බුදුදහම හා මාර සංකල්පය -02
‘මාරයා ’ දෙවියෙක්ද ?
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි
පාපි වූ මාරයා බුදුරජාණන් වහන්සේගේ අඩුවක්, වරදක් සිදුරක් සොයා සත්
වසක්ම උන්වහන්සේ පසුපස ලුහුබැඳි බවත්
එසේ සිදුරක් සොයා ගත
නොහැකි වූ තැන
බුදුරජාණන් වහන්සේ හමුවී උන්වහන්සේට අභියෝග කළ ආකාරය
බුදුරදුන්ට සෙසු සත්වයන්ගේ විමුක්තිය උදෙසා දහම් නොදෙසන්න යැයි පැවසීම
හා අවසානයේ පරාජයට පත්වී
දුර්මුඛව ගිය ආකාරය ඉහතින් සදහන් කළ සංයුත්ත නිකායේ මාර සංයුත්තයට අයත්
සත්තාවස්ස සූත්‍රයේ
සඳහන් වන අයුරු විමසා බලමු.
බුදුසරණ සහෘද පාඨකයන්ගේ දහම් දැනුම දියුණු කරනු වස් පසුගිය පසළොස්වක
පොහොයෙන් ආරම්භ වුණ අපගේ නවතම ධර්ම සාකච්ඡාව බුදුදහම හා මාර සංකල්පය
යන්නයි. එහි පළමුවැන්න මාරයා යනු කවරෙක්ද ? යනුවෙන් එහි පළ විය. අද
නවම් අවඅටවක පොහෝ දිනයේ අපගේ සාකච්ඡාවට බඳුන් වනුයේ මාරයා දෙවියෙක්ද ?
යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමටයි. ඒ අනුව මේ සඳහා ත්‍රිපිටක පෙළ මෙන්
අටුවා අර්ථකථනයන් ද මූලාශ්‍ර කරගනු ලැබේ.
ගියවර අපගේ දහම් සාකච්ඡාවේදී පස්මරුන් පිළිබඳ විස්තර සාකච්ඡා කළෙමු.
එහිදී දේවපුත්තමාර ක්ලේශ්මාර,අහිසංස්කාරමාර, ස්කන්ධමාර හා මෘත්‍යුමාර
යන මාරයන් පිළිබඳව සටහන් කළෙමු.
මේ පස්මරුන් අතුරින් දේවපුත්තමාර හැර සෙසු සිව් දෙනා පුද්ගලයන් නොවන බව
ඒ ඒ වචන වලින්ම පැහැදිලි වෙයි. දේවපුත්ත යන වචනයෙන් මාරයා දිව්‍ය
පුත්‍රයෙක් බව අටුවාවවල සඳහන් වෙයි. එහෙත් පෙළ දහමෙහි බොහෝ සූත්‍රවල
මාරයා හඳුන්වා ඇත්තේ “මාරො පාපිමා’ යන වචනයෙනි. එයින් මාරයා යන්නට
පාපිමා යන විශේෂ පදය ද යොදා ඇති බව පෙනේ. එහි අදහස පවිටු හෙවත් පවට බර
යන්නයි. එහිදී මාරයා දිව්‍ය පුත්‍රයෙක් වශයෙන් හඳුන්වා ඇති බවක්
පෙනෙන්නට නැත. අනිත් කාරණය නම් පෙළ දහමෙහි මාරයා හැඳින්වීම සඳහා යොදා
ඇති වචනය මාරො ‘පාපිමා’ යනුවෙන් ඒක වචනයෙන් පමණක් යෙදී තිබීමයි. එය
පෙළෙහි බහු වචනයෙන් යෙදී නැත. එහෙත් අටුවාවල ‘මාරා’ යනුවෙන් බහු
වචනයෙන් යෙදුන අවස්ථා බොහෝමයක් දක්නට ඇත.
අටුවාවල සඳහන් අනිත් කාරණය නම් මාරයන්ගේ ප්‍රමාණයන්ද විවිධත්වයකින්
දක්වා තිබීමයි. දීඝනිකායෙහි එන මහාගෝවින්ද සූත්‍ර වර්ණනාවෙහි එනම්
සුමංගල විලාසිනියෙහි මාරයන් තිදෙනෙක් ඇති බවත් ඒ මාරයන් තිදෙනා බෝ මැඩ
දී පරාජය කරමින් බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත්වූ බව විස්තර කරයි.
