ගාල්ල කලේගාන චේතියගිරි පුරාණ විහාරය මහනුවර නුගවෙල බටුඅඹේ
චේතියගිරි විහාරය යන
උභය විහාරාධිපති ධම්මරතන වංසාවතංස මහෝපාධ්‍යාය ගෞරව ශාස්ත්‍රවේදී
බෙලිගල්ලේ ජිනවංස මහා නා හිමි
ගා/කලේගාන පියතිස්ස මහා විද්‍යාලයේ ආචාර්ය,
ගාල්ලේ ඇත්තිලිගොඩ ශ්‍රී ජිනේන්ද්රාරාමවාසී,
ශාස්ත්‍රපති
නාඔටුන්නේ නන්දරතන හිමි
විචිත්‍ර ධර්ම සන්නිවේදක කාර්යයක් ඉටු කරන නාහිමිපාණෝ ශ්‍රී ලංකා
ගුවන්විදුලි සංස්ථාව මඟින් ප්‍රචාරය කරනු ලබන ආගමික කටයුතුවලට සම්බන්ධව
ක්‍රියා කළහ. විවිධ ධර්ම ශාස්ත්‍රීය සඟරා ආදියට නාහිමිපාණෝ බහුලව ලිපි
රචනා කර ඇත. ගාලු කඩවත් සතර ශාසනාරක්ෂක මණ්ඩලය, ගාල්ල තරුණ බෞද්ධ සංගමය
ආදී බෞද්ධ සංවිධාන සමඟ ද එක්ව නාහිමියෝ බොහෝ සේවාවන් ඉටු කරති. ගාල්ල
ශ්‍රී ලංකා සමාජ, සමාජ සංවර්ධන පදනමේ අනුශාසකත්වය දරමින් ඊට මඟ පෙන්වීම
ද
නාහිමියන් විසින් සිදු කෙරේ
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා බුද්ධ පුත්‍රයන් වහන්සේලා වන මහා
සංඝරත්නයෙන් ඉටුවනුයේ අමිල මෙහෙයකි. අතිවිශාල කාර්යභාරයකි. දේශනා
පැවැත්වීමෙන්, චර්යාවෙන් හා ආදර්ශ සම්පන්න බවින් භික්ෂූන්ගෙන් සමාජය
ලැබුවේ විශාල මඟ පෙන්වීමකි.
ලාංකික භික්ෂු වංශයට උරුම වී ඇති වගකීම් ජාතියේ මුරදේවතාවන් වශයෙන්
මනාව ඉටු කළහ. යුගයේ අවශ්‍යතාව ගැඹුරින් දැක උන්වහන්සේලාද නිරත වූයේ ඒ
උදාර අරමුණ සහිතවය. එය ලක්දිව භික්ෂූන්ට ඓතිහාසිකව උරුම වූ වගකීමකි.
මහින්දාගමනයෙන් ලද ඒ ආභාෂය වර්තමානයේ ද සුරක්ෂිතව පවතී.
ජාතික, ආගමික, සමාජ වාතාවරණය හමුවේ අද දවසේ භික්ෂුහු ජනතාවගේ
සුරක්ෂිතතාවය වෙනුවෙන් මැදිහත් වී ක්‍රියා කරති. ඒ සඳහා භික්ෂූන්
වහන්සේලාට අවශ්‍ය වූ දැනුම් සම්භාරය, අද්දැකීම් සහිත භාවය නොඅඩුව
භික්ෂු ශාසනයේ ආරම්භයේ සිටම හිමිවිය. බුදුරදුන් පවා ඒ ඒ කාර්යයේ මනා
දක්ෂතා සහිත භික්ෂූන් තෝරා ඔවුන් ඇගයීමට ලක් කළා පමණක් නොව උන්වහන්සේලා
වෙත වගකීම් පවරා දුන්හ.
නායකත්වයට අවශ්‍ය දැනුම, අවබෝධය හා ශික්ෂණය සහිත වූ විට කළ හැකි සේවය
අපමණය. අග්‍රශ්‍රාවක, මහාශ්‍රාවක ආදී නායකත්වයේ ප්‍රධාන තනතුරුවලින්
බුදුරදුන් භික්ෂූන්ට ඒ සඳහා අවස්ථාව සලසා දුන්හ.
