අපවත් වී වසරක් සපිරෙන වැලිගම
ශ්‍රී ඤාණරතන
මහා නා හිමි
රාජකීය පණ්ඩිත
අම්බලන්ගොඩ සුමංගල මහා නා හිමි
“දඹරනින් කළ කාසියක් බඳු ඔහුට කවරෙක් නින්දා කරන්න සමත්වේද? ඔහුට
දෙවියෝත් පසසත්. ඔහු බ්‍රහ්මයා විසින්ද පසසන ලද්දෙකි”.
නිවැරදි දැක්මෙන් යුතු මනා පිළිවෙතෙහි පිහිටි කාය වාග් සංවරයෙන් ඍජු
ගති ඇති ලොව හොබවන සුදනෝ කවදත් විරල වෙති. බුදු මඟ මෙය යැයි තම නුවණින්
තේරුම්ගෙන වත් පිළිවෙත් සරු දිවියක් ගත කරමින් අපිස් දිවියම සැබෑ මහණ
දිවිය යැයි තේරුම් ගත් මහණ උතුමෝ නිකෙලෙස් ගති ඇති උතුමාණන්ගේ ගතිය මේ
යැයි විදහා දක්වති. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවරව අනුමාන වරෙදහි බිය
දක්වන සුළු ගති ඇතිව ශික්ෂා ගරුත්වයෙන් හික්මවාගත් කය වචනය ඇති උතුමෝ
බුදුරදුන්ගේ මඟ සොයා යෑමට වෙර දරන්නෝ වෙති.
මේ අනුව විනය විශාරද ධර්ම කීර්ති ශ්‍රී රාජකීය පණ්ඩිත ශ්‍රී සුමංගල
විද්‍යාවතංශ අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ මහා නායක අතිපූජ්‍ය වැලිගම
ශ්‍රී ඤාණරතන මාහිමිපාණන් මෙකී ගුණ ලක්ෂණ වලින් පිරිපුන් බව උන්වහන්සේ
ලඟින් ඇසුරු කරන ලද්දෝ දනිති. දකුණු ලක වැලිගම පටුන් හි වෙල්ලාලලාගේ
ඕදිරිස් සිල්වා හා බබුන්හාමි මාතාව දෙමව්පියෝ වූහ. 1913 ඔක්තෝබර් 14 වන
දින උන්වහන්සේගේ ජන්ම ලාභය සිදු විය. 1925 දී එළුකැටිය බිම්බාරාමයේදී
මහණ දිවියට ඇතුලත් වී 1933 දී වේරගම්පිට ශී‍්‍ර රේවත ස්වාමින් වහන්සේගේ
උපාධ්‍යායත්වයෙන් උපසම්පදා ශීලයට පත් කරනු ලැබීය. කොළඹ මාලිගාකන්දේ
විද්‍යෝදය මහ පිරිවෙනහි උසස් අධ්‍යාපනය ලබා 1943 දී දෙවුන්දර ශ්‍රී
ධර්ම රක්ෂිත පිරිවෙනේ ආචාර්ය ධූරයට පත් වූහ. 1942 දී පමණ බම්බලපිටියේ
වජිරාරාමයේ පරම පූජ්‍ය පැලෑනේ ශ්‍රී වජිරඤාණ මහා නායක ස්වාමින්
වහන්සේගේ ඇසුරට හා ශිෂ්‍යයකු බවට පත්වීම දිවිමඟ නව මාවතකට යොමු වීමට
සමත්විය. එහිදී ප්‍රාචීන පණ්ඩිත විභාගයෙන් සමත් වූහ.
1950-51 වසරවලදී දඹදිව සීමා සම්මුතියකට හා උසම්පදා විනය කර්මයකට සහභාගි
විය. වියත් ධර්ම දේශක නමක් වූ මා හිමියෝ 1943 සිට ගුවන්විදුලි ධර්ම
දේශකයාණන් කෙනෙකි. 1952 දී ජනපි‍්‍රය දේශකයන් තේරීම සඳහා බලංගොඩ පැවති
ධර්ම දේශනා වාරයකදී බස්නාහිර පළාත නියෝජනය කරමින් පළමු ස්ථානයට පත්විය.
ඉතා ගැඹූරු දහම් කරුණු සරල බස් වරහක් උපයෝගී කරගනිමින් දෙසීමේ අපූරු
හැකියාවක් තිබිණි. දහම් දෙසන විටදී නිතරම මාතෘකාවට අදාලව කරුණු
දැක්වීම තවත් විශේෂ ලක්ෂණයක් වේ.
