ලෙස හඳුන්වන්නේද මෙම චෛතසික
ස්වභාවයයි. නිවන් ලැබීමේදී නැතිකළ යුතු සංයෝජන දහය අතර ව්‍යාපාදය
ප්‍රධාන තැනක් ගනී. එහෙයින් තරහව දුරු කර ඉවසීම ප්‍රගුණ කිරීම නිවන්
ප්‍රාර්ථනා කරන්නන් විසින් වහවහා සිදුකළ යුතු කාර්යයකි. සාමාන්‍යයෙන්
තරහව ඇතිවන්නේ ප්‍රධාන හේතු දෙකක් මූලික වීමෙනි. එනම් ඇතිවන හේතු
යෝනිසෝමනසිකාරයෙන් හෙවත් බුද්ධිමත්ව මනා සිහියෙන් කල්පනා නොකිරීම
නිසාවෙනි. ආඝාත පටිවිනය සූත්‍රය උත්සාහකරනුයේ එම ස්වභාවය තේරුම් කර
දෙමින් ඉවසීම පුරුදු කිරීමටය.
යම්විටක යමෙකු හෝ යම්’ කණ්ඩායමක් පිළිබඳ තරහවක් ඇතිවූ විට එය නැති
කරගැනීම සඳහා යොදාගත හැකි පළමු උපක්‍රමය ඔවුනට මෛත්‍රිය කිරීම හෙවත්
මිතුරුකම පෑමයි. සතුරුකම ඇතිවූ විට ගැටුම් ඇතිවන අතර මිතුරු කම තුළ
ගැටුම් සන්සිඳේ. සතර බ්‍රහ්ම විහරණ තුළ පළමු ගුණය මෙයයි. දසපාරමිතා
තුළ මෛත්‍රිය එක් පාරමිතාවකි. වෛරයේ ආදීනව හෙවත් අයහපත් විපාක කල්පනාකර
මෛත්‍රියෙහි ආනිසංස සිහිපත් කළවිට සතුරුකමට වඩා මිතුරුකම වැදගත් බව
හැඟේ. වෛරයෙන් ප්‍රතිලාභ නොලැබෙන බව සිතීම තුළ ප්‍රතිලාභ ලැබෙන
මෛත්‍රියට යොමුවීම බුද්ධිමත් සිතිවිල්ලකි. දෙව්දත් තෙරුන් සේරිවාණිජ
ජාතකයෙන් ආරම්භ කරගත් වෛරය අවසන් වූයේ අපාගත වීමෙනි. බුද්ධකාලීන සමාජය
ගෙන බැලුවත් වර්තමාන ලෝකය දෙස අවධානය යොමු කළද දැකිය හැකි සත්‍යවන්නේ
වෛරයෙන් ජයග්‍රහණ කළ පිරිස් නැති බවයි. මෙත්තානිසංස සූත්‍රය තුළ මෙත්
වැඩීමේ ආනිසංස හෙවත් ප්‍රතිලාභ 11 ක් ලැබෙන බව සඳහන්ය. මිතුරන්ට
ද්‍රෝහි නොවීම තුළ ආනිසංස ලැබෙන අයුරු මිත්තානිසංස සූත්‍රය පැහැදිලි
කරයි. මිනිසාට පමණක් නොව සතා සිව්පාවාටද මෙත් වැඩීම තුළ ඔවුන්ගෙන් කරදර
විපත් ඇතිනොවන බව කඳ පිරිතෙහි සඳහන් වේ. නාලාගිරි හස්තියා බුදුරදුන්
ඉදිරියෙහි දමනය වන්නේද මන්ත්‍ර හෝ ගාථාබලයක් නිසා නොව බුදුරදුන්ගේ
සිත්තුළ පැවැති මෙත් බව හස්තියාට දැනීම තුළිනි. මහාවංශයෙහි එන සිංහයාට
තම පුතා විදින හීය වැදී මරණයට පත්වීම පිළිබඳ වංසත්ථප්පකාසිනි අටුවාව
දක්වනුයේ දෙදෙනාගේ සිත් තුළ පැවැති මෙත් බව තුරන්වීම සිංහයාට මරු වසඟයට
යාමට සිදුවු බවයි. තරහ ඇතිවූ විට එය තුරන් කළ හැකි පළමු උපක්‍රමය
මෙයයි.