ලාංකික භික්ෂු ශාසනය විනාශයට පත්වූයේ ද භික්ෂු පරම්පරා, ඊට අදාළ වූ
සම්ප්‍රදායන් චාරිත්‍ර - වාරිත්‍ර පදනම් කොටගෙනය. බුදුරදුන් මඟ පෙන්නූ
එකම ධර්මයක්, එකමවිනයක්, එකම ශාසන ප්‍රතිපත්තියක් සහිතව ඊට කිසිදු
හානියක් නොමැති භික්ෂු ශාසනය චිරාත් කාලයක් සම්ප්‍රදායන්ට හා ආචාර
පරම්පරා හා ගුරුකුල මෙන්ම නිකාය හා පාර්ශවයන්ටද විවෘතව විකාශනය වූයේ ය.
කල්යෑමේ දී ප්‍රාදේශීය වශයෙන්ද පළාත් වශයෙන් ද ස්වකීය අනන්‍යතාවයන්
සහිතව පොදු පිරිසක් වශයෙන් භික්ෂූහු අද දවසේත් ක්‍රියා කරති.
අවිච්ඡින්නව පැවත එන භික්ෂු ශාසනයේ චිර පැවැත්ම සඳහා භික්ෂූන්
වහන්සේලාට හිමිවූ නිලතල, තනතුරු, පදවි, ගරු නාම සම්මුති ශාසන වංශය
ශෝභාමත් කිරීමට හේතු වූයේ ය. එබඳු තවත් උදාර අවස්ථාවක් ඔක්තෝබර් මස 03
වන දා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේ දී පැවැත්වෙන ආගමික
උත්සවයක දී උදාවේ.
අමරපුර සිරි සද්ධම්මවංශ ධීරානන්ද සංඝ සභාවේ මහ නායක ධුරය හොබවන ලද කොළඹ
9, එලියස් පෙදෙසේ සංඝමිත්තාරාමාධිපතිව වැඩ විසූ බෙලිදෙණියේ සිරිධම්ම මහ
නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩුවූ මහ නායක පදවිය
ධීරානන්ද සංඝ සභාවේ කාරක සංඝ සභාව මඟින් පසුගියදා සම්පූර්ණ කරන්නට
යෙදුණි. ඒ සඳහා ඒකමතිකව තෝරාපත් කර ගන්නා ලද්දේ ගාල්ල, කලේගානේ
චේතියගිරි පුරාණ විහාරය, මහනුවර නුගවෙල බටුඅඹේ චේතියගිරි විහාරය යන උභය
විහාරාධිපති විශ්‍රාමලත් බෞද්ධ ගුරු උපදේශක ගෞරව ශාස්ත්‍රවේදී
බෙලිගල්ලේ ජිනවංසාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.
අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකාය, නියෝජනය කරමින් දීර්ඝ කාලයක්
මුළුල්ලේ නිකායේත් පොදුවේ ලාංකික භික්ෂු ශාසනයේත් අභිවෘද්ධිය පිණිස
ක්‍රියා කළ විහාරස්ථාන රාශියක මහා සංඝයා වහන්සේලා එවක “සුධර්මා කාරක
සංඝ සභාව“ නියෝජනය කරන ලද මහා තෙරවරුන් පිරිසක් සමඟ එක්ව මීට වසර
කිහිපයකට පෙර “අමරපුර සද්ධම්මවංස ධීරානන්ද සංඝසභාව“ පිහිටුවන්නට
යෙදුණි.සිරි සද්ධම්මවංස මහා නිකායේ ආදි කර්තෘවරයාණන් වහන්සේ වූ
අතිපූජ්‍ය ලංකාගොඩ ධීරානන්ද මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට උපහාර පිණිස
හා අනුස්මරණය කරනු පිණිස උන්වහන්සේගේ නාමයෙන් සංඝ සභාව හඳුන්වා නම් කර
තිබේ. කොළඹ කුප්පියාවත්තේ ජයශේඛරාරාම පුරාණ මහා විහාරස්ථානය ධීරානන්ද
සංඝ සභාවේ මූලස්ථානය වශයෙන් තෝරාගන්නා ලදී. මහා නායක ස්වාමීන්ද්‍රයන්
වහන්සේලා කිහිපනමක්ම වැඩසිටි හා නිකායාභිවෘද්ධිය පිණිස ප්‍රධාන
මධ්‍යස්ථානයක් වූයේ ද ජයශේඛරාරාමයයි.
