UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය – මහලු කාලය හා මරණය අසිරිමත් එකක් වනු දැක්ම සඳහා අවශ්‍ය කරුණු දශයක් ‘ජනසන්ධ’ ජාතක දේශනාවෙහිදී බෝසත්හු වදාළහ. ඒ මොනවාද?

පිළිතුර – අලද්ධා චිත්තං තප්පති, පුබ්බෙ අස මුදානිතං ඉති පච්චානු තප්පති. ධනය රැස්කළ හැකි තරුණ කාලයෙහි දී ධනය සඳහා උනන්දු නොවී මහලු කල අපතේ ගිය තාරුණ්‍ය දෙස බලා පසුතැවිල්ලට පත්වන්නේ ය.

සක්‍ය රූපං පුරෙ සන්තං
මයා සිප්පං න සක්ඛිතං
කිච්චා වුත්ත අප්ප සිප්පස්ස
ඉති පච්චානු තප්පති

උගතමනා කල ශිල්ප ඉගෙන නොගෙන මහලු කල අතීතය දෙස බලා උගත යුතු බාල කාලය අපතේ හැරීම මෙන්ම මා විසින් ශිල්ප නූගත්තා සේම ශිල්ප නොදත් මට ජීවත්වීමද අපහසුතාවය මහලු කල දැනීමෙන් වඩාත් පසුතැවිල්ලට පත්වන්නේ ය.

කූටවේදී පුරෙ ආසිං පිසුණෙ විට්ඨිමංසිකො
චණොඩාච ඵරුසොවාසිං ඉති පච්චානු තප්පති

පෙර මම කපටිකම් කළෙමි. කේළාම් කියන්නෙක් වීමි. අල්ලසට ඇබ්බැහි වූයෙක්මි. නපුරු සිත් ඇත්තෙක් වූයෙමි. මගේ අතීතය මෙසේ වූයේ යැයි වර්තමානය මහලුවියෙහි දී බලවත් සේ දුකකට පත්වන්නේ ය.

පාණාතිපාතී පුරේ ආසං ලද්දොවාපි අනාරියො
භූතානං නා පවායිස්සං ඉති පච්චානු තප්පති

මගේ අතීතය ප්‍රාණ වධය කෙරෙමින් නපුරු දිවි මඟකට ගියෙමි. මෙත් සිතින් බැහැරව පාපකාරී දිවියකම ගතකළ මගේ අතීතය මට වධයක් වන්නේ යැයි මහලු කල ඔහු සිතයි.

බහුසු වත සාන්තීසු ආනාපාදාසු ඉත්ථිසු
පදෙරං අසෙවිස්සං ඉති පච්චානු තප්පති

පරදාර ගමනය මගේ එක් දුරචාරයකි. අස්වාමික ස්ත්‍රීන් සොයමින් පරදාර සේවනය කළෙමි. අතීතය මට අමිහිරිය. මහලුවියට පත් මම පසුතැවිලි වෙමි.

බහුම්පි වත සන්තම්හි අන්නපානෙ උපට්ඨිතෙ
න පුබ්බෙ අදදිං දානං ඉති පච්චානු තප්පති

බොහෝ වත්කම් ඇතිව සිටි මම දන් නොදුන්නෙමි. අතීතයෙහි නුදුන් දේ ගැන සිත සිතා පසුතැවිලි වෙමි.

යො මාතරං පිතරංවා ජින්ණකං ගත යොබ්බනං
පහුසන්තො න පොසිස්සං ඉති පච්චානු තප්පති

මම පෙර කාය හා ධන බලය ඇතිව සිටිය දී මහලු වී දුබලව විසූ මාපියන් පෝෂණය නොකෙළෙමි ය. මාපිය උපස්ථානය නොකොට පසුතැවිලි වන්නේ ය.

ආචරිය මනුස්සත්ථාරං සබ්බ කාම රසාහරං
චිතරං අතිමඤ්ඤිස්සං ඉති පච්චානු තප්පති

මාගේ ආචාර්ය වූ ද අනුසාසක වූද කැමති සියලු රසයන් ගෙන දී මා පෝෂණය කළ වූද මාගේ පියාණන්ට මම අකීකරු වීමියි. එසේ කළ තැනැත්තේ පසු කාලයේ දී තැවෙන්නේ ය.

සමණො බ්‍රාහ්මණො චාපි සීලවන්තෙ බහුස්සතෙ
න පුබ්බෙ පයිරුපාසිස්සං ඉති පච්චානු තප්පති

උගත් සිල්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් මම පෙර ඇසුරු නොකෙළෙමියි එසේ නොකළ තැනැත්තේ පසු කාලයේ දී තැවෙන්නේ ය.

