සේරුවිල පුදබිම
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු පුරාවිද්‍යා
සහකාර අධ්‍යක්ෂ
සිරිසමන් විජේතුංග
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉතා පැරණි බෞද්ධ පුදබිමක් ලෙසින් සේරුවිල
හඳුන්වා දිය හැකිය.පැරැණි රෝහණ ජනපදයේ උතුරු දෙස සේරුවාවිල අසල ඇති
සේරුවිල මහා දාගැබ මෙම පුදබිමේ ප්‍රමුඛතම පූජනීය වූවකි.
බුද්ධගයාවේ සිට එහි පිහිටි ජය ශ්‍රී මහ බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව
ලංකාවට වැඩම කරවන ලද්දේ සංඝමිත්තා මහ රහත් තෙරණිය ප්‍රමුඛ මෙහෙණින්
වහන්සේලා විසින් දේවානම්පියතිස්ස රාජ යුගයේදී බව ඉතා ප්‍රකටය. එම ජය
ශ්‍රී මහා බෝධි ශාඛාව අනුරාධපුරයේ මහමෙවුනා උයනේ (එකල උඩමළුවේ) රෝපණය
කිරීමෙන් පසුව අෂ්ඨ ඵල රුහ ද ඉන්පසුව දෙතිස්ඵලරුහද හට ගත්තේය. එයින්
දෙතිස්ඵලරුහ වලින් එකක් සේරුවිල පුදබිමෙහි රෝපණය කරන ලදී. මේ බව සිංහල
බෝධි වංසයේද සඳහන්වී ඇත. මේ අනුව සේරුවාවිල දේවානම්පියතිස්ස රාජ
යුගයේදී එනම් මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කළ අවදියේ පටන්ම පැවත
එන පුරාණ පුදබිමක් ලෙසින් හඳුනාගත හැකිය. ශ්‍රීවර්ධන බෝධිය නමින් තවත්
බෝධියක් කාවන්තිස්ස රජතුමා විසින් මෙම පුදබිමෙහි රෝපණය කරවන ලද බවද
බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන කරුණකි.
බුදුරජාණන් වහන්සේ තුන්වරක්ම අප රටට වැඩම කළ බැව් අපේ වංශකතාවල සඳහන්
වේ. එයින් තෙවැනිවර බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළ අවස්ථාවේදී මෙම
පුදබිමටද වැඩම කොට නිරෝධ සමාපත්තියට සමවැදී සිටි බව බෞද්ධ සාහිත්‍යයෙහි
සඳහන් වේ.
ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේදී මේ ප්‍රදේශයේ සේරු නමින් ප්‍රාදේශීය
රාජ්‍යයක් තිබුණි. බුදුරජාණන් වහන්සේ ගේ ළලාට ධාතුන් වහන්සේ හා
කේශධාතූන් වහන්සේලා නිධන් කොට කාවන්තිස්ස රජතුමා සේරු ප්‍රදේශයේ
දාගැබක් කරවූ බව ධාතුවංසයේ සඳහන් වේ.
මෙම දාගැබ සේරුවිල දාගැබ ලෙසින් පුරාවිද්‍යාඥයින් සහ ඉතිහාසඥයින්
විසින් හඳුනා ගෙන ඇත. සේරුවිල පුදබිමේ පුරා පුරාවස්තු රැසක්ම විසිරී
පවතී. මේ අතරේ පුරාණ පුදබිමට අයත්වූ විහාරයට සම්බන්ධ පිළිම ගෙවල්,
බෝධිඝර, පොකුණු ආදි පැරණි විහාරස්ථානවලට අයත්වූ නටබුන් රැසක්ම
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබේ. මෙහි සිදු කළ
කැණීම්වලින් ඒවා හමුවිය.
