UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු දහමයි ගිහි දිවියයි 08 යුග දිවියේ බොදු පදනම

බුදු දහමයි ගිහි දිවියයි 08

යුග දිවියේ බොදු පදනම

අඹු සැමියන් ගෘහ ජීවිතය යහපත්ව ගතකරන විට දෙවියන් පවා නමස්කාර කරන බව සක්ක නමස්සන සූත්‍රයෙහි කියවේ. කිසිවිටකත් බිරිඳ සැමියාගේ දාසියක් නොවන බව බුදුදහම අවධාරණය කෙරේ. ස්වාමියා සහ සමාන අයිතිවාසිකම් බිරිඳට ද හිමිවිය යුතු අතර ඇය ස්වාමියාගේ හොඳම යෙහෙළියක් විය යුතුය. මේ අනුව පවුලක් ක්‍රමවත්ව පවත්වාගෙන යාම සමාජයටද බලපෑමක් කරනු ඇත.

“පී‍්‍රතිමත් විවාහ ජීවිතය” යන නමින් පොතක් ලියා ඇති ආචාර්ය කිරින්දේ ධම්මානන්ද නා හිමියෝ ස්වාමියා සහ බිරිඳ අතර ඇතිවිය යුතු අන්‍යෝන්‍ය සම්බන්ධය මෙසේ ගෙනහැර දක්වා ඇත. ආදරය, අවධානය , පවුල් අපේක්ෂාවන් , විශ්වාසය, ළමුන් හොඳින් රැකබලා ගැනීම, අරපරෙස්සම ,කෑම බීම සම්පාදනය කිරීම, සැමියා ප්‍රශ්නයකට මැදිහත්ව සිටින විට එයින් මුදා ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දීම ආදියයි.

එසේම බිරිඳ විසින් ද සැමියාගෙන් ඉටුවිය යුතු ලෙස සලකන කරුණු කිහිපයක් ඇත. එනම් කරුණාවන්තකම ,ආචාරශීලි බව, සමාජශීලි බව, ආරක්ෂාව , සාධාරණ බව, හිතවත්කම, අවංකභාවය සහ සදාචාරමය සහයෝගය ඇය අපේක්ෂා කරයි.

අංගුත්තර නිකායේ පුරුෂ බන්ධන සහ ඉත්ථි බන්ධන සූත්‍රයන් හි ආදරය වැනි චිත්තවේගීය ලක්ෂණයන් හටගන්නා ආකාරය පැහැදිලිව දක්වා ඇත. මිනිසා සහ ගැහැනිය අතර ආදරය ඇති වන්නේ රූපය, සිනහව, කතාව, ඇඳුම් පැලඳුම් ,කටහඬ සහ ස්පර්ශය නිසාය. මේ කාරණා පදනම් කොටගෙන, පුරුෂයෙක් ස්ත්‍රියකටත් ස්ත්‍රියක් පුරුෂයෙකුටත් අන්‍යෝන්‍ය වශයෙන් බැඳී පවතින බව බුදුරදුන් පෙන්වා දී ඇත. මනෝවිද්‍යාත්මක අත්හදා බැලීම් මඟින් මෙම නිගමනයන්ට බුදුන් වහන්සේ පැමිණ ඇති බව පෙනේ.

පවුලක තිබිය යුතු මූලිකම ලක්ෂණ අතර ආදරය විශ්වාසය මෙන්ම අවංකභාවයද පවතින්නේ නම් එහි සතුට නිරන්තරයෙන් ම රඳා පවතින්නේය. එය පවුල් ජීවිතයක වටිනාම අවස්ථාව වේ. ස්වාමියා ආදරයෙන්, මහත් ඕනෑ කමින් බිරිඳ ගැන සලකන්නේ නම්, ඇය අපේක්ෂා කරන සහ බලාපොරොත්තු දැ ඇයට ලබා දෙන්නේ නම්, ඇය ස්වාමියාගේ සිත නොරිදෙන ආකාරයට කටයුතු කරන අතර ඔහු විසින් උපයන ධනය මනා කළමනාකරණයකින් සුරක්ෂිත කොට පවත්වාගෙන යාමට ද උත්සුක වෙයි. ඕනෑම ප්‍රශ්නයකදී දෙදෙනාම විවෘත ලෙස සාකච්ඡා කිරීමෙන් තීරණ ගත යුතු අතර ඒ තුළින් පවුලේ සමගිය සතුට පවත්වාගෙන යා හැකිය.