අභිනවයෙන් ධීරානන්ද සංඝ සභාව හොබවනුයේ අතිපූජ්‍ය බෙලිගල්ලේ ජිනවංස
ස්වාමීන්ද්‍රයාණෝ ය. ශ්‍රී ලංකාද්වීපයෙහි රුහුණු පුරවරය වූ කලී
සම්බුද්ධ ශාසනයටත් භාෂා ශාස්ත්‍ර විෂයෙහි හා ජාතික නායකත්වය උදෙසාත්
ගිහි, පැවිදි සම්භාවනීයන්ගෙන් පරිපූර්ණ ඉතිහාසයකට උරුමකම් කියන
ප්‍රදේශයකි. වසර දෙදහස් පන්සිය ගණනක් වූ ශාසන ඉතිහාසය හා ලංකා ඉතිහාසික
රුහුණු විරුවන්ගේ නාමය කිසිසේත් අමතක කළ නොහැකිය. එබඳු සාඩම්බර හා
අභිමානවත් බවක් රුහුණේ ජනතාවට හිමිවී තිබේ. දේශයේ අනන්‍යතාව උදෙසාත්
ජාතියේ ඒකාබද්ධ බව උදෙසාත් කළ කී දෑ බොහෝ ය. රට හා ජාතිය ඒකච්ඡත්‍ර
කිරීම උදෙසාද කර ඇති මෙහෙය අපමණය.
එබඳු ප්‍රෞඪ හා අභිමානවත් රුහුණු පුරවරයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ
බෙලිගල්ල නම් වූ ග්‍රාමය වෙසෙසින් බුද්ධ පුත්‍රයන් වහන්සේලා රාශියක්
සසුනට දායාද කළාවූත් උන්වහන්සේ අතර අදත් ශාසනික, අධ්‍යාපනික හා ජාතික
සේවාවන් රැසක් ඉටුකරන්නාවූත් තෙරවරු වෙසෙති. අතීතයේත් බොහෝ තෙරවරු වැඩ
සිටියහ.
අභිනව මහ නාහිමිපාණන්ගේ ජන්ම භූමිය බෙලිගල්ල ග්‍රාමයයි. එහි
නින්දගම්ලත් පරපුරකට අයත් ‘ගින්නලියගම ඇතිගේ දොන් චාර්ලිස්හාමි මුදලාලි
මහතාගේ හා කුසුමාවතී උභයරත්න මහත්මියගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වශයෙන් අප
නාහිමියෝ 1932 නොවැම්බර් මස 21 වන දා උපත ලැබූහ. ළදරු වියේදීම සාසනයට
පූජා කළ මේ කුල පුත්‍රයාට අත්පොත් තැබුයේ බෙලිගල්ල ගමට යාබද අඟුල්මඩුවේ
අභයසිරිනාරායනාරාමාධිපතිව විසූ අතිගෞරවාර්හ වාඩියේ සිරිසුමංගල
නාහිමිපාණන් වහන්සේ විසිනි. මේ කුමරුවන්ගේ ගිහි නාමය ගින්නලියගම ඇතිගේ
අමරසේන යන්නයි.
ගිහිකල හ/ අඟුල්මඩුව විද්‍යාලයේ හයවන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලැබීය. මේ
කාලයේ දී විහාරස්ථානයට ගොස් ඉගෙනීමටද අවස්ථාව උදාකරගෙන ඇත. එහිදී ශතක
පොත් කියවීමට ලැබී ඇති අතර එවක දහම් පාසලට ඇතුළත්ව ශාස්ත්‍රවේදී පණ්ඩිත
පොළතුගොඩ ඤාණාලෝක හිමිපාණන් සෙවණේ සුචරිතෝදය දහම් පාසලෙන් දහම්
අධ්‍යාපනය ලැබීමට අවස්ථාව උදාවිය. ගමේ පන්සලේ දී සුමංගල නාහිමියන්
ඇසුරෙන් සාමණේර බණදහම් උගත්තේ ය. මේ දරුවා 1945 නොවැම්බර් මස 02 වන දා
පැවිදි දිවියට ඇතුළත් විය. ගුරුදේවයන් වහන්සේ වූයේ ගාලු, මාතර දෙදිසාවේ
අධිකරණ සංඝනායක ධුරය හෙබවූ ගාල්ල කළේගානේ චේතියගිරි විහාරාධිපතිවය දැරූ
ජිනවංසාලංකාර ගණාචාරිය කැබිලියපොළ සිරි ධම්මරතනාභිධාන නාහිමිපාණන්
වහන්සේ ය. පැවිදි වූ පන්සල අඟුල්මඩුවේ අභයසිරිනාරායනාරාමයයි.
