බක් පුර පසළොස්වක 2015.04.03
සැප ගෙන දෙන්නේ කෙසේද ?
ශාන්ති නායක තථාගත බුදුපියාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් දෙවන
වරට ද මේ රට පවිත්‍ර වූ ඓතිහාසික ආගමික දිනයකි. බක් පුර
පසළොස්වක පොහොය. මහා කරුණාවෙන් ලොව බලා වදාරන බුදුරජාණන්
වහන්සේගේ මහා කරුණා නෙතට යොමු වූ මේ රට පුණ්‍යවන්ත දේශයකි.
“නිධානය” යනුවෙන් හඳුන්වනුයේ වටිනා වස්තුවකි.
අනෙකුත් නිධානවලට වඩා මනුෂ්‍යයාට ඉතා වැදගත් වන නිධානයකි.
අනුගාමික නිධානය. කර්මය, කර්ම ඵලය විශ්වාස කරන බෞද්ධයා
අනුගාමික නිධානය කෙරෙහි බෙහෙවින්ම අවධානය යොමු කරනු ලැබේ.
මනුෂ්‍යයා මේ ලෝකයට පැමිණෙන විටත්, මෙලොවින් සදහටම සමුගෙන
පරලොව යනදාටත් රැගෙන එන යනුයේ ඒ අනුගාමික නිධානයයි. තම තමන්ගේ
ලෞකික ජීවිතයේ දී බොහෝ දෙනා බොහෝ දේ සොයා ගනු ලැබේ. එහෙත් එසේ
සොයා ගන්නා දෑ අතර බොහෝ දේ භෞතික දේ විය හැකිය. ඇතැම් විට
එවැනි භෞතික දෙයින් තමන්ට ප්‍රතිඵලයක් ඇතත්, නැතත් ඊට අවධානය
යොමු කර ඒ සඳහා වෙහෙස මහන්සි වනු ලැබේ.
අප මෙහිදී සඳහන් කරනුයේ එවැනි භෞතික වස්තු හරි හම්බ කර ගැනීම
නම් නොවේ. එහෙත් ඇතැම් විට ඒ භෞතික වස්තු පවා යොදා ගැනීමෙන්
අනුගාමික නිධාන බවට එය පත් කර ගත හැකි බව සඳහන් කළ යුතු ය.
ඇතැම් විට ධනය හරි හම්බකර ගත් පමණින් ම සතුටු විය හැකි ද? එසේ
සතුට උපදවා ගැනීමට උපයා ගත් ධනය දහඩිය වගුරුවා ඉතා සාධාරණව
උපයා ගත් ධනය විය යුතු ය. එසේ නොවුවහොත් අසාධාරණව සොයා ගත්තේ
නම් ගෙවෙන හැම මොහොතක් පාසාම බියෙන්, තැතිගැනීමෙන් ජීවිතය
ගෙවන්නට සිදු වේ.
ඇතැම් විට පෞද්ගලික ධනය නිවැරැදිව පරිහරණය නොකිරීමෙන්
ගින්නෙන්, ස්වභාවික විපත්වලින්, සොර සතුරන්ගෙන් ආදී වශයෙන්
විනාශ වී යාමට ද ඉඩ ඇත. එහෙත් එබඳු කවර අයුරකින් හෝ විනාශ
නොවන, විනාශ කළ නොහැකි ධනයකි. අනුගාමික නිධානයෙහි තැන්පත් කරන
ධනය.
තමන් මෙලොව ජීවිතය සුවපත් කරගැනීමට ධනය යොදා ගත යුතු අතර පරලොව
ජීවිතයද සුගතිගාමීකර ගැනීමට ඒ ධනය යොදා ගත යුතු වේ. තමන්ට ඇති
තාක් ධනය තිබීමෙන් එය තමන්ගේ මෙලොව පරිහරණයට ම පමණක් වැය
කිරීමෙන් පමණක් ඵලක් නොවේ. තමන්ගේ පරිහරණයට ඇති ධනය බුද්ධිමත්
බෞද්ධයා නිවන් මඟට ද උපනිශ්‍රය වන අයුරෙන් අනුගාමික නිධානයක්
බවට එය පත් කර ගනු ලැබේ.
අනුගාමික නිධානයට හිමිකම් කීමට සුදුස්සෙකු විය යුත්තේ ද තමාමය.
තමා දුක් මහන්සි වී හරි හම්බ කර ගන්නා ධනය මෙලොව සුවසේ විසීමට
ම පමණක් යොදවා සතුටු විය හැකිද? මෙලොව හැර දා පරලොව යන දාට ද
තමන්ට පරලොවදීත් සතුටු විය හැකි යමක් කර ගත යුතු ය. එසේ මෙලොව
හැර දා යන දාට දුකසේ යාමට සිදු වුවහොත් පරලොව සුගතිගාමී වෙයිද?
එසේ නම් සසර උපනුපන් ආත්මයක් පාසා තමා පසු පස එන අනුගාමික
නිධානය කෙරෙහි අවධානය කළ යුතු නොවේද?
සමගියෙන් සහජීවනයෙන් ගත සිත යොමු කර අනුගාමික නිධාන තැන්පත් කර
ගැනීම තුළින් මෙලොව පමණක් නොව පරලොවදී ද සතුටු විය හැකි වෙයි.
ඇතැමෙක් කාබී සතුටු වන අතර පරලොව ගැන නොසිතයි. ඒ අනවබෝධය
නිසාය. තමා උපයන හැම සතයක්ම අනුන්ගේ යහපතට යෙදවිය යුතු බව මින්
අදහස් නොකෙරේ. එහෙත් ඇතැමෙක් අනුන්ගේ යහපත පතා නොව තමාගේ
කුසගින්න නිවා ගැනීමටවත් ධනය නිසි පරිදි යොදවනු නොලැබේ.
අන්‍යයන්ගේ ප්‍රදර්ශනයට හෝ අන්‍යයන්ගේ කීර්ති පැසසුම්
අපේක්ෂාවෙන් නොව තමා තමාටම කර ගන්නා යහපතක් සේ කල්පනා කර
අනුනගේ දුකෙහිදී පිහිට විය යුතු ය. පිහිටක් විය යුතු තැන මඟ
නොහැර පිහිට විය යුතු ය. උදව්වක්, උපකාරයක් කළ යුතු තැන ඊට
ඉදිරිපත් විය යුතු ය. යුතුකම මෙන්ම වගකීමද නිසි ලෙස තේරුම් ගෙන
එය ඉටු කළ යුතු ය. සසරට ගෙන යන අනුගාමික නිධාන වෙනුවෙන් ලක්ෂ
කෝටි සංඛ්‍යාත ගණනින් මිල මුදල්ම අවශ්‍ය නොකෙරේ. ඊට යහපත්
සිතිවිලි පවා ප්‍රයෝජනවත් වෙයි. සසර දුක දැක අනුගාමික නිධාන
තැන්පත් කර ගැනීමට උනන්දු විය යුත්තේ එබැවිනි. |