UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 39

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 39

දඹදිව වන්දනාවේ යෙදෙන වන්දනාකරුවන්ට අනාථ පිණ්ඩික සිටු මාලිගය සමීපයේ වූ අංගුලිමාල ස්ථූපයේ නටබුන් දැකිය හැකිය. සිටු මාලිගයේ දන් වළඳා ආපසු ජේතවනාරාමය බලා වඩින අංගුලිමාල මහරහතන් වහන්සේට මහ මඟ අසල එක් නිවාසයක ගැබිනි මවක් දරු ප්‍රසූතිය සඳහා දැඩි සේ වේදනා විඳීනු දැක ඒබව බුදුරජාණන් වහන්සේට පවසා ඇයට පිහිටවන ලෙස ඉල්ලා සිටින ලදී. බුදුරජාණන් වහන්සේ ඇයට පිහිටවන ලෙස පවසා ඇයට දේශනා කරවීම පිණිස අංගුලිමාල මහරහතන් වහන්සේට අංගුලිමාල පිරිත දේශනා කරන ලදී. අංගුලිමාල රහතන් වහන්සේ එම නැගණියට එම පිරිත දේශනා කරමින් සත්‍ය ක්‍රියා කළේ ය. දරු ප්‍රසූතිය කිසිදු වේදනාවකින් තොරව සිදු විය. එම ස්ථානයේ ඉදිකරන ලද චෛත්‍ය අංගුලිමාල චෛත්‍ය ලෙස ප්‍රසිද්ධ විය. අදටත් වන්දනාකරුවන්ට එය දැක වැඳ පුදා ගත හැකි වේ.

අනේපිඬු සිටු මාලිගාව

සැවැත්නුවරට යන පින්වත් ඔබ සිත් තුළට සිහිපත් වන පළමු නාමය නම් සුදත්ත හෙවත් අනාථ පිණ්ඩිකස්ස සිටුවරයා යි. ඊට හේතුව කෝටි පනස් හතරක් වියදම් කරමින් ජේතවනාරාමය බුදුරදුන්ට පූජා කරන ලද නිසා ය. බුදුරජාණන් වහන්සේ දකින්නට දිනකට තෙවරක් ජේතවනාරාමයට ගිය සිටුවරයා දිනපතා දුගී මගී යාචකයන්ට දන්සලක් ද පවත්වාගෙන යන ලදී. එතුමා ඉතාමත් ශ්‍රද්ධාවන්ත බෞද්ධ උපස්ථායකයකු නිසාම බුද්ධ ශාසනයේ අග්‍ර දායකයා ද විය. දැනට හමු වී ඇති මාලිගාව එතුමාගේ බවට රාහුල සාංකෘත්‍ය යන පඬිතුමා හඳුනාගෙන ඇත. එම මාලිගාව තුළ රන් කහවණු තැන්පත් කරන ලද බවට සිතිය හැකි ගබඩා තුනක් පිහිටා ඇත. එතුමාගේ මන්දිරය අසළ අංගුලිමාල ස්ථූපය පිහිටා ඇත. තවද අනේපිඬු සිටු මාලිගාවට යාබදව විශාඛාවගේ නිවස පිහිටා තිබූ බවට ද සිතිය හැකිය. නමුත් සිටුතුමාගේ නිවසේ නටබුන් තිබුණ ද විශාඛාවගේ නිවසේ නටබුන් දක්නට නැත. අනේපිඬු සිටුතුමාගේ සත් මහල් ප්‍රාසාදයකින් යුක්ත මාලිගාවේ එක් මහලක් පමණක් දැනට දැකිය හැක. ජේතවනාරාමය සාදා බුදුරජාණන් වහන්සේට පූජා කිරීමට තරම් ඔහු වාසනාවන්ත විය.

ගන්ඩබ්බ චෛත්‍යය

අංගුලිමාල ස්තූපය

අනාථපිණ්ඩිකස්ස මාලිගාව

ජේතවනාරාමයේ සිට කිලෝමීටරයක් පමණ ගිය පසු ප්‍රධාන මාර්ගය අසල උස් කඳු ගැටයක් මත මෙම ගන්ඩබ්බ චෛත්‍යය පිහිටා ඇත. මෙය ඉතා වැදගත් සිදුවීමක් වූ ස්ථානයකි.

බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරද්දී සැවැත් නුවර සිටි ධනවතුන් පිරිසක් මේ ලෝකයේ රහතුන් සිටීදැයි දැන ගැනීමට සඳුන් ලීයෙන් පාත්‍රයක් කරවා රියන් හැටක් උස කණුවක තබා මෙය අහසින් ඇවිත් ගන්නේ කවුරුද? උන්වහන්සේට අප සලකමු යැයි සාකච්ඡා කළහ. නිඝන්ඨනාථ පුත්ත ඇතුළු පිරිස මේ සඳහා මහා වෙහෙසක යෙදුනාහ.