තරහව, ක්‍රෝධය, පහළ වූ විට ඔහු හෝ ඇය පිළිබඳව කරුණාව දැක්වීමේ ඉවසීමේ
දෙවන උපක්‍රමයයි. අන් දුකකදී අඩුපාඩුවකදී තම හදවත කම්පාවීම කරුණාවේ
ස්වභාවයයි. නොකළ එක වරදක් පිළිබඳ සලකා කළ හොඳ සියල්ලම අමතක කිරීම යහපත්
තත්ත්වයක් නොවේ. තමාට හෝ ඔහුට තරහයාමේ ආසන්නම අවස්ථා සැලකිල්ලට ගෙන
උපක්‍රමශීලීවීම කරුණාවයි. එකට එක කිරීම ගැටුම් ඇතිවීමේ මූලයයි. අක්කෝස
භාරද්වාජ බමුණා කෙරෙහි බුදුරදුන් දැක්වූයේ අපමණ කරුණාවකි. ඔහුගේ වරදේ
ස්වභාවය මිත්‍රයෙකු ලෙසින් පෙන්වාදීම කරුණාවයි. ද්වේෂය වඤ්වක ධර්ම
ලෙසින් විවිධ වේෂයෙන් පැමිණිය හැකි අතර එය කරුණාව ලෙස වරදවා වටහා ගත
යුතු නොවේ’. අවිහිංසා වේශයෙන් හෝ ක්ෂාන්ති යෙන් එන පැමිණෙන කරුණාවක්
තිබිය හැකි මුත් එය නියම කරුණාව නොවේ. වාසි ප්‍රයෝජන ලැබීම විෂයෙහි
ඇතිවන කරුණාව, පාපයකි. ‘සබ්බේ සත්තා යන්න පදනම් කොටගත් කරුණාව
ගැටුම්වලින් පුද්ගලයා ඈත් කර ඉවසීමට පුරුදු කරයි. තමාගේ දැනුම, වයස,
තත්වය ගැන සිතමින් ඔහුගේ ස්වභාවය හඳුනාගෙන ඔහුගේ මානසිකත්වය තෙරුම්ගෙන
කටයුතු කිරීම කරුණාවයි. ආවේග හෙවත් වේගයෙන් එන සිතිවිලි පාලනය කිරීමට
කරුණාව මහත් පිටිවහලකි. මෙම දෙවන උපක්‍රමයෙන්ද ඉවසීම පුරුදු කළ හැකිය.
නොවිමසා නොමෙනෙහි කිරීම හෙවත් තමන්ට පුංචි හෝ අසාධාරණයක් කළ පිරිස්
පිළිබඳ නැවත නැවත සිතීමෙන් ඉවත්වීම ඉවසීමේ තෙවන උපක්‍රමයයි. අඳුරෙන්
අඳුර නැතිකළ නොහැකිසේ වෛරයෙන් වෛරය තුරන් කළ නොහැකිය. අසවලා ගැහුවා,
බැන්නා, මා සතු දේ පැහැර ගත්තා ලෙස නැවත නැවත සිතීම තුළ තරහව, ද්වේශය
වර්ධනය වීම හැර තුරන්වීමක් නැත. ඔහු හෝ ඇයගේ ක්‍රියාකාරකම් අයහපත් නම්
එය සිතින් බැහැර කළ යුතුය. ඇතැම්විට ඔහුත් සමඟ අමනාප වී වසර ගණනක් වුවද
ඔහු කළකී නරක දෑ හිතේ තබා ගනිමින් තරහව වර්ධනය කර ගනී. එය යහපත්
තත්වයක් නොවේ. අමතකකළ නොහැකිනම් මතක් කළ යුතුම නම් කළ නරක දෑ නොව යහපත්
දේ සුළු නමුත් එය සිහිපත් කිරීම තුළ තරහව නැති කරගත හැකිය. සිහිපත් කරන
කල දොම්නස අමනාපය ඇතිවන්නේ නම් එය සිහිපත් කිරීම තුළ වෛරය බද්ධ වෛරයක්ව
සසර නරක පුරුද්දක් ලෙස පැවතීමට වැඩි ඉඩකඩ පවතී. එහෙයින් නොවිමසා
නොමෙනෙහි කිරීම තුළ තරහව පාලනය වී ක්‍රෝධයේ නවඝාත වස්තු නැතිවී යයි.
ඉවසීම පුරුදු කිරීමේ තෙවන උපක්‍රමය සත්වයාට සසර සුගතිය අත්කර දීමට
සමත්වේ.
සෑම කාරණාවකදීම මෙන්ම ආඝාතය ඇතිවන අවස්ථාවේදී උපේක්ෂාව වැදගත්ය.
මධ්‍යස්ථව සිටීම මෙන්ම බැලීම, බොහෝ ප්‍රශ්නයන්ට කදිම විසඳුමකි.
අටලෝදහමින් කම්පා නොවීම සුබ හෙවත් මංගල කාරණයක් ලෙස “ඵුට්ඨස්ස ලෝක
ධම්මේහි “ මංගල සූත්‍රදේශනාවේදී පවා අවධාරණය කර ඇත. තරහ ඇතිවූ විට මෙය
මටම වෙන දෙයක් ලෙස සිතීමත් අනෙක් අය මෙවැනි අත්දැකීම් ලබා නොමැති ලෙස
සිතීමත් තරහව පාලනයට බාධාවකි. මේ ලෝකයෙහි නින්දාවන්ට පාත්‍ර නොවූ අය
දුර්ලභ බව බුද්ධ දේශනාවේ පවා මෙසේ දක්වයි. “නත්ථි ලෝකෝ අනින්දිතෝ”
එහෙයින් මට පමණක් ලබපු අත්දැකීමක් නොවන කාරණයකදී තරහ ගැනීම නිෂ්ඵලය.
