බුදු හිමියන්ටත් හමුවූ මාරයා ඔබටත් කවදා හෝ මුණ ගැසේවි
කැලණිය විශ්වවිද්‍යාලයේ
චීන නූතන භාෂා අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය
නැදගලමුවේ
ධම්මදින්න හිමි
බුදුරජාණන් වහන්සේට හා උන්වහන්සේගේ ශ්‍රාවකයාණන් වහන්සේලාට
නිරන්තරයෙන්ම විපත් ඇති කරන බලවේගය මාරයා නමින් හැඳින්වේ. මාරයා
කවරාකාරද යන්න වටහා ගැනීමට පහත සඳහන් විග්‍රහය ප්‍රයෝජනවත් විය හැකි.
බුදුදහමෙහි මෙන් ම වෙනත් ආගම්වල ද ධර්ම විරෝධී බලවේගයක් වශයෙන් විවිධ
නම්වලින් මාරයා හඳුන්වා ඇත. කිතු සමයෙහි “සාතන්” නමින් එය හැඳින්වෙන
අතර, පාලියෙන් පාපිමා, පජාපති, පමත්තබන්ධු, අන්තක, නමුචි ආදී නම්වලින්
දැක්වේ. බුදුරදුන් විසින් රාධ තෙරුන්ට “මාර යනු රූප, වේදනා, සඤ්ඤා,
සංඛාර, විඤ්ණා යන පංචස්කන්ධය” මාරයයි (සං.නි.) වදාළ අතර, කාමාදී
ක්ලේශයන් මරසෙන් ලෙස බුදු වූ අලුත මාරයාට ම ( පධාන සුත්ත) පෙන්වා දී
ඇත. මාරයා බුදුන්ට පමණක් නොව භික්ෂු භික්ෂුණීනට ද නොයෙක් විට කළ කී දේ
මාරසංයුක්තයේ පළවේ.
අටුවාචාරීන් විසින් පංචවිධ, චතුර්විධ, ත්‍රිවිධ වශයෙන් “මාර” යන්න බෙදා
දක්වා ඇත. (ම.නි. සෙලසුත්ත අටුවා ආදියෙහි “ක්ලේශමාර, අභිසංකාරමාර,
ස්කන්ධමාර, මෘත්‍යුමාර, දේවපුත්තමාර දැක්වේ.) මේ පස්මරුන් අතුරෙන්
පුද්ගලත්වය ඇත්තේ දේවපුත්තමාර යන්නට පමණකි. අනික් සතරෙන්ම ගැනෙන්නේ
චිත්ත චෛතසිකයන් හා මහාභූත ආදී රූපත් හුදු මරණයත්ය.”
(පංචමාර, 1 පි, ඛේමානන්ද නා හිමි, හෑගොඩ ආදී 1990)
අප මහා බෝසතාණන් වහන්සේ නේරංජනා නම් ගං තෙර ඉතාමත් ම උග්‍ර දුෂ්කර
ක්‍රියා කරමින් නිවන් මඟ සොයන කාලයේ එක් දවසක් ඉහත සඳහන් දෙවපුත්ත
මාරයා උන්වහන්සේ ඉදිරියට පැමිණියේ ය. බෝසතුන් උග්‍ර තපස් රැකීමෙන්
ඒකාන්තයෙන් ම බුදු වනු ඇතැයි අනුමාන කළ මාරයා උන්වහන්සේ රවටා නිවන්
අවබෝධ කිරීම වැළැක්විය හැකි යැයි සිතා ඉතාමත් ම අනුකම්පාසහගත
විලාශයකින් බෝසතාණන් වහන්සේට මෙසේ කීවේ ය.
“ඔබ වැහැරී ගොසිනි. දුර්වර්ණ වූ ඔබ දැන් මරණාසන්න වී ඇත. දහස් වාරයකින්
මරණයට ආසන්න වූ ඔබගේ ජීවිතයට තව ඇත්තේ එක් අංශයක් පමණි. මිත්‍රය, ජීවත්
වන්න, ජීවිතය උතුම් ය. ජීවත් වෙලා පින් කරන්න. බ්‍රහ්මචර්යාවේ
හැසිරෙමින් ගිනි දෙවියා පුදන ඔබට බොහෝ පින් රැස්වේ. නිවනට වීර්යය
කිරීමෙන් ඇති ඵලය කුමක්ද?”
