යටිරාවණ නාරද නා හිමි
රන් වැට මැද බබළන අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ පිළිබඳව කථා කරන
විට බොහෝ දෙනෙකුගේ සිහියට නැගෙන නාමයකි යටිරාවණ නාරද නාහිමි නාමය. එයට
හේතුව උන්වහන්සේ ජය ශ්‍රී මහ බෝ සමිඳු ආරක්ෂාව පිණිස ඉදිකළ ප්‍රථම
රන්වැට ඉදිකරන්නට පෙරමුණ ගෙන කටයුතු කළ භික්ෂූන් වහන්සේ වීමයි. ශ්‍රී
ලාංකික භික්ෂු පරපුරේ පොදු බොදු ජන හදවතට සමීප වු නම් පෙළෙහි විශේෂ
ස්ථානයක් යටිරාවණ නාරද නාහිමියන්ට හිමිවේ. ශත වර්ෂ විසිපහකට අධික
ඉපැරැණි ඉතිහාසය තුළ රන් අකුරින් සටහන්ව ඇති එම නාමය කිසි විට අමතක කළ
නොහැකිය. රන් වැටකින් බෝ සමිඳුන් පුදන්නට වරම් ලද්දේ අපේ නාරද නාහිමි
වේ.
අප බෝසතාණන් වහන්සේ කෙලෙස් මරුන් සිඳ බිඳ ,උතුම් සම්බුද්ධත්වයට පත්
මොහොතේ සෙවන දුන් බෝ සමිඳුන්ගේ දක්ෂිණ ශාඛාව දම්සෝ නිරිඳුගේ
මෙහෙයවීමෙන් ලක් දෙරණට රැගෙන එන ලද්දේ බු.ව. 236 වැන්නේය. එනම් මීට
වර්ෂ 2315 කට කලිනි. අනුබුදු මිහිඳු මාහිමිගේත් දෙවන පෑතිස් නිරිඳුගේත්
සහයෙන් අනුරපුර මහමෙව්නාවේ රෝපිත කිරීමෙන් පසු එය සුවහසක් දෙවි
මිනිසුන්ගේ ගෞරව සම්භාවනාවට පාත්‍ර විය. ඒ උතුම් මහ බෝ සමිඳුන්හට
කිසිවකුත් විසින් නොකළ අසදෘශ පූජාවක් වූ රන්වැටකින් උපහාර කරන්නට මුල
පිරුනේ 1963 ජූලි මස 23 වන දින පෙරවරු 9.00 ට රන්වැටෙහි ඇත් පවුරට
මුල්ගල තැබීමෙනි.
වසර 6 ක් තිස්සේ දිවයින පුරා විසිරී සිටින සැදැහැවත් බොදුනුවන් ඒක රාශි
කොට ඔවුන්ගේත්, විදේශික දානපතියන්ගේත් නොමසුරු ආධාර උපකාර ඇතිව කලාත්මක
ලෙසින් රන්වැට නිපදවන්නට අපේ නාහිමි සමත්විය. මේ සඳහා ආශිර්වාද පූර්වකව
සහාය දුන් අය අතර එවකට අනුරාධපුර අටමස්ථානාධිපතිව වැඩසිටි උඳුරව
හල්මිල්ලෑවේ සුමන රේවත නාහිමි ප්‍රමුඛ තෛ‍්‍රනිකායික මහ සඟරුවන ද රාජ
රාජ මහාමාත්‍යාදීහුද වූහ. අන්කිසිවකු විසින්වත් සිදුකෙරුමට ඉදිරිපත්
නොවු මේ උතුම් කර්තව්‍යයට සැමගේ සහාය නොමඳව බැති සිතින් යුතුව ලැබුණේ
අපේ නාරද නාහිමියන්ගේ උදාර වූ සංකල්පනාවේ බල මහිමය නිසාය. 1969 අගෝස්තු
11 වන දින විවෘත කරන ලද රන්වැට සඳහා රුපියල් දාහත් ලක්ෂයක් පමණ වැය වු
බව රන්වැට ඉතිහාසයේ සඳහන් වේ.