අසවලා අසවලාට බැනපු ආකාරය ඇසීමේදී මට බැනීමක් සිදුවී නැති බවත් මෙය
හුදු කරුණු පැහැදිලි කිරීමක් පමණක් යනුවෙන් සිතීම උපේක්ෂාවයි. සමාජය
සමග ගැටීමේදී හිත් රිදීම් සිදුවන අතර එය ඉවසිය නොහැකි පිරිස්වලට සමාජ
ජීවිතය ගත කළ නොහැක. මෙම යථාර්ථයට මුහුණදීමට නම් උපේක්ෂාව අත්‍යවශ්‍යය.
අපකීර්ති ප්‍රශංසා සමව විඳදරාගත යුතුය. අන්තගාමීවීම, අන්තගාමී තීන්දු
ගැනීම තරහව, කෝපය වැඩිවීමට හේතුවක් බැවින් සියල්ල සම සිතින් සම මෙතින්
විඳ දරා ගැනීමට හුරුවීම තුළ ආඝාතය හෙවත් තරහව පාලනය කරගනිමින් ඉවසීම
පුරුදු කළ හැකිය.
කර්මයේ ස්වකීයත්වය හෙවත් ක්‍රියාවට ලැබෙන ප්‍රතික්‍රියාව පිළිබඳ සිතා
බලා ද්වේෂ කරනවා වෙනුවට මෛත්‍රිය කිරීමට පුද්ගල සිත මෙහෙය විය හැකිය.
සෑම ක්‍රියාවකටම අනුරූප විපාක ලැබේ. වෛරයෙන් වෛරයද මෛත්‍රියට මෛත්‍රිය
වශයෙනි. වපුරන දෙයට අනුව අස්වැන්න බලාපොරොත්තු විය යුතු අතර හොඳ
ක්‍රියාවන්ට හොද ප්‍රතිඵලද නරක ක්‍රියාවන්ට නරක ප්‍රතිඵලද හිමිවේ.
යමෙකු තමන්ට වෛර කරන්නේනම් තමාද ඔහුට වෛර නොකළ යුතුය. වෛරය ඔහුගේ
ලෙඩකි. තමන් ඒ සඳහා බෙහෙත් නොගත යුතුය. ? ඔහු තමාට වෛරකර නරක කර්ම
රැස්කර ගනිමින් නරක උපතක් ලබාගනී. එහෙත් තමා ඔහුට මෛත්‍රිය කර හොඳ කර්ම
රැස්කරගනිමින් හොඳ උපතක් හිමිකර ගත යුතුය. හොඳ කර්ම කුසල වන අතර නරක
කර්ම අකුසලය, තරහව,ක්‍රෝධය, අකුසල් බැවින් එයින් ඉවත්වීම ප්‍රඥාගෝචරය.
කරන ක්‍රියාවට ඒ මොහොතේම මෙන්ම ඉන්පසුවද විපාක හිමිය. දිට්ඨධම්මවේදනීය
ලෙස හොඳ නම් මෙලොවදී විඳින අතර නරක විඳවයි. ද්වේෂය අපරාධයක් බැවින් ඒ
තුළ ඇත්තේ විඳවීමකි. අපරාපරිය, උපපජ්ජ වේදනීය, ලෙස සසර කවදා හෝ ඊළග
භවයේදීම යහපත් දෙයක් නම් විඳින අතර අයහපත් නම් විඳවයි. ද්වේෂය අයහපතකි.
කාලි යක්ෂණියගේ කථාපුවත මීට කදිම නිදසුනකි. කෙසෙල් කැන වැටුණූ විට
කෙසෙල් ගස කපා ඉවත් කරන්නාසේ ද්වේෂයෙන් ආතුරවීම නිසා සමස්තයටම හානි
පැමිණේ. එහෙයින් කර්මයේ ස්වකීයත්වය පිළිබඳ ඇතිවන අවධිකම තරහ ස්වකීයත්වය
පිළිබඳ ඇතිවන අවධිකම තරහ පාලනය කර ඉවසීම පුරුදු කිරීම සදහා යොදාගත හැකි
අවසන් උපක්‍රමයයි. ඒ අයුරින් සූත්‍ර දේශනාව උපදින තරහව ක්ෂය කිරීම සඳහා
උපක්‍රම 05 අනුදැන වදාරයි.
“පඤ්චිමේ භික්ඛවේ ආඝාතපටිවිනයා යත්ථ භික්ඛූනෝ උප්පන්නෝ ආඝාතෝ සබ්බසෝ
පටිවිනේ තබ්බෝ”
මෙම උපාය 05 නිවැරැදිව තම ජීවිතය තුළ යොදාගන්නේ නම් නිවනට අවැසි
මෛත්‍රිය ප්‍රගුණ කොට දස සංයෝජනයන්හි ව්‍යාපාදය දුරුකර ගනිමින් ආර්ය
මාර්ගයේ අවසන නිවන සාක්ෂාත් කරගත හැකිය. ඒ සඳහා සැවොම වීර්ය වඩත්වා!
(ආඝාතපටිවිනය සූත්‍රය ඇසුරෙනි ) |