අප ගමන් කරන්නේ කොතැනට ද?
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
සමාජ විද්‍යා හා මානව විද්‍යා
අධ්‍යයනාංශයේ ආචාර්ය
ප්‍රණීත් අභයසුන්දර
පරිසරයට, සමාජයට අයත් පොදු ජන දේපළ තමන්ට අයත් නොවන දෑ තමන් සන්තක කොට
ගැනීම අයථා පරිහරණය, ආත්මාර්ථකාමී කෑදර ගනුදෙනු නුසුදුසු, පව්කාර
ක්‍රියා වශයෙන් අපි ඉගෙනගෙන ඇත්තෙමු. පුද්ගලයා ඇසුරෙහිත්, පවුල, සමූහය,
ප්‍රජාව, ජන සමාජය, රට රටවල හැම තැනම ගැටුම් පිරී ඇත. ආචාර්ය
ඊ.ඩබ්ලිව්. අදිකාරම්තුමා මේ ගැන බොහෝ වියතුන් මෙන් ලියා ඇත. ගැටුම්
නිරාකරණය කරන්නට, සෙනෙහස පැතිරවීම සුවදායක බව එතුමා පවසයි. මේ ගැටුම්
සිල්වත් විනයගරුක ගුණනුවණ ඇති පුද්ගලයා විසින් ලිහා දමන බව බුදුපියාණෝ
දේශනා කළහ.
අපේ රටේ වැඩපල, සේවය මෙහෙවර නොකොට වැටුප්, දීමනා, වේතන වංචනීය ලෙස
ලබාගන්නා අය සිටින බැව් අපි දනිමු. බුදුදහමින් කොතරම් අගනා ලොවට
වැඩදායක, ඵලදායක දෑ ඉගෙන ගත හැකිද? අරපිරිමැස්ම, සරලකම, චාම්කම, ලද
දෙයින් සතුටුවීම නම් සාරධර්මය ඉදිරි අනාගත ලෝකයට ප්‍රත්‍යක්ෂ වශයෙන්
අවශ්‍යවන්නේය. ජලය, පොළොව, හුළඟ, ආහාරපාන ආදී සියල්ලම දූෂණයට පත්ව ඇති
බැවිනි. වස විස මුසුව ඇති රෝගාතුර දිවිපෙවෙත් ලෝකයේ හතර දිසාවෙන් ලැබෙන
තොරතුරුවලින් පෙනෙන්නේ ය. ලොවට වංචා කොට දිවි මඟ සකසාගන්නා අය සැමවිට
පවෙහි, දුකෙහි ගැලී විනාශව යන සැනසීමක් නැති නිතර දෙවේලේ ඇඬූ කඳුළෙන්
දුක්ඛිත බවට ඇද වැටෙති.
කලණ මිතුරා දිවියෙන් අඩක් නොව මුළු දිවි පෙවෙතම යැ යි, අපේ
බුදුහාමුදුරුවෝ දේශනා කළහ. ධර්මපත්‍රිකා, පුස්තක අපට කොතෙකුත් ලැබෙයි.
ඇතැම් ඒවා දොස් සහිතය. ස්වේච්ඡා සේවය යන්න අප කුඩා කල පටන් හුරු පුරුදු
වූවකි. පාසල් දිවිය ගතකරන කල සෞඛ්‍යදාන ව්‍යාපාරයේ ප්‍රථමාධාර පුහුණුව
ලබා කඳවුරුවල බෙහෙත් හේත් කළ සැටිත්, කොළඹ මහ රෝහලේ බාහිර රෝගී අංශයේ
තුවාලකරුවන්ට බෙහෙත් දැමූ සැටිත්, නිදන්ගත රෝගවලින් දුකටපත් රෝගීන්
නාවා කවා පොවා සතුටු කළ හැටිත් සිහිපත් වෙයි. අපි කොළඹ සුසාන භූමිය
ඉදිරිපිට දිළිඳු දරුවන්හට නොමිලේ අතිරේක පන්ති පැවැත්වූයෙමු. ඒ 70
දශකයේ ය. ඒවායේ උගත් ඇතැම් අය වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්,
ගණකාධිකාරීවරුන් වූ සැටි මතකය.