එවකට එම මුදල එසේ වුවත් වර්තමානයේ රුපියල් කෝටිගණනකටත් වැඩිය. වැය වු
මුදල එසේ වුවත් මිල කළ නොහැකි තරම් අගයකින් යුත් මෙම උතුම් කර්තව්‍ය
සිදුකරන්නට මෙම නා හිමිපාණන් ඉදිරිපත් වූයේ කුමන මෙහෙයවීමක් අනුවදැයි
විමසන අයෙකුට දිය හැකි පිළිතුරු කීපයකි. ඒවා නම් උන්වහන්සේ පෙර ආත්මයේ
පැතූ නිසාත්, උන්වහන්සේගේ ගත රැඳි ලේ හිමි නෑ පිරිස දඹදිවින් මෙහි
පැමිණියේ අනුරාධපුර ජය ශ්‍රී මහ බෝසමිඳුන් රකින්ට නිසාත්ය.අදත් ඒ
යුතුකම එසේම සිදුවන නිසාත්, මතුත් බුදු සස්න පවතිනා තුරු එසේ කරන්නට
ඔවුන් වරම් ලබා ඇති නිසාත්ය යන්නයි.
1916 අපේ‍්‍රල් 15 වන දින උඩරට යටිරාවණ දී උපන් නාරද නාහිමියන්ගේ පරපුර
ඓතිහාසික සම්භවයක් ඇති පරපුරක් වන බව නාරද නාහිමියන් විසින්ම ලියන ලද
රන්වැට ඉතිහාසයේ මෙසේ දැක්වෙයි. “මහ බෝ රැක්මට පිටත් කර එවු බෝධිගුප්ත
චන්ද්‍රගුප්ත ශාක්‍ය රාජ කුමාර යන දෙදෙනාගෙන් කෙනෙකු වූ ශාක්‍ය
වංශෝද්භූත බෝධිගුප්ත බෝධාභාර වංශික මහනුවර සිංහල රජවාසල කොඩිතුවක්කු
මහලේකම කර වූ රන්කොත් දිවලදිවාකර රාජදත්තීය පරම්පරාගත යටකී බෝධාහාර
වංශිකයෙකු වු යටිරාවන නාරද ස්ථවිර නම් වූ අප විසින්”
රන්වැට සම්පාදක නාරද නාහිමියන්ගේම මෙම ප්‍රකාශය අනුව මහ බෝ සමිඳුන්
රැක්මට පාරම්පරික උරුමයක් ඇති වග මනාව පැහැදිලි වේ. රන්වැට සම්පාදන
කාර්යයේදී දායකත්වය සැපයු සුවහසක් ජනතාව අතර උන්වහන්සේගේ ඥාති
පරපුරෙන්ද විශාල අනුග්‍රහයක් ලබා දුන් අයුරුද සිහිපත් වේ. මීරිගම බෝතලේ
සහ මාදම්පේ සේනානායකවරුන් විශේෂ අවධානයක් මෙම උතුම් පින්කම වෙනුවෙන්
යොමු කළ බව රන්වැට ඉතිහාසයට අනුව පෙනේ. මාදම්පේ සේනානායක වලව්වේ ජයන්න
සේනානායක මහතා විසින් එතුමාට අයත් ඉඩමක සේනානායක විවේක සෙනසුන නම්
දර්ශනීය ආරමය කරවා නාරද නාහිමියන්ට පුජාකරනු ලැබුවේ නාරද නාහිමියන්
විසින් කළ උදාර පුණ්‍ය ක්‍රියාව මහත්සේ අගය කරමිනි. මහ බෝ ඥාති පරපුරටම
අයත් පිරිසක් වන සේනානායකවරුන් තම පරපුරට අයත් නාරද නාහිමි කළ සේවය අගය
කළ අයුරු මෙයින් පැහැදිලි වේ.
