දෙවියන්ට වදාළ
සම්බුදු බණ
04
සමිද්ධි තෙරුන් නිසා වදාළ දෙසුම
පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
අපගේ ශාස්තෘ වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ කාලයේ වැඩ වාසය කළේ
රජගහනුවර තපෝදාරාම විහාරයේ. මේ විහාරය පිහිටා තිබුණේ තපෝදා නදිය අසබඩ
යි. තපෝදා නදිය කියන්නේ උණුසුම් ජලය සහිත ගංඟාවක්. බුදුරජාණන් වහන්සේ
එක් අවස්ථාවක භික්ෂූන් වහන්සේලාට මේ තපෝදා නදිය ගැන නොදත් සිද්ධිය කියා
දුන්නා.
”පින්වත් මහණෙනි, මේ තපෝදා නදිය යම් තැනකින් ආරම්භ වේද, එතැන සිසිල්
දිය ඇත්තේ ය. එහි ප්‍රසන්න වූ පිරිසුදු ජලය ඇත්තේ ය. එහි රිය සක තරම්
වූ මහත් පියුම් පිපෙන්නේ ය. රමණීය ය. එහෙත් මහණෙනි, ඒ සිසිල් දිය ඇති
තපෝදා නදිය මහා නිරයන් දෙකකට මැදිව ගලන්නේ, උණු වූ රත් වූ ජලය ඇතිව
ගලයි.
ඉතින් ඒ රත් වූ දිය ඇති තපෝදා නදිය අසබඩ පිහිටා තිබූ නිසයි මේ විහාරයට
තපෝදාරාමය කියා කියන්නේ. ඒ කාලයේ සමිද්ධි කියන ස්වාමින් වහන්සේ මේ
විහාරයේ වැඩ සිටියේ. උන්වහන්සේගේ රූපය ප්‍රසාදජනක යි. දුටුවන් සිත් වසඟ
කරවන සුළුයි. ජව වර්ණයෙන් මනරම්. ඒ නිසාමයි සමිද්ධි (සියල්ලෙන්
සමෘද්ධිමත් කෙනා) කියා හැඳින්වූයේ.
රෑ පශ්චිම යාමයේ මේ සමිද්ධි හිමියන් අවදි වුණා. භාවනා කරමින් කාලය ගත
කළා. සුළු මොහොතක් සක්මන් කළා. පාන්දරින් ම උණු දියෙන් ඇඟපත සෝදා ගැනීම
පිණිස තපෝදා නදියට ගියා. උණ්වහන්සේ ඇඟ පත සෝදාගෙන අඳන සිවුර පමණක් ඇතිව
ඇඟේ තෙත සිඳුවමින් වැඩ සිටියා. උණු දියෙන් සේදූ උන්වහන්සේගේ කය
ප්‍රසාදජනක ව බබලනවා. ඒ පැහැපත් සිරුර ඇති සමිද්ධි ස්වාමින් වහන්සේව
දැකපු එක්තරා බූමාටු දේවතාවියෙකුට උන්වහන්සේ සමඟ කතා කරන්නට කැමැත්තක්
ඇතිවුණා. ඉතින් ඒ දෙව්දුව මුළු තපෝදාරාමය ම ඒකාලෝක කරගෙන සමිද්ධි
තෙරුන් අසල අහසේ පෙනී සිටියා. සමිද්ධ තෙරුන් හට මේ විදියට පැවසුවා.
”පින්වත් භික්ෂුව (කම්සැප) නො වළඳා පිණ්ඩපාතේ විතරක් වළඳනවා නේද?
(කම්සැපත්) වළඳලා පිණ්ඩපාතේ වළඳන එක නරක නැද්ද? පින්වත් භික්ෂුව (කම්
සැපත් වළඳාම) පිණ්ඩපාතේ වළඳන්ට. ඔබ මේ වටිනා අවස්ථාව මඟ හැරෙන්ට එපා”.
තමන් වහන්සේ කම් සැපයට පොළොඹවා ගැනීමට මේ දෙව්දුව පැවසූ කාරණාවට
සමිද්ධි තෙරුන් වහන්සේ මෙසේ වදාළා.
