බුදුදහම හා මාර සංකල්පය 09
ගවයෙකුගේ වෙස් ගත් මාරයා
ශාස්ත්‍රපති
රාජකීය පණ්ඩිත,
මහරැඹෑවැවේ පාලිත හිමි
පසුගිය බක් පුර අටවක පොහෝ දිනයේ දී අපගේ සාකච්ඡාවකට බඳුන් වූයේ
සංයුත්තනිකායේ ඇතුළත් ගොවියකුගේ වෙස්ගත් පවිටු මාරයා පිළිබඳ කරුණු
ඇතුළත් ‘කස්සක සූත්‍රය’ විමසා බැලීමටයි. අද ඔබගේ අවධානය යොමු කරවන්නේ
සංයුත්ත නිකායේ මාර සංයුත්තයටම අයත් ගවයෙකුªගේ වෙස්ගත් මාරයා පිළිබඳ
කරුණු ඉදිරිපත් වන ‘පත්ත සූත්‍රය’ විමසා බැලීමටයි.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු සිටාණන් විසින්
කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි භික්ෂූන් වහන්සේලා අමතා
පඤ්ච උපාදානස්කන්ධයන්ගේ යථාස්වභාවය දේශනා කළහ. එනම් රූපය ‘මමය, මාගේය,
මගේ වෙමි’ ආදී වශයෙන් මමත්වයෙන් ගත නොහැකි ය. එහි ඇත්තේ අනිත්‍යය,
දුක්ඛ, අනාත්ම යන සියල්ලට පොදු වූ ලක්ෂණයන්ය. එබැවින් මමත්වය හෙවත්
සක්කාය දෘෂ්ඨිය දුරුකර රූපය පිළිබඳ ආශාව දුරුකළ යුතු ය. තෙන ඛො පන
සමයෙන භගවා පඤ්චන්නං උපාදානක්ඛන්ධානං උපාදාය භික්ඛූනං ධම්මියා කථාය
සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. තෙ ච භික්ඛු අට්ඨිං කත්වා
මනසි කත්වා සම්බචෙතසා සමන්නාහරිත්වා ඔහිතසොතා ධම්මං සුණන්ති.
එමෙන්ම වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ යන සෙසු ස්කන්ධයන් ද මමමය,
මාගේය, මගේ වෙමි ආදී වශයෙන් මමත්වයෙන් ගත නොහැකිය. එහි ඇත්තේ අනිත්‍යය
දුක්ඛ, අනාත්ම යන සියල්ලට පොදු වූ ලක්ෂණයන්ය. එබැවින් වේදනා, සඤ්ඤා,
සංස්කාර, විඤ්ඤාණ යන ස්කන්ධයන් පිළිබඳව ද මමත්වය හෙවත් සක්කාය දුරුකළ
යුතු ය. යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ උපාදානස්කන්ධ හා තෘෂ්ණාව පිළිබඳව
භික්ෂූන්ට කරුණු දක්වන සේක. එහි යථා ස්වභාවය ආදී පිළිබඳ උන්වහන්සේලාගේ
සිත්හි ගන්වන සේක. උන්වහන්සේලා උනන්දු කරන සේක. උන්වහන්සේලා අවබෝධ කළ
ගුණ වණා උන්වහන්සේලාගේ සිත් පී‍්‍රති කරවන සේක. ඒ භික්ෂූන් වහන්සේලා ද
එය වැඩ ඇති දෙයක් කොට ද ගෙන සිතෙහි ලා, මුළු සිතින් එය එක්කොටගෙන
යොමුකළ කන් ඇතිව වුවමනාවෙන් ධර්මය අසති.
එකල්හි පාපී මාරයා හට මේ සිත ඇතිවිය. ‘ශ්‍රමණ ගෞතම තෙම උපාදානස්කන්ධ පස
ගැන භික්ෂූන්ට දැහැමි කථායෙන් කරුණු දක්වයි.ඒ ඔවුන් සිතෙහි ගන්වයි. එහි
ඔවුන් උනන්දු කරයි. ඔවුන් සිත පී‍්‍රති කරයි. ඒ භික්ෂූහු ද එයට කැමතිව
ඒ සිත්හිලා මුළු සිතින් එක්කොටගෙන යොමුකළ කන් ඇතිව බණ අසත්, ඔවුන්ගේ
නුවණැස කණකරලන්නට අන්ධකරන්නට ශ්‍රමණ ගෞතම තෙම කරා ගියොත් යෙහෙක”
යනුවෙනි.
තෙන ඛො පන සමයෙන සම්බහුලා පත්තා අබ්භොකාසෙ නික්ඛිත්තා හොන්ති. අථ ඛො
මාරො පාපිමා ඛලිවද්දවණ්ණං අභිනිම්මිනිත්වා යෙන තෙ පත්තා තෙනුපසකමි.
