UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඉදි කළ සම්බුදු මැදුරකි

ඉදි කළ සම්බුදු මැදුරකි

දහසක් බුදුන් බුදුවන හිමිදිරියේ ලාහිරුකිරණ වැදී කිරිපාටින් බැබළෙන සෝමවතී සෑ සමිඳුන් දෝවනය කරමින් පහතට වැටෙන සිනිඳු සීතල පුංචි පිණිබිදු පින්බිම සිපගන්නේ, තවත් දවසක ඇරඹුමක් සනිටුහන් කරමිනි. ඈත නිල්ල නිලන වන ලැහැබ තුළින් හමන ලා මද පවනට මුසුවූ චාම් පුෂ්පයන්ගේ සුවඳ සෑ රදුන් සිපගන්නේ සියලු සත්වයෝ සුවපත් වේවා යන උතුම් ප්‍රාර්ථනාව කැටිකරගෙනය. ඒ අතරින් ඇසෙන සියොතුන්ගේ කිවිබිචියත්, හස්තිය- න්ගේ ආඩම්බර කුංචනාදයත් දළදා තේවාවක් සේ සෑම සියලුදෙනාටම බැතිබරවන්නට විය.

අපටත් මෙවන් වූ මොහොතක සෝමවතී සෑ සමිඳුන් ළඟ දනින් වැටී බණ පදයක් අසන්නට ඇත්නම්...... අපිම වේවි මතු ජාති ජාතිත් ලොව්තුරා බුදුන් දැක නිවන් දකින පින්වන්තයෝ.

සෝමවතී පුදබිමේ පුරාණ ඉතිහාසය විමසීමේ බැතිබර අටියෙන් ‘ජිනකාලමාලි’ ඓතිහාසික ග්‍රන්ථයන් වහන්සේ අපි සැදැහැ සිතින් මෙසේ දිගහැර එළිදක්වන වගයි.

ලක්දිව ත්‍රිත්වයෙන් රුහුණු, පිහිටි, මායා නම් විය. ඒ අතරෙන් රුහුණු ලකේ සිව් රාජ්‍යයන් ගිරි, සෝම, සේරු, ලෝණ නම් විය. රුහුණු මාගම්පුර රජකළ කාවන්තිස්ස මහ රජුගේ නැගණිය වන සෝමවතී දේවිය කැලණියේ තිස්ස හෙවත් ශිව රජුගේ බෑණා වූ අභය කුමරු සමඟ විවාහ වී ගිරිනුවර වාසය කළාය.

අභය කුමරු ගිරි ජනපදය අතැර සෝමවතී දේවිය සමඟ සේරු නුවර ශිව රජු වෙත ගිය බවත් ඔහුගෙන් පරිත්‍යාග වශයෙන් ලැබුණු මහවැලි ගඟ අසබඩ සෝමපුරය නමින් රාජධානියක් කොට පාලනය කළ බවත් ‘ජිනකාලමාලිනියෙහි’ සඳහන් වේ.

ගිරි අභය කුමරු හා සෝමවතී දේවිය මෙම අභිනව සෝමනම් රාජධානියෙහි වාසය කරන කල්හි වැඳුම් පිදුම් කිරීම සඳහා විහාරයක් නොමැති හෙයින්, දාගැබක් සහිත විහාරයක් ඉදිකිරීමට සුදුසු ස්ථානයක් සොයා බැලීය. “ජිනකාලමාලිනියෙහි” පරිදි සේරු රජ විල් කෙලවර රම්‍යභූමි භාගයක නුවරක් මවා අභය රජුට පිරිනැමුවේ ඔහුගේ මිතුරෙකි. අභය රජු දේවියගේ නාමය අනුව සෝම නුවර යැයි නම් තැබීය. සමෘද්ධි වූ ඒ නගරයෙහි අභය රජු රාජ්‍යය කළේ ය.