(බෝධිපල්ලංකේ තිණ්නං මාරානං භින්දිත්වා පටිවිද්ධි අසාධාරණ ඤාණෝ)
නිද්දේසයෙහි එන ගුහට්ඨක සූත්‍ර වර්ණනාවේදී මාරයන් සිව් දෙනෙක් ගැන
සඳහන් වන්නේ මෙසේය. (චතුත්ªතං මාරානං මත්ථකං මද්දිත්වා ) යනුවෙනි.
අප ගියවර සාකච්ඡාවෙන් පැවසූ පරිදි දේවපුත්තමාර නමින් හඳුන්වන මොහු
සදෙව් ලෝකයන් අතර එන ‘වසවර්ති’ නම් දෙව් ලොව පෙදෙසක අධිපති කම කරන
අයෙකි. එහෙත් පෙළ සාහිත්‍යයෙහි ඔහු වාසය කරන ස්ථානයක් ගැන හෝ ඔහු දෙව්
ලොව වැසියෙක් ලෙස හෝ අර්ථවත් නොවේ. එහෙත් ඔහුගෙන් බුදුරදුන්ට මෙන්ම
තමන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට ද විවිධ අභියෝග, හිරිහැර, කරදර
සිදුවු අවස්ථාවන් සංයුත්ත නිකායෙහි එන සත්තවස්ස සූත්‍රය, මජ්ක්‍ධිම
නිකායේ එන මාරකජ්ජනීය සූත්‍රය හා සංයුත්ත නිකායෙහිම එන භික්ඛුණි
සංයුත්තයට අයත් වජිරා සූත්‍රයෙන්ද පැහැදිලි වෙයි.
පාපි වූ මාරයා බුදුරජාණන් වහන්සේගේ අඩුවක්, වරදක් සිදුරක් සොයා සත්
වසක්ම උන්වහන්සේ පසුපස ලුහුබැඳි බවත් එසේ සිදුරක් සොයා ගත නොහැකි වූ
තැන බුදුරජාණන් වහන්සේ හමුවී උන්වහන්සේට අභියෝග කළ ආකාරය බුදුරදුන්ට
සෙසු සත්වයන්ගේ විමුක්තිය උදෙසා දහම් නොදෙසන්න යැයි පැවසීම හා අවසානයේ
පරාජයට පත්වී දුර්මුඛව ගිය ආකාරය ඉහතින් සදහන් කළ සංයුත්ත නිකායේ මාර
සංයුත්තයට අයත් සත්තාවස්ස සූත්‍රයේ සඳහන් වන අයුරු විමසා බලමු.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනව්වෙහි නේරංජනා ගංතෙර අජපල්
නුගරුක මුල වසන සේක. එකල වනාහි පාපී වූ මාරයා සිදුරක් දක්නා කැමැත්තේ
එහෙත් සිදුරක් දක්නට නොලැබනුයේ සත් වසක්ම භාග්‍යවතුන් වහන්සේ පසුපස
ලුහුබැන්දේය. ඉක්බිති දිනක් ඒ පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද
එතැනට පැමිණියේය. පැමිණ බුදුරජාණන් වහන්සේට මෙසේ කීය.
පවිටු මාරයා
ඔබ ශෝකයට පැමිණ වනයෙහි සිතිවිලි සිතයිද? ධනයෙන් පැරදුණෙහිද? නැතහොත් ඒ
පරදින දේ පතමින් ඉන්නෙහිද? නැතහොත් ගම ඇතුළත කිසි වරදක් කෙළෙහිද? කවර
හෙයින් මහජනයා හා යහළු බවක් නොකෙරෙහිද? කිසිවකු හා ඔබේ යහළු බවෙක් ඇති
නොවේද ?
භාග්‍යවතුන් වහන්සේ
පමාවන්නන්ගේ ඥාතියා ශෝකයේ සියලු මුල සාරා උදුරාදමා නිවැරදිව ශෝක
නොකෙරෙමින් , ධ්‍යානයෙහි යෙදී ඉඳිමි, භවලෝකයයි කියනලද සියලු තෘෂ්ණාව
සිඳ දමා , ආශාව නැත්තේ ධ්‍යානයෙහි යෙදී සිටිමි.
පවිටු මාරයා
මෙය මගේයැයි යමක් ගැන කියන්නම්,මේ දේ මගේයයි යම් කෙනෙක් ගැන කියන්නම්,
මෙකී තන්හි ඒකාන්තයෙන් ඔබගේ සිත බැදී ඇත. එබැවින් මහණ, ඔබ මගෙන්
නොමිදෙන්නෙහිය.