(ඛුද්දක නිකාය, සුත්ත නිපාතය, පධාන සූත්‍රය, 427 – 430 ගාථා)
මාරයා මෙසේ කීවිට බෝසතාණන් වහන්සේ මාරයාට උත්තර දුන්නේ මෙසේ ය.
“මට පින් වලින් අංශුමාත්‍රයක් වත් වැඩක් නැත. කාට හෝ පින්වලින් වැඩක්
වේ නම්, මාරයා ඒ අයට ඒක කියන්න. මට ශ්‍රද්ධාව වගේම වීර්යය ද ප්‍රඥාව ද
තිබේ. මෙසේ නිවනට යොමු වූ මට දිවි රැක ගන්නැයි කියන්නේ ඇයි?” මේ මාගේ
ධ්‍යානයෙන් උපන් වායුව ගංගාවල සැඩ පහරවල් පවා වියළීමට සමත්වේ. එසේ නම්
දැඩි වීර්ය ඇති මගේ ලේ නොවියළේ ද? ලේ වේළෙන විට පිත හා සෙම ද වියළෙයි.
මෙසේ මස් වියළෙන විට සිත පැහැදේ. එවිට මගේ සිහිය, ප්‍රඥාව හා සමාධිය
ස්ථිරව පිහිටයි. මෙලෙස මගේ සිත උතුම් විඳීමට පත් වී කම් සැපත අපේක්ෂා
නොකරයි. සත්ත්වයෙකුගේ පාරිශුද්ධිය බලව, නුඹේ පළමුවැනි සේනාව කාමයයි,
ගුණධර්මවල සිත නොඇලීම දෙවැනි සේනාවයි. බඩගින්න හා පිපාසය තුන්වැනි
සේනාව වන අතර රස තණ්හාව සිව්වැනි සේනාවයි. චිත්ත චෙතසිකයන්ගේ අලස බව
පස්වැනි සේනාව වන අතර බය සයවෙනි සේනාවයි. ප්‍රතිපදාව ගැන ඇති වෙන සැකය
සත්වැනි සේනාව වේ, අටවැනි සේනාව වන්නේ මකු බව හා තද බවයි, ලාභ, කීර්ති
හා ප්‍රශංසා පිළිබඳ තෘෂ්ණාව නවවැනි සේනාව වන අතර දස වැනි සේනාව වන්නේ
තමා උසස්කොට සැලකීම හා අනුන්හට අවමන් කිරීමයි. මාරය, අඳුරු වූ නුඹගේ
අන්තරායකර සේනාවන් නම් මේවාය. අදක්ෂයාට මොවුන්ට දිනිය නොහැක. දක්ෂයා
මොවුන් දිනා සැප ලබයි.”
(ඛුද්දක නිකාය, සුත්ත නිපාතය, පධාන සූත්‍රය 433 – 441 ගාථා)
බෝසතාණන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළ විට මාරයා කිසිවක් කරකියාගත නොහැකි වූ
නිසා අපේක්ෂා භංගත්වයට පත් වී එතැනින් පලාගිය නමුත් උන්වහන්සේ සම්මා
සම්බුද්ධත්වයට පත්වෙන අවස්ථාවේදී නැවතත් මාරයා බෝසතුන් ඉදිරියට
පැමිණියේ මාර සේනාවද සමඟ ය. ඒ අවස්ථාවේ දී ද මාරයා උන්වහන්සේ ඉදිරියේ
පරාජයට පත් වූ අතර එය “මාර පරාජය” හෝ “මාර යුද්ධය” ලෙස බෞද්ධ
සාහිත්‍යයේ සඳහන් වී ඇත. පන්සිය පනස් ජාතක පොතේ “බුද්ධවංශය” නම්
කොටසෙහි විස්තර වන “මාරයුද්ධය” මේ පිළිබඳ ඉතාමත් ම අලංකාර වර්ණනාවක් බව
පැවසීමට පුළුවන. ඒ විස්තරය මෙසේ ය.
