UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තම අඩුපාඩු දෙස බලන්න

තම අඩුපාඩු දෙස බලන්න

 

නමො තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නපරේසං විලෝමානි
නපරේසං කතා කතං
අත්තනොව අවෙ ක්කෙය්‍ය
කථානි අකථානිච

පින්වත්නි

අනුන්ගේ අඩු පාඩු නොසොයා නොබලා කතා නොකොට තමාගේ අඩුපාඩු සොයා බලා මැනවින් ඉටු කරන්න.

එය දෙලොව දියුණුවට හේතුවෙති.

ඈත අතීතයේ රජගහනුවර සිටු පවුලක් විසූහ. අසූ කෝටියකට වඩා ධනය ඇත්තන් සිටුවරුන් ලෙස හඳුන්වති. එම සිටු පවුලටද විශාල ධනයක් තිබුණි. එහෙත් ඒ ධනයට අයිතිවාසිකම් කීමට ඔවුන්ට දරුවන් නොමැත. දරුවන් නොමැති වීම සිටු පවුලට පිරිමැසිය නොහැකි පාඩුවකි. එම පාඩුව මකා ගැනීම සඳහා දරුවන් පතා නොයෙක් භාරහාර පුද පුජාද නොඅඩුව පවත්වන ලදී.

අසල්වාසීන්ගේ අවලාද වචන වරින්වර අසන්නටද ලැබුණේය. ඒ ගැනද උරණ නොවී සිටින මේ සිටු බිරියගේ කුස තුළ දරුවෙක් පිළිසිඳ ගත්තේය. ඒ ගැන සතුටින් ජීවත්වෙන සිටු බිරියට ඉතා සිත්ගන්නා පිරිමි දරුවෙක් උපන්නේය. ඒ දරුවා ඉතා හොඳින් රැක බලා ගෙන වැඩෙන අතර විශාල ධනයක් මොවුනට ඇති හෙයින් කිසිම ශිල්ප ශාස්ත්‍රයක්ද එම දරුවාට ඉගැන්නුවේ නැත. නූගත් දරුවා සැපසේ හොඳින් වැඩුණි. තරුණ වියටද පත් විය. තරුණ වියට පත් දරුවාට තරුණියක්ද විවාහකර දුන්නේය. මේ තරුණිය උගත් අයෙකි. නූගත් සිටුකුමරා මුදල් පිළිබඳ කළමනාකාරිත්වයක් නොදත් බැවින් හිතුමනාපෙට මුදල් වියදම් කළේය. කල්යාමේදී එම සිටු දෙමහල්ලෝද මිය ගියහ. දෙමාපියන් සතු ධනයට මේ සිටු කුමරා හිමිකරුවා විය.

පවිටු මිතුරන් ඇසුරට වැටුන ඒ කුමරා මව්පියන් සතු ධනයද විනාශ කරන්නේය. එම තරුණ බිරියටත් පිරිමි දරුවෙක් උපන්නේය. එම මව මේ දරුවාට හොඳින් ඉගැන්නුවාය. තම සැමියා හදා ගැනීමට කොතෙක් අවවාද කළත් නොහැකි වූ විට මේ තරුණ බිරිය බත් මුලක් බැඳ කහවනු හාර සියයක් සමඟ බත් බුලත් තම සැමියා අතට දී මේවාත් රැගෙන ඕනෑම තැනකට යන ලෙසත් තමා හොඳට හැදුන දාක ආපසු නිවසට එන ලෙසත් පවසා නිවසින් තම සැමියා පන්නා දැම්මාය.

සිටු කුමරාත් උරණ නොවී එම බත් මුලත් මුදලුත් රැගෙන නිවසින් පිට වී ගියේය. රෑ බෝ වෙන තුරු හිස හැරුණ තැන ගිය සිටු කුමරා රාත්‍රියේ නවාතැන් ගැනීමට අම්බලමකට ගියේය. තමා හුදකලාවේ අම්බලමේ නැවතී සිටින විට තවත් ආගන්තුකයෙක් එම අම්බලමට නවාතැන් ගැනීමට පැමිණියේය. ඒ දෙදෙනාම එකතුවී සිටු කුමරා රැගෙන ගිය බත් මුල ලිහාගෙන භුක්ති විඳ ආ ගිය තොරතුරු දෙදෙනාම කථා කරන්නට විය.

දෙවැන්නා සිටු කුමරාගෙන් තමා කොහේ යන්නේදැයි ඇසූ විට රැකියාවක් සොයාගෙන යන්නෙමි කීවේය. තමන් කොහේ යන්නේදැයි සිටුකුමරා ඇසු විට දියුණු වෙන අයට උපදෙස් දෙන්නේයැයි දෙවැන්නා කීවේය. එසේනම් මටද දියුණු වීමට උපදෙසක් දෙන්නැයි කීවේය. තමාගේ උපදෙස් වටිනා බවත් එකකට කහවනු සියයක් ගන්නා බවත් උපදෙස් කරු කී විට කහවනු සියයක් දී උපදෙසක් සිටුකුමරා ලබා ගත්තේය.

”පිට පළාතකට ගිය විට තම තනතුර ගැන නොසිතන්න” කීවේය.

මේ උපදේසයට එතරම් කැමත්තක් නොදැක්වු සිටුකුමරා තවත් උපදේසයක් පැතීය. ඒ සඳහාත් කහවනු සියයක් ගත් උපදෙස් කරු “කෙටි මගින් නොයන්න. හරි මග යන්න.”