සුවිසල් වූ විහාරයේ විශාල අඩුවක්ව පවත්නා චෛත්‍ය රාජයාණන් ගොඩනැඟීමට මා සිත ප්‍රයත්නයක් දරයි. ඒ සඳහා අප භක්තියෙන් වන්දනාමාන කළයුතු වන ගෞතම බුදුපියාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් නිධන් කොට තැම්පත් කළ යුතු වන්නේ ය. දේවිය අප කුමක් කරම්ද, විමසන කල්හි, සුන්දර සල් උයනේ අරිට්ට කුමරුන් සහ පිරිවර සමඟ වැඩ වසන මිහිඳු මහ රහතන් වහන්සේගේ උපදෙස් පරිදි තථාගතයාණන් වහන්සේගේ දක්ෂිණ දළදා වහන්සේ වැඩමවා නිධන්කොට සුවිසල් දාගැබක් ඉදිකෙරිණි. සෙනෙහබර ගුණැති දේවියගේ නමින් ජීවමාන සෑ රදුන් සෝමවතී නම් විය. ඒ බැතිබර රජදරුවන්ගේ වීර පුරාණය මෙසේ සටහන් කොට නොතිබුණා නම්, එසේ නොවන්නට බොදු ඉතිහාසය අපි මෙතරම් පෝෂණය නොකරාවි, කුසලෙන් අටුවා ටීකා දිගහැර දක්වා, මෙසේ පුස්තක නිර්මාණය කරන ලද ඒ උතුමන් සියලු දෙනාම මතු බුදුන් දැක නිවන් දකිත්වා. එයයි මාගේ උතුම් ප්‍රාර්ථනාව.

අහස්කුස දෙස බලා මුණි ගුණ පතළ කරන අපේ සෝමවතී චෛත්‍ය රාජයාණන් වහන්සේ, ක්‍රමයෙන් වනගොමු තුරුලතා අතුපතර සැඟ වෙන්නට විය. රජදරුවෝ ආයුෂ කෙළවර කොට මෙබිමෙන් සමුගන්නට ද ඇත. තවත් පරම්පරාවන් පවතින්නටද ඇත.

“සමිඳු හද බැතියෙන්
සොයා ගති සෑ සමිඳු තුටියෙන්
සොයා දුටුවා ට්ප්පනි නිතියෙන්
නැවත මතු මතු වඳින අටියෙන්”

ගරුතර කාරක සංඝ සභික සිරි මල්වත්තේ ශ්‍රී පියරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1947 දී පමණ ඉංගී‍්‍රසින්ගේ අවසරය ඉල්වා නැවත බොදු සැදැහැවතුන්හට වැඳ පුදා ගැන්ම උදෙසා සෝමවතී පුදබිම පිළිසකර කරවීමට මුදුන් පියවර තැබූහ.

පියරතන සමිඳුන්ගේ නොමද අභිප්‍රායන් මැද මරණය, අභාවය, නොපැවැත්ම යන නොවෙනස් ධර්මතාවයන් සනිටුහන් කරමින් අප අතරින් අපවත් වී වදාළ සංඝ සභික සිරිමල්වත්තේ ශ්‍රී පියරතන ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ අජරාමර මතු නිවනින් සැනසේවා. මතු වත්මන් සියලු බර දෝතටම ගෙන දරාගත් රජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත පහමුණේ ශ්‍රී ගුණානන්ද හිමියනේ, ඔබ වහන්සේ ලැබූ නියත විවරණය මෙයම වන්නට ඇත.

ඇසුවාට දුටුවේ මා එදාමයි. ඔබ වහන්සේගේ නොමද මෙහෙවර ගෙවෙනවා නම් දෙපා ටික ටික, ගෙවේවී යන වාර අපමණ. පෘථග්ජන අපි රකිනවිට දේපොළ තෘෂ්ණාවෙන් පොදි බැඳ ඔබ වහන්සේ රකී මේ පින්බිම, සියලු පෘථග්ජන අපි වෙනුවෙන්ම අද, නේක ගැටුමත් පාළු තනිකම් මැද, වනෙක සිව් පා සත්තු ගොදුරු මැද , බව තෙරේ තනිවී නොදැන හරි මඟ ගෙවන අපගේ නිවන දෝතටම ගෙනත් දීමට නොමද වෙර දරනා නා හිමියනි.

පහමුණේ ශ්‍රී ගුණානන්ද සමිඳුනි. ඔබ වහන්සේගේ මේ මහඟු මෙහෙවර මතු බුදුන් දැක නිවන් දකින්නට පාරමිතාවක්ම වේවා. මා කවුරුන්ද යන වග, මාද නොදැන සිටියා බුදු සමිඳුනේ කියූ කළ දෑ ඔහේ තිබුණා, වගක් නෑ දින සති ගෙවේ. මිනිස් පැවැත්ම මෙයද මියෙනතුරු, විටෙක සසරම කලකිරේ. හරයක් නොමැතිව ගෙවන දිවියේ හිස් බවක් නිරතුරු දැනේ.

