දුරුතු අව අටවක 2015.01.13
මිනිසත් භවය
මෙලොව මනුෂ්‍ය ජීවිතයක් ලබා ගැනීම දුෂ්කර, දුර්ලභ කරුණකි.
සත්ත්වයා අනන්ත අප්‍රමාණ කාලයක් පුරා සසර ගමනේ ගමන් කරති. එසේ
ගමන් කරන අතරතුර මිනිස් ලොව ඉපදීම මහත් වාසනාවක්ම වේ. භවය පුරා
කලින් කලට ඇවිදින සත්වයා එක් එක් ලොවක එක්වරක පහළ වේ. එසේ උපත
ලබන ලොව දුගතියක් නම් එහි විවිධ දුක්විපාක ලබති. එමෙන්ම
සුගතියක ලබන උපත මඟින් සැපතට පත්වෙති. ඒ අනුව සත්ත්වයා විසින්
කරනු ලබන කර්ම හේතුවෙන් දුකට හෝ සැපතට පත්වන බව බෞද්ධයා වෙත
අමුතුවෙන් පැහැදිලි කළයුතු නොවේ. සත්ත්වයා සසර පුරා ඇවිදිනු
ලබන්නේ භවයට ඇති ඇලීම හෙවත් තෘෂ්ණාව නිසා ය.
මිනිසත් භවයක් ලබා ගැනීම දුර්ලභ නිසාම එසේ ලබාගත් දුර්ලභ වූ
මිනිස් ජීවිතය මඟින් කළ යුත්තේ කුමක්දැයි කල්පනාවට ගත යුතු ය.
අංග සම්පූර්ණ මිනිස් ජීවිතය මඟින් සසර ගමනට මහෝපකාරවන කුසල
ක්‍රියාවන් හැකිතාක් සපුරා ගත යුතු ය. කුසල ක්‍රියා සිදු කළ
යුත්තේ සැප ලබාගැනීමේ අරමුණින්ම නොවේ. සසර දුක ගෙවා නිම කිරීමේ
අපේක්ෂාවද පැවැතිය යුතු ය. පින් දහම් සිදු කිරීමෙන්
නිරායාසයෙන් සැප උදාවනු ඇත. එහෙත් පින් දහම් සිදු කර සැප පැතිය
යුතු නොවේ. ලද මිනිස් ජීවිතයෙන් ඉඩ ලද හැම මොහොතකම කුසලයට
නැඹුරුවීම බෞද්ධයා සතු වගකීම විය යුතු ය.
ඇතැම්විට සමාජයේ ඇතැමෙක් තමාට පින් දහම් සිදු කිරීමට කල් තිබේ
යැයි කල්පනා කරන අයද නැතුවා නොවේ. පින් දහම් කිරීමට කාල
නියමයක් නොමැති අතර ඉඩ ලද හැමවිට පින්කම් කර ගැනීමට
ඉදිරිපත්වීම බුද්ධිමතාගේ ලක්ෂණයයි.
සසර ගමනේ දී මනුෂ්‍යයකු ලෙස උපත ලැබූවත්,පෙර භවයන්හිදී කරන ලද
කුසලාකුසල කර්ම අනුව මේ ජීවිතයේ දී වුවද යම් අඩුපාඩුවක්
පැවැතියද ඒවා සපුරා ගැනීමට පවා ඇති නිසි මඟ නම් හැම විට සිත
කුසලයට යොමු කිරීමය. අපේ ගෞතම මහ බෝධිසත්වයන් වහන්සේ අසංඛෙය්‍ය
හතරකුත් කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි සසර ගමනේ දී සම්මා
සම්බුද්ධත්වයට පත්වීමේ පරම අධිෂ්ඨානයෙන් ක්‍රියා කළ නිසාම
ස්වකීය අදහස මුදුන් පත් කර ගැනීමට සම තිංශත් පාරමී ධර්ම සපුරා
ගැනීමට සසර ගමනේ දිවි පරදුවට තබා ක්‍රියා කළ අයුරු බෝසත්
සිරිතෙන් ආදර්ශය සපයනු ලැබේ.
බෞද්ධයා යනු බුදුරජාණන් වහන්සේගේ දේශනා මාර්ගය අනුව බුද්ධිමත්ව
කටයුතු කරන්නෙකි. එමෙන්ම බෞද්ධයා හැම විට තෙරුවන පිහිට,
පිළිසරණ පතන්නෙකි. බෞද්ධයාට උතුම් තුනුරුවනෙහි සරණ හැර අන්
සරණක් නොමැත. ඒ නිසාම බුදුරජාණන් වහන්සේගේ ජීවමාන බුදුරුවක් තම
හදවතෙහි නිරන්තරයෙන් තැන්පත් කරගෙන කටයුතු කරන්නෙක් ද වේ.
අයහපත් සිතිවිල්ලක් සිහියට නැඟෙත්ම, බුදුරජාණන් වහන්සේ ගැන
අවබෝධයෙන් පසුවන තැනැත්තා ඒ අයහපත් සිතිවිල්ල පවා යටපත් කර ගනු
ලබන්නේ බුදුරජාණන් වහන්සේ තම හදවතෙහි ජීවමානව වැඩ සිටිනවා යන
උදාර අපේක්ෂාවෙන් පසුවන හෙයිනි. කය, සිත, වචනය යන තිදොර
සංවරයෙන් කටයුතු කිරීමෙන් තුනුරුවන වෙත ගෞරවෝපහාර දක්වන්නාසේම
මනුෂ්‍යයාගේ ජීවිතයද ආධ්‍යාත්මික වශයෙන් ද පාරිශුද්ධත්වයට පත්
වෙයි.
එබැවින් අපවිත්‍රව සිතට ගලා එන සිතිවිලි, අරමුණු යටපත් කර ගත
හැකි වන්නේ ද තමා හැකිතාක් බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් උදෙසාම
ළං වූ තරමටය. මේ නිසා එවැනි තැනැත්තාට යහපත, අයහපත හඳුනා
ගැනීමද අපහසු නොවන්නකි. ඒ අනුව යහපත, අයහපත, තේරුම් ගෙන
මනුෂ්‍ය ජීවිතය ගොඩනඟා ගත යුත්තේ ද පෙර කී පරිදි සත්ත්වයා
අනාදිමත් කාලයක් පුරා සසර ගමනේ සැරිසරන හෙයිනි. මෙලොව පමණක්
නොව මෙලොව හැර ගියදාටත් සුගතිගාමී භවයක ලද හැකි උපත ගැන
කල්පනාවෙන් කටයුතු කළ යුතු ය.
බුද්ධිමත් මනුෂ්‍යයා, බෞද්ධයා සැම විට එසේ දෙලොව ගැන සිතා
ක්‍රියා කිරීමෙන් දෙලොව යහපත, අභිවෘද්ධිය උදාකර ගත හැකි බව
කල්පනා කළ යුතු වේ. එසේ ස්වකීය ආධ්‍යාත්මික සුවය උදාකර ගනිමින්
මිනිස් ජීවිතය වටිනා මිනිස් ජීවිතයක් බවට පත් කර ගැනීමට උත්සාහ
කළ යුත්තේ තම තමා විසින්මය. |