UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රැස්වෙහෙර හෙවත් සැසේරුව බුද්ධ ප්‍රතිමා වහන්සේ පිහිටි පුද බිම

රැස්වෙහෙර හෙවත් සැසේරුව බුද්ධ ප්‍රතිමා වහන්සේ පිහිටි පුද බිම

මෙම පුදබිම පිහිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන්නි හත්පත්තුවේ නැඟෙනහිර හතළිස් පහේ කෝරළේ ගල් වැවට ඊසාන දෙසිනි. ගල්ගමුව නිකවැව මාර්ගයේ සැතපුම් අටක් පමණ හැරී ගොස් එයින් ඊසාන දෙසට තවත් සැතපුම් අටක් පමණ ගිය පසුව මෙම පුදබිම හමුවේ. කුරුණෑගල සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක දෙකේ මායිම් ප්‍රදේශයේ මෙම පුදබිම පිහිටා ඇත. මෙහි දක්නට ඇති ප්‍රධානතම පූජනීය වස්තුව වන්නේ පිහිටිගලෙහි මතු කර අව්කන මහ බුදු පිළිමය මෙන් වූ) හිටි බුදුපිළිමය වේ. මෙම බුදුපිළිමය පිළිබඳ විවිධ ජනප්‍රවාද මේ ප්‍රදේශයේ ජනතාව අතර පවතී. එයින් එකක්වන්නේ මෙම බුදුපිළිමය අව්කන බුදු පිළිමයට පෙර සාදන ලද බවයි. මෙහි හිටි බුදු පිළිමය නිර්මාණය කිරීමේ දී මෙම පර්වතය ඒ සඳහා සුදුසු නැති නිසා අව්කන බුදුපිළිමය නෙළිමට එම ගල්පර්වතය තෝරාගත් බවද එම ජනප්‍රවාද වලින් එකකි. කෙසේ වුවද අව්කන හිටි බුදුපිළිමය නෙළා ඇති පර්වතය මෙන් මෙම රැස්වෙහෙර බුදුපිළිමය සම්පූර්ණයෙන්ම නෙළා නැතිවා පමණක් ද නොව මෙම ශිලා පර්වතය තරමක් දිරන්නට හැරී ඇති බවද දක්නට ලැබේ.

