UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තිදොර සංවරයෙන් දහමේ හැසිරීම

තිදොර සංවරයෙන් දහමේ හැසිරීම

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
“යෝ ධම්මචාරි කායෙන වාචාය උදචේතසා
ඉධෙව නං පසංසන්ති පෙච්ච සග්ගේ පමොදතීති”

සද්ධර්මාර්ථකාමී ශ්‍රද්ධාවන්ත පින්වත්නී.

අද බක් පුරපසළොස්වක පොහෝ දිනයයි. ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් සිදුවීම් ගණනාවක් සිදු වී ඇති අද දින ශාසනික වශයෙන් ඉතා වැදගත් පොහෝදිනයකි. මේ උතුම් වූ දවසේ මේ ප්‍රඥාවන්ත පින්වතුන් සැදී පැහැදී සිටින්නේ ධර්මශ්‍රවණය කිරීම සඳහායි. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන අපට ධර්මය ශ්‍රවණය කිරීම ඉතා වැදගත් බව අමුතුවෙන් කිව යුතු නොවේ. බුදුන් වහන්සේ ම තම ශ්‍රාවකයා හඳුන්වා ඇත්තේ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ලෙසය. ධර්මාවබෝධය සඳහා උත්සුක වන අපට බුදුන් වහන්සේ ක්‍රමවේද දෙකක් දේශනා කළහ. එයින් පළමුවැන්න නම් යෝනිසෝ මනසිකාරයයි. දෙවැන්න නම් පරතෝඝෝසයයි. පරතෝඝෝසය නම් ධර්මය මනාව අවබෝධ කළ කෙනෙකු හරහා ධර්මය ඇසීමයි. එසේ නිවැරදිව දේශනා කළ ධර්මය මනා සතියෙන් ශ්‍රවණය කිරීම තුළින් ධර්මාවබෝධය ලද හැකිය. එබැවින් පින්වතුන් ද ප්‍රඥානුයාතව ධර්මය ඇසිය යුතුය.

අද දින ධර්ම දේශනාව සඳහා මාතෘකා කළ ගාථාව අන්තර්ගත වන්නේ සූත්‍රපිටකයෙහි සංයුත්ත නිකායේ කෝසල සංයුත්තාගත පබ්බතුපම සූත්‍රයටයි. මෙම සූත්‍රය බුදුන් වහන්සේ දේශනා කරන ලද්දේ පසේනදි කොසොල් රජු උදෙසාය. බුදුන් වහන්සේ සහ කොසොල් රජු අතර සිදු වූ කොතෙකුත් සාකච්ඡා මේ පින්වතුන් අසා ඇති. සමකාලීනව රාජ්‍යත්වය පිළිබඳ, එදිනෙදා ගෘහ ජීවිතය පිළිබඳව මෙන්ම තම ජීවිතයෙත් පෞද්ගලික ප්‍රශ්න පවා බුදුරදුන්ගෙන් කොසොල් රජු විමසුවා. එතරම් ඉතා කුළුපගත්වයක් බුදුන් වහන්සේ සහ කොසොල් රජු අතර තිබුණා. අද දින මාතෘකා කර ගත් සූත්‍රයෙහි දී බුදුන් වහන්සේ කොසොල් රජුට දේශනා කරන ලද්දේ සූර, වීර, තේජෝබල පරාක්‍රම යැයි කියා ගන්නා රජකුගේ බලපුළුවන්කාරකමේ තරමයි. රජවරුන්ට පමණක් නොව සියලු මනුෂ්‍ය ප්‍රජාවට මෙය එකසේ ඉතා වැදගත් වේ.

ඇත්, අස්, රිය, පාබල යන චතුරාංගනී සේනාවෙන් සමූපේත වූ රජෙකුට තමා අණසකට නතුකළ නොගත හැකි එකදු රාජ්‍යයක් හෝ නොමැත. එහෙත් එබඳු රජෙකුට කළ හැක්කේ ඉතා ස්වල්ප දෙයක් බව බුදුන් වහන්සේ කොසොල් රජුට උදාහරණයකින් පෙන්වා දෙයි. යම් විටෙක මහරජ පෙරදිගින්, දකුණු දිශාවෙන්, පශ්චිම දිශාවෙන් හෝ උත්තර දිශාවෙන් පැමිණෙන ඇදහිය යුතු, වචන ඇති පුරුෂයෙකු මෙබන්ඳක් සැලකරයි. මහරජ මම එනවිට අහස හා සම වූ පර්වතයක් දුටුවෙමි. එය සියලු සතුන් සුනුකරමින් එයි. දේවයන් වහන්ස ඔබ වහන්සේට පුළුවන් දෙයක් ඇත්නම් එය කරන සේක්වායි! රජුගෙන් ඉල්ලා සිටී.

මෙබඳු අවස්ථාවක රජතුමා කුමක් කරන්නේදැයි බුදුන් වහන්සේ රජුගෙන් ප්‍රශ්න කළ කල්හි රජතුමා දෙන පිළිතුර ඉතා වටී.