යටිරාවණ රන්කොත් දිවල දිවාකර බෝධිගුප්ත කොඩිතුවක්කු මහ උපාසක තුමා සහ
යසවතී ජයකොඩි දම්පතීන්ගේ පුත්‍ර රත්නයක් ලෙසින් උපත ලබා යටිරාවණ
සුදර්ශන බිම්බාරාමය ආදී විහාරස්ථාන ගණනාවකම අධිපතිත්වය දැරූ මධ්‍යම
පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය හෙබවූ අංගොඩ සෝමානන්ද නාහිමියන්ගේ
ආචාර්යත්වය ඇතිව උතුම් පැවිදි ජීවිතයට එළඹ, උඩරට අමරපුර නිකායේ මහ නායක
පදවිය හෙබවූ රාජකීය පණ්ඩිත විදුරුපොළ පියතිස්ස මහ නාහිමියන්ගේ
උපාධ්‍යායත්වයෙන් උපසම්පදාව ලැබ, යටිරාවණ නාරද නාහිමිපාණන් වහන්සේගේ
ලෝක ශාසනික සේවාවේ කේන්ද්‍රස්ථානය වූයේ මහනුවර දළදා මාලිගාව සමීපයේම
පිහිටි කීර්ති ශී‍්‍ර රාජසිංහ පොත්ගුල් විහාරස්ථානයයි. උතුම් මහ බෝ
සමිඳුන් වෙනුවෙන් කළ අසදෘශ මහා පූජාමය කර්තව්‍යයට අමතරව ලෝක ශාසන දෙකට
අපිරිමිත සේවයක් සිදු කළ රන්වැට සම්පාදකයන් වහන්සේගේ සේවය මතුවටත්
සිදුකරන්නට සමත්කම් ඇති ශිෂ්‍ය පුත්‍රයින් වහන්සේලා කීපනමක් සසුනට
දායාදච කොට තිබීම විශේෂයෙන් අගය කළ යුත්තකි. ඒ අතර වර්තමාන මහනුවර
කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරාධිපති, යටිනුවර සුමන නාහිමි
ප්‍රමුඛ, ඇමෙරිකාව, කැනඩාව, ආදි රටවල ධර්ම ප්‍රචාරක කටයුතුවල යෙදී
සිටින යටිරාවණ ධම්මාරාම, යටිරාවණ, විමල හා කුළුගම්මන ධම්මාවාස යන
හිමිවරුන් මහත් ගෞරව පෙරටුව හඳුන්වා දිය හැකිය.
දෙදහස් පන්සිය පනස් වන බුද්ධ ජයන්තිය නිමිති කරගෙන බුරුමයේ පැවති සවැනි
ධර්ම සංඝායනාවට සහභාගිවීමට ද වරම් ලැබූ නාහිමියෝ බුරුම රජයෙන් “ඡට්ඨ
සංගීතිකාරක” යන ගෞරව නාමය ලබන්නටද කාම්බෝජයට වැඩම කොට එරට
සංඝරාජාරාමයේදී රජුට හා රාජදේවියට පාලි භාෂාවෙන් ධර්ම දේශනා කළ නිසා
“රාජපූජිත” තත්වයට පත්වන්නටද මහා පිනැති විය. ලෝසසුන් වැඩ වැඩු අසහාය
බුද්ධ පුත්‍රයෙකු ලෙසින් මහ මෙහෙයක් කළ නාහිමිපාණන් තම උාදර ශාසනික
ජීවිතයෙන් 1975.12.30 දින සමුගත්තේය. යටිරාවණ නාරද නාහිමිපාණන්ට නිවන්
සුව ප්‍රාර්ථනා කරමු.
සිරි සිදුහත් භික්ෂු පදනම මහ බෝ පදනම සංවිධායක,
මාතලේ විද්‍යානන්ද, පරිවෙනාධිපති
හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාම මහජන විහාරාධිපති ශාස්ත්‍රවේදී
බටුගොඩ සංකිච්චායන හිමි
රද්දොළුවේ විමලවංස නා හිමි
උපතින් සැත්තෑවක් පැවිදිව එක් පනස් වසරක් උපසපන්ව අඩ සියවසක් සපුරන
ශ්‍රී ලංකා අමරපුර නිකායේ අමරපුර පාර්ශ්වයේ අධිකරණ සංඝනායක ධුරයකින්
සම්මානිත ඒ නිමිත්තෙන් සද් පුරුෂ සාධු ගිහි පැවිදි ජනතාවගෙන් මෙම
ජනවාරි මස 18 වැනි දින උපහාර ලැබීමට නියමිත රද්දොළුව ශ්‍රී සුබෝධාරාම
මහා විහාරාධිකාරි ප්‍රවීණාචාර්ය රද්දොළුවේ විමලවංස නාහිමියන් පිළිබඳ
සටහනකි.
රද්දොළුවේ විමලවංස නා හිමි සසුනඹර හොබවන මහ තෙරුන් වහන්සේලා අතර
සුවිශේෂ චරිතයකි. තුරුණු වියේදීම පැවිදිව පානදුර රන්කොත් විහාරයට වැඩම
කොට මහාචාර්ය මොරටුවේ සානරතන අනුනාහිමි, විමලකීර්ති ශ්‍රී පණ්ඩිත
කෙසෙල්වත්තේ චන්දමුනි අනුනාහිමි ආශ්‍රය නිශ්‍රයෙන් හැදුන වැඩුන නිසාම
උසස් භික්ෂු ආකල්පයන්ගෙන් තම දිවිමග පෝෂණය කරගත් සංඝ ශෝභන ගුණයන්ගෙන්
ආදර්ශය සලසන විමලවංස හාමුදුරුවෝ නිහතමානී නිරහංකාර කාරුණික යතිවරයෙකි.