වෛද්‍යවරයෙකු ලෙස මගේ දෑතින් මා දායාද කළේ සමාජයට වෘත්තීයමය සේවාවක් පමණක් නොවේ. මිල මුදලින් පෝෂණය වන්නට මා ඔබේ දිවි සුරැක්කා නම් නොවේ. මා ළඟින් හිඳ නුඹේ සියොළඟ වේදනාවන් මට කොඳුලනා විට, ඇවිලුනා මගෙ හදේ සෝගිනි, අනේ නුඹ සුවපත්ම වේවායි යන තිර අදිටනින් ලියූ ඖෂධ නුඹට චිර දිගු ආයුෂ ලබා දුනි. නැඟිට යන විට මා ළඟින් නුඹ "බුදුසරණයි" කියැවුණා මට...... මේ දෑත දෙස බලනවිට මට තේජසක් අතිවෙයි මුළු ආත්මයට. පින් ලැබේවා නුඹේ දිවි රැකි තරම් මේ වැලි කැට ගානට. මා හැදූ වැඩූ මව්පියණි. බුදු බව ලැබේවා දිනෙක මෙලොව නැතිවත් පියතුමනි, බලා ඉන්නවද ආඩම්බර ඔබේ පුතු දෙස දැඩියෙන් මා රැකි මගේ උතුම් මව.

සාධු සාධු නුඹේ දෙපා ළඟ දනින් වැටී මට, වැඳ කියන්නට වදන්නැත මගෙ රත්තරං අම්මේ. සියලු කුසලෙන් මතු ජාති ජාතිත් මට මගේ රත්තරං අම්මාම වේවා.

රජදරුවන් හට සමවෙන්න නම් නොවේ, සුවිසල් බුදු සමිඳු කුටියක් ඉදිකළේ
කිසිඳු නිලයක් ලබන්නට නොවේ, මෙපින් අද මා සිදුකළේ
අනේ පින්බිම පාළුයි අඳුරුයි, නොමැති මෙන් සඳ අහස් තලේ
බැතිමතුන් හට වැඳගන්නටයි, සමිඳු කුටියක් ඉදිකළේ

මෙතුවක් සෑ රදුන් තනිවම දහම් මඟ පෙන්වූවා. සියලු දෙනහට වැඳ පුදන්නට තේජසක් මතු දිලෙව්වා. සියලු අඩුවන් පිරි මහන්නට මටත් සිත තුළ පැහැදුනා.

“බුද්ධ රූපං සකලං සදා....”
වඳින්න සිතු සිතුසේ බැතුමතුනි,
ඔන්න බුදු සමිඳු කුටියක් ඉදිකළා..

ශාන්ත නිර්මල අඩවන් දෙනෙත් බබළද්දී, උතුම් මා ලොව්තුරා බුදුහිමි, කුටියතුළ වැඩ සිටිද්දී, නවාගත් අපෙ දෙදණ පොළොවේ සීතලට බිම වදිද්දී, දැනුනේ මගෙ බුදු හිමි ජීවමානයි. අනේ සත්තයි වඳීද්දී.....

සීතල බුදු සමිඳු කුටිය තුළ මගේ බුදුපියාණෝ, ජීවමානව වැඩ සිට දහම් දෙසනා සේ අපේ සිත වසඟ වුණේ, අපටත් නොදැනීමයි. සඳුන් කරඬුව දරා සිටින පුංචි සෑ රඳු අපට හිනැහෙන ලෙසින් පෙනුනා මතකයි ඒ මේ අත හැපෙමින්, වඳිමින්, නරඹමින්, ඇවිදින බැතිමතුන් තම අතේ වූ කැමරාවන් දිගහැර උමතුවන් ලෙසින් ඒ මේ අත ඡායාරූප ගත්තා මතකයි. ඒ ක්‍රියාවන් දැන් දැන් නිමාවෙයි සිතුවත් මා.. නැත ඔවුන් සෑහීමක් ලැබුවේ.

අතරමං වුණි හුදකලාවම, හීනයක් ද මේ සිදුවන්නේ, වසන්ත හෙට්ටිආරච්චි වූ මාත්, මාගේ දෑතට සවියක් වූ රංජිත් කරුණාරත්නත්, හිත මිතු රජදරුවන් සේ එකලත් මෙසේ නව මැදුරු ඉදිකරන්නට ඇති, ඒ බව සසර පුරුද්දට මෙසේ මතුවත් සිදුකරන්නට ඇති.