“ස්වාමීනී ! ඉතා දරුණු වූ මිනිසුන් නසන මෙබඳු නපුරු බියක් හටගත් කල්හි ධර්මචර්යාව, සමචර්යාව, කුසල ක්‍රියාව, පුණ්‍ය ක්‍රියාව හැර අන් කවරක් කරම් ද?” මෙලෙසින් පිළිතුරු දුන් කොසොල් රජතුමා ඉස්මතු කළ වැදගත් ධර්ම කාරණා හතරක් තිබේ.

ධර්මචර්යාව (ධම්මචරියාය)
සමචර්යාව (සමචරියාය)
කුසල් ක්‍රියා (කුසල කිරියාය)
පුණ්‍ය ක්‍රියා (පුඤ්ඤ කිරියාය)

රජතුමා ඉස්මතු කළ මෙම කරුණු හතරම පදනම් කරගෙන බුදුන් වහන්සේ රජතුමාට ධර්මය දේශනා කරන්න නිර්ණය කරයි. එසේ නිර්ණය කොට රජුගෙන්ම පිළිතුරක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බුදුන් වහන්සේ නැවතත් පෙර පරිදිම ප්‍රශ්න කරයි.

“මහරජ! යම් විටෙක ජරා මරණ දෙක ඔබ මැඬ ගෙන සිටි කල්හි ධර්මචර්යාව, සමචර්යාව, කුසල ක්‍රියාව, පුණ්‍ය කිරියාව හැර ඔබට කළ හැකි යමක් ඇත්ද?” මෙසේ ප්‍රශ්න කළ විට රජු සඳහන් කරනුයේ ජරාවෙන් මරණයෙන් තමාව යටපත්කරගත් විට තමා සන්තක ඇත්, අස්, රිය, පාබල යන චතුරංගනී සේනාවෙන් අල්ප මාත්‍රයකුදු ප්‍රයෝජනයක් නොමැති බවයි.තමන්ට එවිට කළ හැක්කේ ධර්මචරියාව, සමචර්යාව, පුණ්‍යක්‍රියාව, කුශලක්‍රියා යන ධාර්මික ක්‍රියා පමණක් ම බව රජු පෙරළා බුදුන්ට පවසයි. රජතුමාගේ පිළිතුර ඉතා සතුටෙන් බාර ගන්නා බුදුන් වහන්සේ රජතුමාට මා පූර්වයෙන් සඳහන් කළ ගාථාව දේශනා කළ සේක.

යමෙක් කයින් ද වචනයෙන්ද යළි සිතින් ද ධර්මයෙහි හැසිරෙන සුළුද නුවණැත්තෝ මෙලොව ම ඔහු පසසත්. පරලොව ස්වර්ගයන්හීද සතුටු වෙයි.

බුදුන් වහන්සේ කොසොල් රජතුමාට මෙම ගාථාවෙන් අවධාරණය කරන ලද්දේ පුද්ගල සදාචාරයයි. මිනිසා ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යන කුමන හෝ කුල ගෝත්‍රයකට අයිති වුව ද, කොපමණ බල පුළුවන්කාරකම්වලින් පරිපූර්ණ වුව ද එම සියලු දෙනා ජරාවට පත් වීම හා මරණයට පත්වීම යන පොදු සනාථන ධර්මතා දෙකෙන් මිදීමට නොහැකි බවයි. නූතනයෙහි තාක්ෂණය ඉතා දියුණු තත්ත්වයක පවතී. මිනිසා සඳ මතට යෑමට,අහසේ පියාසර කිරීමට, දිය යට කිමිදීමට, විවිධ මාදිලියේ යාන වාහන නිපදවා ඇත. එක තැනක සිට ලොව සියලු දෑ දැනගැනීමට තරම් සියුම් යන්ත්‍රෝපකරණ නිපදවා ඇත. එහෙත් මෙතෙක් කිසිදු කෙනෙකු ජරාවට පත්වීම හා මරණයට පත් වීම යන ධර්මතා දෙකින් මිදීමට හැකියාවක් ඇති කිසිඳු යන්ත්‍රෝපකරණයක් නොනිපදවන ලදී.මෙයින් පැහැදිලි වන්නේ කවදා හෝ හැම කෙනෙකුටම මෙම ධර්මතාවයට මුහුණ දීමට සිදුවන බවයි. එයට වයසක්, කාලයක් හෝ වේලාවක් නියමිතව නොමැත. උපන් සත්වයා ජරාවට පත් වීම උපන් මොහොතේ සිට මියදෙනතෙක් හැම නිමේෂයකම පාහේ සිදුවේ. මරණයට පත්වීම උපන් සත්වයාට නියතය.