රද්දොළුවේ විසූ වෛද්‍යාචාර්ය පත්තාගේ සලමන් පෙරේරා, තෙල්ගේ චාලට්
පීරිස් දම්පතීන්ගේ පුත්රුවන ලෙස “දයාසෝම පෙරේරා වෛද්‍යතිලක” තුරුණුූ
වියේදීම රද්දොළුවේ අභිනවාරාමයේදී තත් විහාරාධිපතිව වැඩ විසූ රද්දොළුවේ
අරියවංස මාහිමියන් ගේ සහ වත්මන් රද්දොළුව සුබෝධාරාමය සහ අභිනවාරාමය යන
උභය විහාරාධිපති අමරපුර නිකායේ අමරපුර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සභික
රද්දොළුවේ අමරවංස නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යවරයා වශයෙන් රද්දොළුවේ
විමලවංස නමින් පැවිදි බව ලැබීය. ළමා කාලය රද්දොළුවල ශී‍්‍ර පඤ්ඤානන්ද
මහ විදුහලින් හා මිනුවන්ගොඩ නාලන්දා මහ විදුහලින් අ.පො.ස. සා.පෙළ තෙක්
අධ්‍යාපනය ලැබීය. අනතුරුව පානදුර රන්කොත් විහාරස්ථ ශ්‍රී සෞගත
විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා මීරිගම ඉංගී‍්‍රසි ගුරු විද්‍යාලයට ඇතුළත්ව
ඉංගී‍්‍රසි භාෂා ඥානය ප්‍රගුණ කළ උන්වහන්සේ පානදුර සෞගත විද්‍යාල මූලික
පිරිවෙනේ ගුරුවරයෙකු ලෙස ඉගැන්වීම් ක්ෂේත්‍රයට ඇතුළත් වූහ. පසුව
දොරණෑගොඩ සදානන්ද මහ පිරිවෙනේ ඉංගී‍්‍රසි ගුරුවරයෙකු වශයෙන් සිදුකළ
සේවය උදාරය. වසර කිහිපයක් බලගල්ලේ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ
ඉංගී‍්‍රසි උපදේශක කථිකාචාර්යවරයෙකු වශයෙන් ද සේවය කළහ.
මේ අතර සිය ගුරුදේවයන් වහන්සේලාගේ බලවත් ඉල්ලීම අනුව රද්දොළුව ශ්‍රී
සුබෝධාරාම මහා විහාරයට යළි වැඩම කළේ 1978 වර්ෂයේදීය. ඒ ආගමනයෙන්
රද්දොළුව සුබෝධාරාම මහා විහාරයට නව එළියක් ලැබුණි. දායක සිත් සතන්
තුටුවිය. ජනී ජනයා නිරතුරුවම විහාරස්ථානයට ඇදී ආහ. නව සංඝාවාසයක් , දාන
ශාලාවක් අටවිසි බුද්ධ ප්‍රතිමා සහිත බෝධි ප්‍රාකාරයක්, රන්වැටක්,
දෙමහල් පිරිවෙන් ශාලාවක්, දෙමහල් සීමාමාලකයක්, පුස්තකාලයකින්, සමන්විත
තෙමහල් මන්දිරයක්, අඩි 45 ක් උස වාහල්කඩක්, චෛත්‍යය වටා ඇත් පවුරක් ඉදි
වූයේ විස්කම් දෙවිපුත්ගේ ආශිර්වාදය ලැබු විලසිනි. විහාරස්ථානයේ දියුණුව
එසේ සිදු වෙද්දී විහාරාසන්න අත්තනගලු ඔයෙහි නදී සිමාමාලකයක් ඉදිවූයේ,
දිවංගත ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමතිතුමාගේ අනුග්‍රහයෙනි. ඒ අමරපුර
නිකායයේ උපසම්පදා විනයකර්ම සිදු කිරීම පිණිසය. උපසම්පදාවට වැඩම කරවන
ස්වාමින්වහන්සේලාගේ පහසුව සඳහා උදම්මිට පදිංචි නිමල්සිරි සිල්වා මහතා
විසින් පූජා කළ නදී සීමා මාලක භුමිය තුළ විමලාරාමය නමින් විහාරස්ථානයක්
ඉදිකරමින් පවතී. නිකාය භේදයකින් තොරව පළාතේ සියලුම විහාරස්ථානවල කුදු
මහත් ආගමික අවශ්‍යතා ඉටුකර දෙන්නේද නාහිමියන්ගේ මූලිකත්වයෙන්. මේ නිසා
විමලවංස නායක හාමුදුරුවෝ තෛ‍්‍රනිකායික භික්ෂූන්වහන්සේලාගේ ගෞරවාදරයට
පාත්‍රවූහ. නා හිමියන්ට ඕනෑම භාරධුර කාර්යයක් නිර්මාණශීලිව සරලව කළහැකි
බව ක්‍රියාත්මක භාවයෙන් ඔප්පු කොට ඇත. අමරපුර පාර්ශ්වයේ කාරක සංඝ සභික
ධුරයක් ලබා පසුව අමරපුර පාර්ශ්වයේ ලේඛකාධිකාරි ධූරයට පත්වු මුන්වහන්සේ
ස්වනිකාය වෙනුවෙන් සිදුකළ සේවය වදන් වලින් කියා නිම කළ නොහැකිය.
