UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බිනර අව අටවක 2014.09.16

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා

තමා උපන් දේශයට ,ජාතියට ආගමට අසීමිතව ඇළුම් කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ එක සිය පනස් වන ජන්ම සමරුව මෙම මස 17 වනදාට යෙදී ඇත. අධිරාජ්‍යවාදීන්ගේ පාලනයෙන් අපේකම, යටපත් ව තිබූ යුගයක දේශීයත්වය ගොඩනැගීමට ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් කළ යුග මෙහෙවර තවත් යුග ගණනාවක් පුරා අනුස්මරණය කෙරෙනු ඇත.

එඩිතර ප්‍රෞඪ ගතිගුණ සිංහල ජනතාවට ඇති කරලීමට මහත් වෙහෙසක් ගත් අභීත සිංහල පුත්‍රයෙකි, ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා.

1864 සැප්තැම්බර් 17 වනදා ජන්මලාභය ලද එතුමන්ගේ දයාබර මව්පිය දෙපළ වූයේ දකුණු සිරිලක මාතර ඉපිද ව්‍යාපාරික කටයුතු සඳහා කොළඹට පැමිණි දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමා සහ මල්ලිකා ධර්ම ගුණවර්ධන දම්පතීහුය.

“දොන් ඩේවිඩ් හේවාවිතාරණ”ලෙස මව්පිය දෙපළ විසින් නම් තැබූ එම කුමරා පවුලේ වැඩිමල් දරුවා විය.

පාසල් රැසක අධ්‍යාපනය ලැබූ එතුමා කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ඇතුළත්ව එහිදී හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ඇසුර ලැබූහ. විද්‍යෝදය පිරිවෙනෙහි වැඩ විසූ හෙයියන්තුඩුවේ ශ්‍රී දේවමිත්ත හිමියන්ගෙන් සිංහල, පාලි ආදි ප්‍රාචීන භාෂාවන්ද ඉගෙන ගත්තේය.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් ගේ ඇසුර මෙන්ම කොටහේනේ දීපදුත්තාරාමාධිපති මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද නාහිමියන්ගේද ඇසුර එතුමන්ගේ ජාතික හැඟීම් වර්ධනයට හේතු වූහ.

මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමියන් ගේ ප්‍රධානත්වයෙන් පැවැති පානදුරාවාදය ඒ අතර ප්‍රමුඛත්වයක් ගත්තේය.

එම කාල සීමාවේම ඇමරිකන් ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා අපේ රටට පැමිණ පරම විඥානාර්ථ සමාගම පිහිටුවීය. එම සමාගම මගින් බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා බෞද්ධ පාසල් පිහිටුවීමත් සමඟ මෙරට බොදු පුබුදුවක් ඇති විය.

පාසල් අධ්‍යාපනය හමාර කිරීමෙන් පසුව එතුමන්ගේ පළමු රැකියාව වූයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලිපිකාර තනතුරයි.

ඕල්කට්තුමාගේ පැමිණීමෙන් පසු ලිපිකාර තනතුරෙන් ඉවත්ව 1884 දී පරම විඥානාර්ථ සමාගමේ සේවයට එක්විය.

අනතුරුව මෙරට බෞද්ධ පුනරුදයේ පුරෝගාමීන් සමඟ එකතු වී “සිංහලයිනි නැගිටිව්, බුද්ධගයාව බේරාගනිව්” යන පාඨය යටතේ දඹදිව බුද්ධගයාවට දී පිටත් විය.

බ්‍රහ්මචාර්ය වී 1886 දී අනගාරික ධර්මපාල නාමය ගැනීම එතුමන්ගේ ජීවිතයේ ලෝක ශාසනික සේවයේ යෙදීමට දමන ලද අඩිතාලමක් බඳු විය. ඉංගී‍්‍රසි නම අතහැර සිංහල නම් ගැනීම පරම විඥානාර්ථ සමාගමේ එක් ප්‍රතිපත්තියක් වූයෙන් ඩේවිඩ් යන්න අතහැර ධර්මපාල නාමය වැළඳ ගත්තේය.

”සිංහලයිනි නැගිටිව්, බුද්ධගයාව බේරා ගනීව්” යන අභීත නාදය මෙරට බෞද්ධ ජනතාව තුළ සිහියට නැගෙනවිට ඒ හා බැදුණු අනගාරික ධර්මපාල තුමන්ගේ නාමය නිරන්තරයෙන් සිහියට නැගෙන තරමට එම වදන් පෙළ ජන හදවත් තුළ කිඳා බැස ගන්නට විය.

අධිරාජ්‍ය විරෝධි ව්‍යාපාරයේ පෙර ගමන්කරුවකුව කටයුතු කළ අතර කල්කටාවේදී 1915-1920 කාලය තුළ සිරගතවීමටද එතුමාට සිදු විය.

1892 මහාබෝධි සඟරාව ඇරඹීම නිසා එමගින් මෙරට පුරා බෞද්ධ කටයුතු ප්‍රචලිත කිරීමට පියවර ගන්නා ලදී.

ලෝක ශාසනික මෙහෙවරෙහි නිරත වන ගමන් එන්ගලන්තයේ ලන්ඩන් බෞද්ධ මධ්‍යස්ථානය කල්කටාවේ ධර්මරාජික විහාරය, බරණැස මූලගන්ධකුටි මහා විහාරය බුද්ධගයාව හා සිංහල, බෞද්ධ වන්දනා කරුවන්ගේ ප්‍රයෝජනය සඳහා තැනවූ මදුරාසියේ බෞද්ධ විශ්‍රාම ශාලාව සහිත විහාරය එතුමන් විසින් ඉදිකරන ලද විහාරාරාම අතර වේ.

එතුමාගේ ජීවිතයේ ප්‍රමුඛ අරමුණක් වූ පැවිදි බව ලැබීම 1931 දී ශ්‍රී දේවමිත්ත නමින් පැවිදි දිවියට පා තැබූහ. ඒ සමගම 1931 ජූලි 13 වනදා බුද්ධගයාව සිංහල බෞද්ධයාට අයිතිවීම විශාල භාග්‍යයකි.එබඳු බොදු අයිතීන් සුරැකීම මෙන්ම ඒවා වර්ධනය කිරීමට අනගාරික ධර්මපාලතුමන්ගෙන් ඉටුවූයේ අප්‍රමාණ සේවයකි.

1933 ජනවාරි 16 වනදා මූලගන්ධකුටි විහාරයේදී උපසම්පදාව ලද අතර 1933 අපේ‍්‍රල් 29 වනදා උන්වහන්සේ අපවත්වී වදාළහ.

ශ්‍රීමත් අනගාරික ධර්මපාල චරිතය පිළිබඳ අපේ හැදෙන වැඩෙන පශ්චිම ජනතාව තුළ මනා අවබෝධයක් ඇති කරවීමෙන් එතුමන්ගේ නාමයට ශතවර්ෂ ගණනාවක් පුරා ගෞරවෝපහාර දක්වනු ඇත.

 

 බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් මස 15 වැනිදා සඳුදා අපරභාග 07.12 ට ලබයි. 16 වැනිදා අඟහරුවාදා අපරභාග 08.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 16 වැනිදා අඟහරුවාදාය.

 මීළඟ පෝය සැප්තැම්බර් 23 වැනිදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 16

Full Moonඅමාවක

සැප්තැම්බර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 01

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 08


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]