සදහම් දැනුම
අනුරාධපුර රුවන්වැලිසෑය මහා විහාර
(විශ්‍රාමික) පරිවේණාධිපති
කොළඹ නව කෝරළේ සහ
නව තොටමුණේ ප්‍රධාන සංඝ නායක
වහුමුවේ විජයවංස නා හිමි ප්‍රශ්නය
බෝසතාණන් වහන්සේ සසර බොහෝ දීර්ඝ කාලයක් නිවන් පතා දුෂ්කර චරියාවන්හි
යෙදෙමින් ලත් බිහිසුණු අත්දැකීම් රාශියක්, සැරියුත් තෙරුන් සමඟ පවසා
තිබේ. සසුනෙන් බැහැරව ගිය ලිච්ඡවී පුත්‍ර සුනක්ඛත්ත මුල්කොට ගෙන ඇති වූ
සාකච්ඡාවේ දී සීහනාද සූත්‍රය දේශනාකොට ඇති බව එහි නිදාන කතාවෙන්
පැහැදිලි වේ. එහිදී බුදුරජාණන් වහන්සේ සසර දිගු කලක් අත්හදා බැලීමෙන්
පර්යේෂණයෙන් ප්‍රායෝගික ඥාන දර්ශනය ලබාගත් බවත් කටුක අත්තකිලමාතානුයෝගී
ප්‍රතිපදාවලින් ඒවා නොලැබිය හැකි නිසා ඒවා ප්‍රතික්ෂේප කළ බවත්
සැරියුත් තෙරුන්ට පැහැදිලි කළහ. මෙහිදී බෝධි සත්වයන් වහන්සේ
ප්‍රායෝගිකව සිදුකළ අත්තකිලමතානුයෝගය (දුෂ්කර ක්‍රියාව) පැහැදිලි
කරන්න.
පිළිතුර
සිදුහත් බෝසතාණන් වහන්සේගේ අත්තකිලමතානුයෝගීව ගත කළ දුෂ්කර ක්‍රියා සමය
පිළිබඳව ම:නි: මහා සීහනාද සූත්‍රය ඇසුරෙන්ම සකස්කර ගැනීම වඩාත් යෝග්‍ය
වන බව පෙනෙන නිසා සූත්‍රාගත තොරතුරු වඩාත් සමීපව විස්තර කළ හැකිය.
බෝසතාණන් වහන්සේ සසර බොහෝ දීර්ඝ කාලයක් දුෂ්කර ක්‍රියාවෙහි යෙදෙමින්
ලත් බිහිසුණු අත්දැකීම් රාශියක් සැරියුත් තෙරුන් වහන්සේ සමඟ පවසා තිබේ.
මහාසිහනාද සූත්‍රයෙහි විස්තර වන අත්තකිලමතානුයෝගී දුෂ්කර චරියා සමහරක්
මහා සච්චක සූත්‍රාගත තොරතුරුවලට සමාන වන අතර සමහරක් සිද්ධාර්ථ බෝසත්
අවධියට අයත් සාඅවුරුදු දුෂ්කර ක්‍රියා සමයට අයත් නොවන බව බුදුරජාණන්
වහන්සේ විසින්ම ප්‍රකාශ කොට තිබේ. සාරිපුත්ත මෙකල මසං ගෙඩිවලට වඩා එකල
මසං ගෙඩි ලොකු යැයි ඔබට සිතෙන්නට පුළුවන. මේසා දීර්ඝ කාලයෙහි ක්ෂත්‍රිය
රජ බවට පත්ව මහාසාර බ්‍රාහ්මණ බවට පත්ව නොකළ යාඥාවක් නැත. නොකල
ගිනිදෙවි පිදීමක් නැත. යන පාඨවලින් ඒ බව පෙනීයයි. මහා සීහනාද සූත්‍ර
දේශනාවලදි විස්තර වන පරිදි හන වැහැරී දරමි. නන්හුයෙන් මුසුපිළි
ගස්පොතුවලින් තැනූ පිළි දරමි. අඳුන් දිවි සම් මුවසම් කුස වැහැරී නියඳ
වැහැරී කෙස්කම්බිලි ,අස්ලොම් කම්බිලි බකමූනු පිහාටු කම්බිලි දරමි.
කෙස් රැවුල් උදුරා දමමි. ආසන ප්‍රතික්ෂේප කොට හිටගෙන සිටිමි. තම
ඇතිරියෙහි සක්මන් කරමි. සයනය කරමි. උක්කුටිකයෙන් සිටිමි, දවසට තෙවරක්
දියෙහි බැස සිටිමි. මෙසේ ශරීරය තැවීමෙහි නානාප්‍රකාර අනුයෝගයන් හි යෙදී
වාසය කරමි. “සාරිපුත්ත මගේ පරම තපස් වී භාවය මෙබඳුය” මගේ රූක්ෂ
ප්‍රතිපදාව මෙසේය. ශරීරයේ අවුරුදු ගණන් ගතවූ දූවිලි කුණූු තට්ටු බැඳී
ඇත. අවුරුදු ගණන් පැරැණි පුපුරා පතුරු හැදුණු තිඹිරි කණුවක් වැනිය.
එහෙත් මේ දුවිලි තට්ටු පිසදමා අහක් කළ යුතුය කියාවත් මට නොසිතෙයි.
සාරිපුත්ත මගේ රූක්ෂ ප්‍රතිපදාව මෙබඳුය.
