කළ පින් හුවමාරු කොට දිවැස් ලද අනුරුද්ධ තෙරණුවෝ
කොළඹ විශ්වවිද්‍යාලයේ
සිංහල අධ්‍යයනාංශයේ
මහාචාර්ය
අගලකඩ සිරිසුමන හිමි සිදුහත් කුමරාගේ පිය මහරජු වූ ශුද්ධෝදන රජුගේ සොයුරු අමිතෝදන
ශාක්‍යයා විසූ කපිල වත්ථුවෙහි අනුරුද්ධ කුමරුන් උපන්නේ අමිතෝදන රජුට
දාවය. උපතින්ම ඉතා පින්වත් කුමරෙකු වූ ඔහු ඉතා සියුමැලි සිරුරින්ද යුතු
විය. කෙමෙන් වැඩෙන මෙම කුමරු අනෙකුත් ශාක්‍ය කුමාරවරුන් සමඟ බොහෝ කෙළි
සෙල්ලමෙහි යෙදෙයි. එක් දිනක් මොවුහු කැවුම් ඉලක්ක කර පන්දු ක්‍රීඩාවෙහි
යෙදුණහ. එහිදී අනුරුද්ධ කුමරා පැරදුනෙන් කැවුම් එවන්නැයි මවට දන්වා
යැවීය. ඇය තලියක් පුරා කැවුම් පිස යවන්නේ ඒත් කුමරා පරාද විය. නැවත
නැවතත් කැවුම් ගෙන්වා ගත්තද නැවත නැවතත් පරාද විය. අවසන මෑණියන් දන්වා
යවන්නේ කැවුම් නැතැයි කියාය.
ඇයගේ වචනය නොදත් කුමරා නැති කැවුම් එවන්නැයි ඇවිටිලි කළේය. එවිට
මෑණියන් මගේ පුතු "නැත" යන වචනය නො දන්නා බැවින් මෙසේ ඉල්ලා එවයි. ඔහුට
මෙය පහදා දෙන්නේ කෙසේදැයි කල්පනා කොට හිස් බඳුනක් තවත් බඳුනකින් වසා
පිටත් කළාය. එවිට නගාරාධිගෘහිත එක්තරා දේවතාවියක් මෙය අසා කුමරාගේ
පුරාකෘත පුණ්‍ය මහිමයත් සිහිපත්කොට එම බඳුන දිව්‍ය කැවුමින් පිරවුවාය.
එම බඳුන අනුරුද්ධ කුමරාට දී ඔහු එය විවර කළ විට කැවුම් සුවඳින් මුළු
නගරය ම සුවඳවත් විය. එම කැවුම් අනුභව කළ සියලු දෙනාගේ රසනහර පිනා
ගියෝය.
වෙනත් දිනවල ලද කැවුම් මේ තරම් රස නොවූයෙන් අද දින ලද නැති කැවුම්
අතිශයින්ම රසවූයෙන්, කුමාරයා මෑණියන් වෙතට ගොස්, කියා සිටින්නේ ඔබ මට
සෙනෙහෙවන්ත නොවන බවයි. එවිට සසල ව මව තම දෑසටත් වඩා කුමාරයාට පි‍්‍රය
බැව් කියා දී එසේ පවසන්නේ ඇයිදැයි විමසුවාය. එවිට කුමාරයා කියා සිටියේ
වෙනත් දිනවල අද මෙන් නැති කැවුම් නොසෑදුවේ මන්දැයි විමසමිනි.
