සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 24
- නාරංවත්තේ
ධම්මසිරි හිමි
ක්‍රි.ව. 1898 වර්ෂයේ දී ඩබ්ලිව්.සී. පෙප්ජේ මහතා ලුම්බිණියෙන්
කි.මී. 13 ක් පමණ දුරින් නේපාල ඉන්දියානු දේශ සීමාවේ ඉන්දියාව පැත්තේ
පිහිටි පිප්රහවා නමැති ගමෙහි තිබූ ස්තූපයක් යැයි අනුමාන කළ හැකි
ගොඩනැගිල්ලක හරි මැදින් ඇතුළට කැනීම් කළේය. ඒ මහතාට කි.ග්‍රෑම් 669 ක්
පමණ බර ඇති විශාල ගල් පෙට්ටියක් හමු විය. එහි පියන විවෘත කළ විට ඒ තුළ
විස්මය ජනක දර්ශනයක් දැකීමට ලැබුණි. ඉතා කුඩා පළිඟු කරඬුවක් තුළ රනින්
තැනූ නොයෙකුත් නිධන් වස්තු තිබිණි. එහෙත් ඉතාමත් සතුටට පත්වූ දර්ශනය
වූයේ සෙන්ටිමීටර් 15ක් උස අකුරු කොටා ඇති දෙවන ගල් කරඬුව ය. කරඬුවේ
කොටා ඇත්තේ පහත සඳහන් වැකිය යි.
ඉයං සලිලනිධනෙ බුදස භගවතෙ සකියානං
එම රන් කරඬුව තුළ ධාතුන් වහන්සේලා තැන්පත් කර ඇති ආකාරය |
සුකිති හතිනං සභගිනකානං සපුතදලතං
ඉන්දියාවේ සොයාගත් ඉතාමත් පැරණි කියවා තේරුම්ගත හැකි ලිපිය ලෙස මෙය
සඳහන් කළ හැකි ය. පසුව එම කරඬුවේ අකුරින් ලියන ලද පණිවුඩයේ පරිවර්තනය
පුරාවිද්‍යාඥයෝ ඉදිරිපත් කළහ. එම කරඬුව තුළ වූයේ ශාක්‍ය වංශිකයින්
විසින් ඔවුන්ගේ සහෝදර සහෝදරියන් පුත්‍රයන් සහ භාර්යාවන් සමඟ එකතුව
තැන්පත් කළ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බවය.
එහිදී සොයාගන්නා ලද එම ධාතුන් වහන්සේලා අද වන විට ඉන්දියාවේ අගනුවර වන
නවදිල්ලියේ ජාත්‍යන්තර කෞතුකාගාරය තුළ බුරුම බෞද්ධයන් විසින් තනවා පූජා
කරන ලද රන් කරඬුවක් තුළ ඉතා ආරක්ෂිතව ධාතුන් වහන්සේලා කොටස් 16 ක් එහි
තැම්පත් කර අත. එම ධාතුන් වහන්සේලා සියැසින් දැක වන්දනා කිරීමට හැකියාව
ඇත. තමන් පැමිණි දඹදිව වන්දනාව අර්ථවත් කරගැනීම සඳහා නවදිල්ලියට ගිය
විට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ එම උතුම් ධාතුන් වහන්සේලා වන්දනා
කිරීම සඳහා අමතක නොකරන්න. ඒ සඳහා සිකුරාදා දිනයන්හි හැර අනික් දිනයන්හි
ධාතුන් වහන්සේලා දැක වන්දනා කිරීමට හැකියාව ඇත.
කපිල වස්තු ධාතුන් වහන්සේලා
තැන්පත් කර ඇති රන් කරඬුව |
එම ධාතුන් වහන්සේලා ලංකාවට ද වඩමවා ගෙනවිත් කපිලවස්තු පුරයෙන් හමුවූ
සර්වඥධාතුන් වහන්සේලා ලෙස මෙරට ප්‍රධාන නගරවල ප්‍රදර්ශනය කළ බව
සැදැහැවතුන්ට මතක ඇත.