අවස්ථාව? මට ඒක තේරෙන්නේ නැහැ. කාලය ආසාවෙන් වැහුණාම ඇත්ත පේන්නේ නැහැ.
ඒ නිසා මම (කම්සැප) වළඳන්නේ නැතුව පිණ්ඩපාතේ විතරක් ම වළඳනවා. මට මේ
උතුම් අවස්ථාව ඉක්ම යන්ට එපා”.එතකොට ඒ දෙව්දුව ආකාසෙන් පොළොවට බැස්සා.
සමිද්ධි තෙරුන් හට මෙහෙම පැවසුවා.
”නැහැ පින්වත් භික්ෂුව, ඔබ තාම තරුණයි. ලස්සන කළු කෙස් තියෙන සොඳුරු
යොවුන් වයසේ නේද ඉන්නේ? ජීවිතේ ගැන පළමු වයසේ කාම ක්‍රීඩා නො කර නේද
ඉන්නේ? පින්වත් භික්ෂුව මේ මනුෂ්‍ය කාම සම්පත් වළඳන්නට මේ ජීවිතේදී
ලබන්ට තිබෙන කාම සම්පත් අත්හැරලා පරලොව දී ලැබෙන කාලයකට අයිති සැප
පස්සේ දුවන්නට එපා.
කාමයන්ට වසඟ වූ සාමාන්‍ය ලෝ සතුන් කල්පනා කරන ආකාරයටම හිතලා තමන්
වහන්සේ සමඟ කථා කරන මේ දෙවිදුවට සමිද්්ධි තෙරුන් වහන්සේ අනුකම්පා කළා.
මේ ආකාරයට පිළිතුරු දුන්නා.
”නැහැ පින්වත් දෙවිදුව. මම මේ ජීවිතයේදී ලබන්නට තිබෙන සැප අත්හැරලා
කාලයකට අයිති දෙයක් හොයාගෙන දුවනවා නෙමෙයි. ඇත්තෙන්ම මම කාලයකට අයිති
දේ තමා අත්හැරියේ. මේ ජීවිතයේදී ලැබෙන සැපයක්ම යි මේ හොයාගෙන දුවන්නේ.
පින්වත් දෙවිදුව, අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ කාමයන් කාලයකට
අයිතියි කියලයි. බොහෝ දුක් සහිතයි කියලයි. බොහෝ පීඩා සහිතයි කියලයි.
කාමයන් කියන්නේ කරදර ගොඩාක් තිබෙන දෙයක් කියලයි”.
නමුත් මේ ශ්‍රී සද්ධර්මය මෙලොවදීම දකින්ට පුළුවන්. (සන්දිට්ඨිකෝ) හැම
කාලයකම දකින්ට පුළුවන්. (අකාලිකෝ ) ඇවිත් අවබෝධ කරගන්නට කියා පෙන්නා
දෙන්නට පුළුවන් (ඒහිපස්සිකෝ) තමන් තුළ ඇති කරගන්නට පුළුවන්. (ඕපනයිකෝ)
බුද්ධිමත් උදවියට තම තමන් තුළින් ම ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන්
(පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහී) ඒ දෙව්දුව සමිද්ධි තෙරුන්ගේ මේ
ප්‍රකාශයට පුදුම වුණා. පුදුමයෙන් මෙහෙම ඇහුවා.
”පින්වත් භික්ෂුව, ඔබ කොහොමද එහෙම කියන්නේ”. සමිද්ධි තෙරුන් වහන්සේ මේ
විදිහට ඒ දෙවිදුවට පැවසුවා.
”පින්වත් දෙවිදුව, ඇත්තෙන්ම මම ළඟදී පැවිදි වූ කෙනෙක්. මේ සාසනේට
අලුතෙන්ම පැමිණුන අලුත් පැවිද්දෙක්. මට ඔය කාරණේ විස්තර වශයෙන් කියන්නට
පුළුවන්කමක් නැහැ. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ
තපෝදාරාම අසපුවේ වැඩ ඉන්නවා. ඉතින් ඒ භාග්‍යවතුන් වහන්සේ බැහැ දැකලා ඔය
ප්‍රශ්නය අහන්නට ඕන. අන්න ඒ ආකාරයට මතක ලබා ගන්න”.