එම උපදේසයටත් සිටු කුමරා කැමැත්තක් දැක්වූයේ නැත. ඉතිරි කහවනු සියයත් දී තවත් උපදේසයක් ලබා ගත්තේය.

“කනින් ඇසු දේ පිළි නොගන්න. ඇසින් දුටු දේ පිළිගන්න.”

මේ වටිනා උපදේස හතර ලබාගත් සිටු කුමරාත් උපදෙස් කරුත් දෙදෙනාම රාත්‍රියේ අම්බලමේ නිදා ගත්තා. පසු දින අවදි වූ දෙදෙනාම ඔවුනොවුනට සුබ පතාගෙන දෙදෙනාම මාර්ගයේ දෙපැත්තට යන්නට ගියහ.

සිටු කුමරා මද දුරක් ගිය විට ඔහුට අණබෙර හඬක් ඇසුණේය.

“අසව් , අසව් මේ කුලහීනයාගේ මළ කුණවළ දැමූ අයට ගම්වරයක් හා කහවනු දහසක් දෙන්නෙමි”මේ රාජ ආඥාවයි.

මීට සවන් යොමු කළ සිටු කුමරා උපදේස කරුගේ උපදේසයක් සිතට ගෙන තනතුරු ගැන නොසිතා අණබෙරය නවත්වා ඔහුත් සමඟ රජ මැදුරට ගොස් විස්තර අසා දැන ගෙන උදැල්ලක් රැගෙන ගොස් වළ කපා කුලහීනයා වළ දමා ඒ බව රජතුමාට දැන්වූ විට රජුගෙන් කහවනු දහසක් ගම්වරයත් එහි ඔප්පුවත් සිටු කුමරා ලබා ගත්තේය.

සිටු කුමරා දැන් උපදෙස් කරුගේ මේ උපදේසයෙන්ම කහවනු දහසක් හා ගම්වරයක්ද ලබාගෙන සෑහීමකට පත්වී තම දරුවාත් බිරියත් නිවසත් ගැන කල්පනා කොට ආපසු රජගහනුවරට යන්නට සිතා මගට බැස්සේය. මඳ දුරක් යන විට ඔහුට රජගහනුවරට යන වෙළෙඳ කණ්ඩායමක් හමුවිය. ඔවුන් ද සමඟ කථාකරමින් යන විට වෙළෙදුන් නුපුරුදු කෙටි මාර්ගයකින් යන්නට විය. සිටු කුමරා ප්‍රශ්න කළ විට එය රජගහනුවරට අප යන කෙටි මාර්ගයක් බවත් එයින් ඉක්මනට යා හැකි බවත් ඔවුන් කී විට උපදේස කරුගේ උපදේසය සිහි වී කෙටි මගින් නොයන ලෙසත් හරි මගින් යන්න එන ලෙසත් සිටු කුමරා කීවත් වෙළෙදුන් කෙටි මගින්ම ගියහ.

කෙටි මගින් ගිය වෙළෙද කණ්ඩායමට මං පහරණ හොරුන් මුණ ගැසී වෙළෙද භාණ්ඩත් ගැලුත් පැහැරගෙන වෙළෙදුන්ගේ අතපයත් කඩා දමා පන්නා ගත්හ. වෙළෙදුන් අත පය කඩාගෙන හිස් අතින්ම රජගහනුවරට ගියහ.

පසුව රජගහනුවරට ගිය සිටුකුමරා වෙළෙදුන්ට සිදුවු විපත ගැන දුක්වී තමාගේ උපදේසය නොපිළිගැනීම නිසා විපත සිදුවී බැව් පවසා සිටුකුමරා තම නිවස බලා යන්නට විය. ඒ යන අතර මගදී කුමරා හඳුනන අයෙක් මුණ ගැසී තම නිවෙසේ තොරතුුරු දැන ගන්නට ලැබීය. යහලුවාගෙන් දැන ගන්න ලැබුණේ තම තරුණ බිරිය වෙනත් තරුණයෙක් සමග වාසය කරන බවයි. එහෙත් කනින් ඇසූ දෙය නොපිළිගන්නා ලෙසත් ඇසින් දුටු දේ පිළිගන්නා ලෙසත් උපදෙස් කරු දුන් උපදේසය සිහිකරමින් යන විට තම නිවසේ සිටි ඒ තරුණයා අන්න අපේ තාත්තා එනවා කියමින් තමා ඉදිරියට දුවගෙන ආ තම පුතා තමා වැළඳ ගෙන සිප ගත්තේය. දරු සෙනෙහස උපන් සිටු කුමරා තම හම්බ කරගෙන ආ කහවනු දහස පුතු අතටදි දරුවාද සිප ගත්තේය. තම තරුණ බිරියද දුවගෙන විත් තමා පිළිගත්තාය. බිරිය අතට ගම් වරයේ ඔප්පුව බාරදි සතුටින් තිදෙනාම නිවසේ වාසය කළහ.

 

ඉල් මස අව අටවක පෝය

 ඉල් මස අව අටවක පෝය නොවැම්බර් මස 14 වැනිදා සිකුරාදා පූර්වභාග 07.32 ට ලබයි. 15 වැනිදා සෙනසුරාදා පූර්වභාග 10.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 14 වැනිදා සිකුරාදායි.

මීළඟ පෝය නොවැම්බර් 22 වැනිදා සෙනසුරාදා ය
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 14

Full Moonඅමාවක

නොවැම්බර් 22

First Quarterපුර අටවක

නොවැම්බර් 29

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 06


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]