අප දැන් සිටින්නේ කපිලවස්තුපුර පූජා භූමිය තුළ යැයි කල්පනා කරමු. මෙම
ස්තූපයට මඳක් නැඟෙනහිරින් විශාල සංඝාවාසයක නටබුන් ඇත. එම සංඝාවාස
භූමියේ තිබී හමුවූ මුද්‍රාවක් මත කපිලවත්ථු භික්ෂු සංඝ යන සටහනක් කර
තිබිණි. මෙයින් විජරහවා සහ ඒ අවට නටබුන් ස්ථිරවම බුදුරජාණන් වහන්සේගේ
ඥාතීන් ජීවත් වූ ශාක්‍ය ජනපදයේ කපිලවස්ථු නගරයේ කොටස් බවත් ඔවුන්
විසින් පූජා කරන ලද නිග්‍රෝධාරාමයේ නටබුන් බවත් පැහැදිලිය. එම සංඝාවාස
පසු කලක කණිෂ්ක රජතුමා විසින් ප්‍රතිසංස්කරණය කරන ලද්දකි. ඒ අවට ඇති
වෙනත් නටබුන් නම් භික්ෂූන් වහන්සේලාට ධර්ම දේශනාවලට සවන්දීම සඳහාත්
ධර්මදේශනා පැවැත්වීම සඳහාත් ඉදිකරන ලද පොදු රැස්වීම් ශාලාවක් ලෙස
පිළිගැනෙන ගොඩනැගිල්ලෙ නටබුන්ය. දකුණු දෙසින් මිනිසුන් විසින් බාරහාර
ඔප්පු කිරීම සඳහා ඉදිකරන ලද ස්තූපයක් හා කුඩා සංඝාවාසයක් දැකිය හැකිය.
බස්නාහිර තවත් සංඝාවාසයක් දැකිය හැකිය. තව තවත් ඉදිරියට යන විට පුරාණ
ළිං පොකුණු ආදි නොයෙක් නටබුන් මෙම ස්ථානයේ දැකිය හැකිය. විශාල
ප්‍රදේශයක එදා නිග්‍රෝධාරාමය ඉදිකැර තැබුණු බවට සාක්ෂි හමුවෙයි.
එම ධාතුන් වහන්සේලා අතුරෙන් ලංකාවට වැඩම කරවන ලද ධාතුන් වහන්සේ. |
උත්තර ප්‍රදේශයේ ප්‍රධාන නගරයක් වන ගොරක්පූර් නගරයට ගිය විට එහි සිට
බස් රථයෙන් හෝ දුම්රියෙන් කපිලවත්ථු පුරයට ඉතාම ආසන්න නගරය වන
නවුගාර්වලට සිද්ධාර්ථ නගර් පැමිණිය හැකිය. නවුගාර්වල සිට අලිගඩවා වෙත
යන බස් රථයෙන් හෝ ත්‍රීරෝද රථයකින් නැති නම් ජීප් රථයකින් එහි යා
හැකිය. බර්ඩ්පුර්වල සිට කපිලවත්ථුපුරයට ඇත්තේ කිලෝමීටර් 8 කි. මෙහි
මාර්ගය ඉතා හොඳින් සකස් කර ඇත. ලුම්බිණියේ සිට කපිලවස්තු වෙත දුර
ප්‍රමාණය කි.මී. 88 කි. සැවැත්නුවර සිට දුර කි.මී. 148 කි.