රැස්වෙහෙර ද අවුකන බුදු පිළිමය පිහිටි ප්‍රදේශය මෙන්ම ගිරිදුර්ගයක පිහිටා තිබේ. මෙහිද පුරාණ ගල්ලෙන් ද රැසකි. ලංකාවට බුදු සමය රැගෙන ආ මහින්දාගමනයත් සමඟම මෙහිද බුදු සමය ප්‍රචාරය වූ අතර ඒ කාලයේම මෙහි ගල්ලෙන් වල භික්ෂූන්වහන්සේලා වාසය කළ බව මෙහි ඇති ගල්ලෙන් හා ඒ ගල්ලෙන් වල ඇති බ්‍රාහ්මී අක්ෂරවලින්ද හෙළිවන කරුණකි. තවද මහින්දාගමනයට පසුව බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අනුරාධපුරේ මහමෙවුනා උයනේ රෝපණය කළපසුව එයින් හටගත් දෙතිස්ඵල රුහ වලින් එකක් මෙම පුද බිමෙහිද රෝපණය කළ බව සිංහල බෝධි වංසයේ සඳහන් වෙයි. එම බෝධීන්වහන්සේ අදත් මෙම රැස් වෙහෙර පුදබිමේ දැකිය හැකිය. මෙම හිටි බුදු පිළිමයට අමතරව ලෙන් විහාර දෙකක් ද මෙහි පිහිටා තිබේ. මෙම පුදබිමේ ඇති ලෙන් ලිපි පිළිබඳව මහාචාර්ය සෙනරත් පරණවිතාන හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයා විසින් ලියන ලද ධ්දඵජපඪනබඪධදඵ ධට ඛ්ඥරතධද පළමුවැනි වෙළුම ( 1970 ) ග්‍රන්ථයෙහිද විස්තර කර ඇත. රැස්වෙහෙර පුදබිම පිළිබඳව සී.ඩබ්ලිව්. නිකලස් මහතා මෙසේ සඳහන් කර තිබේ. සැසේරුව විහාරය, ක්‍රිස්තු පූර්ව කාලයේ විශාල ලෙන් විහාරවලින් එකකි. එහෙත් එහි පුරාණනම අප්‍රකටය. මෙහි මහකන්දේ උස අඩි 1143 කි. මෙහි තිබෙන නොයෙකුත් ලෙන්ලිපි අතරේ එකක් රජ කෙනෙකුගේ දියණියකගේ ය. මේ රජ වට්ටගාමිණි (වළගම්බා රජු) වීමට හොඳටම ඉඩ ඇත. මේ දූ කුමරිය ප්‍රනියෙකු (පරුමක) විවාහ වී තිබුණි. මෙයින් හැඟෙන්නේ වළගම්බා රජු වනගතව සිටි අවදියේ දී මේ ප්‍රධානියාගේ පවුලෙන් අගය කළ නොහැකි උදව්වක් රජුට ලැබුණු බවයි. ( පුරාතන සහ මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන සී.ඩබ්ලිව් නිකලස් පරිවර්තනය සෝමපාල ජයවර්ධන පි. 115 (1979) මෙම හිටි පිළිමය අඩි 39 අඟල් 3 උස බවද ඔහු සඳහන් කරයි. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතය අනුව රැස්වෙහෙර මෙම බුදුපිළිමය කරවන ලද්දේ මහසෙන් (ක්‍රි.ව. 274 – 301) රජතුමාගේ අනුග්‍රහයෙනි. රැස්වෙහෙර හිටි බුදුපිළිමය ද නිර්මාණය කර ඇත්තේ අවුකන බුදුපිළිමය මෙන්ම පිහිටි ගලකය. පිහිටි ගලෙහි කාවාටයක් හාරා ඒ තුළ මෙම හිටි පිළිමය නෙළා ඇත. මෙම බුදුපිළිමය සම්පූර්ණයෙන්ම වැඩ අවසන් නොකළ පිළිමයක් ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරයි.

අව්කන බුදුපිළිමයට වඩා රැස්වෙහෙර බුදුපිළිමය පැරැණි බව පවසන ආචාර්ය කඹුරුපිටියේ වනරතන නාහිමියෝ මෙසේ සඳහන් කරති.