“ එ සමයෙහි මාරදිව්‍යපුත්‍ර තෙම “සිද්ධාර්ථ කුමාර තෙමේ මාගේ විෂය
අතික්‍රාන්ත කරුණු කැමැත්තේය. ඔහුට මාගේ විෂය අතික්‍රාන්ත කොටගත
නොදෙමි.”යි මාරසෙනඟ සමීපයට ගොස් කියා බ්‍රහ්මාණ්ඩය දක්වා ඇති දිව්‍ය
බ්‍රහ්මයන් වෙවුල්වන මාරඝෝෂා නම් වූ භෙරි ඝෝෂාවක් කරවූ සේක. ඒ භෙරි
ඝෝෂාව අසා නොයෙක් ආයුධ ගෙන අවුත් ඔහු පිරිවැරූ මර සෙන් ගෙන නික්මුනේ ය.
මරහුට ඉදිරිව අටසාලිස් ගව්වෙක මරසෙන් දිවෙති. පශ්චාද්භාගයෙන් මුහුද සේ
චක්‍රවාට පර්වතය දක්වා දිව එති. උඩින් සතිස් ගව්වෙක දිව එති. ඒ මරසෙනගේ
ඝෝෂාව සාරදහසක් ගව්වෙහි පොළව පැළීයනු හඬක් සේ ඇසෙයි. ඉකිබිත්තෙන්
මරදෙව් පුත් යෙළසියයක් යොදුන් ගිරිමෙඛල නම් හස්තිරාජයා පිටට ආරූඪව අත්
දහසක් මවා අනෙක ප්‍රකාර ආයුධ ගත්තේ, අවශේෂ මාර පිරිස අතුරෙනුදු දෙදෙනක්
එකෙක් ගත් ආයුධයක් නොහෙණ විශේෂ ආයුධ ගත්තාවූ අනෙක ප්‍රකාර වර්ණ හා අනෙක
ප්‍රකාර මුඛ මවාගෙන ගුරුළුරජක්හු ගන්නට නික්මෙන දියබරණක් සේ
තෛ‍්‍රලෝකෛකප්‍රවර සුරුම වූ බෝධිසත්ත්වයන් මැඩපවත්වන්නට නික්මුනාහුය.”
(පන්සිය පනස් ජාතක පොත, අවිදුරෙ නිදාන කථා, මාර යුද්ධය)
මෙසේ පැමිණි මාරදිව්‍ය පුත්‍යයා දුටු දෙවිවරු, නාග හා බ්‍රහ්මාදී
සියලුදෙනා මර බියෙන් තැතිගෙන පැන දිව්වෝය. අන්තිමේදී බෝ මැඩ ඉතිරි වූයේ
බෝධිසත්වයෝ පමණකි. උන්වහන්සේ දානාදී දස පාරමිතා ධර්ම පිරූ ආකාරය
සිහිපත් කරමින් බෝමැඩ වැඩ සිටිද්දී, පැමිණි මාරයා ඉතා ප්‍රබල කුණාටුවක්
ද, ගල් වැස්සක් හා ගිනි අඟුරු වැස්සක් ද මැවූ මුත් බෝසතුන්ට ඒවායින්
කිසිදු අනතුරක් සිදු නොවුණි. ඉන් අනතුරුව මාර දිව්‍ය පුත්‍රයා උණු,
අළු, වැලි, ගිනිගත් මඩ ආදිය වස්සවමින් උන්වහන්සේ බියකිරීමට උත්සාහ කළත්
පලක් නොවූ තැන අඳුරක් ද මැවූ නමුත් උන්වහන්සේ බියට පත් කරවීමට නොහැකි
විය. මෙවැනි මාරදිව්‍ය පුත්‍රයා තම සේනාව හා ගිරිමේඛලා නම් ඇත් රජු ද
මෙහෙයවමින් බෝසතුන්ට ඉදිරියට පැමිණ උන්වහන්සේ වජ්‍රාසනයෙන් පලවා හැරීමට
වහසිබස් දෙඩුවත් අපේ බෝධිසත්වයෝ මාරදිව්‍ය පුත්‍රයාට මෙසේ කීහ.