සුද්ධෝදන රජතුමා ගිලන්වීම හා පිරිනිවන් පෑම
බුදුරජාණන් වහන්සේ පස්වෙනි වස විශාලා මහ නුවර කුටාගාර ශාලාවේ වැඩ වෙසෙන
සමයෙහි පිය රජතුමා රෝගාතුර වී සිටින බව දැන ගන්නට ලැබුණි. බුදුරජාණන්
වහන්සේ භික්ෂූන් වහන්සේලා සමඟ කපිලවස්තු නුවර සුද්ධෝදන රජතුමාගේ
මාලිගාවට වැඩම කර රජු සැතපුන ඇඳේ හිස පැත්තේ පණවන ලද අසුනේ වැඩහිඳ හිස
පිරිමැද සත්‍ය ක්‍රියා කළහ. එයින් රජතුමාගේ ශරීරයේ වේදනා සංසිඳී ගියේ
ය. බුදුරජාණන් වහන්සේ අනිත්‍යතාවය දක්වන ධර්ම දේශනා කළ සේක. ධර්මය අසා
රජතුමා රහත් විය. එතැන් පටන් සතියක් විමුක්ති සැප විඳිමින් කල්ගෙවා
පිරිනිවන් පෑහ. පිය රජතුමාගේ ආදාහන කටයුතු සිදුකර කපිලවස්තු නුවරින්
පිටත්ව සුද්ධෝදන රජතුමාගේ පිරිනිවන් පෑමෙන් පසුව මහා ප්‍රජාපතී ගෝතමිය
හිස මුඩුකර කසාවත් ඇඳ ගත්තේ ය. එමෙන්ම ශාක්‍ය කෝලිය යුද්ධ සංසිඳවීමෙන්
පසු පැවිදි වූ කුමාරවරුන් පන්සිය දෙනාගේ භාර්යාවන් පන්සිය දෙනාගේ ද හිස
මුඩුකර කසාවත් අන්දවා ගත්තේ ය. මේ පිරිස සමඟ ප්‍රජාපතී ගෝතමිය පාගමනින්
ම විශාලා මහනුවරට ගියහ. ඒ අවස්ථාවේ ආනන්ද හිමියන්ගේ මැදිහත්වීමෙන් අෂ්ඨ
ගරු ධර්ම පිළිගැනීමට කැමති වීම නිසා මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තා
පිරිසට බුද්ධ ශාසනයේ පැවිද්ද ලබා ගැනීමට හැකි විය. එතැන් සිට ලොව
භික්ෂුණී ශාසනය ආරම්භ විය. බුද්ධ ශාසනයේ සිව් පිරිසට අයිති භික්ෂුණීන්
වහන්සේලාගේ ආරම්භයට මුල් වූයේ ද කපිලවස්තු පුරයෙහි ජීවත් වුන ශ්‍රේෂ්ඨ
කාන්තා පරපුරය.
එම ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබූ ශෛලමය කරඬු දෙක |
බුදුරජාණන් වහන්සේ වේරංජාවෙහි දොළොස්වෙනි වස්කාලය භික්ෂූන් වහන්සේලා
සමඟ ගත කර එය අවසන් වූ පසුව නැවත වරක් භික්ෂූන් වහන්සේලා සමඟ කපිලවස්තු
නුවර නිග්‍රෝධාරාමයට වැඩම කළසේක. මහානාම රජතුමා පැමිණ බුදුරජාණන්
වහන්සේගෙන් හා භික්ෂූන් වහන්සේලාගෙන් තොරතුරු විමසුවේ ය. භික්ෂූන්
වහන්සේලා තමන්ට වේරංජාවෙහි ගත කරන්නට සිදු වූ වස් හාර මාසය පිළිබඳ
තොරතුරු දැන්වූහ. එම තොරතුරු ඇසීමෙන් රජතුමා දුකට පත් විය. රජතුමා
බුදුරජාණන් වහන්සේ වෙත ගොස් “ස්වාමිනී වේරංජාවේදී සුදුසු පරිදි ආහාර
නොලැබීම නිසා භික්ෂූන් වහන්සේලා දුර්වල වී ඇත. එම නිසා මම හෙට පටන් සාර
මාසයක් ඔබ වහන්සේ ප්‍රධාන භික්ෂූන් වහන්සේලාට දන් දෙන්නෙමියි ආරාධනා
කළේ ය. එම ආරාධනාව බුදුරජාණන් වහන්සේ පිළිගත් සේක. රජතුමා සාර මාසයක්
දන් පූජා කළහ.
තවත් කොටසක්
නවම් අව අටවක පොහෝදා
පෙබරවාරි 12 වනදා පත්‍රයේ
|