මාගේ ප්‍රවිවේකය මෙසේය. මම යම්කිසි ආරණ්‍යයකට වැදී සිටිමි. කොයි වෙලාවක
නමුත් ගොපල්ලෙකු පශු පාලකයෙකු තණ කපන්නෙකු දර කපන්නෙකු වන කාර්මිකයෙකු
මුණගැසුන හොත් මම ඒ වනයෙන් වෙනත් වනයකට යමි. තමාට ඔවුන් නොහමු වීමටත්
ඔවුන්ට තමා නොහමුවීමටත් වනයෙන් වනයට ළැහැබෙන් ළැහැබට කන්දෙන් කන්දට
පල්ලමෙන් පල්ලමට පැන යමි. මිනිසුන් දැක බලා යන වන මෘගයෙකු මෙනි.
හරකුන් ගොපල්ලන් පිටමං වී ගිය පසු දෙදණ දෙවැලමිට බිම ඔබා ගාටන් ගොස්
දෙනුන් ළඟට ගොස් කිරිබොන වසුපැටියන්ගේ ගොම කමි. ස්වකීය මලමුත්‍රා
හීනනොවන තෙක් මල මුත්‍රා කමි. සාරිපුත්ත ඒ ඉරියව්වෙන් ඒ ප්‍රතිපදාවෙන්
ඒ දුෂ්කර ක්‍රියාවෙන් මනුෂ්‍ය ධර්මයට වැඩි ආර්ය භාවය ඇතිකරන ඥාන
දර්ශනයක් ලැබූ බව මම නොදනිමි.
කුමක් නිසාද අද මා ලබා ඇති මාර්ගඥානය වැනි පිළිපදිනවුන්ගේ දුක් නැසීමට
හේතුවන මාර්ග ප්‍රඥාවක් නොලත් හෙයින් බෝසත් සිරිතෙහි දක්නට ලැබෙන
අසිරිමත් ලක්ෂණය නම් ඒසා මහත් දුක් වේදනාවලිනුත් උන්වහන්සේගේ සිතේ පසු
බැසීමක් හෝ සත්‍යගවේෂණයෙන් බැහැර වීමේ හෝ ඇති නොවීමයි.
ප්‍රශ්නය
ම:නි: චුල්ලපුණ්ණම සූත්‍රය
පහත සඳහන් සූත්‍රාගත පාඨ දෙකම දෙතුන් වරක් කියවන්න. සරල සිංහල පාඨයත්
සමඟ කියවන්න. බෞද්ධ දැහැමි ජීවිතයකට ප්‍රායෝගික වශයෙන් හඳුනාගත යුතු
මෙම බුද්ධ දේශනාව තුළ ඇතුළත්ව ඇත.
“කායස්ස භේදා පරම්මරණා යා අසප්පුරිසා නං ගති තත්ථ උප්පජ්ජති. කාච
භික්ඛවෙ අසප්පුරිසානං ගති. නිරයෝ වා තිරච්ඡාන යෝනි ච” (පාලි පාඨ පෙරසේම
) “සස්පුරිසානං ගති තත්ථ උප්පජ්ජති.කාච භික්ඛවෙ අසප්පුරිසානං ගති. දේව
මහන්තානං වා මනුස්ස මහත්තතිවාති”.
01. මරණින් මතු අසද්පුරුෂ ගති ඇති තැනක උපත ලබයි. ඒ කොතැන්හිද සතර අපාය
හෝ තිරිසන් භූමියයි.
02. මරණින් මතු සද්පුරුෂ ගති ඇති දෙව් මිනිස් ලොව උපත ලබයි.
සද්පුරුෂයෙකුවීමේ භාග්‍ය හා අසත්පුරුෂයෙකු වීමේ අභාග්‍ය මෙහිදී ඇතුළත්ව
ඇත. ධර්මයෙහි සඳහන් දේශනාවලදී අසා ඇති සද්පුරුෂ ධර්ම මොනවාද යන්න
පැහැදිලි කරන්න.
පිළිතුර
අසද් පුරුෂ ගති ලක්ෂණ
01. අසද්ධො – ශ්‍රද්ධාව නැත
02. අහිරිකො – පවට ලැජ්ජා නැත
03. අනෝත්තප්පී – පවට භය නැත.
04. අප්පස්සුතො – බහුශ්‍රැතයෙක් බොහෝ ඇසූපිරූ ප්‍රවීණයෙක් නොවේ
05. කුසිතො – කම්මැලි අලසයෙකි
06. මුට්ඨස්ස – මුළා වුවෙකි
07. දුප්පඤ්ඤා – මෝඩයෙකි
අසද් පුරුෂ ගති ලක්ෂණ හඳුනාගත යුතු එනම් අසද් පුරුෂ සිතිවිලි නිරතුරුව
ඔහු තුළ ජනිත වෙයි. තමාට මෙන්ම අනුනටද දුක් සඳහාම සිතුවිලි සිතයි. එසේම
සියලුදෙනාට අයහපත ළඟාවීම සඳහාම සිතිවිලි ක්‍රියාත්මක කරයි. ඒ සදහා
අසත්‍ය, කේළම, පරුෂ වචනය, හිස් වචනය ප්‍රයෝජනයට ගනියි.
සද්පුරුෂ ගති ලක්ෂණ
01. සද්ධා හොති – ශ්‍රද්ධා ඇතියේ වෙයි
02. හිරිමා හොති – ලජ්ජාව (පවට) ඇතියේ වෙයි
03. ඔත්තප්පි හොති – බිය (පවට) ඇතියේ වෙයි
04. බහුස්සුතො හොති – බහුශ්‍රැත වූයේ වෙයි
05. ආරද්ධ විරියො හොති – ආරබ්ධ වීර්ය වෙයි
06. උපට්ඨිතසති හොති – එළඹ සිටි සිහිය. ඇත්තේ වෙයි
07. පඤ්ඤා හොති – නැණවතෙක් වෙයි. |