“මාරය, තා විසින් පිරූ දශපාරමිතාවකුත් නැත. කළ පඤ්ච මහා පරිත්‍යාගයකුත්
නැත. පිරූ ඥාත්‍යර්ථ චරියාවකුත් නැත. ලෝකාර්ථ චර්යාවකුත් නැත.
බුද්ධචරියාවකුත් නැත. එහෙයින් තට මේ පරියංකය නොපැමිණෙයි. මට මේ අස්න
පැමිණෙන්නේය.” යි වදාළ සේක. එපවත් ඇසූ මාර දිව්‍යරාජ තෙම කිපී ක්‍රෝධ
ඉවසාගත නොහී සනරාමර ලෝක ප්‍රතිවර්තිත නිරුත්තර ධර්ම චක්‍ර
ප්‍රවර්තනයෙහි සමර්ථ වූ මහාපුරුෂයාණන් වහන්සේට තමාගේ මහානුභාව සම්පන්න
වූ චක්‍රායුධය දමා ගැසීය. ඒ චක්‍රායුධය දශ පාරමී ධර්මයන් ආවර්ජණය
කරන්නා වූ මෝහතම ප්‍රබන්ධ විධ්වංසන ප්‍රවතදත්‍ය වූ මහා පුරුෂයාණන්
වහන්සේගේ මස්තකයෙහි මල් වියනක් මෙන් සෑදී සිටගත. ක්ෂුරධාරා සංඛ්‍යාත
කරමුවහත් ඇති ඒ චක්‍රායුධය වනාහී සෙසු දවසෙහි කිපී ඔහු විසින් ගැසී නම්
ඒකඝන මහාමෙර හා ගල්ටැඹෙක්හිඳු වැදුනහොත් වංශකලීර සංඛ්‍යාත හුණ
දලුවක්සේ, සිඳීයෙයි. මෙහි වනාහී ධාතුගුණ සම්පන්න වූ බෝධිසත්වයන් කරා
පැමිණ මල්වියනක් සේ සිට ගත්තේය. එකල්හි අවශේෂ මර සෙනඟ මෙවිට මේ
පර්යංතයෙන් නැඟී යන්නේයයි ගිනිගෙන දිලිහෙන මහත් පර්වතකූට මවා දමා
ගැසූහ. ඒ පර්වතකූටයෝ ද, දශපාරමී ධර්මයන් ආවර්ජනය කරන්නා වූ මහා
පුර්ෂයාණන් වහන්සේට පූජා පිණිස මල් වර්ෂාවක් වැස්සාක් මෙන් භූමියෙහි
ප්‍රපතික වූවාහුය.”
(පන්සිය පනස් ජාතක පොත, අවිදුරෙ නිදාන කථා, මාරයුද්ධය)
මෙසේ අප බෝසතාණන් වහන්සේගෙන් පරාජයට පත් වූ මාර දිව්‍ය පුත්‍රයා හා මාර
සෙනඟ එතැනින් පලාගිය අතර අනෙකුත් දෙව්බඹහු උන්වහන්සේ කරා ළඟා වූයේ
සිද්ධාර්ථ කුමාරයා මාරපරාජය කිරීමෙන් පසු බුද්ධත්වයට පත්වන අයුරු දැක
බලා ගැනීමට ය. උන්වහන්සේ වෙසක් පොහෝ දින උදා වන විට සතර මාර්ග ඵල
පිළිවෙළින් අවබෝධ කොටගෙන අවසානයේ දී සම්මා සම්බුද්ධත්වයට පත්වූ සේක.
මෙසේ බුද්ධත්වයට පත් අප බුදුරජාණන් වහන්සේට මාර දේව පුත්‍රයා එක දිගට ම
යම් යම් විපත් හා කරදර ඇති කිරීමට මාන බැලූ බව ත්‍රිපිටකයේ බොහෝ තැන්වල
සඳහන් වී ඇත. මේ පිළිබඳ සිත්ගන්නා සුළු කතාවක් මාරසංයුත්තයට අයත් නාග
සූත්‍රයේ සඳහන් වී ඇත. එම සූත්‍රය මෙසේ ය.
“මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ බුදු වූ අලුත
උරුවෙල් දනව්වෙහි නේරංජරා ගං තෙර අජපාල නුගරුක මුල වැඩවසන සේක. එකල
භාග්‍යවතුන් වහන්සේ දැඩි අන්ධකාර රාත්‍රියේ එළිමහනේ වැඩ සිටි සේක. වැහි
පොද ද ටික ටික වැටෙයි. ඒ අතර පව්කාර මාරයා භාග්‍යවතුන් වහන්සේට බය,
වෙව්ලීම, ඇඟ ලොමුඩැහැගැනීම ඇතිකරනු කැමතිව ඇත් රජෙකුගේ වේශයක් මවාගෙන
භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. ඔහුගේ හිස මහකලුගලක් බඳුය, ඔහුගේ
දත් පිරිසුදු රිදී වගේ ය. ඔහුගේ හොඬ නැඟුලියක් බඳුය.
ඉන් පසුව භාග්‍යවතුන් වහන්සේ මෙයා පව්කාර මාරයා යැයි දැනගෙන, පව්කාර
මාරයාට ගාථාවකින් මෙසේ දෙසූහ. “බොහෝ කාලයක් මුළුල්ලේ සැරසරමින් සුබ
අසුබ වෙස් අරංගන මාළඟට පැමිණියා. පව්කාරය, එයින් ඔබට පලක් නැත. මෙහිදී
ඔබ පැරදුණා.”
ඉන්පසු පව්කාර මාරයා ‘භාග්‍යවතුන් තෙමේ මාව හඳුනාගත්තේය, සුගත තෙමේ මාව
හඳුනාගත්තේ’යි දුකට පත් වී කනගාටු සිතින් යුක්තව එතැනම අතුරුදන් විය.
(සංයුක්ත නිකාය, මාරසංයුක්තය, නාග සූත්‍රය)
බුදුරජාණන් වහන්සේ නික්ලේශී උත්තමයෙකු බව වටහා ගැනීමට මාරයාට හැකියාවක්
තිබුණේම නැත. මාරයා නිතරම කල්පනා කළේ විවිධ බියවැද්දීම්වලින් උන්වහන්සේ
කම්පා කිරීමට තමන්ට හැකිබවය. එක් කලෙක බුදුරජාණන් වහන්සේ රජගහ නුවර
කලන්දකනිචාපයේ වේළුවනාරාමයේ වැඩ සිටින කාලයේ අන්ධකාරයෙත් යුක්ත
රාත්‍රියක එළිමහනෙහි වැසි පොද වැටෙන වෙලාවක වැඩ සිටියහ.
එවිට පව්කාර මාරයා භාග්‍යවතුන් වහන්සේට බයක්, තැති ගැනීමක්,
ලොමුදැහැගැනීමක් ඇති කරවීමට කැමැති වී මහා නා රජෙකුගේ වේශයක් මවාගෙන
භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. ඔහුගේ ශරීරය තනි ගසකින් කළ නැවක්
බඳුය. ඔහුගේ පෙණය රා පෙරන්නන්ගේ පෙරණයක් බඳුය.
ඔහුගේ ඇස් කොසොල් රජුගේ විශාල රන් පිඟාන බඳුය. වැසි වසින විට විදුලි
කොටගන්නාක් සේ ඔහුගේ කටින් දිව නික්මෙයි. කම්මලේ මයිනහම අදිනකොට වගේ
ශබ්දයක් හුස්ම ගන්නා විට ඇසෙයි.
එවිට භාග්‍යවතුන් වහන්සේ මේ තමා පව්කාර මාරයා කියා දැනගෙන මාරයාට
ගාථාවලින් මෙසේ දෙසූහ. කවුරු හරි කෙනෙක් නිදාගැනීමට පාළු කැන් සොයාගනී
ද,එ මුනිිවරයා ආත්ම සංවරයෙන් යුතු අයෙකි. ඔහු සියලු ආශාවන් දුරු කරලයි
කටයුතු කරන්නේ. එබඳු අයට එය ඉතාම සුදුසුයි.
