UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 30

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 30

බුදුපියාණන් වහන්සේ වෙත අනාථ පිණ්ඩික (සුදත්ත) සිටුතුමා විහාර කර්මාන්තයන් නිමවා දැන් සැවැත්නුවරට වඩින්නට කාලය යැයි දන්වා භාග්‍යවතුන් වහන්සේ වෙතට දූතයකු එවීය. භාග්‍යවතුන් වහන්සේද මහා සඟ රුවන පිරිවරා ගමනාරම්භ කළ සේක. අනේපිඬු සිටුතුමා භාග්‍යවතුන් වහන්සේගේ වැඩමවීම බලාපොරොත්තු ව ජේතවනයෙහි සිටියේ ඉදිරියට ගොස් වැඳ සිය විහාරයටම වැඩම කරවීමටය. භාග්‍යවතුන් වහන්සේ එහි වැඩියේ සැන්දෑවේය. සිටුතුමා භාග්‍යවතුන් වහන්සේ පසුදින දානය පිණිස සිටු ගෙදරට වඩින ලෙස අයැද වැඳ පැදකුණු කොට ගියේය.

ජේතවන පූජාව

පසුදා භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරා එහි වැඩ පනවා තිබුණු ආසනයෙහි වැඩමවා සිටි සේක. සිටු තෙම බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට දානය පූජා කොට ඉක්බිති එක් පසෙක හිඳ ගත්තේ ය. එසේ හිඳ ජේතවනය පූජා කළ යුතු සැටි විචාළේය. එසේ වී නම් ගෘහපතිය, මෙහි පැමිණි නොපැමිණි සතර දිසා වැසි සංඝරත්නය ජේතවනයෙන් පුදවයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

එහෙමයි, වහන්ස යැයි කියා අනේපිඬු සිටු තෙම බුද්ධ වචනය පිළිගෙන ඒ ජේතවනාරාමය සංඝ සන්තකව පූජා කළේය. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ විහාර පූජාවේහි අනුසස් වදාරා ජේතවනාරාමයට වැඩි සේක.


ආනන්ද බෝධිය රෝපණය කිරීම සිතුවමකින්

මේ ජේතවන පූජා දවසෙහි උසභ කුලපුත් අධිමිත්ත බමුණු කුමරු භේරඤ්ඤකානි ගම් මුදලි, සබ්බ මිත්ත බ්‍රාහ්මණ කොසොල් රජ පුත් බ්‍රහ්ම දත්ත කුමරු සිරිමන්ත කුල පුත් සිරිවඩ්ඪ, කුලපුත් උපවාන බ්‍රාහ්මණ අපර ගෝතම බ්‍රාහ්මණ පසු කල ඒ කුද්දානිය නමින් ප්‍රකට වූ කුලපුත් ආදි බොහෝ ජනයෝ භාග්‍යවතුන් වහන්සේ දැක බණ අසා පැහැද පැවිදි වූහ. කොසොල් රජුගේ සෙනවි බමුණුගේ දුව වූ දන්තිකා ද තවත් බමුණු දුවක් වූ සකුලා ද තවත් බොහෝ ස්ත්‍රීහු ද බුදු සසුනෙහි පැහැදී තෙරුවන් සරණ ගිය උපාසිකාවෝ වූහ.

අනේපිඬු සිටු තුමා

භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පළමු වාරයෙහි නව මසක් පමණ කාලයක් වැඩ විසූ සේක. ඒ සමයෙහි බොහෝ කුල පුතුන් සසුනෙහි පැවිදි වූහ. උපාසක පිරිසද දිනපතා වැඩි වූහ. මෙහි රත්නත්‍රයට දිවි පුදා ක්‍රියා කළ අනේපිඬු සිටු තුමා ඒ මුළු උපාසක පිරිසේ අග්‍රස්ථානයට පත් විය. දවසකට දෙවරක් භාග්‍යවතුන් වහන්සේ දක්නට යෑමේ සිරිත එතුමා කිසි දිනෙකත් කඩ නොකළේය.

“බුදුරජාණන් වහන්සේ ඉතා සියුමැලි සේක. මා යමක් ඇසුවොත් මේ සිටු මට බොහෝ උපකාරි යැයි සලකා භාග්‍යවතුන් වහන්සේ දම් දෙසන සේක. එසේ වෙන්නට ඉඩ තැබීම සිවුමැලි වූ උන්වහන්සේට වෙහෙස කිරීමෙකි” යනු සිටුතුමාගේ අදහස විය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අධික ස්නේහ හේතුවෙන් හේ කිසි දිනෙකත් ප්‍රශ්න නොවිචාරයි. සිටුහුගේ අදහස දත් භාග්‍යවතුන් වහන්සේ ඔහු ආ සෑම වාරයෙහි කිසියම් ධර්ම කථාවක් කරන සේක.

තවද සිටුතුමාගේ ප්‍රාසාදය හැම භික්ෂූන් වහන්සේට සතර මං හන්දියෙක වූ ළිඳක් මෙන් වී ය. එහි නිතරම දහසක් භික්ෂූනට අසුන් පනවා තිබුණේය. ආහාරපාන,බෙහෙත් යන මේ දැයින් යමක් ලබනු රිසි භික්ෂුවට රිසිසේම එය සැපැයුණේය.