1946 වර්ෂයේ දී බෙලිගල්ලේ ජිනවංස හෙරණපාණන් කලේගාන චේතියගිරි විහාරයට
පැමිණ ගුරු දේවයන් වහන්සේ ඇසුරෙන් බණ දහම් උගත්තේ ය. පිරිවෙන්
අධ්‍යාපනය ලැබීම ආරම්භවූයේ අම්බලන්ගොඩ කුලීගොඩ ශාස්ත්‍රාලෝක
පිරිවෙණෙනි. එකල එහි ප්‍රධානත්වය දැරූ යේ රාජකීය පණ්ඩිත අතිගරු වතුගෙදර
අමරසීහ නාහිමිපාණන් ය. එහිදී ප්‍රාචීන ප්‍රාරම්භ හා ජ්‍යෙෂ්ඨ පාඨශාලා
සහතික පත්‍ර හිමිකරගන්නා ලදී.
උගතමනා ධර්මශාස්ත්‍රීය ඤාණය සහිතව 1954 ජූනි මස 03 වන දා නාහිමිපාණන්
උපසම්පදාව ලැබීය. අතිපූජ්‍ය පෝහද්දරමුල්ලේ ඤාණානන්දාභිධාන මහනායක
ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් අමරපුර සිරි සද්ධම්මවංස
මහා නිකායට අයත් මහා සංඝයාවහන්සේලා වෙතින් උපසම්පදාව ලැබුයේ පානදුර නදී
උදකුක්ඛේප සීමාවේදීය.
උසස් අධ්‍යාපනය ලැබීම ආරම්භ කරන ලද්දේ කැලණියේ විද්‍යාලංකාර
පිරිවෙණෙනි. ඒ අවධියේ මෙරට දැන උගත් මහතෙරුන් සමූහයකගේ ඇසුර ලැබීම මහත්
භාග්‍යයක් වූ බව අද ද මහනාහිමිපාණන් සතුටින් සිහිපත් කර සිටී.
උන්වහන්සේලා අතර අතිගෞරවාර්හ කිර්වත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර, යක්කඩුවේ
ශ්‍රී ප්‍රඥාරාම, කොටහේනේ පඤ්ඤාකිත්ති, බඹරැන්දේ සිරි සීවලී ආදී මහා
පඬිවරුන් විය. එවක අධ්‍යාපනය ලැබූ බොහෝ ශිෂ්‍යයෝ ඉහත කී මහා පඬිවරුන්
අගය කරනුයේ අතිප්‍රශංසනීයත්වයෙනි. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් 1964
වර්ෂයේ දී බෙලිගල්ලේ නාහිමිපාණෝ ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හිමිකර ගත්හ.
නාහිමිපාණන් ශාස්ත්‍රදානය එනම් අධ්‍යාපන සේවය ආරම්භ කරන ලද්දේ 1965
වර්ෂයේ සිටය. අම්බලන්ගොඩ ශාස්ත්‍රාලෝක පිරිවෙනේ පරිවේණාධිපති ධුරයට
පත්ව වසර 5 ක් නිස්සරණාධ්‍යාසනයෙන්ම සේවය සිදු කළේ ය.
අනතුරුව අවසාන ගුරු සහතිකයට රජයේ පත්වීම ලබා 1970 වර්ෂයේ පොළොන්නරුව
දිස්ත්‍රික්කයේ කවුඩුල්ල මහා විද්‍යාලයේ හා පන්සල් ගොඩැල්ල විද්‍යාලයේ
සේවයේ නිරත වූ නාහිමියෝ එවක දුෂ්කරතා බහුල ප්‍රදේශ වූ පරිසරයක ඉතා
කරුණාධ්‍යාසයෙන් සිය ශාස්ත්‍රඤාණය දානය කිරීම ප්‍රශංසාවට පාත්‍රවිය
යුතු වේ. එම ප්‍රදේශවලදී අපේ නාහිමිපාණන්ට ගිහි, පැවිදි බොහෝ දෙනාගේ
ඇසුර ලැබී ඇත. අද 93 වන වියේ පසුවන වෙහෙරඑළිය ශ්‍රී
ජිනේන්ද්‍රාරාමාධිපති වැල්ලගිරියේ සුමනජෝති නාහිමිපාණන් වහන්සේගෙන්
ලැබුණු උපකාර කෘතඥතා පූර්වකව බෙලිගල්ලේ මහ නා හිමිපාණෝ සිහි කරති.