බොහෝ භයානක සත්තු සිටිති, බිහිසුණු අරමුණු ද බොහොමයි. ලේ බොන මැස්සෝ හා
සර්පයෝ ද බොහෝ ය. එබඳු පාළු තැනක සිටින මහා මුනිවරයාගේ ලොම් ගසක්වත්
සොලවන්න ඒ අරමුණුවලට බැහැ. අහස පැලිල ගියත්, පොළව පුපුරල ගියත්, ඔක්කොම
සතුන් තැතිගත්තත්, පපුවට තියුණු උල්වලින් ඇන්නත්, බුදුවරු ආශාවන්ගෙන්
රැකවරණ නොසොයති. ඉන්පසු පව්කාර මාරයා” භාග්‍යවත් තෙමේ මාව හඳුනාගත්තේය,
සුගත තෙමේ මාව හඳුනාගත්තේය,” යි දුකට පත් වී කනගාටු සිතින් යුක්ත ව
එතැන ම අතුරුදන් වීය.”
(සංයුක්ත නිකාය, මාරසංයුත්තය, සප්ප සූත්‍රය)
මාරයා ආසාවන්ගෙන් පිරුණු පාපකාරී අයෙකු වුව ද බුදුරජාණන් වහන්සේලාගේ
සිත් පවා දැක ගැනීමට සමත් දක්ෂයෙකු වූ බව ත්‍රිපිටක සූත්‍රවල සඳහන් වී
ඇත.
“එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ කොසොල් රටේ හිමාලය ප්‍රදේශයේ ආරණ්‍ය
කුටියක වැඩ සිටින සේක. එකල තනිව චිත්ත විවේකයෙන් වැඩ සිටි භාග්‍යවතුන්
වහන්සේට” නොමරමින්, නොමරවමින්, ධනය රාජසන්තක නොකරමින්, නොකරවමින්, ශෝක
නොකරමින්, ශෝක නොකරවමින් දැහැමි ව රාජ්‍යය කරන්න පුළුවන්ද? යන
සිතිවිල්ල ඇති විය.
එවිට පව්කාර මාරයා තමාගේ සිතින් භාග්‍යවතුන් වහන්සේගේ සිත දැනගෙන
උන්වහන්සේ වෙත පැමිණ මෙසේ කීවේ ය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස
ඔබවහන්සේ නොමරමින්, නොමරවමින්, ධනය රාජසන්තක නොකරමින් නොකරවමින්, ශෝක
නොකරමින්, ශෝක නොකරවමින් දැහැමිව රාජ්‍යය කෙරේවා, සුගතයාණෝ රාජ්‍යය
කෙරේවා”
(සංයුක්ත නිකාය, මාර සංයුත්තය, රජ්ජ සූත්‍රය)
මෙසේ රාජ්‍යය කිරීමට ආරාධනා කරන්නේ ඇයි දැයි උන්වහන්සේ මරයාගෙන් විමසූ
විට මාරයා පැවසුවේ බුදුරජාණන් වහන්සේ සතර සෘද්ධි පාද වඩා ඇති නිසා
හිමාලය පර්වතය රන් පව්වක් වේවායි පැතුවත් එය පවා ඉටුවන නිසා රාජ්‍යය
කිරීමට සුදුසු බවය. මෙහිදී කරුණු දක්වන බුදුරජාණන් වහන්සේ එබඳු පර්වත
දෙකක් තිබුණත් මිනිසා සෑහීමකට පත් නොවන නිසා සම ව හැසිරෙමින් පස්කම්
සැප දුරු කළ යුතු බව මාරයාට පැවසූ සේක. මාරයා බුදුරජාණන් වහන්සේට පමණක්
නොව උන්වහන්සේගේ ශ්‍රාවක මහරහත් තෙරණුවන්ට හා තෙරණියන්ට ද විවිධ
අවස්ථාවල කරදර කළේ ය.