වාර්ෂිකව සිදුකෙරෙන උපසම්පදා විනය කර්මය සියලු ජාතීන්, ආගමිකයන් එකට
එක් කරන ජාතික උත්සවයක් ලෙස සංවිධානය කිරීම නාහිමියන්ගේ සම්භාවනීයත්වය
මොනවට ප්‍රකාශිත වේ.
තෛ‍්‍රනිකායික සාමණේර ආයතනයක් පිහිටුවා , එය මුලික පිරිවෙනක් දක්වා
උසස් කොට, භික්ෂු අධ්‍යාපනය සඳහා සිදුකරන සේවය අතිශය ප්‍රශංසනීයය. සිය
දායක දරුවන්ගේ ධර්මඥානය ආකල්ප, සංවර්ධනය පිණිස ඉරුදින දහම්පාසල, ශ්‍රී
සුගත ඉංගී‍්‍රසි දහම් පාසලද දැයේ දරුවන්ට ලැබුණ ත්‍යාගයන් වෙති.
ඉංගී‍්‍රසි භාෂාවෙහි ප්‍රවීණයෙකු වූ නාහිමියෝ යුරෝපයේ ධර්ම
ප්‍රචාරයෙහිද නිරත වූහ. 1997 වර්ෂයේ ජර්මනියේ බොන් විහාරය පිහිටුවා එය
කේන්ද්‍ර කරගෙන සත්වසරක කාලයක් නෙදර්ලන්තය, එංගලන්තය, සහ ඉතාලිය යන
රටවල විශිෂ්ට ධර්මදූත මෙහෙවරක නිරත වූහ. 2003 දී ඉතාලියේ සිසිලි
දූපතෙහි කතානියා නගරයේ සිසිලි විහාරය ආරම්භ කොට බෞද්ධ අබෞද්ධ ජනතාවට
බුදු දහමේ සිසිල ලබා දුන්හ. ශාසනික කටයුතු කිරිමේදී විමලවංස නාහිමියන්ට
ලංකාව මෙන්ම විදේශය වුව වෙනසක් නැත. නාහිමියන් කොතනද එතැන ආගමික
ප්‍රබෝධය – ප්‍රබුද්ධයන්ගේ එකතුවීම නිරතුරුවම සිදුවිය.
රටට දැයට උතුම් සම්බුදු සසුනට නාහිමියන්ගෙන් සිදුවන සේවය අගයමින්
රද්දොළුවේ විමලවංස නායක ස්වාමින්වහන්සේට නිකායේ ප්‍රධාන පදවියක් වු
අධිකරණ සංඝනායක පදවිය පිරිනැමුවේ මහානායක අනු නායක ස්වාමින්ද්‍රයන්
වහන්සේලා ප්‍රමුඛ ගරුතර සංඝ සභාවේ ඒකමතික ඡන්දයෙනි.
අධිකරණ නායක ධූරය පිළිබඳ අක්ත පත්‍ර ප්‍රදානය 2015 ජනවාරි මස 18 වෙනි
දින පෙරවරු 9.00 ට රද්දොළුව සුබෝධාරාම විහාරස්ථානයේදි අග්ගමහා පණ්ඩිත
මහා මහෝපාධ්‍යාය අම්බලන්ගොඩ ශ්‍රී සුමංගල මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ
ප්‍රධානත්වයෙන් සිදුවේ. දහවල් සැත්තෑනමකට අධික මහා සංඝරත්නය විෂයෙහි සඟ
සතු පුණ්‍ය කර්මයකි.
වරකාපොල මෙත්මුනි විහාරාධිපති
ශාස්ත්‍රපති නින්දානේ චන්දවිමල නාහිමි |