බුදුරදුන්
ජීවමානව
වැඩසිටි දවස...
අඳුරු දිවි මඟ පහන් කරගත් භද්දාකුණ්ඩලකේශිය
හේමමාලි නිලාන්ගනී කරුණාරත්න
තරුණ වයස අති ධාවනකාරීය. හැඟීම් සහ බුද්ධිය අප මෙහෙයවනු ලබන බලවේගයන්ය.
බුද්ධිය ඇත්තේ හැඟීම් පාලනය කිරීමට වුවද තරුණ වයසේදී හැඟීම් විසින්
බුද්ධිය පාලනය කරනු ලබයි. මතු පිටින් පෙනෙන දෙය සත්‍යම නොවන බව දිනක
වටහා ගනිද්දී ඔබ ජීවිතයෙන් බැට කා හමාරය.
ආලය, පේ‍්‍රමය පිළිබඳ අතිශය මියුරු සිතිවිලි, කෙළිලොල් තුරුණු වියේදීම
හද තුළට රිංගා, මවුපිය , වැඩිහිටි, ගුරු දෙගුරුන්ගේ රැකවරණය, ආරක්ෂාවද,
ප්‍රතික්ෂේප කර දමමින් මහ සැඩ සුළඟකට හසු වී, විනාශ වී ගිය පරඬැල් පතක්
මෙන් ජීවිතයද සුන්බුන්කොට පලා යන්නේය. තත්ත්වාවබෝධය ලබන විට ඇතැමුන්ගේ
ජීවිත නිවැරැදි කර ගන්නට නො හැකි තරමට වැරැදී ඇත. ආපසු හැරී එන්නට
නොහැකි නම්,ජීවිත ගමනේ නිවැරැදි ඉදිරි මාවතකට යොමු වන්නට හෝ වග බලා ගත
යුතුය. බුද්ධ කාලයේ විසූ භද්දා කුණ්ඩලකේශිය ද එසේ තම අඳුරු ජීවිතය පහන්
කරගත් තරුණ කාන්තාවකි. රජගහ නුවර සිටු මැදුරක යස ඉසුරු සැප සම්පත් මැද
හැදී වැඩුණු භද්දා කුමරිය අතිශය සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ තරුණියක්
විය. සිටු මැදුරේ මෙලෙස භද්දා කුමරිය හැදී වැඩෙද්දී ඇය උපන් දිනයෙහිම
රජගහනුවර පුරෝහිත බමුණාගේ නිවසෙහිද පුතෙක් උපන්නේය. ඔහු උපන් විට මුළු
රජගහ නුවර සියලු තැන්හි තිබූ ආයුධ දිලිසුණාහ. නුවරට සතුරෙක්ව උපන්
බැවින්, ඒ අර්ථයෙන්ම ඔහුට සත්තුක යන නම දෙන ලදී. භද්දා කුමරිය සිටු
මැදුරේ වැඩෙන අතර සත්තුක කුමරු පෙරෙවි බමුණූ මැදුරෙහි වැඩුණේය. සොරකම
තම ජීවිතය කොට උපන් සත්තුක කුඩා වියේ සිටම ඒ සඳහා පෙළඹුණි. ළමා කාලයේදී
අන් දරුවන් සමඟ ක්‍රීඩාවේ නිරතව සිටින සෑම අවස්ථාවකදීම අසල්වැසි
දරුවන්ගේ ක්‍රීඩා භාණ්ඩ සියල්ල සොරකම් කරගෙන විත් තම නිවසේ සඟවා ගැනීම
සත්තුකගේ සිරිත විය. සත්තුකගේ මවුපියන් සත්තුක හොරකමින් මුදා ගැනීම
උදෙසා බොහෝ අවවාද දුන්හ. දඬුවම් දුන්හ.
එහෙත් ඒ කිසිවකින් හෝ ප්‍රයෝජනයක් නොවීය. අවසානයේ මවුපියන් විසින් ඔහු
තම නිවසින් නෙරපා හරින ලද්දේය. සත්තුක ද පලා ගොස් සොරකමින් ජීවත් විය.