මාරයා මුගලන් මහ රහතන් වහන්සේට කරදර කළ අවස්ථාවක් මෙසේය. එක් කලක
මුගලන් හාමුදුරුවෝ භගු රටේ සුංසුමාරගිරි නුවර භේසකලා වනයේ මිගදායෙහි
වැඩ සිටිති. උන්වහන්සේ එළිමහනෙහි සක්මන් කරන විට කුස තුළ විශාල බරක්
ඇති විය. ඒ නිසාම උන්වහන්සේ වෙහෙරට වැඩම කොට ආසනයක වැඩ සිටිමින් තමා
පිළිබඳ නුවණින් මෙණෙහි කරද්දී දුටුවේ මාරයා තමන්ගේ කුසට රිංගා ගෙන
සිටින ආකාරයයි. මුගලන් හාමුදුරුවෝ මාරයාට තමන්ගේ කුසින් නික්ම යන ලෙස
කීවත් මාරයා කල්පනා කළේ මුගලන් හිමියන් තමන් ව නොදැක එසේ පිටව යන ලෙස
කියන බවයි. ඒ නිසාම මාරයා ආරාමයෙන් පිටත දොරටුව ළඟ සිටගෙන සිටියේ ය.
එවිට මුගලන් හිමියන් මාරයාට උපදෙස් දෙමින් වදාළේ පෙර කකුසඳ බුදුරදුන්
දවස තමන් දුසී නම් මාරයාව ඉපිද බොහෝ පව් රැස්කරගෙන දුගතියේ උපන්
ආකාරයයි.
“කකුසඳ බුදුරදුන් සමඟ ගැටී දුසී මාරයා පව් රැස්කර ගත්තේ ය. පව්කාරය,
නුඹ මට කළ දේවල් නිසා පව් නොලැබේ යැයි සිතනවාද?
කරන කෙනාට පව් රැස්වෙයි, දිග කාලයක් සේ වැළපෙයි. පව්කාරය, බුදුරදුන්
වෙතින් ඉවත් වී යව, භික්ෂූන් කෙරෙන් ඉවත් වී යව.”
(මජ්ක්‍ධිම නිකාය, චූලයමක වග්ගය, මාරතජ්ජනීය සූත්‍රය)
මෙලෙස බුදුරදුන්ට හා බුදු සව්වන්ට කරදර හා විපත් ඇති කළ මාරයා ඉන්
අනතුරුව පසුකාලවලදී ද සිල්වත් භික්ෂූන්ට කරදර කළ ආකාරය පොත් පත්වල
සඳහන් වී ඇත.
සද්ධාතිස්ස රජතුමා රාජ්‍යය කරන කාලයෙහි ඵුස්සදේව නම් වූ ඉතා සිල්වත්
භික්ෂූන් වහන්සේ නමක් කටකන්දර නම් විහාරයේ වැඩ සිටියහ. උන්වහන්සේට කරදර
කිරීමට පැමිණි මාරයා අවසානයේ දී පරාජයට පත් වූ ආකාරය සඳහන් කථා
ප්‍රවෘත්තියක් සහස්සවත්ථුප්පකරණයේ ඇත.
“කටකන්දර වාසී ඵුස්සදේව තෙරුන්වහන්සේ වනාහී සද්ධාතිස්ස මහරජතුමාගේ
සහෝදරියගේ පුතායි. ඵුස්සදේව නම් ඇමැතියා තම බිරිඳ වූ සුමනදේවි රැජින
සමඟ ගිරි නම් වූ ගමට ගොස් වාසය කරන විට හත්ථිකුච්ඡි නම් වූ විහාරය
සිත්කළු යැයි අසා, ප්‍රතිපත්ති ගරුක භික්ෂූන් එහි වසන බව ද දැනගෙන එම
විහාරයට ගොස් මහ දන් පවත්වා හත්ථිකුච්ඡි මහා විහාරයේ චෛත්‍යයට පූජා
සිද්ධ කර, භික්ෂු සංඝයා කෙරෙහි සිත පහදවාගෙන, හිඳිනා ලෙන තබා තිබූ
ආකාරය දැක සාසනයෙහි පැහැදී ගිහිගෙයින් නික්ම පැවිදි වීමට සිතා, එම
විහාරයෙහි ම මහාදේව තෙරුන් වහන්සේගේ සමීපයෙහි පැවිදි විය.
|