එකල බොහෝ පාත්‍රා වේලනු පිණිස එළිමහනෙහි තබන ලද්දෝ ය. එවිට පාපී මාරයා
ගවයකුගේ වෙසක් මවාගෙන ඒ පාත්‍ර තිබුණු තැනට පැමිණියේ ය. එවිට එක්තරා
භික්ෂුවක් අන් භික්ෂුවකට “මහණ, මහණ, අර ගොනා පාත්‍රය බිඳී” යි කීය. එසේ
කීකල භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුහට “භික්ෂුව, ඒ ගොනෙක් නොවේ, පාපී
මාරයාය. තොප නුවණැස් අන්ධ කරන්නට ආයේය.” යි වදාළ සේක. ඉක්බිති මේ පාපී
මාරයා’ දැන භාග්‍යවතුන් වහන්සේ ඔහුට ගාථාවෙන් මෙසේ වදාළ සේක.
රූපං වේදයිතං සඤ්ඤා
විඤ්ඤාණ යඤ්ච සංඛතං
නසො හමස්මි නෙතංමේ
ඒවං තත්ථ විරජ්ජතී
අන්වෙසං සබ්බට්ඨානෙසු, මාරසෙනාපි නාජ්ඣගා”ති
රූප, වේදනා, සංඥා, විඥාන සහ යම් සංස්කාර කෙනෙක් ඇද්ද, ඒ මේ පඤ්චකන්ධය
මම් නොවෙමි” මෙය මාගේ නොවේයැයි නුවණින් දක්නේ මෙසේ එහි ඇල්ම අත්හරී.
මෙසේ නොඇලුණු, උවදුරින් මිදුණු ආත්මභාවය ඇති, සියලු භව බැඳුම් (සංයෝජන)
ඉක්මවා සිටි ඒ රහතුන් මරසෙන් පවා හැම තන්හිම සොයනුයේ නුමුදු ඔහු නොම
දක්නේය”,
බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ කල්හි ඒ පාපී මාරයා භගවත්හු මා දනිති.
සුගතයෝ මා හඳුනති යි සලකා දුක් දොම්නස් ඇතිව එහිම අතුරුදන්වීය.
මෙහිදී බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනුයේ රූප, වේදනා, සඤ්ඤා,
සංස්කාර, විඤ්ඤාණ යන පඤ්ච උපාදානස්කන්දයන් මාරයාට අයිති දේවල් ලෙස ය.
රූපය පිළිබඳ යමෙක් ඇල්මක් ආශාවක් මමත්වයක් ඇති කරගන්නේ නම් ඔහු මාර
විෂයයට යටත් වූවකි. වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ පිළිබඳව ද එසේම ය.
අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය මත පදනම් වූ මේ සියල්ලෙහි ඇත්තේ
විනාශවන, නැතිවන, අහිමිවන ස්වභාවයයි. අප අවබෝධකර ගත යුත්තේ ද එයයි.
එහෙත් මාරයා පඤ්චස්කන්ධය පිළිබඳ වූ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමට උත්සාහ
කරන පිරිසට කැමති නැත. එයට හේතුව ඒ උතුමන් ඒ අවබෝධය තුළින් සත්‍ය
වටහාගෙන මාරයාගේ ඇස් අන්ධකොට ඔහුට නොපෙනෙන තැනකට යන හෙයිනි.
බුදුරජාණන් වහන්සේ මේ පඤ්චස්-කන්ධයන්ගේ යථාස්වභාවය භික්ෂූන් වහන්සේලාට
දේශනා කරන විට මාරයා අකමැති වන්නේ භික්ෂූන් වහන්සේලා එය අවබෝධය තුළින්
සත්‍යාවබෝධය බලා මාරයාට නොපෙනෙන තැනකට හෙවත් උතුම් වූ රහත් තත්ත්වයට
පැමිණෙන හෙයිනි. ඒ නිසාම ඒ පාපී මාරයා භික්ෂූන් වහන්සේලාගේ අවධානය
වෙනස් කිරීම සඳහා ගොනෙකුගේ වෙස් ගෙන දානය වළඳා අවසානයේ වියළීම සඳහා
අව්වේ තිබූ පාත්‍ර බිඳීම සිදුකරනුයේ.
භික්ෂූන් වහන්සේලා ඒ ගොනෙකු යැයි හැඳින ඔහු එළවීමට සූදානම් වූ අවස්ථාවෙ
සම්බුදු ඇසින් ඒ ගොනෙකු නොව පාපී වූ මාරයාගේ ම ක්‍රියාවක් ලෙස දැක්
භික්ෂූන්ට එයම අරමුණු කොටගෙන දහම් දෙසූහ.
තමන් වහන්සේ පාපී වූ මාරයා හැඳිනගත් බව ඒත්තු ගැන්වීම සඳහා ඔහුට විරාගී
සිතක ඇති ස්වභාවය මැනවින් දේශනා කළහ. එනම් සත්‍ය අවබෝධ කළ උතුමන්ට රූප,
වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ යන පඤ්ච උපාදානස්කන්දයන් පිළිබඳ කිසි
කලෙක මමත්වයක් හෙවත් තෘෂ්ණාවක් නොමැති බවයි. එමෙන්ම මාරයාට ඒ උතුමන්ගේ
ගමන කිසි කලෙකත් සෙවීමට නොහැකි බවයි. එයින් බුදුරජාණන් වහන්සේ තමන්
හැඳිනගත් බව දැන ලජ්ජාවට පත් පාපී මාරයා දුක් වූ දොම්නස් වූ මනසින්
යුක්තව එහිම අතුරුදන්ව ඇත.
මතු සම්බන්ධයි,
|