අසිරිමත් ජේතවනාරාම පින් බිම


ජේතවනාරාමයේ සුගන්ධකුටිය

ලෝකයේ අසරණ ජනතාව වෙත තමාගේ ජීවිතයේ විමුක්ති මාර්ගය හෙවත් නිවන් දොරටුව විවර කර ගන්නට මඟ කියාදුන් එකම ශාස්තෘවරයා බුදුරජාණන් වහන්සේය. තමන් වහන්සේ, ගත කළ වසර 45 ක කාලයෙන්, පුරා 19 වර්ෂයක් ම වස් සමාදන් වෙමින් වැඩ සිටින ලද පින් බිම සැවැත්නුවර ජේතවනාරාම පුද බිමයි. බුදුරජාණන් වහන්සේ මෙහි වැඩ වාසය කරන්නට කෙතරම් කැමැත්තක් දක්වන්නට ඇති දැයි අපට සිතාගත නොහැකි තරම්ය. ජේතවනාරාමය හා බුදු සිරිත සමඟ බැඳුණු ඓතිහාසික සිදුවීම් ගණනාවකි. එපමණක් නොව, අප බුදුරජාණන් වහන්සේට පෙර වැඩ සිටි බුදුවරුන් අතර කකුසඳ, කාශ්‍යප, විපස්සි, වෙස්සභු යන අතීතයේ වැඩ සිටි බුදුවරු ද, මෙම ජේතවනාරාම පින්බිමේ වැඩ සිටි නිසා දඹදිව පිහිටා ඇති අවිජහිත ස්ථාන සතර අතරෙන් තෙවන අවිජහිත පුණ්‍ය භූමියක් ලෙස සුදුසුකම් ලබන්නේ ජේතවනාරාම පුණ්‍ය භූමියයි. (අවිජහිත බුදුවරුන් අත් නොහරින පුණ්‍ය භූමියයි)

දඹදිව පිහිටා ඇති පුදබිම් හා සසඳා බලන විට ජේතවනාරාම පුදබිම ඉතාමත් වාසනාවන්ත, වටිනා, වැදගත් පුණ්‍ය භූමියකි. ජේතවානාරාමයෙහි ඉදි කර තිබූ දෙනෝදාහක් වූ සැදැහැවතුන්ගේ ගත සිත සුවපත් කරන ලද, බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන ලද දම්සභා මණ්ඩපය අසල සැරිසරන විට තවමත් බුදුරජාණන් වහන්සේ ජීවමාන ව සිටින බව දනවන තරම් ශ්‍රද්ධා ගෞරවයක් උදාවේ. දම්සභා මණ්ඩපය අසල ට යන ඔබට ද එය දැනේවි. රාගයෙන්, ද්වේෂයෙන් හා මෝහයෙන් පිරි ගත සිත සනසමින් මධුර මිහිරි සංවර මෛත්‍රි ස්වරයෙන් ධර්මය දේශනා කළ අයුරු ශ්‍රද්ධා පෙරදැරිව සිත තුළ මැවෙනු නොඅනුමානය.


අනේපිඬු සිටු මාලිගාව

අනාථපිණ්ඩික සිටුතුමා විසින් දම්සභා මණ්ඩපය නිර්මාණය කර තිබුණේ සඳුන් දැවයෙනි. කොසොල් ජනපදයේ පිහිටි මේ අසිරිමත් සැවැත්නුවර පුදබිම පිළිබඳ නොදන්නා, එහි තොරතුරු නොඇසූ, බෞද්ධයෙකු ලෝකයේ සිටිය නොහැකි තරම්ය. මන්ද අපේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ධර්මයෙන් වැඩි කොටසක් මෙහිදී දේශනා කරන ලද නිසාවෙනි. “ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ...” යන පිරිත් පොතෙහි එන බොහෝ සූත්‍ර අසන සියලු සිත් සතන් තුළට නියත වශයෙන්ම සිහිපත් වන්නේ ජේතවානාරාම පින් බිමයි. අද භාරතයේ සැවැත්නුවර අතීතයේ හැඳින්වූයේ සහේත් මහේත් යනුවෙනි. සැවැත්නුවර ජේතවනාරාමය අතීතය තුළ අක්කර පහක පමණ පුණ්‍ය භූමියක් තිබූ බවට තොරතුරු ඇත.

අද වන විට මේ උතුම් පින් බිම ලක්ෂ සංඛ්‍යාත බොදු ජනතාවගේ ආදරයට ගෞරවයට සහ වන්දනාවට හා පූජනීයත්වයට පත් වී ඇති ඉතා පූජනීය පින් බිමකි. ලාංකික හා විදෙස් සැදැහැවතුන් උදේ සවස රෝස කුසුමින් බුදුකුටිය හා ආනන්ද බෝධියත්, දම්සභා මණ්ඩපයත් සරසා බුදුන් නමඳිති. මල් සුවඳ මැද බුදු සුවඳ සැම සිත් පිනා යයි. සියලු දෙනා මහත් සතුටු සිතින් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි බිමට එති. ඒ තරමට සිතට සුවයක්, ගතට සිසිලසක් දැනෙන පින් බිමකි.

තවත් කොටසක් බක් පුර අටවක පොහෝදා මාර්තු 27 වනදා පත්‍රයේ


සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 29

 

 මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු මස 19වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 06.48ට ලබයි. 20වැනි දා සිකුරාදා අපරභාග 03.06 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු මස 20වැනි දා සිකුරාදාය.

මීළඟ පෝය
මාර්තු 27වැනි දා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 20

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03

Second Quarterඅව අටවක

අප්‍රේල් 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]