“රැස්වෙහෙර හිටි පිළිමය කැපූ කුහරය තුළය. මෙම පිළිමයට ආවරණය වූයේ ද එයමය. මෙයට හේතුව එම කාලය වන විට පිළිම ගෙවල් සෑදීම ව්‍යාප්තව නොතිබුණු නිසා විය යුතු ය. මේ පිළිමය කුමන කාලයකට අයත් ද යන්න පිළිබඳවද ඒ කරුණද සාක්ෂියක් වනු ඇත. අභය මුද්‍රාවෙන් යුතු මෙම පිළිමයට අයත් ආසනයක් නැත. පිහිටි ගලෙහිම පිළිමයේ දෙපතුළ සිටින ලෙස නෙළා ඇත. මේ බුදුපිළිමයේ මුහුණද වෙනත් සිංහල බුද්ධ ප්‍රතිමාවන්ට වඩා වෙනස් ය. හුදු හතරැස් නොවූවත් හතරැස් හැඩයක් ගෙන තිබේ. කන් දෙකින් එකක් අසම්පූර්ණ ලෙස නෙළා ඇත. එයට කරුණු දක්වන මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා මහාසේන රජු අභයගිරි පාක්ෂිකයෙකැයි පවසයි. අභයගිරි භික්ෂූන් වහන්සේලාගේ උපදෙස් අනුව මෙම පිළිමය කරවන ලද නමුත් ප්‍රතිමාවෙහි වැඩඅවසන් නොවී තිබියදී රජ මලේ ය. ඉන්පසු රාජ්‍යයට පත් වූ කිත්සිරි මෙවන් රජ (ක්‍රි.ව. 276 – 303 ) තම පියා මහාවිහාරයට විරුද්ධ වී කටයුතු කළ නිසා මහජන අප්‍රසාදයට පත් වූ හෙයින් කිත්සිරි මෙවන් රජු ප්‍රසිද්ධියේම මහා විහාර පාර්ශ්වය ගෙන මෙම පිළිමයේ නිර්මාණය ගැන අඩාල වූ කටයුතු නොකළේයැයි කියයි. සාමාන්‍යයෙන් පෙනුමට මෙම ප්‍රතිමාවෙහි බුදුපිළිමයක තිබිය යුතු ප්‍රසන්න භාවය ප්‍රකටව නැත. (මූර්ති කලාව - පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි. පි. 28 ( 1990) ) පසු කලෙක චූලවංසයෙහි (මහාවංසයේ දෙවැනි කොටසේ) කීප තැනකම මෙම පිළිමය පිළිබඳව “මහාසේන පටිමා” යනුවෙන් සඳහන්වන බව පවසන ආචාර්ය පූජ්‍ය කඹුරුපිටියේ වනරතන නාහිමියෝ මහාසේන විහාරයත් මහාසේන බුද්ධ ප්‍රතිමාවත් රැස්වෙහෙර බව සඳහන් කරති. චූලවංසය අනුව මානවම්බ රජු (ක්‍රි.ව. 684 – 718) හා දෙවැනි සේන (ක්‍රි.ව. 850 – 887 ) යන රජවරුන් විසින් සැසේරුව (රැස්වෙහෙර) විහාරයට පුද පූජා පවත්වා ඇත. අවුකන බුදුපිළිමය පිහිටි ප්‍රදේශයේ සිට මෙම පුදබිම, කෙලින්ම අහස්දුර අනුව සැතපුම් දහයකි. රැස්වෙහෙර පුදබිමෙහි මහනුවර රාජධානි සමයට අයත් පිළිම ගෙයක් ද දක්නට ලැබේ. එහි සැතපෙන බුදු පිළිමයකි. එම බුදු පිළිමයේ සිවුරේ රැළි යොදා ඇත්තේ කපු පුළුන් වලිනි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ එච්.සී.පී. බෙල් (ක්‍රි.ව. 1890 – 1912) මහතා විසින් ලියන ලද පාලන වාර්තාව අනුව රැස් වෙහෙරේ මෙම බුදුපිළිමයේ උස අඩි 39 අඟල් තුනකි. හිස අඩි 7 අඟල් 4 කි. අවුකන බුදුපිළිමයට වඩා අඟල් 5 ක් මෙම හිටි බුදුපිළිමය උසය. මහනුවර යුගයේ ලියන ලද ‘නම්පොත’ ග්‍රන්ථයෙහි මෙම පුද බිම හඳුන්වා ඇත්තේ “රැස් වේරුව“ යන නාමයෙනි. මේ අනුව රැස්වෙහෙර සැසේරුව යන නම්වලින් හඳුන්වන මෙම පුදබිම ක්‍රිස්තු පූර්ව යුගයේ සිට පැවත එන පුද බිමක් බවට සැකයක් නැත. රැස් වෙහෙර කන්දේ සිට දකුණට සැතපුම් දහයක් පමණ විහිදී ඇති ගල්කිරියාව කඳුවැටිය පුරාණ කාලයේ දී වෙස්සගිරිය විය හැකි බව සී.ඩබ්ලිව්. නිකුලස් මහතා සඳහන් කරන කරුණකි. මෙම පුදබිම ආරක්ෂා කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉටු කරන ලද මෙහෙය ද මෙහිදී සඳහන් කළ යුතුව ඇත.

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි 11 වැනිදා බදාදා අපරභාග 08.54 ට ලබයි. 12 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 09.33 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 12 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
පෙබරවාරි 18 වැනිදා බදාදාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 12

Full Moonඅමාවක

පෙබරවාරි 18

First Quarterපුර අටවක

පෙබරවාරි 28

Full Moonපසෙලාස්වක

මාර්තු 05


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]