ඉල් අව අටවක 2014.11.14
දිවි ගමන පුරා
අමතක නොවන පින්කමක්
සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පරිනිර්වාණ තුනක් සිදුවන බව
සඳහන් වෙයි. ක්ලේශ පරිනිර්වාණය, ස්ඛන්ධ පරිනිර්වාණය සහ ධාතු
පරිනිර්වාණය යනුවෙන් එය දැක්වේ.
සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේ එදා වයසින් තිස් පස් වන
වියෙහිදී ගයාවේ බෝධි මූලයේ දී සියලු කෙලෙසුන් දුරුකර ලොව්තුරා
සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් ක්ලේශ පරිනිර්වාණයට පත්වූහ.
සම්මා සම්බුද්ධත්වයට පත්ව පුරා පන්සාළිස් වසක් මුළුල්ලෙහි ලෝක
සත්වයන් වෙත පතළ මහ කරුණාවෙන් ලෝ සතුන් සසර කතරෙන් එතෙර කරවූහ.
ඒ බුදුරජාණන් වහන්සේ අසුවන වියෙහිදී මල්ල රජදරුවන්ගේ උපවත්තන
සල් උයනේදී පිරිනිවන් පා වදාළහ. ඒ ස්ඛන්ධ පරිනිර්වාණයයි. ශාසන
අන්තර්ධානයේ දී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ
සියල්ලම ඒකරාශී වී බුදුරජාණන් වහන්සේ හා සමාන බුද්ධරූපයක් මැවී
මොහොතක් ධර්මය දේශනා කර නැති වී යන දවස ධාතු පරිනිර්වාණය ලෙස
සඳහන් වෙයි.
ගෞතම බුදුපියාණන් වහන්සේ දේශනා කර වදාළ ශ්‍රී සද්ධර්මය ජීවමානව
පවතී. උන්වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා ජීවමානව වැඩ
සිටිති. ඒ නිසාම ජීවමාන බුදුරජාණන් වහන්සේ වෙත සිදු කරන
බුද්ධෝපස්ථානයක් ලෙස බුද්ධ පූජාවක් ලෙස අතීතයේ මෙන්ම අදත්,
බුදුරජාණන් වහන්සේ උදෙසා ශ්‍රද්ධා ගෞරවයෙන් ලෝකවාසී බෞද්ධ මහ
ජනතාව පුදසත්කාර සිදු කරනු ලැබේ. “යමෙක් ධර්මය දකීද? හේ මා
දකී” යන බුද්ධ දේශනාවට අනුව බුදුරජාණන් වහන්සේගේ ධර්මය තිබෙන
තාක්කල් ඒ උතුම් ශ්‍රී සද්ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේ
දකිනු ලැබේ.
බුදුපියාණන් වහන්සේ පිදීම සඳහා උන්වහන්සේ ජීවමාන කාලයේදීම
උන්වහන්සේ ලබාදුන් කේශ ධාතු නිධන් කර චෛත්‍ය හෙවත් ස්ථූප කරවා
උන්වහන්සේ පිදීමට කටයුතු කළේ ය. බුදුරජාණන් වහන්සේ ජීවමාන
කාලයේ දී මෙන්ම උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ආදාහනයෙන්
ලබාගත් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා ලබාගෙන බුද්ධෝපස්ථාන
සිදුකිරීමට ඒදා විසූ ජනතාව මහත් උනන්දුවක් දැක්වූයේ ය. ඒ නිසාම
බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අට කොටසකට බෙදා වෙන් කර
තැන්පත් කිරීම සඳහා ඒ ඒ ජන කොටස් වෙත ලබාදුන් හෙයින් එම ධාතුන්
වහන්සේලා පෙරහර සහිතව වඩමවා ගෙන යමින් ධාතු පූජාවන් සිදු කළ
අයුරු බෞද්ධ ජනතාව දැනුම්වත්ව සිටිති. අනතුරුව එම ධාතු චෛත්‍යය
මඟින් එම ධාතුන් වහන්සේලා නැවැත ලබාගෙන චෛත්‍ය අසූහාර දහසක්
ඉන්දියාව පුරා ගොඩනැංවූයේ ධර්මාශෝක මහ රජතුමා විසිනි.
බුදුරජාණන් වහන්සේගේ ඥාතීන් වෙත ලැබුණු ධාතුන් වහන්සේලාගෙන්
ඇතැම් කොටස් අපේ රටට අදටත් ලැබී තිබේ. ඉන්දියාවේ මෙන්ම නොයෙක්
ස්ථානවල ද ඒ ධාතුන් වහන්සේලා වැඩ සිටිති.
අපේ රටේ ඉතිහාසය තුළ විශේෂයෙන් අනුරාධපුර රාජධානි සමයේ දී
ඉදිකරන ලද චෛත්‍යය හෙවත් ස්ථූප අදටත් අපේ ඓතිහාසික අනුස්මරණීය
සාධක ලෙස සමස්ත ලෝකවාසීන්ගේම අවධානයට යොමුවන්නකි. අතීත රජවරුන්
කළ ඒ ස්ථූප පූජා අදටත් අප මහා සැනසිල්ලකට යොමු කරවන ඓතිහාසික
පූජනීය ස්ථානයන් වේ. එදා චෛත්‍යය නිර්මාණය කළ ඔවුන් තුළ පැවැති
සැදැහැවත් බව මෙතරම් යැයි කියා හෝ ලියා නිම කළ නොහැකි වේ.
ස්ථූප නිර්මාණය රටේ සශ්‍රීකත්වය දියුණුව පිළිබිඹු කරන කරුණක්
මෙන්ම ආධ්‍යාත්මයද පිළිබිඹු කරන කරුණක් ද වනු ඇත.
අද සිදු කෙරෙන ඓතිහාසික ස්ථූප නිර්මාණය ද තවත් වසර සිය දහස්
ගණනක් අපේ ප්‍රෞඪත්වය, සැදැහැවත් බව අනාගතයට කියාපාන උදාර
නිර්මාණ වනු ඇත. තිස් වසරක් පුරා අප රට වෙළා සිටි ත්‍රස්තවාදී
යුද්ධය වත්මන් ජනාධිපතිතුමාගේ මානුෂීය මෙහෙයුමේ ශක්තියෙන්
මුදාගැනීමට හැකිවීම රටේත් සමස්ත ජනතාවගේත් වාසනාවකි. යුද බිය
දුරුකළ රාජ්‍ය නායකයාණන්ගේ සංකල්පයකට අනුව අනුරාධපුර සඳහිරු
සෑය ඉදිකිරීම් 2010 වසරේදී ආරම්භ කැරිණි. රාජ්‍ය ආරක්ෂක හා
නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ
මඟ පෙන්වීම යටතේ ඉදිකිරීම් ආරම්භ කැරිණි.
සඳහිරු සෑයේ ශ්‍රී සර්වඥ ධාතු නිධානෝත්සවය නිමිත්තෙන් එහි
පැවැත්වෙන ඓතිහාසික ආගමික කටයුතු සඳහා රට පුරා වෙසෙන බෞද්ධ
ජනතාව සිය අවධානය යොමුකර ඇති බව පෙනේ. සිංහල රජ දවසින් පසු ඉදි
කැරෙන එම ඓතිහාසික ස්ථූපයේ ධාතු නිධානෝත්සවයට සහභාගි විය හැකි
නම් අපගේ ජීවිත කාලය පුරා අමතක නොවන අනුස්මරණීය පින්කමකට අපි ද
සහභාගිවූයේ යැයි ඒ මඟින් මහත් සැනසිල්ලක් අත්වනු ඇත. |