එවිට ඒ දෙවිදුව සමිද්ධි තෙරුන් හට පැවසූ දෙය හරිම අසිරිමත්. දේවාතිදේව
වූ අපගේ බුදුරජාණන් වහන්සේ වටා කොතරම් දෙවි පිරිසක් සිටින්නට ඇතිද? ඒ
දෙව්දුව මෙසේ පැවසුවා.
”නැහැ පින්වත් භික්ෂුව, අප වගේ උදවියට ඒ භාග්‍යවතුන් වහන්සේ කරා යන එක
ලේසි වැඩක් නොවේ. අනිත් මහේශාක්‍ය දෙවිවරු විසින් උන්වහන්සේ පිරිවරාගෙන
ඉන්නවා නෙව. පින්වත් භික්ෂුව, භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්ට ඔය
වහන්සේම වඩින්න. ගිහින් ඒ කාරණේ විමසන්න. අපත් බණ අහන්නට එන්නම්.ඉතින්
සමිද්ධි තෙරුන් වහන්සේ හොඳයි, පින්වත් දෙව්දුව කියා පිළිතුරු දීලා
භාග්‍යවතුන් වහන්සේ කරා වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා.
පැත්තකින් වාඩි වුණා. සමිද්ධි තෙරුන් වහන්සේ ඒ දෙව්දුව සමඟ ඇති වූ කථා
සල්ලාපය ඒ විදියටම භාග්‍යවතුන් වහන්සේට පැවසුවා. අවසානයේ මේ ආකාරයට
කිව්වා.
ඉතින් ස්වාමිනී ඒ දෙවිදුව ඇත්තක් නම් කිව්වේ දැන් ඒ දෙවිදුව මේ ළඟම
ඇති.
ඒ මොහොතේ අර දෙවිදුව පෙනී සිටියා. මේ විදියට සමිද්ධි තෙරුන් හට
පැවසුවා. “පින්වත් භික්ෂුව අහන්නට පින්වත් භික්ෂුව අහන්න මේ මම
ඇවිල්ලයි ඉන්නේ”.
මහා කාරුණික අපගේ ශාස්තෘන් වහන්සේ කාමයට වසඟ වී දුක කරාම යන අයුරින්
කල්පනා කරන ඒ දෙවිදුවට අනුකම්පාවෙන් ගාථාවලින් දහම් අර්ථයක් දේශනා කළා.
මේ සත්ත්වයන් හඳුනාගන්නේ පංච උපාදානස්කන්ධය යි. පිහිටලා ඉන්නේත් පංච
උපාදානස්කන්ධයේම යි. මේ පංච උපාසානස්කන්ධය අවබෝධ නො කළොත්, මේ සත්ත්වයා
මාරයාට වසඟ වෙලයි ඉන්නේ.
ඒ පංච උපාදානස්කන්ධයේ යථාර්ථය අවබෝධ කළාට පස්සේ ඒ පංච උපාදානස්කන්ධය
ගැන මමත්වයෙන් යුක්ත හැඟීම ඇතිකර ගන්නේ නැහැ. ඔහුට ඒ හැඟීම් ඇති
වෙන්නේත් නැහැ. යම් කරුණක් නිසා ඔහු තුළ රාග, ද්වේෂ, මෝහ ආදිය ඇතිවෙනවා
නම් එබඳු දෙයක ඔහු තුළ නැහැ. ඉතින් ඔබ එබඳු කෙනෙක් දකිනවාද?
මේ ගාථාවේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ පංච උපාදානස්කන්ධය කියන්නේ දුකට
යි, ඉතින් මේ දුකටම මුලා වෙලා දුක මත පිහිටා දුක අවබෝධ නො කළ සතුන්
අතරේ දුක පිරිසිඳ දුටු රහතුන්ගේ ස්වභාවය පිළිබඳවයි. මේ කාරණේ දෙවිදුවට
වැටහුණේ නැහැ. ඇය මෙහෙම කිව්වා.