ඔහු තරුණ වියට එළඹි කල ප්‍රදේශයේ ඉතා ප්‍රසිද්ධ සොර දෙටුවකු බවට
පත්විය. සත්තුක පිළිබඳ තොරතුරු රජුටද සැලවිය. රජු විසින් ඔහු අල්ලාගෙන
එන ලෙස රාජපුරුෂයන්ට අණ කළේය. රාජපුරුෂයන් විසින් අල්ලා ගත් සත්තුකට කස
පහර දහසක් දී මරා දමන ලෙස රජු නියෝග කළේය. රාජ පුරුෂයන් විසින්
වධකස්ථානයට ගෙන යන සත්තුකව භද්දා කුමරියගේ ඇස ගැටුණි. බොහෝ තරුණ සිත්
තුළ මෙන් දුටු ගමන් ඇතිවන ප්‍රේමනීය හැඟුමක් භද්දා කුමරියගේ සිත තුළද
සත්තුක කෙරෙහි උපන්නාය. දුටුව ගමන් බැඳෙන සිත් බිඳී යන්නටද එතරම් කලක්
ගත වන්නේ නැත. භද්දා කුමරියට සිදු වූයේද එයය. සත්තුකගේ බාහිර පෙනුමට
වසඟ වූ භද්දා කෙසේ හෝ ඔහු ඉන් බේරා ගෙන තම සැමියා කොට පාවාදෙන මෙන්
මවුපියන් හට දැන්වීය. සත්තුක වැනි සොර දෙටුවෙකු තම බෑණනුවන් කර ගැනීමට
අකැමැති වූ මවුපියන්, සොරා සමඟ ජීවත් වීමෙන් තම දියණියට සිදුවන අනර්ථයද
වටහාගෙන භද්දාවගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. එහෙත් භද්දාවෝ තම මතයෙහි
දැඩිව එල්බගෙන සිටියාය. ඔහු වෙනුවෙන් මිය යන්නට වුවද ඇය සූදානම්ය.
භද්දා යනු සංසාරිකව රැගෙන ආ කුසල් බලයෙන් යුක්ත වූ නැණැති තරුණියකි.
එහෙත් ආශාව නමැති අඳුරු තිමිර පටලයෙන් ඇගේ නුවණ වැසීගොස් තිබුණි. කෙසේ
හෝ තම අරමුණ මුදුන්පත් කර ගැනීම උදෙසා ඇය නොකා නොබී ඇඳටම වී උන්නාය.
භද්දාගේ අකීකරු සිත මවුපිය සෙනෙහසින් අයුතු ප්‍රයෝජන ගත්තාය. තම එකම
දියණිය සිය දෑස් ඉදිරියේ විනාශව යනු දැකීමට අකැමැති වූ මවුපියන් ඇගේ
ඉල්ලීමට එකඟ විය. සත්තුක බේරා ගැනීම උදෙසා උපක්‍රමයක් සිතූ සිටුතුමා
විශ්වාසී පුුරුෂයකුගේ අත, සිටුතුමාගෙන් යැයි පවසා” මසුරන් දහසක් භාරගෙන
සොරාව අපට භාරදෙව“යි නගර ගුත්තික ඇමැතියා වෙත හසුනක් යැවූහ. මසුරන් දහස
පිළිගත් ඇමැතියා රාත්‍රි වන තෙක් සොරා ඒ මේ අත ඇවිද්දවා සොහොන් පිටියට
හිරෙන් මිනිසෙක් ගෙන්වා වධ බන්ධන ඇඳුම් ඔහුට අන්දවා මරණයට පත්කොට
සත්තුක සොර දෙටුවා නිදහස් කොට රාත්‍රියේම සිටු මැදුර වෙත පිටත් කළේය.
මාලිගයට පැමිණි සත්තුකද හිස් සෝදා නා පිරිසුදුවී සිටු ඇඳුම් ඇඳ භද්දා
කුමරිය වෙත පැමිණියේය. “මා විසින් ඉතා දුකසේ ලබා ගත් ස්වාමියා රැක
ගනිමියි” සිතූ භද්දාවෝ එතැන් සිට සත්තුකට ඉතා සුවච කීකරු භාර්යාවක
වූවාය.