සේරුවිල අසළ පිහිටි කිලිවෙඩ්ඩි (කිලිවැටියා) නම් ස්ථානයෙහි පිහිටි
බෝධින් වහන්සේද සේරුවිල පුදබිමට අයත් වූවකි. එම බෝධින් වහන්සේ සඳහා
මුල් කාලයේදි බෝධිඝරයක් තිබූ බවට සාක්ෂි ඇති නමුදු අද එම සාක්ෂි හෝ එම
බෝධිය එහි දක්නට නැත. 1971 වර්ෂයේදි එවක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ
සහකාර කොමසාරිස්වරයෙකු වූ (පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ
ජනරාල්වරයෙකු ලෙස සේවය කළ ප්‍රකට පුරාවිද්‍යාඥයෙකු වූ ශාස්ත්‍රපති
ඇම්.එච් සිරිසෝම මහතා මෙම ස්ථානය ගවේෂණයට යන අවස්ථාවේදි කිලිවෙඩ්ඩි
(ශ්‍රීවර්ධන බෝධින් වහන්සේ) පිහිටි ඉඩමේ බෝධියක් පිහිටා තිබුණු බව
ඔහුගේ වාර්තාවල සඳහන්වේ.
සේරුවිල දාගැබ පිළිබඳව සඳහන් කරන විට නැගෙනහිර පළාතේ බෞද්ධ පුදබිම්
සුරැකීම සඳහා සිය දිවි දෙවැනි කොට ක්‍රියා කළ පූජ්‍ය දඹගස්ආරේ ශ්‍රී
සුමේධංකර නාහිමිපාණන් වහන්සේගේ නාමය සිහිපත් කළ යුතුය. උන්වහන්සේ
සේරුවිල පුද බිමට 1921 දී වැඩම කරවා උන්වහන්සේගේ උත්සාහය නිසා මේ
පුදබිම හා දාගැබ මුල්කාලයේදී සංරක්ෂණය කිරීමට අවස්ථාව සැලසුණි.
සේරුවිල මංගල මහා ස්තූපය ලෙසින් ධාතුවංසයෙහි සඳහන් වන්නේ මෙම දාගැබය.
සේරුවිල මංගල මහා දාගැබ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු 1922 වර්ෂයේදී
ආරම්භ කර 1931 වර්ෂයේදී අවසන් කර ඇත. දැනට මෙම දාගැබෙහි උස අඩි 100 පමණ
වේ. එහි වට ප්‍රමාණය අඩි 593 කි. සළපතළ මළුව පැත්තක දිග අඩි 185 කි.
උතුරු නැගෙනහිර පුදබිම් රැක ගැනීම සඳහා හිටපු කර්මාන්ත හා විද්‍යා
කටයුතු අමාත්‍ය සිරිල් මැතිව් මහතාද ඉමහත් වෙහෙසක් දරමින් මෙම පුදබිම්
පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේද එවක පැවති රජයේද විශේෂ අවධානයට
යොමු කළ බව මෙහිදී සඳහන් කළ යුතුව ඇත.
සේරුවිල පුදබිමෙහි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සාදවන ලද
පුරාවිද්‍යා කෞතුකාගාරයෙහි මෙම පුදබිමෙන් හා ඒ අවට ප්‍රදේශවලින්
සොයාගන්නා ලද බෞද්ධ පුරාවස්තු රැසක්ම ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර ඇත.
ඒවා අතර සිරිපතුල් ගල්, බුදුපිළිම හා ඒ ආශි‍්‍රත වූ පුරාවස්තු රැසක්ම
මෙම කෞතුකාගාරයෙහි දැකිය හැකිය.
ඉහතින් සඳහන් කරන ලද කිලිවෙඩ්ඩි බෝධින්වහන්සේ තිබුණු ස්ථානයට කිලෝමීටර්
කීපයක් දුරින් දෙහිවත්ත නමැති ගමෙහි දාගැබක සහ පිළිම ගෙයකද නටබුන්
හමුවී ඇත. වෙනත් ආරාම ගොඩනැගිලි අවශේෂද මෙහි තිබුණි. මේ කරුණු අනුව
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල ප්‍රදේශය ක්‍රිස්තු පූර්ව තුන්වන
සියවසේ සිටම එනම් බුද්ධාගම ලංකාවට පැමිණි සමයේ සිටම පැවත එන පුදබිමක්
ලෙසින් සඳහන් කළ යුතුව ඇත. |