භාග්‍යවතුන් වහන්සේ
යමෙක් මගේයැයි කියත් නම්, එය මගේ නොවේ. යම් කෙනෙක් කියත් නම්, මම
ඔවුන්ගෙන් එකෙකුත් නොවෙමි. පාපිය මෙසේ දනුව, මා ගිය මගවත් ඔබ
නොදක්නෙහිය.
පවිටු මාරයා
ඉදින් ඔබ බියක් නැති, නිවනට යන මග අවබෝධ කළෙහි නම් ඉවත්වෙන්න, ඔබම තනිව
යන්න,අන් අයහට කුමට අනුශාසනා කෙරෙහිද?
භාග්‍යවතුන් වහන්සේ
පරතෙර යනු කැමැති නිවන් දකිනු කැමැති, යම් කෙනෙක් ඇද්ද, ඔවුහු මරුට
ඉඩක් නැති නිවන මා අතින් විචාරත්, ඔවුන් විසින් චීවාරනු ලැබූ මම , යමක්
සියලු කෙලෙස් රහිතනම් ඒ නිවන ඔවුන්ට කියමි.
පවිටු මාරයා
ස්වාමීනි, ගමෙක හා නියම් ගමෙක හෝ නොදුරෙහි පොකුණෙක් ඇත්නම්, එහි
කකුළුවෙක්ද ඉඳීනම්, නැවත බොහෝ දරුවෝ හෝ දැරියෝ හෝ ඒ ගමෙන් හී ඒ නියම්
ගමෙන් හෝ නික්ම ඒ පොකුණ යම් තැනකෙද එතැනට පැමිණෙන්නාහුනම්, එසේ පැමිණ ඒ
කකුළුවා යම්සේ දියෙන් ඔසවා ගොඩ තබන්නාහුද, එවිට ඒ කකුළුවා යම්යම්
අඬුවක් ඉදිරියට යොමු කරන්නේනම්, ඒ දරුවෝ හෝ දැරියෝ ඒ ඒ අඬුවම ලීයෙකින්
හෝ කැබිලිත්තෙකින් හෝ යම් සේ සිඳ දමන්නාහුද. යම්සේ කැබලි කැබලි කොට
දමන්නාහුද, ස්වාමීනි, මෙසේ ඒ කකුළුවා කැඩුණූ බිඳුණූ, කැබැලිවී ගිය
අඬුවලින් යළිත් ඒ පොකුණට පෙර මෙන් බසින්නට යම්සේ නොහැකි වන්නේද, එසේම
ස්වාමීනි, මා කළ යම් විරුද්ධ දේඇද්ද, යම් නුසුදුසු දේ ඇද්ද, ඒ සියල්ල
භාග්‍යවතුන් වහන්සේ විසින් සිඳින ලදී. බිඳින ලදී. සුණුවිසුණූ කරන ලදී.
ස්වාමීනි, සිදුරු සොයන අපේක්ෂා ඇතිව නැවත භාග්‍යවතුන් වහන්සේ වෙත
පැමිණෙන්නට දැන් මම නොහැකියෙක්මි. යනුවෙන් භාග්‍යවතුන් වහන්සේට කීය.
ඉක්බිති පාපි මාරතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි තම කළකිරීම හඟවමින්
මෙසේ කීය.
කවුඩෙක් මේද, තෙල් පාට ඇති ගලක් දැක, මෙහි මොළොක් බවද විඳ ගන්නෙමි නම්
ඉතා මැනවි. රස විඳ ගන්නෙමි නම් ඉතා මැනවියැයි සිතා ඒ හාත් පස
ගැවසෙන්නේය. එහෙත් කවුඩා එහි කිසිදු රස විඳීමක් නොලැබ එයින් ඉවත්ව
යන්නේය. ඒ ගල වෙත පැමිණ රස විඳ ගැනීමක් නොලැබ ඉවත්ව යන කවුඩාසේ කලකිරී
ගෞතමයන් වහන්සේගෙන් අපිද ඉවත්ව යම්හ, යනුවෙන් පැවසීය”
ඉනික්බිති ඒ පාපි මාරයා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ කලකිරීම හඟවන
ප්‍රකාශය කරමින් එතැනින් ඉවත්ව භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි බිම පළක්
බැඳ නිහඬව තෙද නැතිව. කරබාගෙන, බිම බලාගෙන, සිතිවිලි සිතමින් කිසිත්
වටහාගත නොහැකිව ලී කැබෙල්ලකින් බිම ඉරි අඳිමින් හුන්නේය.
මතු සම්බන්ධයි
බුදු දහම හා මාර සංකල්පය |