සාධු හොති තපො චිණ්ණො සන්තොච පයිරුපාසිනො
නව පුබ්බෙ තපො චිණ්ණො ඉති පච්චානු තප්පති

සුචරිතයෙහි හැසිරිය යුතු අවස්ථාවෙහි දී හැසුරුණේ නම් ඉතා යහපත්ය. සත්පුරුෂයන් සේවනය කරන ලද්දේ නම් ඉතා යහපත් ය. මා ඒ එකකුත් නොකරන ලද්දේ යයි ප්‍රමාද වූ තැනැත්තේ මරණාසන්නයෙහි දී පසු තැවෙන්නේ ය. යමෙක් මේ කරුණු දශය නුවණින් සලකා දිවියෙන් සපුරාලන ලද්දේ ද, මිනිසෙකු විසින් සම්පූර්ණ කරගත්තා වූ ඔහුගේ මහලු කාලය මරණ මොහොත අසිරිමත් එකක් වන්නේ ය.

ප්‍රශ්නය – මරණින් මතු ජීවිතය ශෝක නොකිරීමට තමා සතු වියයුතු කරුණු 04ක් බුදුරජාණන් වහන්සේ ආලවක සූත්‍රයෙහි දී දේශනා කොට වදාළහ. ඒ මොනවාද?

පිළිතුර – යස්සේ තෙ චතුරො ධම්මා
සද්ධස්ස සර මෙසිනො
සච්චං ධම්මො යිතී චාගො
සචෙ පෙච්ච නසෝචති

සැදැහැවත් ගෘහස්ථයෙකු තුළ සත්‍යයත්, ඉන්දාිය දමනය, සිහියෙන් හා පරිත්‍යාගය, මේ කරුණු සතර ඇත්නම් මරණින් මතු දිවිය පිළිබඳව ශෝක කිරීමක් සිදු නොවන්නේ ය.

ප්‍රශ්නය – බුදුරජාණන් වහන්සේ වරෙක කොසොල් මහ රජතුමන්ට දුන් අවවාදයකි මේ.

තස්මා කරෙය්‍ය කළ්‍යාණං
ණිචයං සම්පරායිකං
පුඤ්ඤානි පරලොකස්මිං
පතිට්ඨා හොන්ති පාණිනං

මතුවට පිහිට වන්නේ (පරලොවට) පින් නිසා පින් රැස් කළ යුතු ය. මරණය දක්වා පිහිටවන්නා වූ භෞතික වස්තූන් සියල්ල මරණයෙන් අවසන් වන්නේ ය. මරණින් මතු පිහිට වන දෑ සෑම මිනිසකු විසින් ජීවත්ව සිටියදී සපුරා ගත යුත්තේ ය. මේ බුදු වදනට උපයුක්ත වූ දේශනය පැහැදිලි කරන්න.

පිළිතුර – මරණය තෙක් ගෙන යා හැකි වස්තුව නම් ධන ධාන්‍ය රන්රිදී ආදී භෞතික වස්තුව ද දැසි දස් කම්කරු ආදී තමා නිසා ජීවත් වන්නෝ මරණින් ඔබ්බට නොයා සොහොන් පිටිය දක්වා ගමන් කරයි.

ධඤ්ඤං ධනං රජතං ජාතරූපං
පරිග්ගහඤ්වාපි යද්ත්ථි කිංචි
දසා කම්මකරා පෙස්සා
යෙවස්ස අනුජීවිතො
සබ්බංචාදාය ගන්තබ්බං සබ්බං
නිකම්පිපගාමියං

ජීවත්ව සිටියදී කය වචනය සිත මෙහෙයවා යමක් කෙරේද, එය සත්‍ය වශයෙන්ම ඔහු සන්තකය එයම වෙයි. මරණින් මතු ඔහු පිටුපස යන සෙවණැල්ල සේ ඒ කර්මය සසර පුරා ගමන් කරන්නේ ය.

යංච කරොති කායෙන වාචාය උදචෙතසා

තඤ්හි තස්ස සකංහොති තඤ්ච ආදාය ගච්ඡති

තඤඛස්ස අනුහං හොති ඡායාව අනපායිති

ප්‍රශ්නය – බුදුරජාණන් වහන්සේ කාන්තා බල ශක්තිය පිළිබඳ මාතුගාම සංයුත්තයෙහි විවිධ දේශනා අතුරෙන් එකක් පැහැදිලි කරන්න.

පිළිතුර – (මාතුගාම සංයුත්තය- බල වර්ගය හේතු සූත්‍රය) පඤ්චිමානි භික්ඛවේ මාතුගාමසස්ස බලාහිකත මානිපඤ්ච.

මහණෙනි මාගමට (කාන්තාව) බල පසෙකි.

රූප බලං - රූප බලය
භොග බලං - ධන බලය
ඤති බලං - නෑදෑ බලය
පුත්ත බලං - දූදරු බලය
සීල බලං - සිල් බලය

දෙව් ලොව සඳහා කාන්තාවට මේ එකදු බලයක්වත් හේතු නොවන්නේ ය. මහණෙනි සීල බලය හේතුකොට ගෙනම කාන්තාව දෙව්ලොව උපත ලබන්නේ ය.

 

 බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් මස 15 වැනිදා සඳුදා අපරභාග 07.12 ට ලබයි. 16 වැනිදා අඟහරුවාදා අපරභාග 08.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 16 වැනිදා අඟහරුවාදාය.

 මීළඟ පෝය සැප්තැම්බර් 23 වැනිදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 16

Full Moonඅමාවක

සැප්තැම්බර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 01

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 08


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]