එහෙත් ඇගේ පේ‍්‍රම විජිතය පැවැතියේ ටික දිනක් පමණි. ජන්මෙට වඩා පුරුද්ද
ඉස්මතු වී සත්තුකට දැන් ගත කරන සිටු ජීවිතයට වඩා හුරුපුරුදුව සිටි චෞර
ජීවිතය අගනේ යැයි සිතෙන්නට විය. කුමරිය සතු වටිනා ආභරණද රැගෙන නැවත පලා
ගොස් සුපුරුදු ලෙස නිදහසේ ජීවත් විය යුතු යැයි සිතු සත්තුක ඒ සඳහා
උපායක් කල්පනා කළහ. ඒ අනුව දිනක් ඔහු භද්දා කුමරියට පවසන්නේ, රාජ
පුරුෂයන් විසින් තමා අල්ලා ගත් දිනයෙහි චෞර ප්‍රපාතයෙහි දේවතාවා සිහිකර
භාරයක් වූ බවය. තම දිවි සුරැකී බැවින් එම භාරය ඔප්පු කිරීම සඳහා යා
යුතු බවද කියා සිටියේය. සත්තුකව දැඩි සේ විශ්වාස කළ භද්දා, පසුදින භාරය
ඔප්පු කිරීමට යෑමට සූදානම් වූවාය. තමා සතු සියලු ස්වර්ණාභරණයෙන් පැළඳ
පර්වතයට යා යුතු යැයි සත්තුක පැවසූ හෙයින් භද්දා කුමරියද
ස්වර්ණාභරණයෙන් විභූෂිත වූවාය. කුමරිය බිළියම් බඳුන ගෙන සත්තුක සමඟ
වෙනම රියකින් පිටත් වූ අතර සිටුතුමා ඔවුන්ගේ ආරක්ෂාව පිණිස තවත්
පිරිසක් වෙනත් රියකින් ඔවුන් සමඟ යවන්නට කටයුතු සංවිධානය කළේය. එහෙත්
සත්තුකගේ අභිප්‍රාය සඵල කර ගැනීමට නම් භද්දා කුමරිය හුදකලාවම පර්වතය
මුදුනට රැගෙන යා යුතුය. එනිසාම සත්තුක විසින් පිරිවර ජනයා කඳු පාමුල
නතර කොට භද්දා කුමරිය පමණක් පර්වතය මුදුනට රැගෙන ගියේය.පර්වතයේ එක්
පැත්තක් මිනිසුන්ට නැගිය හැකි ලෙස පිහිටා තිබූ අතර පර්වතයේ අනෙක් පැත්ත
ඉතා බිහිසුණූ ප්‍රාපතයකින් යුක්ත විය. පර්වත මස්තකයට පැමිණි කල ඉතා
වෙහෙසට පත්ව සිටි කුමරිය සිය විශ්වාසවන්ත සැමියාට පවසන්නේ ඔහුගේ භාරය
ඔප්පු කරන ලෙසය. එහෙත් සිදු වූයේ භද්දාවෝ සිහිනෙකින්වත් ප්‍රාර්ථනා
නොකළ දෙයකි. සිය අඳුරු ජීවිතයට ආලෝකය ලබා දුන් මේ සොඳුරු ගැහැනියගේ
ජීවිතය විනාශ කිරීම කෙලෙහි ගුණ නොදත් අඥාන මිනිසාගේ අරමුණ විය. සත්තුක
වැනි කුහක මිනිසුන් අද සමාජයේද බහුලව දැකගත හැකිය. ජීවිතයේ වල්මත් වී
හසරක් නොදැක ඉබාගාතේ ගිය ජීවිතය තම සෙනෙහසින් ආලෝකයක් කරා රැගෙන ගියද,
ඒ සෙනෙහස පිදූ ගැහැනියගේ ජීවිතයම අඳුරු කොට පලාගොස්, තව තවත් අඳුරේ
ගිලි ජීවත්වන මිනිසුන් මේ සමාජය තුළ කොතෙක් නම් ඇත්ද ? මුල සිටම එවැනි
මිනිසුන් හඳුනාගෙන ඔවුන්ගෙන් ඈත්ව ජීවත්වීමට ගැහැනියකට නුවණක් තිබිය
යුතුමය. හැඟීම් වලින් නොව බුද්ධියෙන් තම ජීවිතය පිළිබඳ තීරණ ගත යුත්තේ
එබැවිනි.
‘මට බිළියමින් , ප්‍රයෝජනයක් නැත. තී මරා ආභරණ රැගෙන පලා යෑමේ අදහසින්
මම තී මෙහි රැගෙන ආවෙමි” .
සත්තුකගේ කුරිරු වදනින් භද්දා කුමරියගේ හදවත දෙදරා ගියේය. තමා නොමරා
සිය ආභරණ සියල්ල රැගෙන යන ලෙස කොතෙක් කන්නලවු කළද සත්තුක ඒ කිසිවකින්
සැලුණේ නැත. ඔහුට අවශ්‍ය වූයේ ඇය මරා දැමීමටය. ආල හැඟුම් වලින් මුලාවට
පත්ව සිටි භද්දාට පියවි සිහිය ලැබුණේය. එතෙක් වැසී තිබූ නුවණැසද
පෑදුණේය. හැඟීම් යටපත් වී බුද්ධිය ඇගේ හදවත ආමන්ත්‍රණය කරන්නට විය.