එවිට කුමක් හෝ සිදුව ඇතැයි සිතු මෑණියන් හිස්බඳුන රැගෙන ගිය සේවකයා
කැඳවා සිදු වූයේ කුමක්දැයි විමසුවාය. ඒ භාජනය පුරා කැවුම් පිරී තිබු
අයුරුත් එම කැවුම්වලින් හමා ගිය සුවඳ මුළු නගරයම සුවඳ කළ බවත් සේවකයා
කීය. එවිට මව සිතන්නේ මගේ පුතු බොහෝ පින් කළ කෙනෙකි. එබැවින් දෙවියන්
බඳුනෙහි කැවුම් පුරවන්නට ඇතැයි කියාය. කුමාරයා කියන්නේ මීට පෙර කිසිදා
මෙවැනි කැවුම් නොකෑ බැවින් මීට පසු නැති කැවුම්ම සකසා දෙන ලෙසයි. මව
කළේ පෙරදා මෙන් රන් බඳුන සෝදා තවත් බඳුනකින් වසා තැබීමයි. එවිට දෙවියෝ
එහි කැවුම් පිරවූහ. එතැන් පටන් “නැත” යන අරුත නොදත් ඔහු දිව්‍ය කැවුම්
අනුභව කළහ.
එක් දිනක් අනුුරුද්ධ , භගු, කිම්බිල තිදෙනා එක්වී බත් කොතැනින්
උපදින්නේ දැයි කතිකා කරන්නට වූහ. කෙනෙක් ආහාර කොටුවෙන් උපදින්නේ යයි
කීහ. තවත් කෙනෙකු කීවේ බත් සැළියෙන් උපදින බවයි. අනුරුද්ධ කුමරු කීවේ
රන් බඳුනෙන් බත් උපදින බවයි. මේ අයට වී කෙටීමත්, බත පිසීමත් ආදිය ගැන
අවබෝධයක් නොතිබුණි, එබැවින් බත් උපදින කෙනෙකු කවර කර්මාන්තයක් හෝ
නොදන්නේ යයිද එවැන්නන්ට ගිිහි දිවිය ගෙවීම අපහසු බැවින්ද ගිහිගෙය
විසීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොවන බැවින්ද අනුපිය අඹ වනයෙහි වැඩ සිටි
බුදුහිමියන් හමුව පැවිදිව පැවිදි ප්‍රතිපදාවෙහි හොඳින් යෙදී
ත්‍රිවිද්‍යා උපදවා දිවැසින් දස දහසක් ලෝකධාතුන් අතැඹුළක් සේ දැකීමේ
විශේෂ ඥානයක් ද ලැබීය.
අනුරුද්ධ මහ රහතන් වහන්සේ දිනක් තමාට මෙවැනි දිවැස් ඥානයක් ලැබීමේ
පූර්වානිසංස විමසන්නේ පියුමතුරා බුදුන් හමුවේ කළ ප්‍රාර්ථනා බලයෙන් මෙය
ලද බව දැක එතැන සිට පිළිවෙළින් සසර ගෙවූ අයුරු දකින්නට විය.
පියුමතුරා බුදුන් හමුවෙහිදී එක් භික්ෂුවක් දිවැස් ඇත්තන් අතරෙහි අග
තනතුරට පත් කරනු දැක එක් කුල පුත්‍රයෙක් එවැනිම ප්‍රාර්ථනාවක් තබා
ගනිමින් සතියක් පුරා බුද්ධ ප්‍රමුඛව මහාසංඝයාට දන් පුදා අවසන එම
ප්‍රාර්ථනාව බුදුන් හමුවෙහි ඉදිරිපත් කළේය. කල්ප ලක්ෂයකට පසු ඔහුගේ
ප්‍රාර්ථනාව ඉටු වනු දුටු පදුමුත්තර බුදුහිමියෝ ගෞතම බුද්ධ ශාසනයේදී එම
පැතුම ඉටු වන බවටද අනාවැකි පළ කළහ. අනතුරුව එම බුද්ධ පරිනිර්වාණයේදී
ආදාහන කටයුතු නිමවා ධාතුථූප කරවා ඒ වටා පහන් කණු දහසක් කරවා එපිනෙන්
මරණින් මතු දෙව්ලොව ඉපදුණු, අනතුරුව කල්ප ලක්ෂයට දෙවියන් මිනිසුන් අතර
ඉපිද එක් භවයක බරණැස දිළිඳු කුලයක සුමන නම් සිටුවරයාගේ තණකොළ කපන්නා
බවට පත් විය. ඔහුගේ නම අන්න භාරතිස්ස නම් විය.