අපට අසන්ට ගුවන්විදුලියේ හොඳ වැඩසටහන්, නාට්‍ය, ගීත, සාකච්ඡා තිබුණි.
සාධු සමාජය, බෝසත් ළමා ළපැටියෝ, යෞවන සමාජය, සරස්වතී මණ්ඩපය ඉන්
කීපයකි. ඉතා හොඳ පුවත්පත් සඟරා ලේඛන, පොතපත පැවැති පොත්ගුල් අපි ඇසුරු
කළෙමු. අද ඇතැම්විට පුවත්පතක් තරමවත් බලන්ට විවේකයක්, වුවමනාවක් නැති
විශ්වවිද්‍යාලයීය උගත්තු ද අපට හමුවෙති. ඒ ඇතැම් දෙනා ඇසුරෙහි අත්තහිත,
පරහිත නමැති උත්තම ශ්‍රේෂ්ඨ ගුණ දිටිය නොහේ.
තමන්ට හිතවත් තමා සාධාරණ ව යුක්තිධර්මානුකූල ව දියුණු වන අතර ලොවෙහි
දිවිගෙවන අන්‍යයන්ට දියුණු වීමට උදව් කිරීමේ ගුණය බුදුපියාණෝ බෙහෙවින්
අගය කළහ. තමන්ගේ කැමැත්තෙන් නොමිලේ හිතානුකම්පී ව මෛත්‍රියෙන්,
කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන් ජීවත් වෙමින් ලෝකාර්ථචර්යාවේ යෙදීම
ස්වේච්ඡා සේවයයි. අපේ මුතුන් මිත්තෝ බෙහෙවින් පරිසරහිතකාමී සොබාදහම
රැකගත් සංග්‍රහශීලී දනට පිනට කැමැති, මිනිසුනට මතු නොව සතුන්ට ද කන්ට
බොන්ට දුන් බුදුන් වහන්සේ මුල්කොටගත් සිතිවිලි, වදන් හා ක්‍රියා පැවැති
සාමූහික ව ජීවත් වූවෝ ය. පරසතුරන්ගෙන් තම රට රැක ගන්ට යුද්ධ කළත් ඔවුහු
ප්‍රචණ්ඩ නොවූහ.
අද අපි සපුරා ම වෙනස් ලෝකයක මුග්ධභාවය කරපින්නාගත් රාගී, ක්ලේශී, පාපතර
භාවයක ක්‍රියාකරමින් සිටිමු. නොයෙක් වාද භේදයන්හි පැටලී මංමුළා වැල්
පාගමින් සිටින බැව් ඔවුහු නොදනිති. ආහාරපාන, ජලය, සුළඟ, පොළව, ඉරහඳ,
අව්ව, වැස්ස පවා විස සහිත වී ඇති බැව් පෙනේ. මෙබඳු ගතිසොබා සිදුවීම්
ගැන බොහෝ කරුණු බුදුදහමෙහි ඉගැන්වේ. මෙය අපි කෙසේ පසක් කොට ගනිමුද?
ධම්මපදය නිතර ඇසුරු කිරීමට හැකිනම් අමිල අගනා පොතකි. එහි බාලවග්ගයේ එන
උපමා දෙකක් සිහිකරමු.
මුළු ජීවිත කාලයක් මුළුල්ලේ වුව ද බාලයෙක් පඬිවරයකු ඇසුරු කළත් ඔහුට
ධර්මය හෙවත් දැනුම නොපිහිටනුයේ හැන්දකට සුපයක රස නොදැනෙන පරිද්දෙනි.