දුෂ්කර සේවාවෙන් පසුව ගාල්ලට පැමිණි නාහිමිපාණන් ගා / හියාරේ මහා
විද්‍යාලය, ගා/මීගොඩ මහා විද්‍යලය, ගා/ගල්වඩුගොඩ පරමානන්ද මහා
විද්‍යාලය, ගා/කලේගාන පියතිස්ස මහා විද්‍යාලය යන විද්‍යාලයන්හි සේවය
කොට විශ්‍රාම ලැබීය. මේ කාලයේ දී 1976 වර්ෂයේ සිට ගාලු දිස්ත්‍රික්කයේ
බුද්ධ ධර්මය විෂය පිළිබඳ ගුරු උපදේශකවරයෙකු වශයෙන් අගනා මෙහෙයක් ඉටු
කරන ලදී. විභාග ප්‍රශ්න පත්‍ර සම්පාදකවරයෙකු ලෙස හා වසර 25 කට ආසන්න
කාලයක් විභාග පිළිතුරු පත්‍ර පරීක්ෂකවරයෙකු ලෙස ද සේවය කර ඇත.
මේ කවර සේවයක, කවර ප්‍රදේශයක සේවය කළ ද තම ඇදුරු පරපුර පවත්වාගෙන ආ
සම්ප්‍රදායන් බෙහෙවින් ගරුකොට සලකමින් භික්ෂූත්වය පළමු තැනෙහිලා
ක්‍රියා කිරීම නාහිමිපාණන්ගෙන් වෙසෙසින් කැපී පෙණුනි.
විදුහල්පතිතුමන්ලා ඇතුළු ගුරු පරපුරටද නාහිමියන්ගෙන් බොහෝ ආදර්ශ
හිමිවිය. සැබැවින්ම ජිනවංස මහ නාහිමිපාණෝ, බහුශ්‍රැතය ධර්මධරය,
ගතානුගතික චින්තනයෙන් ඔබ්බට ගොස් විචාර පූර්වකව හා නව දැක්මකින් යුතුව
ක්‍රියා කිරීම මෙහිමිපාණන්ගේ සුවිශේෂ ලක්ෂණයකි. “නාචින්නයන්තෝ පුරිසෝ
චිරස්සමධිගච්ඡති” යන්න ඉතා ගරුකොට සලකන නාහිමිපාණන් මහත්සේ අලුත්
ආකාරයෙන් සිතන්නට තමන් යොමු වූවා සේම බොහෝ දෙනා ඒ සඳහා පෙළගස්වති.
හමුවන්නන්, දකින්නන්, කතාබහකරන්නන් සමඟ තමන් වහන්සේ පළමුව කතාකර
සුහදත්වය දැක්වීමට නාහිමියෝ හැමවිටම උත්සුක වෙති. ගැඹුරු, තර්කානුකූල
ස්වරය නාහිමිපාණන්ට සුවිශේෂත්වයක් ගෙන දෙයි. වරද දුටතැන එසැණින්
ඉදිරිපත් වී නිවැරදි කිරීමට නාහිමියෝ මැළි නොවෙති.
උන්වහන්සේගේ චතුර කථිකත්වය, වාග් පටුත්වය ප්‍රතිරාව නංවන සුළුය.
උන්වහන්සේ දෙසුමන් හැමවිටම නැවුම් බවින් යුතුය. අසුවිය ඉක්මවා සිටියද
අද දවසේ ද ඒ බව ප්‍රදර්ශනය කරන නාහිමිපාණෝ තමන් වහන්සේ පළමු වාක්‍යයෙන්
ඉදිරිපත් කරන අදහස් දෙවැනි වාක්‍යයෙන් ඛණ්ඩනය වන අයුරින් දෙසුම්
නොපැවැත්වීමට හැමවිටම වගබලා ගනිති. තර්කානුකූලවත් කළමනාකරණයකින් යුතුව
අදහස් දැක්වීමටත් හුරුවීම ඊට ප්‍රධාන හේතුව වන්නේ ය. එපමණක් නොව තමන්
වහන්සේ දක්වනු ලබන අදහස් බුද්ධි ගෝචරවීමත් තර්කානුකූලවීම හා න්‍යායක්
හා පදනමක් සහිත ඒවාවීමත් බෙහෙවින් කැපී පෙනේ.
කුඩා දරුවන් අතර ඔවුනට ගැළපෙන අයුරින් ක්‍රියාකිරීමත් තරුණයන් සමඟ ඊට
සරිලන ආකාරයෙන් ද උගත්, බුද්ධිමත් ප්‍රබුද්ධයන් හා උවැසි උවැසියන් සමඟ
හා පොදු ජනයා අතර ඔවුන්ගේ රුචි අරුචිකම් මනාව හැඳින ක්‍රියා කිරීම
නාහිමියන්ගෙන් සුවිශේෂත්වයකින් යුතුව ප්‍රදර්ශනය වේ.