“ජාතස්ස මරණං හොති”
“නත්ථි මච්චුස්ස නාගමොති”

යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කරන ලද්දේ එම කාරණාවමය. මරණයට නියතයක් නොමැත. විටෙක කෙනෙකු අවුරුදු සියයක් තරම් පරමායුෂ විඳ මිය යයි. ඇතැමෙකුගේ අවුරුදු සියයට මෙපිට මරණය වේ. සමහරෙකු උපන් නිමේෂයේම මියයෑමට පුළුවනි. අගමුල් නොපෙනෙන සංසාරේ මැරෙමින් ඉපිදෙමින් යන ගමනේ කෙළවරක් දකින්න නම් බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයම පිළිපැදිය යුතු ය. බුදුන් වහන්සේ ධර්මය දේශනා කරන ලද්දේ සත්ත්වයන්ගේ සංසාර විමුක්තිය උදෙසාය. සංසාර විමුක්තිය උදෙසා පුද්ගලයා ධර්මානුකූල විය යුතු ය. සද්ධර්මචාරි විය යුතු ය. සද්ධර්මානුකූල හැසිරීම නම් යහපත් ඉන්ද්‍රිය පැවැත්වීමයි. කුසල කර්මයන්ටද අකුසල කර්මයන්ට ද පිනට ද පවට ද හේතු වන්නේ අපගේ සිත, කය, වචනය යන ද්වාරත්‍රයයි. යමෙකු පර පණ නසනවා නම් එය අකුසලයකි. අවි ආයුධ බැහැරකොට ලජ්ජාවෙන් දයාවෙන් යුක්තව සියලු සත්ත්ව ප්‍රජාව කෙරෙහි හිතානුකම්පීව පවතී ද එය කුසලයකි. අන් සතු දේ පැහැර ගැනීම අකුසලයකි. අන්සතු දේ පැහැර ගැනීමෙන් වැළකී පරිත්‍යාගශීලී ද, දෙන දෙය පසසනු සුළු ද එය කුසලයකි. මෙලෙසින් අප විසින් සිතින්, කයින්, වචනයෙන් රැස් කරන අකුසල කර්ම ධනයක් ද කුසල කර්ම ධනයක්ද බුදුන් වහන්සේ දේශනා කළහ.

ඇතැමුන් සිතා සිටින්නේ සදාකල් ජීවත් වන වා කියායි. තනතුරු, නිලතල, ධනය, බලය ආදියෙන් මත් වූවන් මරණය ගැන නොසිතයි. කළ යුත්ත, නොකළ යුත්ත නොදනි. මේ නිසාම සසරේ මුළා වී දිග ගමනක් යන බව බුද්ධ දේශනාවයි. එහෙත් නුවණින් විමසා බලන තැනැත්තා ජීවිතයේ තිස්සාරත්වය දකී. කළයුත්ත නොකළ යුත්ත ගැන කුසල් දහම්වල නොපමාව යෙදෙයි. අප්පමිදං භික්ඛවේ මනුස්සානං ආයු - කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්ම චරියං යනුවෙන් බුදුන් වහන්සේ වදාළේද ඒ නිසයි. මිනිසෙකුගේ ආයු කාලය ඉතා ස්වල්ප වූවකි. කල්ප ගණනක් ජීවත් විය නොහැක. මේ කෙටි කාලය තුළ පුහු දේ වලින් මුළා නොවී කළ යුත්ත කුමක්ද? කුසල් දහම් වල නිරත වීමයි. දෙලොව යහපත සිදු කොට ගැනීමයි. යමෙකුට අකුසලයෙන් වැළකී කුසලයෙහි නියුතු වන්නට හැකි නම් ඒ පුද්ගලයාගේ මෙලොව ජීවිතය යහපත් කරගන්නට හැකියාව ලැබේ. පරලොව ද ස්වර්ගගාමී කරගත හැකිය. තවද මෙලොව ගාමී ජීවිතයම යහපත් කරගෙන අවසානයේ බුදු දහමේ පරම නිට්ටාව වූ නිර්වාණවබෝධය ලබාගන්නට ද හේතු වාසනා වෙනවා.

එබැවින් සියලු දෙනාට තමන්ගේ ජීවිතය ධර්මානුකූල එකක් බවට පත් කර ගැනීමට අද පටන් ම උත්සාහ වන්ත විය යුතුයි. එවිටයි ශ්‍රවණය කළ ධර්මයෙන් සාන්දෘෂ්ටික ප්‍රතිඵල ලද හැකි වන්නේ ඒ උතුම් ප්‍රාර්ථනය මේ පසළොස්වක පොහෝ දින තම තමන්ගේ චිත්ත සන්තානයන්හි තබා ගත යුතු ය.

ඔබ සැමට උතුම් නිවන් සැප ලැබේවා!

 

 
බක් පුරඅටවක පෝය

බක් පුරඅටවක පෝය මාර්තු මස 27 වැනිදා සිකුරාදා පූර්වභාග 0.54 ට ලබයි. 28 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 1.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු මස 27 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
අපේ‍්‍රල් මස 03 වැනිදා සිකුරාදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03

Second Quarterඅව අටවක

අප්‍රේල් 12

Full Moonඅමාවක

අපේ‍්‍රල් 18


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]