බුදුන් වහන්සේ විසින් ගෘහ ජීවිතය ගත කරන ගිහි ජනතාවට කරුණු දහයක් අවධානයට යොමු කර ඇත.

* දෙමාපියන්ගේ අවශ්‍යතා ඉටු කළ යුතුය.

*දරුවන්ගේ සුබසාධනයට කැපවිය යුතුය.

*බිරිඳගේ සුබසාධනයට /ආරක්ෂාව ඇති කළ යුතුය.

* විවාහ ජීවිතයේ අන්‍යෝන්‍ය අවබෝධය සදාචාරමය ශක්තිය ගත යුතුය.

*ඤාති වර්ගයාගේ අවශ්‍යතා ගැන බැලිය යුතුය.

*වැඩිහිටියන්ට ගෞරව කළ යුතුය

*දෙවියන්ට පිදිය යුතුය

* මියගිය ඤාතීන්ට පින් අනුමෝදන් කළ යුතුය.

*සමාජයේ නීති රීතිවලට එකඟව ජීවිතය පවත්වාගත යුතුය.

*යහපත් නිවැරදි පවුල් ජීවිතයක් ගොඩනගා ගත යුතුය.

අඹු සැමියන් ගෘහ ජීවිතය යහපත්ව ගතකරන විට දෙවියන් පවා නමස්කාර කරන බව සක්ක නමස්සන සූත්‍රයෙහි කියවේ. කිසිවිටකත් බිරිඳ සැමියාගේ දාසියක් නොවන බව බුදුදහම අවධාරණය කෙරේ. ස්වාමියා සහ සමාන අයිතිවාසිකම් බිරිඳට ද හිමිවිය යුතු අතර ඇය ස්වාමියාගේ හොඳම යෙහෙළියක් විය යුතුය. මේ අනුව පවුලක් ක්‍රමවත්ව පවත්වාගෙන යාම සමාජයටද බලපෑමක් කරනු ඇත. මක් නිසාද යත් සමාජයේ කුඩාම ඒකකය පවුල වන බැවිනි. එම නිසා පවුලේ සමගිය තුළ යහපත් සමාජයක් බිහිවීමට ඇති ඉඩකඩ බොහෝය.

බුදුන් වහන්සේ විසින් දැඩිව විවේචනයට ලක්කරන ලද බමුණන්ගේ බ්‍රාහ්මණ සංකල්පය බෞද්ධ සමාජ දර්ශනය තුළ දෙමාපිය ගුණ ධර්මයන් තුළට අන්තර්ගත කර ඇත. දෙමාපියන් මහා බ්‍රහ්මයා තුළ පවතින සතර බ්‍රහ්ම විවරණයන් මඟින් දරුවන්ට “ආහුණෙය්‍ය” වැනි ගෞරව නම්වලින් හඳුන්වා ඇත. දෙමාපියයෝ නම් දරුවන්ට මෙලොව එළිය දකින්නට වාසනාව ලබා දී (ආපාදකා) පෝෂණය කර (පොසකා) බොහෝ උදව් උපකාර හිත වැඩ සලසා (බහුපකාරා) ලෝකය දැක් වූවෝ (ලෝකස්ස දස්සේතාරෝ) වෙති. එහෙයින් දරුවන්ගේ ගෞරවාදරයට පත්‍යුපකාරයට ඔවුහු අනිවාර්යයෙන්ම සුදුස්සෝ වෙති. ඒ නිසාම බෞද්ධ සමාජ දර්ශනයෙන් නිර්දේශ කරනු ලබන්නේ දරුවන් විසින් දෙමව්පියන්ට ද දෙමව්පියන් විසින් දරුවන්ට ද උපකාර හා ප්‍රත්‍යුපකාර දැක්විය යුතු බවයි. ඒ බව ගිිහි විනය මැනවින් පැහැදිලි කර ඇති සිඟාලෝවාද සූත්‍රයෙන් විස්තර කෙරේ. දරුවන් විසින් දෙමාපියන්ට ඉටුකළ යුතු යුතුකම් පහක් වේ. එනම්,