අනේ ස්වාමිනි, සංක්ෂේපයෙන් පැවසූ මෙහි අර්ථය මට වටහා ගැනීමට විස්තර
වශයෙන් දේශනා කරන සේක්වා.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.
”යමෙක් හිතනවා නම් අනෙක් අයයි මමයි ඔක්කෝම එකයි කියලා හෝ අන් අයට වඩා
මම ශ්‍රේෂ්ඨයි කියලා හිතුවා නම් අන්න ඒ නිසයි ඔහු අන් අයත් එක්ක වාද
කරන්නේ. නමුත් යමෙක් ඔය මාන තුන තුළ කම්පා නොවේ නම් මට සමානයි ,මම
හීනයි, මම ශ්‍රේෂ්ඨයි කියලා ඔහුට හිතෙන්නේ නැහැ ඉතින් ඔබ එබඳු කෙනෙක්
දකිනවාද?
මාන්නය ප්‍රහාණය කොට පිවිතුරු වූ රහතුන්ගේ ස්වභාවය ගැන විස්තර කළ
කාරණාවක් දෙවිදුවට වැටහුණේ නැහැ. අනේ ස්වාමිනි, මේ සංක්ෂේපයෙන් වදාළ
කරුණ මට වටහා ගැනීම පිණිස විස්තර වශයෙන් පවසන සේක්වා කියා ඇය
පැවසුවා.සම්බුදු හදමඬල කොතරම් කාරුණිකද? බුදුරජාණන් වහන්සේ ඒ දෙව්දුවට
යළිත් මෙසේ වදාළා. “ලෝකයේ සම්මුතියත් අත්හැරිය විවිධාකාර මාන්නයන්ම නො
පැමිණි මේ නාම රෑප කෙරෙහි ඇති තෘෂ්ණාව නැති කළ කෙලෙස් ගැට සිඳ දැමීම,
දුක් රහිත, ආශා රහිත කෙනෙකුගේ උපත දෙවියෝත්, මනුෂ්‍යයෝත් මෙලොව හෝ
පරලොව හෝ යම් සත්ව සන්නිවාසයක හොයාගන්නට නම් බැහැ. දෙවිදුව, ඔබට ඒ ගැන
තේරුණාද?”ඒ දෙවිදුවට ඒ කාරණේ වැටහුණා. “ස්වාමිනි දැන් සාරාංශ කොට වදාළ
කරුණු නම් මට විස්තර වශයෙන් මේ විදිහට තේරුණා.
පාපං නක කයිරා වචසා මනසා
කායේන වා කිඤ්චන සබ්බලෝකේ
කාමේ පහාය සතිමා සම්පජානෝ
දුක්ඛං න සේමේථ අනත්ථසංහිතන්ති
කයින්,වචනයෙන්,මනසින් පව් කරන්නේ නැහැ. මේ ලෝකයේ සියලු කාමයන් අත්
හරිනවා. සිහි ඇතිව ඉන්නවා. නුවණින් යුතුව ඉන්නවා. අයහපත ඇති කරන කිසි
දෙයක් කරන්නේ නැහැ”.අවසානයේ ඒ දෙවිදුවට තමන්ගේ ජීවිතය හැඩ ගසාගත යුතු
නිවැරැදි ආකාරය වැටහුණා. ඒ විශ්මිත සම්බුදු නුවණේ උපකාරය නිසයි. ‘සත්ථා
දේවමනුස්සානං’ වූ අපගේ ශාස්තෘන් වහන්සේ නිසා කොයිතරම් නම් දෙවි මිනිස්
පිරිසක් ඔය අයුරින් යහපත සලසා ගන්නට ඇතිද? බුදුු කෙනෙකුගේ උපත නම්
දෙවි මිනිස් ලෝකයට සැපයක් ම යි.
සටහන
නයනා නිල්මිණි
දෙවියන්ට වදාළ සම්බුදු බණ 03 නන්දන වනෝද්‍යානයේ දී වදාළ දෙසුම |