කෙලෙහි ගුණ නොදත් අඥාන පුරුෂයාගෙන් ගැලවී යන්නට ඇයට ඇයගේම බුද්ධිය මග
කියා දුන්නේය. අනුන්ට කැපූ වලේ තමන්ටම වැටී විනාශ වන්නට සත්තුකට සිදු
විය. මෙතෙක් කල් සෙනෙහස දැක්වූ ආදරණීය ස්වාමිපුරුෂයා හට මිය යන්නට පෙර
ගෞරව දැක්විය යුතු යැයි පවසා ඒ සඳහා අවසර ඉල්ලා ගත් භද්දා කුමරිය,
තුන්වටක් ඔහු පැදකුණු කොට අවසාන වටයට පිවිසෙනවාත් සමඟම ඇයට පිටුපා සිටි
සත්තුකව ප්‍රපාතයෙන් පහළට හෙළුවාය. තමන්ට වසඟ වී සිටි පණ මෙන් ආලය කළ
ගැහැනියම මෙසේ තම ජීවිතය විනාශ කරාවි යැයි සත්තුක කිසි විටකත් සිතුවේද
නැත. ඔහුට ඒ පිළිබඳ සිතන්නට වේලාවක් තිබුණේද නැත. පවුකාරයෙකුගේ ජීවිතය
නැති වී ගියද, භද්දා කුමරිය ඒ පිළිබඳ සසල නොවුවාය. දෙමවුපියන්ටද අකීකරු
වී තම සිතැඟිවලට වසඟ වී ගත් තීරණය මෙසේ තම දිවිය අඳුරකට ඇඳ දමාවී යැයි
ඇය කිසි විටකත් නො සිතුවාය. යළි ආපසු නුවරට ගොස් මවුපියන් බැහැදැක
ඔවුන්ගේ පාමුල වැටී සමාව ඇයැද සිටීමට සිත් වුවත්, යළි නුවරට යෑම කළ නො
හැක්කක් බව වැටහී වේදනාවෙන් වුවද අතීතය වළ දා අලුත් ජීවිතයක් ආරම්භ
කරමියි අදිටන් කර ගත්තාය. ඒ අනුව පර්වතය පහළට බැස පටු පිය මඟක් දැක, ඒ
ඔස්සේ ගොස් නිගණ්ඨාරාමයකට පිවිසියාය. එහි විසූ පරිබ්‍රාජිකාවන් වෙතින්
පැවිද්ද ඉල්ලා ගත් ඇය එතැන් සිට නිගණ්ඨ ශ්‍රාවිකාවක් ලෙස කල් ගත කළාය.
ශරීරයට අධික දුක් දීමෙන් ශරීර අභ්‍යන්තරයෙහි ඇති ආත්මය දමනය වන බව
නිගණ්ඨ ධර්මය වේ. ඒ අනුව ඇයද නිගණ්ඨ දහමට අනුව ජීවත් විය. ඇගේ හිසෙහි
කෙස් ඉගිලූ තැනින් තැන කේශයෝ යළිත් පැණ නැගුණූ අතර ඒවා අගින් වක්ව
කරකැවී ගුලි ලෙස පිහිටියාය. ඒ නිසාම භද්දාවෝ පසු කලෙක කුණ්ඩලකේශි නමින්
ප්‍රසිද්ධ විය. එපමණක් නොව කථිකත්වයෙහිද දක්ෂ වූ ඇය අන්‍යයන් සමඟ වාද
කරමින් ගම් නියම්ගම් හි සැරිසරමින් ජීවත් වූවාය. මෙසේ වාද කරමින් යන
ඇයට එක් දිනක් සැරියුත් තෙරුන්වහන්සේ හමු විය. උන්වහන්සේ සමඟ ද වාදයකට
මුල පිරූ කුණ්ඩලකේශී පරිබ්‍රාජිකාව එයින් පරාද විය. වාදශීලි බව පිළිබඳ
ඈ තුළ තිබූ මානය දුරු වී ගිය අතර ඇය බුදුදහම ද වැළඳ ගත්තාය. පසුව
පැවිදි දිවියට පත් වූ කුණ්ඩලිකේශී තෙරණිය නුවැණැති වූ බැවින් කෙටි
කලකින් ධර්මය අවබෝධ කොට ගෙන සිවු පිළිසිඹියාපත් රහත් භාවයට පත් වූවාය.
පසු කලෙක බුදු සසුනේ යුහුව ලබන අභිඥා ඇති භික්ෂුණීන්ගෙන් අග්‍රස්ථානය
ලැබුවේද ඇයමය. |