1954 දී බුරුම රටේදී ජට්ඨ සංඝායනාවට සහභාගි වූ උන්වහන්සේ සංයුක්ත
නිකායේ කොටසක් ශුද්ධ කිරීමේ කාර්යයේ සාමාජිකයෙකුද විය. 1956 දී බුද්ධ
භූමි වන්දනාවකට වැඩම කළ අවස්ථාවකදී බැංගලෝරයේදී සීමා සම්මතයකටද සහභාගි
විය. ධර්ම ග්‍රන්ථ රචනයෙහි නියැළි උන්වහන්සේ සෑම වසරකම පොත් කීපයක්
ලියා මුද්‍රණය කොට ධර්ම දානයේ යෙදුණී. උන්වහන්සේ බැහැදැකීමට යන ඕනෑම
කෙනෙකුට පෙනෙන දෙයක් නම් බණ පොතක් කියවමින් හෝ ලියමින් සිටි බවය. විනය
විශාරද බව පෙන්වීමට කැඩපතක් වන්නේ “කුදුසික විවරණ” නම් විනය ග්‍රන්ථය
පෙන්විය හැක. එසේම ගිහි විනය, දියුණුව, මෙහෙණි සස්න, සංක්ෂිප්ත ධම්ම
පදය ආදී පොත් 80 කට අධික ප්‍රමාණයක් රචනා කොට ඇත.
තම දිවියෙහි 90 වන විය සපුරන විට මහා නා හිමිපාණෝ බෞද්ධ කටයුතු
දෙපාර්තමේන්තුවේ ත්‍රිපිටකය ලිහිල් බසින් ලිවීමේ සම්පාදක මණ්ඩලයේ
සභාපතිවරයාය. එමෙන්ම අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ කමිටු
සාමාජිකයකු වශයෙන්ද කටයුතු කළහ. උන්වහන්සේ ලෝ සසුන් සේවාව සරු කෙරුමට
1959 දී ඩී.ජේ. කොඩිතුවක්කු හේවාමල්ලිකා සාමවිනිසුරු තුමාගේ ධන
පරිත්‍යාගයෙන් රත්මලාන මල්ලිකාරාමය බිහිවිය. මල්ලිකාරාම කාර්ය සාධක
සමිතිය. විශාකා කුලඟන සමිතිය. ගාමිණි තරුණ බෞද්ධ සමිතිය, මල්ලිකාරාම
සරණ පදනම, දහම් පාසල හා පිරිවෙන දැනුදු ක්‍රියාත්මක වේ.
1974 සිට පුරා වසර 19 ක් ශී‍්‍ර ලංකා අමරපුර සංඝ සභාවේ සම ලේකම් ධූරයට
පත් උන්වහන්සේ වසර 19 ක් ඉතා උද්ද්‍යෝගිමත්ව කටයුතු කළහ.අමරපුර මහා සංඝ
සභාව පිහිටුවීම සඳහා පරම පූජනීය මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමියන් සමඟ
කටයුතු කළ බව තතු දන්මෝ දනිති.
කිව යුතු යමක් වේ නම් නිර්භයව ප්‍රකාශ කිරීමට කිසිවිට මැලි වූයේ නැත.
ශාසනික කටයුතු කිරීමේදී කිසිවිටෙකත් වෙහෙසක් හෝ කරදරයක් නොසිතා
සැදැහැබර උවැසි උවැසියන්ගේ අවශ්‍යතා ඉටුකර දුන්නේ මහත්වූ කැපවීමකිනි.
මෙරට බෞද්ධයන්ගේ ප්‍රසාදය දියුණු කරලීම සඳහා නිරතුරු අපමණ වෙහෙසක
යෙදුනු මහා නාහිමිපාණෝ විදේශයන්හි වෙසෙන ශී‍්‍ර ලාංකික බෞද්ධයන්ගේ
ආරාධනාව මත සියමය, බුරුමය, ඇමෙරිකාව, කැනඩාව, සිංගප්පූරුව වැනි
විදේශයන්හිද ධර්මප්‍රචාරයෙහි යෙදීමටද මැලිවූයේ නැත.උන්වහන්සේගේ සේවාවන්
අගය කිරීම් වශයෙන් ලැබුණ සම්මාන අතරට විනය විශාරද සහ ශ්‍රී සුමංගල
විද්‍යාවතංස සම්මානයට උන්වහන්සේගේ විශේෂ ගෞරවයක් තිබිණි. උන්වහන්සේගේ
තිබූ විනයවාදී බවත් එය ප්‍රායෝගිකව ජීවිත කාලය තුළින් පෙන්නුම් කළ
බවටත් සාධකයක් වන නිසාවෙනි.
1956 වසරේදී අමරපුර ධර්මරක්ෂිත නිකායේ සම ලේකම්වරයකු වශයෙන් පුරා වසර
25 ක් කටයුතු කළේය. 1996 දී අමරපුර ශී‍්‍ර ධර්මරක්ෂිත භික්ෂු මහා
සංඝරත්නය විසින් නිකායේ අනුනායක හිමිපාණන්වහන්සේ ලෙස ඒකමතිකව තෝරාගන්නා
ලදී.අනතුරුව ධර්ම රක්ෂිත නිකායේ මහානායක ධුරයෙන් 2003 සැප්තැම්බර් මස
12 වනදා පිදුම් ලැබූහ.
වැලිගම මහා නායක හාමුදුරුවන්ට නිවන් සුව පතමු! |