මේ අතරෙහි ගන්ධමාදන නම් පර්වතයෙහි වැඩ සිටි උපරිට්ඨ නම් පසේ බුදුවරයන්
වහන්සේ කාට හෝ අනුග්‍රහ කිරීමට සිතා අන්නභාර තිස්ස හමුවීමට තීරණය කොට
ඔහු කැලයෙන් තණකොළ කපා රැගෙන නිවසට යනෙන මගතුරට වැඩියහ. එහිදී අන්නභාර
ඉදිරියේ පෙනී සිටි විට පාත්‍රය හිස් බව දැක තණකොළ මිටිය විසි කොට නිවසට
දුව ගොස් තමාගේ ආහාර වේල රැගෙන විත් පාත්‍රයට පිදුවේය. පුදා මේ දානයේ
අනුහසින් මට කිසිදා දිළිඳු බව නොලැබේවා. කිසිවක් නැත යන වචනය අසන්නට
නොලැබේවායි පැතීය. පසේ බුදුන් වහන්සේද එම පැතුම එලෙසට ඉටු වේවායි
අදිටන් කළහ. දුගියා ද සාධු කියා පින්අනුමෝදන් විය. මෙය දුටු දෙවියෝද
සාධු නාද දුන්හ.
දෙවියන්ගේ සාධුනාදය ඇසූ සුමන සිටුවරයා තමන් මෙතරම් දන් දෙන්නේ කිසිදා
දෙවියන් සාධු නාද කරනු නොදැක අන්නභාර තිස්ස දුගියා දුන් දානයෙන් මහත්
කුසලයක් වන්නට ඇතැයි සිතා දුගියාගේ පින තමා සන්තක කර ගන්නට කල්පනා
කළේය. ඒ අනුව ඔහු කැඳවා කහවනු දහසක් ගෙන එහි පින හුවමාරු කර ගන්නට
යෝජනා කළේය. එහෙත් දිළින්දා එයට එකඟ නොවීය. එවිට දුගියා පසේබුදුන් වෙත
ගොස් මේ පුවත සැල කර මෙසේ පින හුවමාරු කරගත හැකිදැයි විමසීය. පහනකින්
පහන් දහසක් දැල්වුවද මුල් පහනෙහි ආලෝකය අඩු නොවන්නා සේ තමාගේ පින
තවකෙකු අනුමෝදන් වීමෙන් තමාට පිනෙහි කිසිදු අඩුවක් නොවන බව කියා දුන්හ.
එයින් පත්ති පත්තානුමෝදනා යන පින්කම් දෙකක්ම සිදුවන බව කියා
දුන්හ.අනතුරුව එම පින සිටුවරයාටද ,රටේ රජතුමාටද අනුමෝදන් කරවීමෙන් ඔහු
ඒ භවයේම දිළිඳු බවින් මිදී සියලු සැප සම්පත් ලැබීය. එසේ ලද සම්පත්
අනුභව කරමින් දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක සැපවත් දිවි ගෙවා අනතුරුව ගෞතම
බුද්ධාන්තරයෙහි අනුරුද්ධ නමින් ඉපිද මෙසේ දිවැස්ලද අයුරු අනුරුද්ධ
මහරහතන් වහන්සේ මෙනෙහි කර වදාළහ.
මේ අනුව තමන් කර ගන්නා ඕනෑම පිනක් වෙනත් කෙනෙකු සමග බෙදා හදා ගත හැකි
බවත්, ඒ පින් ඔවුන්ට අනුමෝදන්ව සතුටට පත් කරවීමෙන් තමාට එයින් තවත්
පිනක් සිදු කර ගත හැකිය යන්න අනුරුද්ධ මහරහතන් වහන්සේගේ අතීත කථාව අපට
කියා දෙයි. එබැවින් මෙම ධර්මදානමය පින ඔබ සැමද අනුමෝදනා වෙත්වා. |