විචිත්‍ර ධර්ම සන්නිවේදක කාර්යයක් ඉටු කරන නාහිමිපාණෝ ශ්‍රී ලංකා
ගුවන්විදුලි සංස්ථාව මඟින් ප්‍රචාරය කරනු ලබන ආගමික කටයුතුවලට සම්බන්ධව
ක්‍රියා කළහ. විවිධ ධර්ම ශාස්ත්‍රීය සඟරා ආදියට නාහිමිපාණෝ බහුලව ලිපි
රචනා කර ඇත. ගාලු කඩවත් සතර ශාසනාරක්ෂක මණ්ඩලය, ගාල්ල තරුණ බෞද්ධ සංගමය
ආදී බෞද්ධ සංවිධාන සමඟ ද එක්ව නාහිමියෝ බොහෝ සේවවන් ඉටු කරති. ගාල්ල
ශ්‍රී ලංකා සමාජ, සමාජ සංවර්ධන පදනමේ අනුශාසකත්වය දරමින් ඊට මඟ පෙන්වීම
ද නාහිමියන් සිදු කෙරේ.
ලාංකික භික්ෂූන් වහන්සේලා වෙසෙසින්ම ජාතියේ මුරදේවතාවන් වහන්සේලා
වශයෙන් ගෞරවයක් හිමිකරගෙන ඇති පිරිසකි. ඊට හේතුවන්නේ බුදුදහමේ රක්ෂණය
හා පෝෂණය උදෙසා කටයුතු කරන වාට අමතරව ජාතියේ සුරක්ෂිතතාව උදෙසා කරනු
ලබන අපමණ මෙහෙවරයි. එය බුද්ධ පුත්‍රයන් වශයෙන් අපිට උරුම වූ වගකීමකි.
අපේ රටට, අපේ ජාතියට අනතුරුදායක තත්ත්වයන් එළැඹි සෑම අවස්ථාවකදීම කල්
ඇතිව ඒවා හඳුනාගෙන ජනතාව දැනුවත් කොට උවදුරුවලින් රට ආරක්ෂා කර ගැනීමට
පිළියම් යෙදීම හා වගකිවයුත්තන් අවධිකිරීම පුරාණයේ භික්ෂූහු මැනවින්
සිදු කළහ. අපේ ඉතිහාසය ඒ සඳහා සාක්ෂි දරයි. අපේ ජිනවංශ මහනාහිමිපාණන් ද
සුවිශේෂ වශයෙන් ඒ වෙනුවෙන් දිරිමත්ව නොපසුබටව ඉදිරිපත්වූහ. භික්ෂූන්
වහන්සේලා පිරිවරාගෙන නායකත්වය සපයමින් අනුශාසනා කිරීමෙන් පමණක් නොව
ප්‍රායෝගිකව සහභාගිවෙමින් ජාතියේ රැක්ම වෙනුවෙන් විශාල වශයෙන්
කැපකිරීම් සිදුකළ මහ තෙරනමකි. මෙවැනි අවස්ථාවන්හිදී උන්වහන්සේට අපමණ
දුෂ්කරතාවයන්ට හා ගැටලුවලට මුහුණදීමට සිදුවිය. නාහිමියන්ට අහිමිවූ දෑ
බොහෝ ය. විඳීමට සිදු වූ දුක් ගැහැට අපමණය. එහෙත් ඒ සියලු අභියෝග, බාධක
හමුවේ උන්වහන්සේ නොසැලී සිටියහ. අහිමිවීම් නාහිමියන් දුටුවේ
උපේක්ෂාවෙනි. ප්‍රමුඛත්වය දෙන ලද්දේ නොනැවතී ඉදිරියටම ගමන් කිරීටමටය.
“මා නිවන්ත අභික්කම” යන බුදුවදන නාහිමිපාණන් වහන්සේ ගුරු කොට සැලකූහ.