එහෙත් එහි විකල්ප අවස්ථාව නම් මෙසේ ය,
මොහොතක් වුවද ‘විඤ්ඤූ’ නමින් හැඳින්වෙන නුවණැත්තා හෙවත් සරු නිසරු බව
වැටහෙන පුද්ගලයා, පඬිවරයකු ඇසුරේ සිටියහොත් ඔහු වහා දැනුම හෙවත් ධර්මය
වටහා ගනුයේ, දිව සූපයක රස හඳුනාගන්නා පරිද්දෙනි. ‘ඔබට උගත හැකි දේ,
නමින් 1942 ළමා හඬ නම් සඟරාවට පූජ්‍ය බඹරැන්දේ සිරි සීවලී හිමියන්
විසින් හින්දි කව් පෙළක් සිංහලයට පෙරළා තිබිණි. ඉන් අපට උගත හැකි දෑ
බොහෝ ය. ඒ මෙසේ ය.
“ඔබට පිපුණු මල්වලින් නිරන්තර සිනාව උගත හැකිය.
බඹරුන්ගෙන් නිරන්තර ගායනය උගත හැකිය.
වායු චලනයෙන් උනන්දුවීම හා උනන්දු කරවීම උගත හැකිය.
කිරෙන් හා වතුරෙන් එක්වීම හා එක් කරවීම උගත හැකිය. සූර්ය කිරණයෙන්
නැඟිටීම හා නැඟිටුවීම උගත හැකිය. ගස්වලින් හා වැල්වලින් සියල්ලන් සමඟ
අත්වැල් බැඳගන්නා සැටි උගත හැකිය.
වැසි බින්දුවලින් සියල්ලන් කෙරෙහි සමාන ආදරය දක්වන සැටි උගත හැකිය.
පතඟිවලින් සියල්ලන් ප්‍රභාවිත කරන සැටි උගත හැකිය. ගොඩට ගත්)
මාළුවන්ගෙන් සිය රටේ නිදහස සඳහා හැපී මැරෙන සැටි උගත හැකිය. ශීත කාලයේ
(කොළහැලී පවත්නා) ගස් වලින් දුකෙහි දී ධෛර්යයෙන් යුක්තව සිටින සැටි උගත
හැකි ය. පහනින් හැකි පමණ දුරට ලෝකයේ අඳුරු දුරුකරන සැටි උගත හැකිය. මහ
පොළොවෙන් ලෝකවාසීන්ට අපක්ෂපාත ලෙස සේවය කරන සැටි උගත හැකිය. ජලපහරින්
ජීවන පථයෙහි ඉදිරිය බලායන සැටි උගත හැකිය. සද්පුරුෂයාගේ චරිතයෙන්
(ස්වකීය) චරිතය හැඩ ගසා ගන්නා සැටි උගත හැකි ය.”
බර්ටෝල් බ්‍රෙෂ්ට් කවියාට, නාට්‍යකරුවාට තමා උගත් පාසලේ තෑගි උලෙළෙහි
කතාවක් කරන්ට සිදු විය. දිගු කථා කළ නොහැකි බවත් කෙටි කවකින් යමක් කිව
හැකි බවත් ඔහු පැවසී ය. එය නිතර ඔහු ඔහුගෙන් ඇසූ පැනයකි.
“නො අසන්න දරුවනි, ඔබ ඉගෙනුම ලබන්නේ කොතැන ද කියා එය පළිඟුමිණෙන් කළ
මැදුරක් විය හැකි ය.
මඩින් කළ පැල්පතක් විය හැකි ය.
අසන්න දරුවනි, ඔබ ඉගෙනුම ලබන්නේ කුමක්ද කියා
නොඅසන්න දරුවනි ඔබේ ගුරුවරයා කවුරුන්ද කියා
අසන්න දරුවනි ඔහු හෝ ඇය උගන්වන්නේ කුමක් ද කියා
අසන්න දරුවනි ඔහු හෝ ඇය උගන්වන දෙයින් වෙනසක් කළ හැකි ද කියා” බුදුදහම
උගන්වන සද්පුරුෂ භූමියට පිවිසෙනුයේ ප්‍රඥාවන්තයන්ය. සැබෑ ප්‍රඥාවන්තයා
යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නා ය. අප ගමන් කරනුයේ කොතැනට ද ?
කුමකට ද ?යනුවෙන් අපි අප ම ප්‍රශ්න කරගත යුතුවෙමු. අත්තහිත පරහිත බව
භාග්‍යවතුන් වහන්සේ අපට උගන්වා ලූහ.
|