මා හද තුටින් නිරතුරුවම පේ වෙමිනී
රංජිත් මහා මැතිඳුන් හා එක්වෙමිනී
ඉදිකළ බුදු සමිඳු කුටියකි තුන් සරණී
සිතුසේ වැඳගන්න පින්වත් බැතිමතුනී..

බුදු සමිඳු කුටියේ බිත්තියකට පිටදුන් මා..... සියලු දෙනා අතරින් මිදී මොහොතකට හුදෙකලාවිය. “මගේ නේද මේ බුදුපියාණන්” විටෙක හදතුළ ලොබකමක් විය. මහා පවුරක් සේ වැඩ සිටින බුදුහිමි මට මෙසේ පැවසුවා එම විට.

පුත නුවනි කළ පින් බොහෝ විය.
එපා පෘථග්ජන සිතට යළි ඉඩ දෙන්න.
සියලු බැමි අනියත බැවින් ලොව
අතැර දමා යනු මෙන්න නිවන් මඟ සුවපත් වේවා..

ඒ නිර්මල දෑස් මට කීවේ මෙයයි.

පින්වත් සැදැහැවතුන්ගේ සාදු සාදු සාදු යන විවරණය අලුයම සෝමවතී පුදබිම පුරා රැව්පිලි රැව් දෙද්දී, හේවිසිකරුවන් පේවී තේවාව වයද්දී, පිරිසුදුව දෝවනය කළ කිරි පූජා රැගෙන යද්දී, මුතු කුඩය යට බුදු සමිඳුගේ පූජාවන් පෙළ ගැසෙද්දී, වන ලැහැබින් හමන මද නලට මුසු වූ බෝ සමිඳුගේ උත්තම බෝ පත් සිලි සිලියේ හිනැහෙද්දී, දුටුවා ද බැතිමතුනි.....

සෝමවතී සෑ රදුන් රශ්මිමාලා විහිදුවනා හැටි දහසක් බුදුන් බුදුවෙද්දී.

දුටුවන් නෙත් මවිත විය. කළ කියූ දෑ අමතක විය. රැස් කිරණ චෛත්‍ය රාජයාණන් ජීවමාන කරමින් ගුවන් තලේ විහිදෙන්නට විය. නොයෙකුත් දුටුවන්, මේ ජීවමාන සිදුවීම් විවරණය කරමින්, පොත් පිටු අතර තම අත්දැකීම්, ඡායාරූප සාක්ෂින් ගෙනහැර දක්වද්දී, හිතේ පින්බරකමක් ඇතිවුවත් මා කෙදිනකවත් සිතුවේ නැහැ බුදුසමිඳුනේ මගේ නෙත් මෙතරම්ම වාසනාවන්ත වේවිය කියා.

දැන් නම් නිසැකයි, මා ගෞතම බුදු සමිඳු කල ඔබවහන්සේ ළඟ දනින් වැටී දහම් පද අසන්නට ඇති ඒ බුදු බණ බැතියෙන් පිළිගන්නට ද ඇති.

සියලු දෙනා මවිත කල මනස්කාන්ත අත්දැකීම් මා මතු මතුවටත් සිහි කරන්නේ බුද්ධාලම්භන පී‍්‍රතියෙනි.

කෙළවර කරන්නට සිතුවත් මගේ මේ ලිපිය වරින් වර මට මැවෙන සිතුම් හැඟෙන හැඟුමන් කෙසේ නම් නිමකරන්නද මතුවටත් කිය කියා.

දනින් පැනින්, ආ ගිය සියලුම බැතිමතුන් පෝෂණය කළ වික්‍රමරත්න ඇතුළු පවුලේ සියලුම දෙනාත්, දායක වූ සියලුම උතුමන්ටත් අපිව සුරකින තිස්තුන්කෝටියක් දෙවියන්ටත් මේ සියලු පින් පාරමිතාවක්ම වේවා.

අමා මහ නිවනින් සැනසීම ලැබේවා,

සෝමවතී රජමහා විහාරාධිපති, මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන් වෙත විශේෂ පුණ්‍යානුමෝදනාව

වෛද්‍ය වසන්ත හෙට්ටිආරච්චි සහ පූර්ණිමා හෙට්ටිආරච්චි

 

 
  බක්මස අමාවක පෝය

බක්මස අමාවක පෝය අප්‍රේල් මස 18 වැනිදා සෙනසුරාදා පූර්වභාග 3.37 ට ලබයි. 19 වැනිදා ඉරිදා පූර්වභාග 0.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් මස 18 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
අප්‍රේල් 25 වැනිදා සෙනසුරාදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අපේ‍්‍රල් 18

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]