මීට අමතරව භික්ෂූන් වහන්සේලා ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් ද නාහිමියන්
වගකිවයුතු, අද්දැකීම් සහිත කෘතහස්ත භාවයෙන් යුතුව සිය යුතුකම් මනාව
ඉටුකර ඇත. නිදසුනක් ලෙස භික්ෂූන් වහන්සේලාට භික්ෂු හැඳුනුම්පත්‍ර
ලබාදීමේ අවශ්‍යතාව මතුකර බෞද්ධ තොරතුරු සභාවට එවක යෝජනා කිරීම දැක්විය
හැකි ය. පූර්ව සූදානමක් සහිත සාමාන්‍ය ආගමික කටයුත්තක් වුවද සිදුකිරීම
ජිනවංශ නාහිමිපාණන්ගේ පුරුද්දකි. විනාඩි කිහිපයක සන්නිවේදන කාර්යයක්
වුවත් සිදු කරන්නේ පෙර සූදානමකින් යුතුවය. කිසියම් හෝ දැනුම් දීමකින්
තොරව එවැන්නකට ආරාධනා කළ විට ඒවා ප්‍රතික්ෂේප කරන අවස්ථා බොහෝ ය.
බෙලිගල්ලේ ජිනවංස මහ නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ පැරණි පෙළේ
භික්ෂුවකගේ විලාසය මූර්තිමත් කරන සුළුය. නාහිමියන්ගේ ජීවිතය අතිශය
චාම්ය, සරලය, සුභරය. සම්ප්‍රදාය ගරුකය. ආචාර සමාචාර සහිතය. ආචාර
ප්‍රාචාරයන් වහන්සේලා කෙරෙහි දක්වනුයේ ඉමහත් භක්ත්‍යාදරයකි.
උන්වහන්සේලා කෙරෙහි කෘතඥතා පූර්වකව හැමවිටම ක්‍රියා කරයි. විශේෂයෙන්ම
කැබිලිය පොළ භික්ෂු පරම්පරාව නියෝජනය කරන වගකිවයුතු මහ තෙරනමක් වශයෙන්
අද දවසේ නාහිමියෝ සම්භාවනාවට පාත්‍රව සිටිති. සිය භික්ෂු පරම්පරාවන්හි
සම්ප්‍රදායන් මැනවින් පවත්වාගෙන යෑමට උත්සුක වෙති. විශේෂයෙන්ම භික්ෂූන්
වහන්සේලා මනාව හැඳ පෙරව ක්‍රියා කළ යුතුවේ. “සනිවත්ථෝ සුපාරුතො” යන
බුද්ධාවවාදය මැනවින් සිවුරු හැඳීමට පෙරවීමට භික්ෂුව යොමු කරයි. උභයාංශ
පාරුපනය සිය භික්ෂු වර්ගයාට නියමවී ඇති හෙයින් එය හැමවිටම අනුගමනය
කිරීම කෙරෙහි ජිනවංශ මහ නාහිමිපාණන් දක්වනුයේ විශේෂ උනන්දුවකි.
විහාරස්ථානයෙන් බැහැරව වඩින සෑම අවස්ථාවකදීම උභයාංශ පාරුපනයෙන් සැකසීමට
හැමවිටම නාහිමියෝ වගබලා ගනිති. එපමණක් නොව වසර ගණනාවක් රජයේ පාසල්වල
ගුරු සේවයේ යෙදී සිටියදී සම්පූර්ණ පාසල් වේලාව තුළම දෙවුර වසා සිවුර
පොරවා සිටීමෙන් සේවයේ යෙදීම නාහිමියන් සිරිත විය. නාහිමියන් ඒ
සම්බන්ධයෙන් පවසා සිටිනුයේ සතුටු සිතින් යුතුවය. කාසාය වස්ත්‍රය
භික්ෂූන්ට නියමූවකි. ඒ සම්බන්ධයෙන්ද නාහිමියන් එම අර්ථය නිිවැරදිව
විග්‍රහ කරමින් ඊට සරිලන ආකාරයෙන් සිව්රු පරිහරණයට උනන්දු වී සිටී.
දහම් පාසල් සේවාව මහත් අභිරුචියෙන් යුතුව සිදු කිරීමට අද දවසේත්
නාහිමියෝ කැපවී සිටිති. දැන් අසූ දෙවන වියේ පසුවුවද ඉරිදා උදෑසන දහම්
පාසල් ආරම්භ කොට මනාව සංවිධානාත්මකව පවත්වාගෙන යෑමට ද ක්‍රියා කිරීමට
නාහිමියෝ මැළි නොවෙති. කලේගාන චේතියගිරි දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධුරය
දරමින් ඊට නායකත්වය දෙමින් ක්‍රියා කිරීම හේතුවෙන් ගාලු කඩවත් සතර
ශාසනාරක්ෂක බලමණ්ඩලයට අයත් දහම් පාසල් අතර ප්‍රමුඛස්ථානයෙන් චේතියගිරි
දහම් පාසල පවතී. ඊට ධනය, ශ්‍රමය, කාලය කැප කර සිටීම නාහිමියන්ගේ
සිරිතය.