ඔවුන් රහත් නොවූයෙන් එකී කාරණාව සඵල වූයේ නැත. මේ බව ජේතවනාරාමයේ වැඩ සිටි පිණ්ඩෝල භාරද්වාජ රහතන් වහන්සේට දැන ගන්නට ලැබිණි. පිණ්ඩෝල භාරද්වාජ රහතන් වහන්සේ අහසින් පැමිණ පාත්‍රය ලබා ගත්තේ ය. මේ කාරණාව දැනගත් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ලාභ, සත්කාර ලබා ගැනීම පිණිස ප්‍රාතිහාර්යය නොපාන ලෙස නීතියක් පැනවූහ. පසුව එම ස්ථානයට වැඩම කරන ලද බුදු හාමුදුරුවෝ අන්තිම වරට යමා මහ පෙළහර පෑ සේක. ප්‍රාතිහාර්යය පෑමේ දී විසිරුණු ජලය නිඝණ්ඨයන්ගේ දූවිලි තැවරී තිබුණු ශරීරවල වැටීමෙන් පුල්ලි ඇති වී අමුතුම දර්ශනයක් දැකීමට ලැබිණි. මහත් ලජ්ජාවට පත් ඔවුහු හිස් ලූ ලූ අත පැන ගියහ. අනතුරුව බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ හත්වන වස් කාලය ආරම්භ කිරීම සඳහා තවුතිසා දෙව්ලොවට වැඩම කරන ලදී. අදටද මේ ස්ථානයේ ධර්මාශෝක රජතුමා විසින් ගොඩනඟන ලද ස්ථූපය විශාල කඳු ගැටයක් මත දක්නට ඇත.

ජෛන මන්දිරය (නිඝණ්ඨාරාමය)

අනාථපිණ්ඩික සිටුතුමාගේ මන්දිරය දකින්නට යන සියලු දෙනාට ම ප්‍රධාන පාරේ දකුණු පැත්තෙන් මෙම ගොඩනැගිල්ල පිහිටා ඇත. ජෛන මහා විහාර නිඝණ්ඨනාථ පුත්ත උපන් ස්ථානය ලෙසට සමාජය තුළ මතයක් ඇත. නිඝණ්ඨ ආගම එවකට භාරතයේ පහළවූයේ පරම අවිහිංසාවාදී ආගමක් ලෙසිණි. මොවුන් තමන්ගේ ඇඟ දරන වස්ත්‍රාභරණයන් පවා ගලවා දැමූහ. වස්ත්‍රාභරණයන් ඔවුන් සොයනා විමුක්ති මාර්ගයට බාධා ගෙන එන බව ඔවුන්ගේ මතය විය. වර්තමාන ඉන්දියාව තුළ අදටත් නිඝණ්ඨ කොටස් දෙකක් දැකිය හැකි වන අතර ඒ සේතම්භර හා දිගම්බර වශයෙනි. සේතම්භර උඩු කයට ඇඳුම් නොගන්නා අතර පහළ කොටසට ඇඳුම් අඳියි. දිගම්බර කොටස සම්පූර්ණයෙන් ම ඇඳුම් නොඅඳියි. මොවුන් සැමගේ ම අදහස පරම විමුක්තිය කරා යාමයි.

රාජකාරාමය ( භික්ෂුණී ආරාමය)

පසේනදී කොසොල් රජතුමා විසින් භික්ෂුණීන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා මේ ආරාමය සැවැත්නුවර දකුණු දෙසින් වූ භූමියක සාදා ඇත. බුදුරජාණන් වහන්සේ පස්වන වස් කාලය තුළ විශාලා මහනුවර කූටාගාර ශාලාව තුළ මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු පන්සියයක් කාන්තාවන් පැවිදි කරන ලද්දේ ඔවුන් අෂ්ඨ ගරු ධර්ම පිළිගත් නිසාය. එහි එන එක් කරුණක් නම් භික්ෂුණීන් වහන්සේලා භික්ෂූන් ඇති ප්‍රදේශවල වැඩ වාසය කිරීමයි. නමුත් අන්ධ වනයේ වැඩ සිටින විට උප්පලවණ්ණා මෙහෙණින් වහන්සේට එතුමියගේ මස්සිනා කෙනෙකු වූ නන්ද නම් මානවකයා විසින් බලහත්කාරකම් කළ පසු බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුණීන් වහන්සේලාට සම්පූර්ණයෙන් ම ආරණ්‍ය වාසය තහනම් කරන ලදී. මේ නිසා නගරයට පැමිණි භික්ෂුණීන් වහන්සේලා උදෙසා කොසොල් රජු විසින් ප්‍රජාපතී ගෝතමිය ඇතුළු භික්ෂුණීන් වහන්සේලාට රාජකාරාම විහාරය පූජා කරන ලදී. බුදුරජාණන් වහන්සේ භික්ෂූණීන් වහන්සේලාට අවවාද කිරීම සඳහා නන්දක හිමියන් පිටත් කරන ලදී. නන්දක හිමියන් විසින් භික්ෂුණීන් වහන්සේලාට නන්දකෝවාද සූත්‍රය දේශනා කරන ලදී. බුදුරජාණන් වහන්සේ භික්ෂුණීන් උදෙසා සංයුක්ත නිකායේ එන සහස්ස සූත්‍රය දේශනා කළ සේක.

මතු සම්බන්ධයි.

තවත් කොටසක් පොසොන් පුර පසළොස්වක පොහෝදා ජුනි 02 වනදා පත්‍රයේ


පසුගිය සතියෙන් - සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 38

 

  

 පොසොන් මස පුර අටවක පෝය

පොසොන් මස පුර අටවක පෝය මැයි මස 25 වැනිදා සඳුදා පූර්වභාග 9.36 ට ලබයි. 26 වැනිදා අඟහරුවාදා අපරභාග 12.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 25 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජූනි 02 වැනිදා අඟහරුවාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 25

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]