දෙමාපියන් පෝෂණය කළ යුතුය. (භතෝ නේසං භරිස්සසාමි)

ඔවුන්ගේ විවිධ කටයුතු සිදුකර දිය යුතුය. (කිච්චං නේසං කරිස්සාමි)

පරම්පරාව රැකගත යුතුය. (කුලවංසං ඨපෙස්සාමි)

උරුම වූ දේපළ ආදිය රැකගත යුතු ය. (දායජ්ජං පටිපජ්ජජාමි)

මිය ගිය පසු පින්දිය යුතුය. (අථ ච පන පේතානං කාලකතානං දක්ඛිනං අනුපදස්සාමි)

යනුවෙන් දැක්වෙන සද් ක්‍රියාවලියෙන් දරුවන් විසින් දෙමව්පියන්ට ප්‍රත්‍යුපකාර දැක්විය යුතුය.

ස්වාමියා තම බිරිඳ පිළිබඳ දැන සිටිය යුතු දේ

අඹුසැමියන් අතර හොඳ හිත, ආදරය හා ගෞරවය රැකබලා ගැනීම සඳහා අවශ්‍ය කරුණු ද බුදුදහමින් අවධාරණය කෙරේ. ඒ අනුව බිරිඳ ස්වාමි පුරුෂයාගේ මනාපය අනුව හැසිරිය යුතුය. ස්වාමි මනාපය අනුව හැසිරීම හා කීකරුකම, සාධාරණය, සදාචාරය හා විශ්වාසය වැනි මූලධර්ම මත ප්‍රදර්ශනය කළ යුතු දේ මිස ස්ත්‍රිය මත පටවන දේ මිස නොසිතිය යුතුය. මේ තුළින් ගැටලු නිරාකරණය කිරීමේ මඟක්ද වන්නේය. ස්ත්‍රිය තමාට සමානය යන ප්‍රතිපත්තිය දෙස ස්වාමියා බැලිය යුත්තේ ඔහුට පැවරෙන සුවිසල් කාර්යභාරය තේරුම් ගැනීමෙනි. එය නම් තමා විසින් තම බිරිඳ ආරක්ෂා කර ගැනීමේ වගකීමය. ස්වාමියෙකු ලෙස, පියෙකු ලෙස, සහෝදරයෙකු ලෙස, නෑයෙකු ලෙස, සෑම පිරිමියෙකුගේ ම වගකීම විය යුත්තේ ස්ත්‍රියට ආරක්ෂාව සැපයීම බව බුදුරදුන් අවධාරණය කර ඇත. එමඟින් ස්ත්‍රිය සමාන නිසා ඇයගේ ආරක්ෂාව ඇය ම සලසා ගත යුතු යැයි වැරදි තීරණයකට එළඹීමට කිසිම පිරිමියෙකුට ඉඩක් නැත. එබැවින් දෙපස අතර තිබිය යුතු සබඳතාව දාන ප්‍රතිග්‍රාහණ ප්‍රතිපත්තියක් මත පදනම් විය යුතු බව ඉගැන්වීමය.


බුදු දහමයි ගිහි දිවියයි 07 - පාපයෙන් වළක්වා යහපතෙහි පිහිටුවිය යුතුය

 

 
  බක්මස අමාවක පෝය

බක්මස අමාවක පෝය අප්‍රේල් මස 18 වැනිදා සෙනසුරාදා පූර්වභාග 3.37 ට ලබයි. 19 වැනිදා ඉරිදා පූර්වභාග 0.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් මස 18 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
අප්‍රේල් 25 වැනිදා සෙනසුරාදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අපේ‍්‍රල් 18

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]