ස්වකීය විහාරස්ථානය හා සම්බන්ධව පිහිටුවා ඇති විවිධ සමිති, සංවිධාන
ක්‍රමවත්ව පවත්වාගෙන යමින් ඊට අවශ්‍ය අනුශාසකත්වය ලබාදෙමින් ඒ මඟින්
බොහෝ සමාජ සේවාවන් කිරීමට මඟ පෙන්වයි. ඒ අතර බහුජනෝදය සමිතිය
ප්‍රමුඛවේ.දහම් පාසල් සංවර්ධන සමිතිය ද ක්‍රියාකාරීව පවත්වයි.
චේතියගිරි පුරාණ විහාරස්ථානය ගාලු නගරයේ පිහිටි පැරණි සිද්ධස්ථානයකි.
එහි ගාම්භීරභාවය මනාව සුරක්ෂිත වන ආකාරයෙන් සංරක්ෂණය කර පවත්වාගෙන යෑමට
විහාරාධිපතිත්වයට පත්වීමට පෙර සිටීම ජිනවංස නාහිමිපාණන් උනන්දු වූ බව
ප්‍රදර්ශනය විය. එහි සුරක්ෂිතභාවය හා මතු පරපුරට දායාද කිරීම සිය වගකීම
වශයෙන් සලකා කටයුතු කිරීම නාහිමියන් මැනවින් අවබෝධ කරගෙන සිටී. ඊට
අවශ්‍ය දෙවෙනි පරපුරක් ඇති කිරීම හා ඔවුනට වගකීම් පැවරීමත් නාහිමිපාණන්
ඉටු කරති. නුගවෙල චේතියගිරි විහාරස්ථානයේ වගකීම් ඉටු කිරීම ශිෂ්‍ය
නගරවල පඤ්ඤාරතන හිමියන් මඟින් සිදුකරයි. ගා/විද්‍යාලෝක මහා විද්‍යාලයේ
ආචාර්යදී ශාස්ත්‍රවේදී අඟුල්මඩුවේ සෝභිත ශිෂ්‍ය භික්ෂුව ද ක්‍රියාකාරීව
යොමු කර ඇති අතර තවත් ශිෂ්‍යයන් වහන්සේලා කිහිප නමක් වෙති.
දීර්ඝ කාලයක් තිස්සේ අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකාය සමඟ එක්ව විවිධ
තනතුරු හා වගකීම් දැරූ නාහිමිපාණන් මෑත භාගයෙ සිට ධීරානන්ද සංඝ සභාවේ
ප්‍රභවයට පුරෝගාමී මෙහෙයක් ඉටු කළහ. අභිනවයෙන් එහි මහ නායක පදවියෙන්
පිදුම් ලැබ අතිපූජ්‍ය බෙලිගල්ලේ ජිනවංස ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත මහ
නායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය ඔක්තෝබර් මස 03 වන දා කොළඹ
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී උත්සවශ්‍රීයෙන්
සිදු කෙරේ.
මීට සමගාමීව ධීරානන්ද සංඝ සභාවට අයත් දිවයිනේ විවිධ ප්‍රදේශවල
ස්වාමීන්ද්‍රයන් වහන්සේලා 25 නමකට අධික මහා සංඝරත්නයට නායක පදවි
පිරිනැමීම හා ඊට අදාළ අක්තපත්‍ර ප්‍රදානය කිරීමද මෙම මහෝත්සවයේ දී
සිදුකිරීමට කටයුතු සංවිධානය කර තිබේ.
අතිගරු, බෙලිගල්ලේ ජිනවංසාභිධාන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ පිළිගෙන
උපහාර පිදීමේ උලෙළක් ඔක්තෝබර් මස 05 වන දා ගාල්ල කලේගාන චේතියගිරි
පුරාණ මහා විහාරස්ථානයේ දී පැවැත්වේ.
ච්තියගිරි විහාරස්ථදායක සභාව, දහම් පාසල, බහුජනෝදය සමිතිය ඇතුළු දායක
දායිකාවන් මෙන්ම ප්‍රදේශයෙ විවිධ සමිති සංවිධාන ඇතුළු බොහෝ පිරිසක් මෙම
උත්සවය කටයුතු සම්පාදනය කර තිබේ. එම අවස්ථාවට ගිහි, පැවිදි සම්භාවනීය
අමුත්තන් රැසක් සහභාගී වීමට නියමිතයි. |